මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ සිතුවිලි බිඳක් හදිසියේම වාගේ මගේ උඩු සිතට ගලා ආවේ, උදැසනක "මුල් පිටුව" නරඹමින් සිටියදීය. ඒ, බන්දුල පද්මකුමාරයන් එදින "තිනකරන්" පුවත්පතේ පළවී තිබූ ඡායාරූප වාර්තාවක් පෙන්නූ කලය.
එය බෙහෙවින් සංවේදී අපූරු ඡායාරූපයකි. පසුගියදා එංගලන්තයේ පැවැති දෙවැනි එළිසබෙත් මහා රාජිනියගේ සැටවැනි මෞලි මංගල්‍යය උත්සවය වෙනුවෙන් පැවැති තුති පිදීමේ දේව මෙහෙයේදී රෝගී තත්ත්වයක් හේතුවෙන් එම අවස්‌ථාවට සහභාගි නොවූ මහා රාජනියගේ වල්ලභයා වූ එඩින්බරෝ ආදිපාදිතුමා පිළිබඳව දේව මෙහෙය සිදුකළ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ සිහිපත් කළ මොහොතේදී අප්‍රමාණ වූ ශෝකයෙන් දෙවන එළිසබෙත් මහා රාජිනිය හඬා වැටුණ අයුරු.... ඈ සිරස නමාගෙන දෑතින්ම දෑසින් ගලන කඳුළු බිඳු පිසදාලන අයුරු එම ඡායාරූපයේ කදිමට නාභිගත වී තිබිණි. අවුරුදු 90 ක් වයසැති තම ස්‌වාමියා නැති අඩුව මෙදින දවස පුරාම මහා රැජිනගේ හදවතේ රැඳී තිබෙන්නට ඇත. ලෝකයේ නන් දෙසින් පැමිණි රාජ්‍ය නායක නායිකාවන් කොතෙකුත් තමන් වටා සිටිය ද, මේ වයෝවෘද්ධ එහෙත් අතිශයින් සුන්දර ශ්‍රියාකාන්තාවක බඳු දෙවන එළිසබෙත් මහ රැජිනට තම ආදරණීය ස්‌වාමිපුරුෂයා තමා අසල නොසිටීම මහත් වූ හිස් බවක් සේම දැනෙන්නට ඇත.
මහ රැජින වර්තමාන සීතාවක හෝ පිලිප් කුමරු රාම කුමරු සේ හෝ සම - අසම කරන්නට ලියුම්කරුට අවශ්‍යතාවක් නැතත් මහ රැජිනගේ දෑසින් ගලා ගිය ආදරණීය "රාජකීය කඳුළු" ගැන සැබැවින්ම කතා කළ යුතු යෑයි සිතුනේ සැබෑ ආදරයට, ප්‍රේමයට සුදු කළු භේදයක් හෝ වයස පිළිබඳ ප්‍රශ්නයක් හෝ නැති බව මෑත භාගයේ අපේ කාලයේ දූ දරුවන්ට සේම අම්මිලා තාත්තිලාටත් ඇඟිල්ලෙන් ඇණ හෝ පෙන්නා දිය යුතු නිසාය.
විවාහ වී මාස කිහිපයක් යැමට පෙර දික්‌කසාද පෝලිමට එක්‌වෙන අපේ කාලයේ තරුණ තරුණියෝ අද බටහිර සේම ආසියාතික රටවල සුලභ අත්දැකීමකි. එබඳු වටාපිටාවක ඉතා සාර්ථක යුගදිවියක් ගතකරන දෙවන එළිසබෙත් මහ රැජින හා පිලිප් කුමරා සැබැවින්ම පවුල නමැති ඒකකයේ සුන්දරත්වය සේම ගාම්භීර බව ද ලෝකයටම කියාපාන්නේ තම ජීවිතාදර්ශයක් තුළින්ය.
අතිශයින් ප්‍රීතිමත් උත්සව අවස්‌ථාවකදී ලෝකයේ සුපිරි පංතියේ සම්භාව්‍යය අමුත්තන්, රාජකීයයන්, රාජ්‍ය නායකයන් පිරිවරා සිටින මොහොතකදී වුවද තම ස්‌වාමියාගේ නාමය ඇසුන සැනින්, ඔහුගේ සුවඳින් සුසුමින් තොර වූ ලෝකයක ඇති හිස් බව පසක් කරගත්, ඕ එදින හඬා වැටුණාය. මුළු හදවතින්ම ඈ හඬා වැටුණාය. කිසිදු ලඡ්ජාවකින් තොරව දෑසින් ගලා ගිය කඳුළු වැල් දෝතින්ම පිසදා ගත්තාය.
