පරිසර දූෂණය සහ පෙණහලු ඛාදනය

දුම්වැටියෙන් සමාජයට සිදුකරන්නේ බරපතළම හානියකි. දුම්වැටිය අප සමාජයේ සිගරැට්‌. සුරුට්‌ටු, බීඩි හා ගංජා සුරුට්‌ටු වශයෙන් හැඳින්වේ. වැඩි පිරිසක්‌ දුම්වැටිවලට ඇබ්බැහි වීමෙන්ද තවත් සමහරු උත්තේජකයක්‌ ලෙසද, පාලුව, කාන්සිය නැතිකර ගැනීමටද, ආකර්ශනයක්‌ ලබා ගැනීමට හා බාහිර බලපෑම් මත දුම්වැටි පාවිච්චි කරති. මේ සඳහා සමහර කාන්තා පිරිස්‌ද යොමුවී ඇත. ශ්‍රී ලංකාවේ නම් සුළු කාන්තා පිරිසක්‌ මේ සඳහා යොමුවී ඇත. දුම්වැටි පාවිච්චි කිරීමෙන් ලැබෙන සතුටක්‌, උත්තේජනයක්‌, රසයක්‌ හා ආකර්ශනයක්‌ සැබැවින්ම නැත. මින් ලැබෙන්නේ අකාලයේ රෝගියකු වීම හා සෞඛ්‍යට අහිතකර වීම පමණි.

දුම්වැටියක්‌ උරනු ලබන විට එය එසැනින් හෘදය පෙනහලුවල සිට ශරීරය පුරාම ක්‍රියාකාරිත්වයට බලපෑමක්‌ කරනු ලබයි. එසේම තල්ලේ සහ තොල්වල ඇති තුනී පටලයන්ද විනාශයට පත්කරයි. තවද ස්‌වාසනාලය සහ වායු කෝෂ මිරිකීමකට භාජනය කොට පිළිකා වර්ධක ගුණයන් එහි ඉතුරු කර මේවා ආමාශය, වකුගඩු, මුත්‍රාශය ආදියෙහි තැන්පත් වේ. දුම ප්‍රාශ්වාස කළ පසු ද දුම්කොළ රසය 90% පමණ ශරීරය තුළ ඉතිරි වේ. මේ සමඟ 12000 ක්‌ පමණ වූ රසායනික වර්ග ද ඇත. මේවා ශරීරයට ඉතා අහිතකරය.

දුම්වැටියේ අඩංගු නිකෝටින් හා හෙරෝයින් මධ්‍යසාරය හා සමානය. දුම් පානයේදී පිළිකා වර්ධක පදාර්ථ, විෂ පදාර්ථ, පෙනහලු දූෂණය කරන පදාර්ථ, ශරීරයට ඇතුළත් වේ. බැහැර නොවන දුමෙහි හයිඩ්‍රජන් සයනයිඩ් සහ කාබන් මොනොක්‌සයිඩ් විශාල ප්‍රමාණයක්‌ අඩංගුය. සාමාන්‍ය වාතයේ ඇති ප්‍රමාණය මෙන් දහස්‌ ගුණයක සාන්ද්‍රතාවයකින් දුම් වැටියක පිටවන දුමෙහි කාබන් මොනොක්‌සයිඩ් ඇත. ශරීරයේ ඔක්‌සිජන් ගෙන යැමට අවශ්‍ය වන රතු සයිල කාබන් මොනොක්‌සයිඩ් සමඟ සම්බන්ධ වීමෙන් එම ක්‍රියාවට බාධා ඇති කරයි. දුම්පානය කරන වාරයක්‌ පාසාම රුධිරයේ තිබෙන මේද අම්ල ප්‍රමාණය ද වැඩිවේ. මෙම මේද තැන්පත්වීමෙන් රුධිර නාල පටුවේ. දිනකට සිගරට්‌ 10 ක්‌ උරන අයගේ එම දූමය සමඟ තාර අවුන්ස 8 ක්‌ පමණ ශරීර ගතවේ. තාර පිළිකා වර්ධකයකි. මෙය මූලික වන්නේ මුත්‍රාශගත පිළිකාවන්ටය. දුම් පානය කරන අයගේ තොල්, දිව, මුඛය, උගුර, ගලනාලය, පියයුරු, යෝනි මග, අග්න්‍යාශය, මුත්‍රාශය, අන්ත්‍ර හා පෙනහලු ආදියේ පිළිකා හටගනී. දුම්පානය කරන අයට ඇස්‌වල උද්දීපනය, හිසේ වේදනාව, කැස්‌ස, ඔක්‌කාරය, කරකැවිල්ල හා පිළිකා රෝග වායු කෝෂ විනාශවීම වැනි රෝග හටගනී.

