මෙරටට ඕලන්දක්‌කාරයන්ගේ ආක්‍රමණ පැමිණීමත් සමග ඔවුන් විසින් රටේ අනෙකුත් ප්‍රදේශවල මෙන්ම ඌවේද වැව් අමුණු විනාශ කරමින් ප්‍රභූන්ගේ හා පන්සල් දේවාල සතු වස්‌තුව කොල්ල කමින් සිටි සමයේදී කතරගම දේවාලයද ඔවුන්ගේ ඇස ගැසීමට ප්‍රථම එවකට එහි සිටි කපුමහතුන් විසින් දේව ආභරණ හා දෙවියන් සතු වස්‌තුව සියඹලා දේවාලය පවතින ස්‌ථානයට රහසිගතව ගෙන ගොස් සඟවා ආරක්‍ෂා කර තිබේ.
එසේම මෙම ස්‌ථානය ආරක්‍ෂා කර රැකගැනීමේ භාරදූර කටයුත්ත බාරකෙරුණේ අයෝමය පුරුෂයෙක් මෙන් සවිශක්‌තිමත් කැබිලිත්තේ රාළ නම් රණ ශූරයකුටය. ඕලන්දක්‌කාරයන්ගේ තර්ජනය පහව යන තෙක්‌ම දේව වස්‌තු මෙම ස්‌ථානයේ සුරක්‌ෂිතව තිබී ඇත. පසුව ඒවා නැවත කතරගම දෙවොලෙහි තැන්පත් කෙරුණු අතර ඊට පසුවත් කුමන ප්‍රදේශයේ ගොවීහු තම ප්‍රථම අස්‌වැන්න නෙලාගෙනවිත් මෙම ස්‌ථානයේදී දෙවියන්ට පුද පූජා පවත්වා තිබේ. ඉතිහාස කතාවට අනුව කැබිලිත්ත පුදබිම බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවන්නේ එලෙසිනි.
නමුත් පමණ ඉක්‌මවා ලැබෙන්නාවූ ගෞරවය, ප්‍රසාදය වුවද යම් ලෙසක අහිතකර ලෙස බලපෑ හැකිය. ඕනෑම දෙයකට සීමා මායිම් තිබේ. මෙය ඕනෑම සාධකයකට පොදුවන්නාවූ සත්‍යයකි. ඉහත කී පරිදි අනාදිමත් කාලයක සිට බොහෝ දෙනෙක් දැන සිටි එහෙත් බොහෝ දෙනෙක් නොදැන සිටි මහ වන මැද නිස්‌කලංක පරිසරයක පිහිටි කැබිලිත්ත පුදබිමට අද අත්වී තිබෙන්නේ ඉතාමත් කනගාටුදායක ඉරණමකි. එදා මිනිසුන්ගේ දුකට පිහිටවූ කැබිලිත්තට මේ වනවිට නොහොබිනා මිනිසුන්ගේ සාපයෙන් මිදීමට නොහැකි තත්ත්වයක් උදාවී තිබේ. යහපත් මිනිසුන් වන දෙවියන්ට එකට කටයුතු කිරීම එතරම් අපහසු විය නොහැක. මන්ද දෙවියන්ට මිනිසාත් මිනිසාට දෙවියාත් අත්හැරිය නොහැකි බැවිනි. නමුත් චාරයක් නොමැති මිනිසුන් හා බොරු ජොලිකාරයන් සමග එකට සිටීමට තරම් දෙවියන්ට ආත්ම ශක්‌තියක් ඇත්දැයි අපට විමසීමට සිදුවී තිබෙන්නේ වර්තමානය වනවිට කැබිලිත්තට අත්වී ඇති ඉරණම නිසාය. මේ නිසාම කැබිලිත්තේ වැඩවාසය කරන්නාවූ දෙවි දේවතාවුන්හට ළඟදීම ස්‌ථාන මාරුවක් ලබාගන්නට සිදුවන බව නම් ඒකාන්තය. එය දැනටමත් සිදුවී තිබේ දැයි සැක හිතෙන තරමටම ප්‍රශ්නය උග්‍රවී තිබේ.
ඒ මහා පරිසර පද්ධතියක් නිසාය. නමුත් අද සිදුවන්නේ මේ වටිනාකම් කිසිවක් ගණන් නොගන්නා අය අතින් මේවා විනාශ වී යැමය.
