සප්ත කන්‍යා අනතුරේ සන්නිවේදන පරහක්‌


සප්ත කන්‍යා යන වදනත් සමඟ බොහෝ සංකල්පනා ඇතිවිය හැකිය. ඒවා අතර මැදිහත් ලාංකික සිනමාකරුවකුගේ සිනමා කෘතියක්‌, රමණීය කඳු පෙළක ස්‌වභාව සෞන්දර්යක්‌, බිහිසුණු ගුවන් අනතුරක්‌ සේම අතීතයේ ලක්‌වැසි රාජ රාජ මහාමාත්‍යාදීන්ට මෙන්ම නූතන අතීතයේ විසූ රජ ඇඳක, රජ පුටුවක සැතපීමට ලොල් බැඳගත් ලෝකල් රජකුගේ අපල උපද්‍රවයන්ට පිළිසරණ ලෙස කිරෙන් නාවා ගත් නග්න නාරි දේහයන් සතක්‌ ගැනද ප්‍රධාන වශයෙන්ම සංකල්පනා මෙන්ම සංවේදී හැඟීම්ද මතුවිය හැක.

එහෙත් මා මේ ලිපියෙන් පැවසීමට අදහස්‌ කරන්නේ සිනමා විචාරයක්‌ හෝ නග්න නාරි රූපයක චමත්කාර බව හෝ එවන් අය මගින් සිදුකරගන්නා සෙත් ශාන්තියක විස්‌තර නොව මගේ දැසින් දුටු මෙන්ම දෙසවනින් ඇසූ මහා ෙ€දවාචකයක්‌ හරහා පැන නැගුණ එකල විසූ ජනයාගේ අදහස්‌ හා මති මතාන්තර මෙන්ම මේ සමාජය උඩුයටිකුරු වෙන්නට පෙර තිබූ සමාජ සංවේදීතා හා සිංහල ජන සමාජය යම් සිද්ධියක්‌ හොඳ හෝ නරක වේවා ඒමතින් ක්‍ෂණිකවම ගොඩනගා ගන්නා යාං හෑලි නම් කථා විශේෂය මොනතරම් අපූරුද යන්න ගැනය.

මා මේ ලිපිය ලිවීමට පෙළඹුණේ බොහෝ වසරවල මෙන්ම මේ වසරෙදිත් දිවයින කර්තෘ මාණ්‌ඩලික සුප්‍රකට මාධ්‍යවේදී කීර්ති වර්ණකුලසූරිය මහතා 2012 දෙසැම්බර් 07 දින දිනපතා දිවයින පුවත්පතට ලියූ සප්ත කන්‍යා ගුවන් අනතුර නම් ලිපිය යෑයි පැවසීම නිවැරදිය. එහෙත් මේ ලිපිය ඒ ලිපියේ සදොස්‌ තැන් පෙන්වා දීම, නිවැරැදි කිරීම හෝ උර්ණ පූර්ණයක්‌ කිරීම උදෙසා ලියවෙන්නක්‌ නොවන බව අවධාරණයෙන් පැවසිය යුතුව ඇත.

වසර 38 කට පෙර සිදුවූ සිද්ධියක්‌ විශේෂයෙන්ම ලොවම කම්පාකළ ෙ€දවාචකයක්‌ දැසින් දුටු අයෙකු ලෙස සත්‍යයෙන් බැහැර නොවී සඳහන් කිරීමේ හැකියාව සමඟ ගරාවැටී සෝදා පාළුවට ගිය සමාජ පැතිකඩක්‌ පෙන්වා දීමට හැකිවීම මගින් කිසියම් සමාජ කම්පනයක්‌ සනිටුහන් කිරීමට හැකිවෙතැයි යන විශ්වාසයෙන් වසර 38 පෙර දෙසවනින් අසා දැසින් දුටු ෙ€දවාචකයක්‌ ස්‌මරණ ශක්‌තියේ යම් යම් අඩු ලුහුඬුතා සිදුවීමට ඉඩ ඇතැයි යන පදනම මත සිට ගෙනහැර පාන්නේ මෙය සාහිත්‍යමය කරුණු ගොනු කිරීමක්‌ මිස කිසිසේත්ම ගුවන් අනතුර පිළිබඳ විද්‍යාත්මක හෝ ගුවන් ගමන් විද්‍යාවට අදාළ ලිපියක්‌ හෝ අදහස්‌ පළකිරීමක්‌ නොවන බව අවධාරණය කරමිනි.

