උණහපුළුවා සුරකින්න මධ්‍යස්‌ථානයක්‌

මිනිස්‌ වර්ගයා අයත් වන්නේ ප්‍රයිමාටා (Primata) නමැති වානර ගෝත්‍රයටය. මෙම ගෝත්‍රයේම සාමාජිකයකු වන උණහපුළුවා මේ වන විට ශ්‍රී ලංකාව තුළින් ශීඝ්‍රයෙන් වඳවී යැමේ තර්ජනයට ලක්‌ව ඇති බව රතු දත්ත ලැයිස්‌තුව (Red Data Book) මගින් අනතුරු අඟවා ඇත. 

එමනිසා උණහපුළුවා රැකගැනීම අප සතු වගකීමකි. උණහපුළුවා පරිසරයේ දායාදයකි. එවන් සත්වයෙක්‌ හඳුනා ගැනීම, වාසස්‌ථාන ආරක්‌ෂා කිරීම, වාසස්‌ථාන වැඩිදියුණු කිරීම අතිශයින් වැදගත්ය. ඒ සඳහා සංරක්‌ෂණ තොරතුරු මධ්‍යස්‌ථානයක්‌ පසුගියදා පිහිටුවනු ලැබීය. 

2012 ලෝක පරිසර දිනයට සමගාමීව පාදුක්‌ක, අරුක්‌වත්ත සදාහරිත උණ අරණ භූමියේ දී මෙම උණහපුළුවන් සංරක්‌ෂණ තොරතුරු මධ්‍යස්‌ථානය පිහිටුවා තිබේ.

සදාහරිත උණ අරණ භූමියේ තුරු වියන් අතර සහ පුස්‌වැලි ඔය ආශ්‍රිත පරිසරය වාසස්‌ථානය කරගත් රතු උණහපුළුවාගේ (Loris tardigradus) වර්ධනයක්‌ පසුගිය කාලයේ දී වාර්තා වී ඇත. 

දිවා කාලයේ අතුපතර සැඟව සිටින උණහපුළුවා රාත්‍රි කාලයේ දී ඔබ මොබ ගමන් කරයි. වානර පවුලට අයත් එකම නිශාචර සත්ත්වයා වන්නේ උණහපුළුවාය. ප්‍රයිමාටා  ගෝත්‍රයේ ප්‍රොසීමි  උප ගෝත්‍රයේ "ලොරිසිඩේ" (ඛදරසිසාae) පවුලේ සාමාජිකයකු වන උණහපුළුවන් විශේෂ දෙකක්‌ ශ්‍රී ලංකාවෙන් හමුවේ. ඒ අළු උණහපුළුවා  සහ රතු උණහපුළුවා  ය.

උණහපුළුවාගේ ශරීරය සිහින්ය. දිගැටිය. විශාල ගෝලාකාර නෙත් ඇත. මාපටඇඟිලි දිගුය. වළලුකර සිහින්ය. පාද දිගුය. ඒ උණහපුළුවාගේ ආවේණික ලක්‍ෂණය. අතුවල එල්ලීම පිණිස පාද ඉතා හොඳින් නිර්මාණය වී ඇත. මුහුණ අළු පැහැතිය. ඇස්‌ රතු, දුඹුරු පැහැයක්‌ ගනී. රතු උණහපුළුවාගේ මුහුණ රෝස පැහැයට හුරු රතු පාටකි. අළු උණහපුළුවා මිලිමීටර් 210 ක්‌ පමණ දිගය. රතු උණහපුළුවා මිලිමීටර් 120 ක්‌ පමණ දිගය. සිරුරේ බර අවුන්ස හතරක්‌ හෝ පහක්‌ පමණ වේ.

කුඩා කෘමීන්, පලතුරු, මල් වර්ග, බිත්තර, කොඳුඇට පෙළ සහිත කුඩා සතුන් උගේ ආහාරය ලෙස යොදා ගනී. උන් පැටවුන් බෝ කරන්නේ අප්‍රේල්, මැයි, ඔක්‌තෝබර් හෝ නොවැම්බර් මාසවලදී බව ඩබ්ලිව්. ඩබ්ලිව්. පිලිප්ස්‌ විසින් රචිත Manual of the Mammals of Sri Lankaකෘතියේ සඳහන් වේ. මෙරට බස්‌නාහිර පළාතේ වැඩිපුර ව්‍යාප්තියක්‌ පෙන්වන උණහපුළුවන් කොළඹ, ගම්පහ, බණ්‌ඩාරගම, මතුගම, කැස්‌බෑව, මඩපාත වැනි ප්‍රදේශවලින් හමුවේ. එමෙන්ම උතුරු පළාතේ වියළි වන පෙදෙස්‌වල මන්නාරම සිට යාපනය දක්‌වා වූ ප්‍රදේශවල විලච්චිය, තලාව, කැකිරාව, සීගිරිය වැනි ප්‍රදේශවලද උණහපුළුවා ව්‍යාප්ත වී ඇත.

උණහපුළුවා වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥ පනතට අනුව පූර්ණ ආරක්‌ෂිත සත්වයෙකි. උණහපුළුවන් ළඟ තබාගැනීම, විකිණීම, විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම, තුවාල කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි. එවැනි වරදක්‌ කරන්නෙකු වසර දෙකේ සිට වසර පහ දක්‌වා සිර දඬුවමක්‌ හෝ රුපියල් විසිදහසේ සිට පනස්‌දහස දක්‌වා දඩයකට හෝ එම දඬුවම් දෙකටම හෝ යටත් වේ. 

උණහපුළුවන් රැක ගැනීම සඳහා අංක 100/8, අමරසිංහ මාවත, අරුක්‌වත්ත, පාදුක්‌ක ලිපිනයේ සදාහරිත උණ අරණ භූමියේ පවත්වාගෙන යන සංරක්‌ෂණ තොරතුරු මධ්‍යස්‌ථානය ඉතා වැදගත් මෙහෙවරක්‌ සිදු කරති. 

සදාහරිත උණ අරණ නිර්මාතෘ ලෙස චන්දන මාඉටිපේ මහතා සහ සම්බන්ධීකාරක ලෙස සංස්‌කෘතික දෙපාර්තමේන්තුවේ ජිනප්‍රිය ගංගානාත් යන මහත්වරු ද කටයුතු කරති.

අජිත්  අලහකෝන්

Post a Comment

0 Comments