"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි.
පාරිශුද්ධයි සුරම්‍යයි" නන්දා මාලිනිය එතැන සිටියා නම්... ඈද ඒ ලෙසින්ම ගයනු ඇත.
මෙදින තිනකරන් පුවත්පතේ මුල් පිටුව රාජකීය ආදරයක ආශ්චර්යටත්, ඡායාරූප වාර්තාවකින් එලෙස සැරසෙන විට, එදිනම තවත් ජාතික පුවත්පතක මුල් පිටුවේ ලොකු අකුරින්ම සටහන් වූයේ මංගල මල්දමක් සැමියාට මරු වැළක් වූ සාහසික කතාවත්ය.
මීට ටික කලක පෙර ඉතා කුරිරු අන්දමින් නැගෙනහිර පළාතේදී ඝාතනය කර තිබූ ද්‍රවිඩ ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මරණයට, වගකිවයුතු ඔහුගේම බිරිඳ අත්අඩංගුවට ගන්නා පුවතක්‌ය. ඒ විවාහ වී කෙටි කලක් ඇතුළත අනියම් සැමියකු සොයාගත් මේ කාන්තාව ඔහුගේ ද සහය ඇතිව තම සැමියාට දරුණු ඉරණමක් අත්කර දුන් අයුරු, පාඨකයා කම්පාවට පත්කළ පුවතකි.
පවුල නමැති සමාජ ඒකකය දිනෙන් දිනම ඔවුනොවුන් එකිනෙකා හා බැඳී පවතින සංස්‌කෘතික, ආධ්‍යාත්මික බැඳීම්වලින් මිදී අයාලේ යන තත්ත්වයක් කරා තල්ලු වී යැම වර්තමානයේ ඇස් පනාපිටම සිදුවේ.
ආසියාවේ වේවා, අප්‍රිකාවේ වේවා, බටහිර යුරෝපයේ වේවා මේ දේ ඒ අයුරින්ම සිදු වුවත්, තවමත් එකිනෙකා හා බද්ධ වූ අෙන්‍යාන්‍ය අවබෝධයෙන් යුක්‌තව ඉතා සාර්ථකව පවුල් කන උදවියද ලෝකයේ ඕනෑ තරම් ඇත.
මහා දාර්ශනික මතවාද නැතිවාට, අවුල් කර නොගෙන පවුල් කන හැටි ගැන අපේ ගං ගොඩේ අම්මලාගෙන් උගත හැකි පාඩම් බොහෝය.
එංගලන්තයේ මහ රැජිනට, සිය 90 හැවිරිදි සැමියා නැති අඩුව අන් සියල්ලටම වඩා තදින් දැනුනේ, ඇය ඔහුට අප්‍රමාණ ලෙස ආදරය කළ නිසා නොවේද?
මින් අදහස් කරන්නේ, දෙවන එළිසබෙත් මහ රැජිනගේ සිතුම් පැතුම් හා ගතිගුණ හා සෑම අතින්ම සමාන වූ සිතුම් පැතුම් හා ගතිගුණ පිලිප් කුමරාට තිබුණේය යන සාවද්‍ය ප්‍රකාශයක් නොවේ. සැබැවින්ම ඔවුන් දෙදෙනාම සම්පූර්ණයෙන්ම වෙනස් වූ දෙදෙනෙක්‌ය. එහෙත් අප බොහෝ දෙනකු අවබෝධ කර නොගන්නා වූ මේ සත්‍යය ඔවුන් නිසැකවම වටහාගෙන සිටියාට සැක නැත.
මගේ බිරිඳ සැම විටම සිතිය යුත්තේ මා සිතන ආකාරයට විය යුතුය. මා ආශා කරන දේට ඇය ද ආශා කළ යුතුය. මාගේ ප්‍රියතම ගීතය ඇගේ ද ප්‍රියතම ගීතය විය යුතුය. මා අකමැති දේ ඇය ද පිළිකුල් කළ යුතුය. මේ අයුරින්ම බිරිඳ ද මා අරබයා එසේ සිතුවේ නම් අප දෙදෙනා දික්‌කසාද වී බොහෝ කල්ය.
මේ ලෝකයේ සිටින සියලුම මිනිසුන් හා ගැහැනුන් එකිනෙකා හා කිසිම අයුරකින් සමාන නොවෙති. ඒ හරියටම එක් අයකුගේ ඇඟිලි සලකුණක් තවත් අයකුගේ ඇඟිලි සලකුණක් හා සමාන නොවන්නාක් මෙනි.