1974 දෙසැම්බර් 4 දින සිට ඉදිරියට දින කීපයක්‌ තවත් වසර ගණනාවකට මා සිතින් බැහැර නොයනු ඇත. ඒ දින කීපයේ සිද්ධීන් මේ මොහොතේත් මා සිත සිනමා රූ පටයක රූපාවලියක්‌ මෙන් මා සිත ඇඳී පවතී. එකල මම ජීවිතයේ ඉතාම තුරුණු වියේදී ලද පළමු රැකියාවේ යෙදී ගතවී තිබුණේ මාස කීපයකි. ගබඩා පාලකයකු වශයෙන් පරිවාස කාල සීමාව ගතකළ මා ඒ වනවිට පදිංචි වී සිටියේ ගුවන් අනතුර සිදුවූ ස්‌ථානයට (කඳු පාමුලට) වාහනයකින් පැයකට අඩුකාල සීමාවකදී යා හැකි දුරකිනි.

ඒ මාරක බදාදා දිනය මට හොඳට මතකය. උදයේ රැකියාවට යැමට පෙර ගුවන් විදුලියෙන් ප්‍රචාරය වන උදැසන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන් ඇසීමට මට කිසිම කාලයක්‌ නොතිබූ නමුදු නිවසින් එළියට බැස හෝ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්‌තල ඇසීම මගේ පුරුද්දක්‌ විය. 'දිවයින' පුවත්පත මුල්වරට නිකුත්වූ දා සිට මේ දක්‌වා නොකඩවා කියවා ඇති මා අද මෙන්ම එදාත් පොත්ගුල්ලකු වීමි. මම පුදුම ප්‍රවෘත්ති පිපාසාවකින් පෙළුනෙක්‌ වීමි.

1974 යනු අදට සාපේක්‍ෂව අහසට පොළොව මෙන් දුරස්‌වූ ලංකාවක්‌ තිබූ කාල වකවානුවක්‌ යෑයි කීම නිවැරදිය. අද මෙන් එදා රූපවාහිනි සේවාවන් නොව අප්‍රමාණ වූ ගුවන් විදුලි නාලිකාද නොවූහ. කෙටියෙන් කියන්නේ නම් එෆ්. එම්. තරංග සේවයක්‌ද නොතිබුණි. ගුවන් විදුලි සේවා කෙටි හා මධ්‍යම තරංග ඔස්‌සේ විහිදුවා විකාශය කළ අතර බහුතරය වූ සිංහල අසන්නන්ට ඇසීමට පවා තිබුණේ සිංහල සේවා දෙකකි. ඒ ගුවන් විදුලියට ආදායම් මාර්ගයක්‌ වූ වෙළෙඳ සේවය හා ස්‌වදේශීය සේවයයි. ප්‍රවෘත්ති විකාශයේදී මේ සේවා දෙකම ඒකාබද්ධ කරන ලදී.

එදා 1974.12.04 බදාදා ප්‍රවෘත්ති විකාශයෙන් කියවුණේ මගී ගුවන් යානාවක්‌ අලුයම් කාලයේ මස්‌කෙළිය නගරයට ආසන්න ප්‍රදේශයකදී අනතුරකට ලක්‌ව ඇති බවකි. එහෙත් එහි වඩා අරුමයක්‌ හෝ පුදුමයක්‌ ජනිත කළ හැකි ප්‍රවෘත්තිමය ශක්‍යතාවයක්‌ නොවූයේ අනතුර පිළිබඳ සැබෑ සම්පූර්ණ තොරතුරු ප්‍රචාරය නොවුණ බැවිනි.