මෙම විනාශයට එක් අතකින් සියලුම ජනමාධ්‍ය ආයතන වගකීම භාරගත යුතුය. පසුගිය කාලය දෙස විමසා බැලීමේදී මුද්‍රිත මාධ්‍ය වෙත එහි වැඩි බරක් පැටවී තිබේ. මන්ද හිටිහැටියේ කැබිලිත්ත රැල්ලක් ඇති කරනු ලැබුවේ ඔවුන් නිසා බැවිනි. එමනිසා අප සියලු දෙනාම මෙම චෝදනාවේ අඩුවැඩි වශයෙන් වගඋත්තරකරුවන් වී හමාරය. එසේනම් එය නිවැරැදි කිරීමේ විශාල කොටසටද කරගැසීමට සිදුවී තිබෙන්නේ අපටමය.
පසුගිය සමයේ ඇතිව තිබූ කැබිලිත්ත රැල්ලත් සමග අතිවිශාල ලෙස බැතිමතුන් එහි ඇදී එන්නට පටන්ගෙන තිබේ. මේ අතර සැබෑ බැතිමතුන් මෙන්ම ජොලිකාරයෝද අඩිකාරයෝද වෙති. මෙම පූජනීය වූත් නොකිලිටි වූත් නිහඬ නිස්‌කලංක භූමියට කණකොකා හඬන්නේ මෙම ජොලිකාරයන් හා අඩිකාරයන් නිසාය.
මෙය කතරගම දෙවිඳුන් භාවනායෝගීව සිටීම සඳහා යොදාගන්නා බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. භාවනායෝගීහු වැඩසිටින ආරාමයකට පමණක් නොව නිතර හුරු පුරුදු ගමේ පන්සලට යැමේදී පවා අප තුළ මහා සංවරයක් ඇතිවන්නේ කුඩාකල සිට වර්ධනය කරගත් හික්‌මීම හා සංසාර ගතව පුරුදු පුහුණු කරගත් කලකට ඉහතදී කැබිලිත්ත පුදබිම මෙරට ජනතාවට රහසක් නොවූවද මිනිසුන්ට එය වනසාලන්නට තරම් ආත්ම ශක්‌තියක් තිබුණේ නැත. ඒනිසා අද සිදුවී තිබෙන කිසිදු විනාශයක් එදා මෙම පුදබිමට සිදුවුණේ නැත. වසර තිහකට අධික කාලයක් මෙම ප්‍රදේශ වසාගෙන තිබුණු කුරිරු යුද සමයේද කැබිලිත්ත සුරක්‌ෂිත විය. නමුත් අද මෙන්ම එදාද කැබිලිත්තට බැතිමතුන්ගේ පැමිණීම සිදුවිය. නොපැමිණියේ ජොලිකාරයන් පමණි. ඒනිසාම අදට වඩා මෙහි පැමිණෙන ජනතාවට කැබිලිත්තේ ආරක්‍ෂාව රැකවරණය එදා ලැබුණු බව අත්දැකීම් ඇති අයගේ අදහසයි. නමුත් අද වන විට සිදුවී තිබෙන්නේ දෙවියන්ටද කාගේ හෝ පිළිසරණක් පැතීමටය. වසර සිය ගණනක් සිදුනොවූ තරමේ පාරිසරික හා සංස්‌කෘතික හානියකට ගතවූ මාස කිහිපය තුළ එක්‌වරම මුහුණ දීමට කැබිලිත්තට සිදුවී තිබේ.
වසර තිහකට අධික කාලයක් මෙරට වෙලාගෙන තිබුණු කුරිරු යුද්ධය නිමවීමත් සමග නිදහස සමග බිය සැක නොමැතිව සෑම අස්‌සක් මුල්ලක් නෑරම රිංගීමට පටන්ගත් ඇතැම් පිරිස් නිසා විනාශවන්නට පටන්ගත්තේ කැබිලිත්ත පමණක් නොවේ. එම අසීමාන්තික නිදහසේ හිරිහැර කරදර සෑම සමාජ පද්ධතියකම මෙන්ම සෑම පරිසර පද්ධතියකට ම විඳින්න සිදුවී තිබේ. සැබවින්ම කැබිලිත්ත අප විසින් රැකගත යුත්තේ එය පුදබිමක් නිසා පමණක්‌ම නොවේ. ජාතික උරුමක් ලෙස නම් කෙරුණු අධ්‍යාත්මය තුළින් දෙනු ලබන යම්කිසි පණිවුඩයක් නිසාය. නමුත් එලෙස අධ්‍යාත්මයෙන් හෝ හික්‌මීමෙන් දෙනු ලබන මෙහි පැමිණෙන ඇතැම් අයට නොවැටහෙන තත්ත්වයක් දැන් දැන් උදාවෙමින් තිබේ. එදා බැතිමතුන්ගෙන් ඇසුණු පිරිත් හඬ වෙනුවට අද ඇතැම් විටෙක මෙහිදී ඇසෙන්නේ බේබද්දන්ගේ හා තැන නොතැන තේරුම්ගත නොහැකි වුන්ගේ උසුළු විසුලුය. මත් වී මුමුණන ගී පදය.
