සම්‍යක්‌ දෘෂ්ටිය


දරුවකු වෙනුවෙන් බොහෝ දුක්‌ පීඩා සතුටු සිතින් උසුලන්නට අම්මලාට ශක්‌තියක්‌ ලැබෙන්නේ කරුණාවත්, මෛත්‍රියත් සතු වේදනා නාශක ගුණ නිසාය. කිසිදා පාසලකට නොගිය මේ අම්මාගේ නිසඟ මවු ගුණයට සම්මානයක්‌ දිය යුතු යෑයි මට සිතෙයි. දරුවන් නැති මම, මේ අම්මාගේ පින සතුටින් අනුමෝදන් වෙමි. මේ දෙදෙනා දකින මට මහත් කරුණාවක්‌ ද මුදිතාවක්‌ ද උපදියි. ඇය තුළ අනාගත බුදුවරයෙක්‌ සැඟවී සිටියි. කොතැන පැවතියත් ගුණය ගුණයමයි. ඒ බව පිළිගැනීමටත් එක්‌තරා මට්‌ටමකට ගුණ වැඩී තිබිය යුතුය. සත්‍ය වශයෙන්ම අප මහා බෝසතාණන් වහන්සේත් පෙර භවවලදී වඳුරකු, සුනඛයකු සහ වටුවකු ලෙස පවා ඉපදී සිටි සේක.

අප දකින ලෝකය අපේම මනසේ පිළිබිඹුවක්‌ වැනිය. බුදුහිමුදුරුවන් හා ඇසුර නිසා මගේ මනසේ නොයෙක්‌ වෙනස්‌කම් ඇති වී තිබේ. ඒ නිසා බොහෝ අයට නොවටිනා දේවල්වල, ගැඹුරු අරුත් ඇතැයි මට සිෙ-ත්. අන් අයට මහමෙරක්‌ සේ වටිනා සමහර දේ මට සතයකුදු නොවටී.

මා දාන ශාලාවට වැඩියේ ගිලන්පස ටිකක්‌ වැළඳීම සඳහාය. සහෝදර ස්‌වාමීන් වහන්සේලාද අපට උපස්‌ථාන කරන තාත්තා ද තේ පානය කොට නික්‌ම ගොසිනි. එහෙත් මට දැන්ම නික්‌මෙන්නට නොසිතෙයි. මේ මොහොතේ තවත් දෙදෙනෙක්‌ මා සමග සිටිති. ඔවුන් නිමිති කොටගෙන මා දැන් කරන්නට යන්නේ මවුගුණ පිළිබඳ භාවනාවකි.

පන්සලට ගෙනැවිත් අවතැන් කර දැමූ බැළලියට එකම පැටවෙකු සිටියි. අම්මාගේ කිරිවලට තනි උරුමක්‌කාරයා වූ බැවින් අප බලාගෙන සිටිද්දීම ඌ බෝලයක්‌ මෙන් රුවට වැඩුණේය. අවට සරණ දඩබ්බරයන් ගේ නෙත නොගැටෙනු පිණිස තැනින් තැන සඟවමින් පැටවා ලොකුමහත් කරන්නට "අම්මා" දිවා රාත්‍රි වෙහෙසුණාය. දැන් පැටියා දඩයම් කිරීමේ කලාව ප්‍රගුණ කරමින් සිටියි. මෙය "අම්මාට" ද මහත් වෙහෙසෙකි. පැටවා දන්හලේ දොරමුල්ලක සැඟවී සිට, මව එන විට කුරුමානම් අල්ලා, වේගයෙන් පැමිණ ගෙලට පනියි. ඒ මදිවාට සපා කයි. අම්මාට මේ සියල්ල දරු සුරතලයකි. පැටියා විටෙක සුරතල් අත්වලින් "අම්මාගේ" මුහුණට ගසයි. එවිට "අම්මා" පැටියා ලෙවකමින් තුරුළු කරගෙන වඩාත් සෙනෙහසින් කිරි පොවන්නීය. දිනෙන් දින සවිමත් වන පැටවාගේ දත්වලින් සැපීමේදී දැනෙන වේදනාව වැඩිවෙතත් "අම්මා" දරුවා ගැන අහිතක්‌ නොසිතයි.

දරුවකු වෙනුවෙන් බොහෝ දුක්‌ පීඩා සතුටු සිතින් උසුලන්නට අම්මලාට ශක්‌තියක්‌ ලැබෙන්නේ කරුණාවත්, මෛත්‍රියත් සතු වේදනා නාශක ගුණ නිසාය. කිසිදා පාසලකට නොගිය මේ අම්මාගේ නිසඟ මවු ගුණයට සම්මානයක්‌ දිය යුතු යෑයි මට සිතෙයි. දරුවන් නැති මම, මේ අම්මාගේ පින සතුටින් අනුමෝදන් වෙමි. මේ දෙදෙනා දකින මට මහත් කරුණාවක්‌ ද මුදිතාවක්‌ ද උපදියි. ඇය තුළ අනාගත බුදුවරයෙක්‌ සැඟවී සිටියි. කොතැන පැවතියත් ගුණය ගුණයමයි. ඒ බව පිළිගැනීමටත් එක්‌තරා මට්‌ටමකට ගුණ වැඩී තිබිය යුතුය. සත්‍ය වශයෙන්ම අප මහා බෝසතාණන් වහන්සේත් පෙර භවවලදී වඳුරකු, සුනඛයකු සහ වටුවකු ලෙස පවා ඉපදී සිටි සේක.