ලෝකයේ මනුෂ්‍ය මරණ වලට ඇති හේතු අතරින් දුම්පානයට හිමි වන්නේ දෙවැනි ස්‌ථානයයි. පියවරු දුම්පානය කිරීම හේතුවෙන් ඔවුනගේ දරුවන් නිව්මෝනියාව වැනි රෝගයන්ට ගොදුරුවීමේ අවස්‌ථාවන් බහුලය.

දුම්වැටියෙන් වැළකීම සඳහා ඇබ්බැහිවීමේ ක්‍රියාවලිය හා එයට හසු නොවී සිටිම පිළිබඳ අවබෝධයක්‌ අවශ්‍ය වේ. දුම්වැටි භාවිතයෙන් වැළකී සිටීමට නම් ඒ පිළිබඳ තීරණයක්‌ මෙන්ම නිවැරදි අවබෝධයක්‌ තිබිය යුතුය. ඇබ්බැහිකාරී භාවිතයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ පිරිමින්ය. සමහරු තරුණ පිරිස්‌ අතර සිගරට්‌ටුවක්‌ අතින් එල්ලා ගැනීම පෞරුෂයට ආභරණයක්‌ සේ සැලකේ. දුම්පානය නිසා සිදුවන අකල් මරණ, රෝගාතුර වීම, ශ්‍රවණ බාධා ඇතිවීම හා සමාජ දුබලතා ගැන වැඩි අවධානයක්‌ යොමු කළ යුතු වන අතර මෙයින් සිදුවන අතිවිශාල හානිය පිළිබඳව දැනුවත් විය යුතුය. දුම්වැටියෙන් ඇති වන ලෙඩ රෝග, අනතුරු, අකල් මරණ, අපරාධ, අඬදබර මෙම ද්‍රව්‍ය භාවිත කරන අයට පමණක්‌ නොව අවට සිටිනා අසරණයින්ට ද හිමිවේ. දුම්වැටි භාවිතය සාර්ථකව වැළැක්‌වීම තුළින් තමාට ඇතිවන වැදගත් පුද්ගලික සෙතක්‌ වනුයේ ගුණගරුක යහපත් සුන්දර වූත් සමාජයක විසීමේ සුවය හිමි වීමයි. දුම්වැටිවලට ඇබ්බැහිවීමේ ප්‍රධානම ලක්‌ෂණය වනුයේ ඇබ්බැහි වූ ද්‍රව්‍ය නොමැති වූ විට නොයෙකුත් අපහසුතා ඇතිවීමයි. එමෙන්ම ප්‍රබල මානසික නොසන්සුන්තා ස්‌වරූපයක්‌ද ගනී. ස්‌වභාවික ශාරීරික ක්‍රියාකාරිත්වයන්ද අවහිර කරයි. විශේෂයෙන් ගැබිනි මවුවරුන් මත්පැන් හා දුම්පානයෙන් වැළකී සිටිය යුතුමයි. පරිසරය විසින් ගැබිනි මවත් තම කුස තුළ සිටින දරුවාවත් අනාරක්‌ෂිත කර තිබේ. යටත් පිරිසෙයින් සිය සැමියා තමා ළඟ සිට දුම්පානය කරන්නේ නම් දරුවන්, බිහිවන දරුවන් වෙනුවෙන් ඔහු දුම්පානයෙන් වළක්‌වා ගැනීමට මවුවරුන් ක්‍රියා කළ යුතුයි. එය අත්‍යවශ්‍ය කටයුත්තක්‌ බව දන්වා සැමියා දැනුවත් කරන්න. යම්කිසි පුද්ගලයකු දුම්පානය කරනවා නම් එම දුම්පානය නිසා ඔහුගේ ශුක්‍රාණුවල විවිධ විකෘතිතා ඇතිවේ. එයත් තමන්ගේ දරුවාට බලපාන්න පුලුවන්. දුම්පානය නිසා ශුක්‍රාණුවලට හානි සිදුවී තිබිය හැකියි. වර්තමානයේ එන්න එන්ම දරුවන් ලැබීමේ ප්‍රවනතාවය අඩු වෙමින් පවතින්නේ එබැවිනි. මෙයට මූලිකම හේතුව වශයෙන් බලපාන්නේ පිරිමින්ගේ දුම්පානයයි. මෙයින් 24% ක්‌ විතර ශුක්‍රාණුවල ප්‍රමාණය අඩුවෙයි. දුම්පානය කරන්නන්ගේ ශුක්‍රාණුවල ශක්‌තිය අඩුවේ.

