ලොව මුල්ම අභයභූමිය මිහින්තලාව


වනසත්ව සංරක්‍ෂණයේ දී ශ්‍රී ලංකාව ලෝකයේ විශිෂ්ට ස්‌ථානයක්‌ හිමිකර ගැනීමට අතීතයේ සිටම සමත්වී තිබේ. ශ්‍රී ලාංකික බෞද්ධ සංස්‌කෘතිය ආරම්භ වන්නේ මහින්දාගමනයත් සමඟය. ක්‍රි. පූ. 3 වැනි සියවසේදී මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළ අවස්‌ථාවේ මෙරට රජ කළ දේවානම්පියතිස්‌ස රජතුමන් විසින් මහා සංඝයා උදෙසා වන භූමි ආරාම පූජා කිරීමත් සමඟ අභයභූමි සංකල්පය බිහිවිය. ඒ අනුව මිහින්තලා වන අරණ අභය භූමියක්‌ විය. මෙය ලෝකයේ පැරැණිතම අභය භූමිය ලෙස පිළිගත හැකිය.

අතීතයේදී වනගහනයෙන් පිරි ශ්‍රී ලංකාව ජනාවාසවීමත් සමඟ ක්‍රමයෙන් වනගහනය අඩුවන්නට විය. පෙර රජ දවස විවිධ අණ පනත් මගින් වනයත්, වන සතුනුත් සංරක්‍ෂණය කිරීම සඳහා ක්‍රියාත්මක වූ බව බසවක්‌කුලම ගිරි ලිපිය ආදී ශිලා ලිපිවලින් පැහැදිලි වේ. දේවානම්පියතිස්‌ස, ෂෂ වැනි මහින්ද, ෂෂ වැනි සේන, ෂෂ වැනි උපතිස්‌ස, නිශ්ශංකමල්ල ආදී රජවරු මෙලෙස වන සත්ත්ව සංරක්‍ෂණය කෙරෙහි උනන්දු වී කටයුතු කළ බව අනුරාධපුර සහ පොළොන්නරු යුගයේ මෙවැනි ශිලා ලිපිවලින් අනාවරණය වේ.

බුදු දහමින් පෝෂණය වුනු ශ්‍රී ලාංකික සංස්‌කෘතිය ලෝකයේ සෙසු සංස්‌කෘතීන් අතරින් කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ ලෙස එහි පවත්නා අවිහිංසාව පෙන්වා දිය හැකිය. ඒ අනුව වනජීවී සංරක්‍ෂණය ශ්‍රී ලාංකික ජන සමාජයේ ඇට, මස්‌, නහර තුළට කා වැදුණු අදහසකි. අතීතයේ සිට අද දක්‌වා අභය ස්‌ථානයක්‌ ලෙස පවත්වාගෙන යන මිහින්තලය 1937 දී ප්‍රකාශයට පත්කළ වන සත්ත්ව සහ වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත යටතේ 1938 මැයි මස 27 දින මිහින්තලය අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කරන ලදුව අද එය හෙක්‌ටයාර් 999.6 ක භූමි ප්‍රමාණයක්‌ වශයෙන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වේ.

වන සත්ත්ව සහ වෘක්‍ෂලතා ආරක්‍ෂා කිරීමේ ආඥ පනත අනුව අභය භූමියක්‌ තුළ වන ජීවීන් හා ඔවුන්ගේ ස්‌වාභාවික පරිසරය ආරක්‍ෂා කරන අතරතුර සාමාන්‍ය මිනිස්‌ ක්‍රියාකාරකම් සඳහා ද ඉඩකඩ ලැබෙන ලිහිල් නීති පද්ධතියක්‌ ක්‍රියාත්මක වේ. දැනට ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වන අභය භූමි 63 අතර ප්‍රධානතම හා පැරැණිතම අභය භූමිය ලෙස මිහින්තලා අභයභූමිය හඳුනාගත හැකිය. මෙහි ගොඩබිම දැවැන්තයා වන අලියා ඇතුළු වන සතුන් රාශියකට වාසස්‌ථාන හිමි වන අතර දේශීය ආවේණික ශාක සහ සත්ව විශේෂ රාශියකට ද වාසස්‌ථාන සපයයි. දුර්ලභ කුරුලු විශේෂ රාශියක්‌ මෙන්ම උරග විශේෂ රාශියක්‌ ද මිහින්තලය අභය භූමියේදී සුලබව දැකිය හැකිය.