දැන් මට මගේ දයාබර අම්මා සිහිවෙයි. හැත්තෑව දශකයේ මුල් භාගයේදී මා ඉපදෙන විට ආර්ථික වශයෙන් අප සිටියේ දුර්වල අඩියකය. කිසිදු දුකක්‌ නොදැනෙන්නට මා රැක බලා ගැනීම අම්මාගේ උත්සාහය විය. භය සංකාවන් පිරුණු ලෝකයකට බිහිවුණු මා දුකට පත් වූ විට කී වරක්‌ නම් අම්මා මා සිප සනසන්නට ඇත්ද, කී වරක්‌ නම් ලේ කිරි කර මට පොවන්නට ඇත්ද? ත්‍රිරෝද රථයක්‌වත් නොතිබුණු ඒ කාලයේ කී වරක්‌ නම් අම්මා මා ඔසවාගෙන දොස්‌තර ළඟට දුවන්නට ඇත්ද? මගේ මල්ලී මුලින්ම දණගෑ දිනයේදී අම්මා රටක්‌ දිනා ගත්තියක මෙන් සතුටු වූ හැටි මට මැවී පෙනෙයි. තරමක්‌ ලොකු මහත් වූ විට මගේ පුංචි අතින් අල්ලාගෙන කඩපිල වෙතට රැගෙන ගොස්‌ මට ලෝකය පුරුදු කළේ අම්මාය. (මේවා සිහි කරන දරුවෝ ලොවේ දුර්ලභ වෙති.) අම්මලාට ඇත්තේ දිව්‍යමය දැත්ය. අම්මාගේ අතින් කවතහොත් බත් සහ පොල් පමණක්‌ වුවත් දිවබොජුනක්‌ මෙන් රස වන්නේ එබැවිනි. මා තුළ යම් යහගුණයක්‌ පවතීද. ඒ සියල්ලේ මුල් බිජුවට රෝපණය කළේ අම්මාය.

සංකීර්ණ වූ ජීවන සටන අල්ප වූ දැනුමකින් නොකළ හැකි බැවින් අම්මා මාව සිප්හලකට ද යෑව්වාය. මට මොහොමඩ්ව මුණ ගැසුණේ එතනදීය. සංස්‌කෘතීන් දෙකකට අයත් වූවත් අපි එක බංකුවේ වාඩි වී එකට අකුරු කළෙමු. එකට ක්‍රීඩා කළෙමු. මගේ අම්මා තුළ තිබෙන අපරිමිත මවුගුණ මොහොමඩ්ගේ අම්මා තුළත් තිබේ. ඔවුහු දෙදෙනා තුළම අනාගත බුදුවරුන් සැඟවී සිටිති. මේ අම්මාවරුන් දෙදෙනාටමත් සම්මාන දෙන්නට වටියි. වසර දහයක පටන් කැටයම් කරමින් ඔප ලූ මෙත් සිත නමැති සම්මානය. මම ලෝකයේ සියලු අම්මාවරුන් වෙත දොaතින් ගෙන පුද කරමි. දැන් මගේ මෙත් සිත වඩාත් බලවත් වෙයි.

මොහොමඩ්ගේ අම්මා අපේ බුදුහිමියන්ට මුණ ගැසුණොත් උන්වහන්සේ බලනු ඇත්තේ සම්‍යක්‌දෘෂ්ටියට ඇයගේ ඇති නෑකම් මොනවාද යන්න මිස මිථ්‍යාදෘෂ්ටියට ඇති නෑකම් මොනවාද යන්න නොවේ. ඇයගේ ජීවිතයේ යහගුණයක්‌ සොයාගෙන, බුදුහිමියන් එය අගය කරනු ඇත. එහි සිත පහදවනු ඇත. එසේ කරන්නට හැකි නිරාකුල දැක්‌මක්‌, පිරිපුන් මනුස්‌සකමක්‌ තිබුණු බුදුපියාණෝ ලොවට සම්‍යක්‌දෘෂ්ටිකයන් බිහි කළෝය. අද ඉන්නා සමහර බෞද්ධයන් භික්‍ෂූන් වහන්සේ කෙනකු මුණ ගැසුණු විට පවා සොයන්නේ "අඩුව" කොතැනද කියාය. ගුණය කොතැනද කියා නොවේ. එහෙව් ගුණමකුවෝ ලොවට ගුණහීනයෝම බිහිකරති. ඔබගේ මිදුලේ පැළ දෙකක්‌ වෙතොත් ඔබ අවධානය යොමුකරන පැළය අවදිවී වැඩෙයි. අනික වැහැරී මැරෙයි, හොඳ නරක දෙකත් මෙසේමය. වත්මන් සමාජය ගුණයට කාන්තාරයක්‌ වී ඇත්තේ අහම්බයකින් නොවේ, මිනිසුන් තරගයට මෙන් එකිනෙකාගේ ගුණ හාරා දමන බැවිනි. සැබෑ මනුෂ්‍යත්වය හඳුනා ගන්නට බෞද්ධයන්ට පවා මෙතරම් අපහසු වී නම් අන් අයගේ වැරදි පෙන්වාදීමේ දී ඉතා කාරුණික විය යුතු යෑයි මට සිතෙයි.