අද දවසේත් මෙවන් අනතුරු එක්‌වරම ප්‍රචාරය නොවන්නේ ආරක්‍ෂාව හා මහජන සුභ සිද්ධිය පිණිස වූවත් අද දවසේ එදා ගැන සිහිපත් කිරීමේදී මේ ඌණතාවය සිදුවුණේ සන්නිවේදනයේ තිබූ දුර්වලතා නිසා බව පෙනේ. අද දවසේ නම් සුවිශේෂී යමක්‌ සිදුවූ විට විද්යුත් මාධ්‍ය පොරකන්නේ ඒ පුවත පළමු තත්පරයේම විකාශය කළ සම්මානය ඩැහැ ගැනීමටය. එපමණක්‌ නොව දෘෂ්‍ය මාධ්‍යය නම් කාගේ හෝ කැමරා ෆෝන් එකකින් හෝ ගත් රූප පෙළක්‌ද පෙන්නීමට වගබලා ගනී. ඒ අද තත්ත්වයය. කොළඹට ආසන්නව ජීවත් වන අයට නම් ජංගම දුරකථන ජාලා නොතිබූ යුගයේ පවා මේ ක්‍ෂණික සන්නිවේදනයේ නම් අඩුවක්‌ නොවීය.

මේ සන්නිවේදනය ගැන ගුවන් අනතුර සිදුවූ කාලය හා බැඳීයන තොරතුරුද සටහන් වන බැවින් අද සහ එදා වෙනස දැකීමට උදාහරණ යොදා ගත යුතුය. ඉන්දීය අගමැති මේ රටේදී ආචාර පෙළපාලියකදී අමතක නොවන පහරක්‌ කන කලදී මේ රටේ ආරක්‍ෂක අංශ සතු ගුවන් විදුලි පණිවුඩ හුවමාරු යන්ත්‍ර හැර මහජනයා අත ජංගම දුරකථන නොවීය. එහෙත් බොහෝ දෙනා විශ්වාස නොකළද උරහිස්‌ ප්‍රහාරයෙන් ස්‌වල්ප වේලාවකට පසු හෝමාගම ජනයාගෙන් සීමිත පිරිසක්‌ අතර මේ සිද්ධිය කසුකුසුවක්‌ බවට පත්ව තිබිණි. එහෙත් ඒ කිසිවකු තොරතුරු පැමිණි මග නොදත්තෝය. මේ පරිදිම කම්කරු දිනය දා සිදුවූ ජනාධිපති ඝාතනය ඇතුළු විනාශකාරී බෝම්බ සිද්ධීන් බොහොමයක්‌ම සිද්ධියෙන් ස්‌වල්ප වේලාවකට පසු සත්‍ය ලෙසම දැනගන්න ලැබිණි. කොටි ඝාතන සමාගම සමූල ඝාතනය වෙන්න පෙර සිදුවූ අනුරාධපුර ගුවන් හමුදා ප්‍රහාරය පිළිබඳ තොරතුරු විද්යුත් මාධ්‍ය මගින් පවා හරිහැටි හෙළිනොවද්දී එදා උදැසන රාජකාරි පිණිස අප ගමන් කළ දුම්රිය මැදිරියේ සිටි වියපත් කාන්තාවකට ඇගේ දුරකථනයට අනුරපුර සිට බොහෝ සිද්ධි වාර්තා වූ හැටිත් ඇය රහසක්‌ සේ හිතවත් අප කීපදෙනකුට මේ බව කී හැටිත් මට අද මෙන් මතකය. මගේ සමීපම ඥතීන්ට පවා මේ දක්‌වාම නොකියවූ ඒ පුවත (කලින්ම දුරකථන මගින් සිද්ධිය දැනගත් බව) මා මේ මුල්වරට හෙලිකරන්නේ මේ ලිපියටය. පුවත් පතින් වුව මගේ ඥතීන් ඒ බව මුල්වරට කියවන්නේද ඔබ සමගිනි.

ගමනාගමනය ඉතාම දුෂ්කර වූ ඒ පළාතේදී රාජකාරි ස්‌ථානයට යැමට මා ලං.ග.ම බසයකට ගොඩවන්නේ නිවසින් පිටවී පැයකට වැඩිකාලයකට පසුවය. ඒ අතර කාලය මා හැල්මේ එන්නේ තනිව දුෂ්කර මාවතක දෙපයේ පිහිටාධාරයෙනි. මට පසුව නිවෙස්‌වලින් පිටවී පැමිණ බසයේදී එක්‌වූ මිතුරන් ගුවන් අනතුර පිළිබඳ මා දැනසිටියාට වැඩි යමක්‌ පැවසුවද අප කිසිවකුත් තුළ ඒ පිළිබඳ මහා උනන්දුවක්‌ හෝ කුතුහලයක්‌ නොතිබිණි.