දුම්වැටිවලට ඇබ්බැහිවීමෙන් හානිකර තත්ත්වයන් වගේම අසතුටුදායක තත්ත්වයන්ට පත්වේ. නොයෙකුත් ලෙඩ රෝග ඇතිවන බවත්, මුදල් විනාශ වන බවත් නිසා ඒවායේ හානියෙන්ද මිදී සිටීමට මගහැර සිටිය යුතුවේ. මෙයින් කිසිම තෘප්තියක්‌ ද ඇති නොවේ. සිගරට්‌ පළමු වරට භාවිත කිරීමට සමාජයේ බලපෑම අත්‍යවශ්‍ය වේ. කවර බලපෑම් මත හෝ වරක්‌ පාවිච්චි කළ පමණින් ඇබ්බැහිවීමක්‌ හට නොගනී. ප්‍රථම වරට පාවිච්චිය කිසිසේත් රසවත් නැත. මුල්වතාවට සිගරට්‌ටුවක්‌ පාවිච්චි කරන අයෙක්‌ බොහොමයක්‌ අවස්‌ථාවල දුම්බොන්නේ තවත් පිරිසක්‌ සමඟය. මුල් පාවිච්චිය බොහෝ විට බෙහෙවින් අප්‍රසන්නය. දුම් උරා බොන අයට පපුවේ අපහසුවක්‌ දැනෙයි. කැස්‌ස එයි. කඳුළු ගලයි. රසයක්‌ නොදැනේ. නමුත් පරිසරයේ බලපෑම විවිධාකාරයෙන් මෙහිදී ඇතිවේ. යම් යම් සමාජ ආකෘති අනුකරණය කිරීමට පෙළඹීම නිසාත්, පිරිමියෙක්‌ වීමේ සංකේතය ලෙස සිගරට්‌ටුව දකින නිසාත්, අපහසුව මැඬගෙන සමහරු නැවත නැවත දුම්පානය කරයි. හුදෙක්‌ම තෘප්තිය නිසා ගැනීමක්‌ කොට මෙය අපහසුව ආයාසයෙන්ද විඳ දරාගෙන ගැනීමක්‌ බව තේරුම් ගත යුතුය. අනෙක්‌ අතට ඔහු අවට සිටින සමූහයා ඇතිකරන සමීප බලපෑම ද වෙති. යහළුවන් ඉදිරියේ අපහසුතාවය පෙන්වීම ද මදිකමකි. ඔවුන් කිසිදු ආයාසයක්‌ නැතිව බොනවා පෙනෙයි නම් තමන්ද එසේ කර පෙන්විය යුතුය. මෙහිදී ද තෘප්තිය නිසා බීමක්‌ නොව වෙනත් අවශ්‍යතා උඩ අතෘප්තිය වුවද මැඩගෙන නැවත ගැනීමක්‌ සිදුවෙයි. මේ කාලය තුළ දී ඔහු ලබන තෘප්තිය වනුයේ නිකටින් මගින් ඇතිකරන රසයක්‌ නොවේ. සිගරට්‌ බොන්නෙක්‌ වීම තුළින් ලැබෙන පුහු වාසියකි. එක්‌ අතකින් සිගරැට්‌ටුව තුළින් තමා යම් කල්ලියක සාමාජිකත්වය ලබයි. එම සාමාජිකත්වය බොහෝ විට තෘප්තිදායකය. රසායනික ද්‍රව්‍ය ඇති කරන තෘප්තියක්‌ නොව සමාජ පිළිගැනීමක්‌ දිනා ගැනීම නිසා ඇතිවූ තෘප්තියකි. සිගරට්‌ටුව මේ පිළිගැනීමේ සංකේතයක්‌ පමණි.

අපහසුතාවයෙන් හෝ බියක්‌ හෝ පාලුවක්‌ දැනෙන කවර අවස්‌ථාවකදී ද වුව සිගර ට්‌ටුවක්‌ දල්වා ගැනීම නිරායාසයෙන්ම සිදුවේ. පුරුදු වූ තැනැන්තාට ඉන් සහනයක්‌ද දැනෙනු ඇත. දුම්බීමෙන් ලැබෙනවාය කියන සහාය රසය හා වෙනස එයට ආරූඪ වූ ව්‍යාජ තෘප්තියක්‌ බව පෙන්වීමට කොටසක්‌ සාක්‌ෂි තිබුණ ද ඉඳහිට හෝ පාවිච්චි කරන පුද්ගලයා මේවා පිළිනොගනී. දුම්වැටි පාවිච්චි කරන අයගෙන් බලාපොරොත්තු විය හැකි ලොකුම මෙහෙය නම් මේ ප්‍රොaඩාකාරී වින්දනය පිළිබඳ සත්‍යය දැනට පාවිච්චි නොකරන අයට පහදා දීමය. එසේ කළ හැක්‌කේ ඉඳහිට හෝ පාවිච්චි කරන පුද්ගලයාට ඉන් ඇත්තෙන්ම ලැබෙන රසයක්‌ ඇත්දැයි ස්‌වාධීනව සොයා බලන්නට තරම් විවෘත මනසක්‌ තිබුණහොත් පමණි.