කරුණාව, මෛත්‍රිය වැනි ගුණයන්ට ජීව විද්‍යාත්මක පදනමක්‌ ද පවතින බව නූතන මනෝවිද්‍යාඥයෝ අද පර්යේෂණාත්මකව පෙන්වා දෙති. කරුණාව පිළිබඳව මෙවන් ලිපියක්‌ එකඟ සිතින් කියවීම පමණකින් පවා ඔබගේ ශරීරය තුළ ඖෂධීය වටිනාකමක්‌ ඇති රූප කලාප (උදාහරණයක්‌ ලෙස සමහර හෝර්මෝන) ශ්‍රාවය වන බව අද තහවුරු වී තිබේ. අහෝ· ධර්මයේ සුධර්මතාව කෙතරම් පුදුම සහගතද?

මිනිසාට, සිත නිවෙන, උදාර සිතුවිලි පහසුවෙන් පහළ වන්නේ කැරලි කෝලාහල බියෙන් තොර කාලවලදී බවට බුදුසමයත් ඉතිහාසයත් සාක්‍ෂි දරයි. මොහොමඩ්ගේ නෑදැයන් සහ මගේ නෑදැයන් අතර අද අසමගියක්‌ ඇතිවෙමින් පවතියි. ඒ නිසා මේ සාමකාමී වාතාවරණය මතුවටත් පවත්වාගත හැකිවේදැයි අපට අද බියක්‌ මතු වී තිබේ.

මරන්නට මස්‌ මඩුව දෙසට ගෙන යන ගවයාට ඉදිරියටම මිස එක පියවරක්‌වත් පස්‌සට ගන්නට ඝාතකයා ඉඩ නොදෙයි. එසේම අපත් උපන්නාට පසුව තබන හැම පියවරක්‌ම තබන්නේ මරණය දෙසටය. එක අඩියක්‌වත් පස්‌සට ගන්නට මාරයා ඉඩ නොදෙයි. අද ඉන්නා අපි සැවොම අදින් වසර සියයක්‌ පමණ ගතවන්නට මත්තෙන් සිදුවන නියත මරණයකට නියම වූයෝ වෙමු. මේ සුළු කාලය තුළ සමගිය රැකගෙන දුර්ලභ මිනිස්‌ දිවියේ ආශ්වාදය විඳ ගැනීමට අපට නොහැකිද?

පැවිද්දෙකුට පවා පහසුවෙන් ඇසුරු කිරීමට නොලැබෙන ආශ්චර්යවත් ආධ්‍යාත්මික ගුරුවරුන් මුණ ගැසීමේ දුර්ලභ වාසනාවක්‌ මට උපතින්ම උරුම විය. මීට වසර දහයකට පමණ පෙර ඒ සියලු දෙනා එක හඬින් කී දෙයක්‌ මගේ මනසේ දැන් දොaංකාර දෙන්නට පටන්ගෙන තිබේ. අනාගතයේදී සමාජයේ බරපතළ අර්බුද මතුවන බවත් ඒවා සමනය කළ හැක්‌කේ ආධ්‍යාත්මික ශක්‌තිය වඩවාගත් පිරිසකට පමණක්‌ බවත් ඔවුහු පුන පුනා කීවෝය.

"අපි බෞද්ධයෝ වම්හ"යි දෘෂ්ටිරාගයෙන් බැඳී, ආත්මමානය තර කරගන්නට අප තුළ පවතින උනන්දුව, බුදු උතුමන් අපට පවරා ඇති වැදගත්ම අභ්‍යාසයන් සිදු කිරීම සඳහා නැතිකම අප ඉදිරියේ තිබෙන ප්‍රධානතම බාධකයයි. නමුත් අප තවමත් ප්‍රමාද වූවා වැඩි නැත.

අප සියලු දෙනා මෙතෙක්‌ ජීවිතයේ කරන ලද සියලු කුසල්වල තේජසින්, සියලු මිනිසුන්ගේ සන්තානවල මනුෂ්‍යත්වය තහවුරු වේවා· සද්ධර්මය සුරක්‍ෂිත වේවා·යි අපි අධිෂ්ඨාන කරමු.

ශාස්‌ත්‍රපති පූජ්‍ය මත්තුමගල වන්දානන්ද හිමි
ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.

Post a Comment

0 Comments