එකම උසක් ඇති මිනිසුන්ද, ගැහැනුන් ද අප අතර ඕනෑ තරම් සිටිති. එසේම එකම බරක් ඇති මිනිසුන් ද, ගැහැනුන් ද අප අතරින් ඕනෑ තරම් සොයාගත හැකිය. නමුත්, එකම විදිහට සිතන, පතන මිනිසුන් හා ගැහැනුන් අප කිසිවකුටවත් කිසිම දිනෙක සොයාගත නොහැකි වනු ඇත.
මේ පරම සත්‍යය අප වටහා නොගන්නා තෙක් අප එකිනෙකා අතර ගැටුම් ඇති වේ. මේ බොහෝ ගැටුම්වල අවසානය ගැන එම ගැටුම් හටගන්නා මොහොතේදී අනාවැකි කීමට කිsසිවකුටත් නොහැකිය. විටෙක සාමයෙන් සමගියෙන් අවසන් විය හැකි ගැටුමක් තවත් විටෙක සාහසික මිනීමැරුමකින් වුවද අවසන් විය හැකිය.
මේ නිසා සුරංගනා ලෝකවල පෙම් සුවය විඳිමින් සිට කෙදිනකදී හෝ එකම වහළක් යටට වී, එකම ඇඳක සයනය කරන දිනයක ඔබ එකිනෙකා පිළිබඳව ඉතා පැහැදිලිව ලියෑවී ඇති මේ පරම සත්‍යය, එනම් "මාද ඔබම නොව, ඔබද මාද නොව දිවි ඇති තුරා" යන්න අවංකවම අවබෝධ කර ගැනීම වනාහී ජීවිත කාලය පුරාම, ඉතා සාර්ථක පවුල් ජීවිතයක් ගෙන යා හැකි අපූරු ජීවන දැක්‌මකි.
මිනිසුන් අරබයා වූ මේ වෙනස්‌වීම හා වෙනස පිළිබඳව වු සන්දර්භය තුළ අපට ගැටුමක් ඇති කර නොගෙන දිගු ගමනක් යා හැක්‌කේ අප ඇසුරු කරන සගයාගේ රුචි අරුචිකම් වටහාගෙන ඊට ගැලපෙන අයුරින් අපි අපේ රුචි අරුචිකම් ගලපා ගැනීම තුළය.
ඔබ දුම් බොනවාට ඇය අකමැති නම් ඔබ කළ යුත්තේ එක්‌කෝ ඇයට ද දුම්බීම සඳහා ආශාවක් ඇතිවන පරිදි කටයුතු කිරීමය, නැතිනම් ඔබ විසින් දුම් බීම සහමුලින් නවතා දැමීමය. මින් වඩාත් පහසු වන්නේ ඔබ නියම පිරිමියකු සේ දුම්බීම සහමුලින් නවතා දැමීමයි. එවිට ඔබත් ඇයත් අතර ඒ සම්බන්ධයෙන් කිසිම ගැටුමක් ඇති නොවේ. මේ එක් පුංචි නිදසුනක් පමණි.
සැබෑ වූ ආදරය තුළ ගැඹුරින්ම විද්‍යමාන වන්නේ පරිත්‍යාගයයි. මහ රැජිනගේ රාජකීය කඳුළු සිත්තම අපට කියන කතාවක් ද තිබේ. ඒ පවුල නමැති කුඩා ඒකකය ශක්‌තිමත්ව තබාගන්න යන්නයි. ඒ සඳහා පරිත්‍යාගය අවශ්‍යයි. අප එකිනෙකා හා පරිත්‍යාග වන තරමට ආදරය ශක්‌තිමත් වේ.
එවිට බටහිරින් දැනටමත් අප වෙත ආනයනය කොට අලෙවි කරනු ලබන ඛසඩසබට එදටැඑයෑර සංකල්පය නොහොත්, පවුල් නොවී පවුල් කෑමේ කාලකණ්‌නි සම්ප්‍රදායක ගොදුරක් බවට ඔබ පත්වන්නේ ද නැත. පුරා සෑම වසරක රාජකීයත්වය, රාජ තේජස අභිබවා ගිය සුන්දර මනුෂ්‍යත්වයේ රාජකීය කඳුළු සිත්තම තුළින් දෙවන එළිසබෙත් මහ රැජින අප හදවත් තුළට නිහ`ඬවම ගෙන එන සොඳුරු ආමන්ත්‍රණය ද එයයි.
ජයන්ත විඡේසිංහ
0 Comments