අද දවසේ සිට ආපසු හැරී බලන විට ඊට සාධාරණ හේතු පෙනීයයි. ඉන් හේතු කීපයක්‌ම ප්‍රධාන කොට දැක්‌විය හැකිය. අද චන්ද්‍රිකා තාක්‍ෂණයටද අත්පොත් තබන අප රට එදා අදට සාපේක්‍ෂව සන්නිවේදන මාධ්‍යයේ ගමන් ගත්තේ ඉබි ගමනිනි. එම නිසා සැබෑ තොරතුරු හෝ කුතුහලය දනවන තොරතුරු ක්‍ෂණිකව ගලා නොඒම සිංහලයෙන් විකාශ දෙකකට (එක ප්‍රවෘත්ති විකාශයකට) සීමාවූ ඒ අවධිය සැබෑ ක්‍ෂණික තොරතුරු අසන්නට තබා සේවාදායකයන්ට හෝ ලබා ගැනීමේ තිබූ දුෂ්කර හා අපහසුතාවය පුවත් විකාශය පිළිබඳ කිසිම තරගයක්‌ නොතිබීම හා ඒකාධිකාරයක්‌ පැවතීම ඉන් හේතුකාරණා කීපයකි.

ඒ හැරුණ විට ගුවන් යානයක්‌ පිළිබඳ සත්‍ය තොරතුරු තබා ගුවන් යානාවන් සමීප දර්ශන ලෙස හෝ දැක තිබූ පිරිස වූයේ කටුනායක හා ඒ අවට අය පමණක්‌ වීමද මේ සිද්ධිය සිදුවූ වහාම ඒ ප්‍රදේශයේ කැළඹීමක්‌ සිදුනොවීමට හේතු විය. අද දිනයේ නම් රටේ හැම ගමකින්ම කීපදෙනකු වහල් සේවය සඳහා හෝ විදේශගතව ඇති බැවින් ඔවුන් යන හා එන විට ගුවන් තොටුපළට යන නෑ හිතමිතුරන් විශාල ප්‍රමාණ ලෙස ගත් කලත් විද්යුත් මාධ්‍ය හරහා දකින ගුවන් යානාවන්හි සමීප දර්ශන ආදිය නිසාත් අපේ රටේත් විදේශයන්හීත් සිදුවූ යුද කටයුතු නිසා ගුවන් යානා පිළිබඳ දැක්‌මක්‌ මෙන්ම අධ්‍යයනයක්‌ විද්යුත් හා විවිධ මාර්ග ඔස්‌සේ ලැබීම නිසා අද දවසේ ගුවන් යානයක්‌ හා එහි වර්ගය කියූ පමණින් කුඩාවකු පවා ඒ පිළිබඳ මනාව දනී. මේ කිසිත් නොතිබූද සමස්‌තයක්‌ ලෙස රටේ ජනගහනයෙන් සියයට දශමයක්‌ තරම් හෝ විදේශ රැකියා සොයා නොගිය එකල ගුවන් යානායක්‌ යනු ඉහළ අහසේ පියාසර කරමින් තිබෙනවිට දක්‌නා ලද මගී ප්‍රවාහන මාර්ගයක්‌ පමණක්‌ම විය.

මේ සියල්ලට අමතරව ගුවන් අනතුර මස්‌කෙළිය ප්‍රදේශයට ආසන්නව සිදුවූවායෑයි පැවසීම නිසා ගුවන් අනතුර සිදුවූ කඳු පාමුලට පැයක වාහන ගමනකින් යා හැකි වුවද මස්‌කෙළිය ප්‍රදේශයට යැම ඒ මගෙහිම පැය 3 ක්‌ පමණ ගතවන නිසා දුර ප්‍රමාණය හා කාලය පිළිබඳ ගැටලුවද අපේ කුතුහලය හා විමසිල්ල දුරස්‌ කෙරුවේය.

ආර්. සී. වතුහේන

Post a Comment

0 Comments