මිහින්තලා අභය භූමිය පොසොන් සමයේ දී ජනාකීර්ණ වේ. සැදැහැවතුන් විශාල වශයෙන් මෙම අභයභූමිය වෙත ඇදී එන්නේ ශ්‍රී ලාංකික ජන සමාජයේ අතිශයින්ම ඓතිහාසික වූත්, පූජනීය වූත් භූමිය දැකබලා ගැනීමට සහ වැඳපුදා ගැනීමට ය, වන අරණක පිහිටි මෙම පූජනීය භූමිය සැදැහැවතුන්ගෙන් පිරීයද්දී ඒ සමඟම එම භූමියට ආගන්තුක දැ ද එක්‌රැස්‌ වේ. වන්දනාකරුවන් විසින් රැගෙන එන සියලු දේ අභය භූමියට ආගන්තුකය. මේවා එම පරිසරයට එක්‌ කිරීමෙන් එහි පවත්නා ස්‌වාභාවික පරිසරය වෙනස්‌ වේ. එහි ජීවත්වන සත්ව සහ ශාක විශේෂවල ජෛවීය පරිසරය විනාශ වීමෙන් වසර දහස්‌ ගණනක්‌ පුරා ආරක්‍ෂා වූ ආවේණික ශාක සහ සත්ත්ව විශේෂ රාශියක්‌ එම ඓතිහාසික භූමියෙන් සහ මුළු පරිසර පද්ධතියෙන්ම වඳවී යැම වැළැක්‌විය නොහැකිවනු ඇත. එබැවින් ඓතිහාසික මිහින්තලා අභය භූමිය සංරක්‍ෂණය කර ගැනීම කෙරෙහි සැදැහැවතුන්ගේ අවධානය යොමු විය යුතුය.

මෙවර ලෝක පරිසර දිනය යෙදී ඇත්තේ පොසොන් පොහොය දිනට පසු දිනයටය. පොසොන් පොහොය දිනය ශ්‍රී ලාංකික ජනතාවට පමණක්‌ නොව ලෝකවාසීන්ට ද සුවිශේෂී දිනයක්‌ වන්නේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට වන සත්ත්ව සංරක්‍ෂණය පිළිබඳ රාජ්‍ය අවධානය යොමු වීමත් ඒ අනුව මිහින්තලාව අභය භූමියක්‌ බවට පත්වීමත් නිසාය. එක්‌සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන යටතේ 1972 දී ලෝක පරිසර දිනය ලෙස ජුනි 05 ප්‍රකාශයට පත් කෙරිණි. ලෝක පරිසර දිනයත්, පොසොන් දිනයත් එක ළඟට යෙදීම වසර ගණනාවකින් උදාවන සුවිශේෂී අවස්‌ථාවකි. එම අවස්‌ථාව සැමරීම සඳහා මිහින්තලා අභය භූමිය තරම් සුදුසු ස්‌ථානයක්‌ මිහිපිට තවත් නොවේ. ඒ අනුව මිහින්තලා අඹ උයනෙහි අඹ පැළ සිටුවීමත්, ඓතිහාසික මිහින්තලා අභය භූමිය සංරක්‍ෂණය කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කොට ඒ සඳහා ඔවුන් පොලඹවනු වස්‌ දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්‌ ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය මගින් ජුනි මස 05 දින මිහින්තලාවේදී සිදු කෙරිණි.

ශ්‍රී ලාංකික සංස්‌කෘතියේ ආරම්භය සනිටුහන් වන මිහින්තලාව ඓතිහාසික, පුරාවිද්‍යාත්මක සහ පාරිසරික වටිනාකමින් අනූන වේ. එබැවින් මිහින්තලා අභය භූමිය නොකැළැල්ව පවත්වා ගැනීම කෙරෙහි සියලු දෙනාගේ අවධානය යොමුවිය යුතුය. ඒ අනුව පරිසර අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ලෝක පරිසර සමරු වැඩසටහන මනා ආරම්භයක්‌ වනු ඇත. මේ අනුව බලන කල ශ්‍රී ලාංකික අපගේ උරුමයක්‌ වන මිහින්තලය අභය භූමිය සංරක්‍ෂණය කර අනාගත පරම්පරාවට ඒ අයුරින්ම උරුම කර දීමටත්, පාරිසරික සංරක්‍ෂණයේ වැදගත්කම මෙන්ම අවිහිංසාව පදනම් කරගත් ශ්‍රී ලාංකික සංස්‌කෘතියේ අභිමානය ලෝකයට ප්‍රකාශ කිරීමටත් මෙවර ලෝක පරිසර දිනයේ දී අදිටන් කර ගනිමු.

එස්‌. එම්. චන්ද්‍රසේන
ගොවිජන සේවා හා වනජීවී ඇමැති

Post a Comment

0 Comments