යාල ජාතික වනෝද්‍යානයටත් කුමන ජාතික වනෝද්‍යානයටත් මායිම්ව ගලා බස්‌නා කුඹුක්‌කන් ඔය අසබඩ පිහිටා ඇති මහසියඹලා දේවාලය හෙවත් කැබිලිත්ත දේවාලයට අතීතයේ මෙන් බැතිමතුන් පැමිණෙනු ලැබුවේ මේ අසීමිත වූ භක්‌ති ආදරයකිනි. නිර්මාංශව නොකිලිටි ජීවිතයකට හුරු පුරුදුවී ඒ සඳහාම පේවී පැමිණි මේ ගමනේදී අඩුම තරමේ ඔවුන්
රැගෙන එනු ලබන මල් නටුවක් හෝ මෙහි දමා නොයැමට තරම් ඔවුන් පරීක්‍ෂාකාරී විය. නමුත් දැන් දැන් පැමිණෙන නොයෙකුත් මාදිලියේ කපුවන් හා කිසිදු ආගමකට දහමකට නොලැදි පුද්ගලයන් මෙහි අවට පරිසරය කුණුගොඩක් කිරීමේ කාර්ය මැනවින් ඉටුකරමින් සිටිති.
ප්ලාස්‌ටික්, වතුර බෝතල්, තැඹිලිකෝම්බ, පොලිතින්, දුම් ඇල්ලීමට ගන්නා උපකරණ, කෝප්ප, පිඟන්, කඩදාසි, කාඩ්බෝඩ්, පමණක් නොව අවශ්‍යනම් අරක්‌කු බෝතල්, වීදුරු, හට්‌ටි, මුට්‌ටි, මල්වට්‌ටි, කැඩුණු සෙරෙප්පු, සපත්තු ආදී මෙකී නොකී සියලු දේ මෙම භූමියේ තැන් තැන්වල දමා ගොස් තිබේ. මෙහෙම ගියොත් තව නොබෝ දිනකින් බැතිමතුන්ට අමතරව බෝතල්පත්තර එකතුකරන්නන්ද කුණුගොඩවල් එකතු කිරීමට මෙහි පැමිණෙනු ඇත.
බොහෝ දුරබැහැර සිට ඉතා අමාරුවෙන් කැබිලිත්ත සොයා "ෆන්" ගන්නට එන මහත්තුරුන්ගෙන් මෙන්ම "ෆන්" නෝනලාගෙන් ද කැබිලිත්තත් පරිසරයත් රැකගැනීමට සිදුවී තිබේ. නැතිනම් මෙය පුරුද්දට යැමට පුළුවන. අප මේ පවසන්නේ වන්දනාවේ පැමිණෙන සියලු දෙනා පිළිබඳව නොවේ. නමුත් එක් මකුණෙක් කෑ විට චෝදනාව එන්නේ සියලුම මකුණන්ටය. ඉතා ශ්‍රද්ධාවෙන් තම තමන්ගේ ඉතාමත් සාධාරණ සංවේදී අවශ්‍යතා මත පිහිටක් පැතීමට එන බැතිමතුන් බැතිමතියන් අතරම "ෆන්" ගැනීම සඳහාම එන ඇතැමුන් නිසා කැබිලිත්තේ අලුත් "ට්‍රෙන්ඩ්" එකක් ඇතිවීමට ඉඩ තිබේ. අවශ්‍ය වන්නේ එහෙම දෙයක් සිදුවීමට පෙර කැබිලිත්ත රැකගැනීමය.