එමෙන්ම දුම්වැටිවලට ඇබ්බැහි වූ තරුණ පිරිස ගොඩනැගීමට කාන්තා පක්‍ෂයට එය වැළැක්‌වීමට ගත හැකි ක්‍රියාමාර්ග ඉතා ප්‍රබලය. සමහර තරුණ පිරිස අතර සිගරට්‌ටුවක්‌ අතින් එල්ලා ගැනීම පෞරුෂයට ආභරණයක්‌ සේ සැලකේ. තරුණයින් වැඩිපුරම සැලකිලිමත් වනුයේ ගැහැනු ළමුන් දක්‌වන ආකල්ප හා ඇගයීම්වලටය. තරුණියන් අතර ඇබ්බැහිකාරී හැසිරීම් ගැන පොදුවේ පහත් කොට හැඟීමක්‌ හා ප්‍රතික්‌ෂේප කිරීමක්‌ පවතී නම් තරුණයන් සිගරැට්‌ ආදී ද්‍රව්‍ය ප්‍රසිද්ධියේ පාවිච්චි කිරීම බෙහෙවින් අඩුවනු ඇත. සිගරට්‌ බීම දුඟදක්‌ අප්‍රසන්න බව ප්‍රකාශ කළ යුතුය. අප්‍රසාදය ඇතිකළ යුතුය. එමගින් තරුණයන්ගේ දුම්බීම වළක්‌වා ගැනීමට හැකිවේ.

පිළිකා රෝගීන්ගෙන් 30% ට ආසන්න පිරිසක්‌ දුම් පානය නිසා මුඛ පිළිකා රෝගයෙන් දුක්‌ විඳිමන් රෝගීන් බවට පත්වී සිටී, යමෙකු දුම්පානය කළ ප්‍රදේශය පුරා දින ගණනාවක්‌ම එම දුම් රොටු පිරී පවතින අතර ඒවා කුඩා ළමයින් හා කාන්තාවන් ද පරිභෝජනය කිරීමෙන් දොර ජනෙල් රෙදි ගෘහස්‌ථ ආදියෙහිද රැඳී පවතින නිසා පිළිකා රෝගී තත්ත්වයන්ට කිසිවක්‌ නොදන්නා ඔවුන්ද අකාලයේ රෝගීන් වෙති. එබැවින් අබමල් රේණුවක තරම්වත් බුද්ධි මට්‌ටමක්‌ මේ සඳහා යොමු කර මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමටත් නිරෝගී පවුල් ජීවිතයක්‌ ගතකිරීමටත් දුම්පානය කරන ඔබ සැමගේ වගකීම වේ.

දුම්වැටි උරන්නන්හට ලැබෙන දුර්විපාක හා රෝගී තත්ත්වයන් වශයෙන් දැක්‌විය හැක්‌කේ.

මුඛ පිළිකා ඇතිවීම/දරුඵල අහිමිවීම

පෙනහලු ආශ්‍රිත රෝග/ශ්වසන අපහසුව

ඇදුම රෝගය

හතිය (මෘද ස්‌පන්ධනය වේගවත් වීම) කරකැවිල්ල

තොල් කලුවීම/ ඇස්‌ දුර්වලවීම

මුහුණ විරූපී වීම/ශ්‍රවණ ආබාධ ඇතිවීම

ඇඟ කෙට්‌ටුවීම/සංවේදී බව නැතිවීම

කෑම අරුචිය/රස නොදැනීම

කම්මැලිකම/ හිතේ වේදනාව/කැස්‌ස

ශරීරය දුර්ගන්ධය/සුවඳ නොදැනීම යන තත්ත්වයන්ය.

දුම්බොන ඔබ මෙවැනි රෝග කාරකවලින් මිදීමට දැන්වත් සිතට ගෙන මනා අවබෝධයකින් සාර්ථක ජීවිතයක්‌ ගත කිරීමට අදිටන් කරගත යුතුය.

ඊ. එල්. ඒ. කේ. ලියනගේ

Post a Comment

0 Comments