"කිලි" සහිත දිනයන්හිදී ආගමික ස්‌ථානවලට නොයාම අතීතයේ පටන් කාන්තාවන් අතර පැවත එන සිරිතක් වුවද ඇතැම් විට මෙහි පැමිණෙන එවැනි කාන්තාවන් නිසා බැතිමතුන් අතරම යම් යම් වචන හුවමාරු හා ගැටුම් ඇති වූ අවස්‌ථාද දැනගැනීමට තිබේ. අනෙක් කාරණය නම් මෙහි පැමිණෙන ඇතැම් නෝනලාගේ ඇඳුම්ය. බොහෝවිට "ෆන්" ගැන්සිවලට අයත් නෝනලා නුසුදුසු ඇඳුමින් සැරසී සිටීමත් නුසුදුසු ඇඳුමින් සැරසී කුඹුක්‌කන් ඔයේ දියබුං කෙළීමත් සිරිතක් කරගෙන තිබේ. එම ඇඳුම් තිබෙන්නේ දියබුං ගැසීමට බව සැබෑය. නමුත් මෙවැනි ස්‌ථානයක දියබුං කෙළීම ඉතා සීරුවට මාරුවට සිදුකළ යුතු කටයුත්තකි. මෙහි දියබුං කෙළින නෝනලාද එම නෝනලාගේ මහත්තුරුද මේ ගැන ටිකක් කල්පනා කළ යුත්තේ එම නිසාය.
කැබිලිත්ත දේවාලය සඳහා කුමන ජාතික වනෝද්‍යානය ඔස්‌සේද, යාල ජාතික වනෝද්‍යානය ඔස්‌සේද, කතරගම ගල්ගේ අසලින්ද, කොටියාගල ප්‍රදේශයෙන්ද ප්‍රවේශ මාර්ග කිහිපයක් තිබේ. මේ කුමන මාර්ගයක් අනුගමනය කළද එය සිදුවිය යුත්තේ නියමිත නීතිමය ක්‍රියාපටිපාටියට අනුවය. එනම් ජාතික වනෝද්‍යානයකට ඇතුළු වන්නේ නම් ඒ සඳහා නියමිත අවසරය මත පිළිපැදිය යුතු නීතිමය ස්‌වභාවයට අනුව එම කටයුතු සිදුවිය යුතුය. ඇති හැකි අය සුඛෝපභෝගී රථවලින්ද නැතිබැරි අය ට්‍රැක්‌ටර් වැනි වාහන වලින්ද විශාල වශයෙන් පැමිණීමේදී වාහනයේත් සතාසීපාවාගේත් ආරක්‍ෂාව එහි සිටින නිලධාරීන්ට පමණක් සිදුකළ නොහැකි කටයුත්තකි. එම නිසා මේ සියල්ල රැකගැනීම බැතිමතුන්ගේ වගකීමක් හා යුතුකමකි. නමුත් ඇතැම් බැතිමතුන් පවතින නීති උල්ලංඝනය කරමින් කොටියාගල ඇතිමලේ ප්‍රදේශ වැනි නීති විරෝධී මාර්ග භාවිත කිරීම නිසා ඉහත කී සියල්ලගේම ආරක්‍ෂාවට තර්ජනයක් ඇතිවී තිබේ. මන්ද මේ හරහා දඩයක්‌කාරයන්, දැව සොරුන්, ජාවාරම්කරුවන්ටද පහසුවෙන් වනයට ඇතුළු විය හැකි බැවිනි. එමනිසා වනයට ඇතුළු වීමේදී ඒ සඳහා නියමිත අවසරය ඇති මාර්ග පමණක් භාවිත කිරීම බැතිමතුන්ගේ ද යුතුකම වුවත් ඇතැමුන් බලපුළුවන්කාරකම් පෙන්වා පවතින නීති උල්ලංඝනය කිරීම කනගාටුවට කරුණකි.
කෙසේ වෙතත් මේ සියලු උවදුරු වලින් හා බලපෑම්වලින් කැබිලිත්තත්, යාලත්, කුමනත්, සතාසීපාවත් අවසානයේ කැබිලිත්තට අරක්‌ගත් සියලු දෙවිදෙවතාවුන්ගේත් ආරක්‍ෂාව සඳහාම වගකිව යුතු උතුමන්ගේ සොයා බැලීම් ඉතා ඉක්‌මනින් සිදුවිය යුතු බව නම් කිව යුතුය.
රංග විදානේ
ඡායාරූප හා තොරතුරු සැපයීම
කේ. ඩී. දේවප්‍රිය
0 Comments