ලංකාවේ අපරාධ රැල්ල එදා සහ අද

දිනපතා ජනමාධ්‍ය තුළින් හෝ විද්යුත් මාධ්‍යයෙන් කවර හෝ අපරාධයක තොරතුරක්‌ අපට කියවන්නට අසන්නට ලැබෙයි. මේවා ඇතැම් විට ඉතා කෲර මෙන්ම ඉතා දරුණු ගණයේ අපරාධ වෙයි. මිනිස්‌ දැතකින් නොසිදුවිය යුතු මෙම ඝාතන රැල්ල එන්ඩ එන්ඩම වැඩිවීමේ ප්‍රවණතාවක්‌ ඇති බව ඒ ගැන අවධානය යොමු කරන්නෙකුට හොඳහැටි පැහැදිලි වෙයි. දරුණු අපරාධයක්‌ කළවිට එය වතුරේ එබූ රබර් බෝලයක්‌ සේ මතුවී එළිදරව් වන බව ප්‍රකට කාරණයකි. අපරාධ කරනවුන් මේ න්‍යාය නොදන්නවා විය හැක. අපරාධයක්‌ හෙළිදරව් වීමෙන් පසු එහි අලගිය වැලගිය හැමදෙයක්‌ම - හැම දෙනෙක්‌ම ජනතාව ඉදිරියේ සිටගනිති. එහිදී තරාතිරම් ගරු නම්බු සියල්ල සුළඟේ පාවී යයි.

අපට මතක ඇති අන්දමට හැත්තෑවේ දශකයට එහා කාලවකවානුව තුළ දරුණු ගණයේ අපරාධයක්‌ අසන්නට ලැබුනේ ඉතාමත් කලාතුරකිනි. ඒ වකවානුව තුළ ඉඳහිට සිදුවූ මිනීමැරුම් තොරතුරු නඩු වාර්තා ලෙස එකල පුවත් පත්වල පළ වූ වාර්තා නොකඩවා කියවීමට රටේ ඈත ගම්දනව්වල ජනී ජනයා පවා පෙළඹී සිටියහ. උදේ කඩපිල් අසලට රැස්‌වෙන ගැමි ජනයා එදා පුවත්පත්වල පලවී තිබුණු සතාසිවම් නඩුව ගොයම් කොලේට මුවාවී කළ මිනීමැරුම, කලත්තෑවේ මිනීමැරුම, ගාල්ලේ කුලරත්නනඩුව, හාරලක්‍ෂයේ මංකොල්ල නඩුව වැනි නඩු වාර්තා එදා ගැමියන් පවා කියවූයේ අද නොකඩවා බලන ටෙලිනාට්‍යයක්‌ ලෙසය. ඒ යුගයේ ජනයා ඒ නඩු වාර්තා ගැන අසා කම්පා වූවා මිස ඒවා අත්හදා බලන්නට ගිය බවක්‌ නොපෙනේ. එම යුගයේ ජනයා හැකි පමණ අපරාධවලින් වැළකී සීටීමට උත්සාහ ගත් බවත් පෙනෙයි.

71 වර්ෂයේ කවුරුත් දන්නා ඡේ. වී. පී. කැරැල්ල සමඟ එතෙක්‌ සමාජයේ මිනිසුන් තුළ පැවැති වටිනා සිතුම් පැතුම් උඩු යටිකුරු වූ බව සත්‍ය කරුණකි. ස්‌ථිරසාර පදනමක්‌ කළමනාකරණයක්‌ නැතිව රටේ බලය අල්ලන්නට වෙර දැරූ මංමුලා වූ පිරිසක්‌ දියත් කළ මේ කලබැගෑනියෙන් සිදුවූයේ මේ රටේ හිරිමල් වයසේ කොලුගැටයාගේ පටන් බුද්ධිය මුහුකුරා ගිය තරුණ තරුණියන් දහස්‌ ගණනක්‌ අකාලයේ මෙරටට අහිමි වීමයි.

කොහේ හෝ මිනීමැරුමක්‌ අපරාධයක්‌ ඇසූ පමණින් හූල්ලා දුක්‌වන මිනිසුන් සිටි අපේ රටට මේ කැරැල්ලෙන් පසු සිදුවූයේ එවැනි සංවේදී මිනිසුන්ගේ හදවත් අකර්මණ්‍ය වියළී යැමයි. හැත්තෑව දශකයෙන් පසු මේ තත්ත්වය එන්ඩ එන්ඩම වැඩිවර්ධනය වුණාමිස සංහිඳියාවක්‌ ඇතිවූයේ නැත. එයින් පසු නිරන්තරයෙන් මිනීමැරුම්, අපරාධ කණ වැකෙන සමාජයකට අපේ රට වැසියන්ට ගෙවදින්නට සිදුවිය.

හැත්තෑව දශකයේ ඒ සිද්ධිදාමයෙන් පසු 83 ජූලි කලබලය, 89 නැවත ඡේ. වී. පී. අරගලය හා ඊට පසු උතුරේ ප්‍රභාකරන් ඇරඹූ ජන ඝාතන රැල්ල මේ රටේ අපරාධවලට බොහෝ සෙයින් පිටිවහල් වූ බව හඬනඟා කිවයුතු නැත. උතුරේ යුද්ධය නිමාවීමෙන් පසු රට පුරා පැතිරුණු ආයුධ සංස්‌කෘතිය කිසිදු ක්‍රමයකින් නිවාරණය කිරීමට රජය අපොහොසත් වී ඇත. ඕනෑම අපරාධයක්‌, මංකොල්ලයක්‌ සඳහා ඔ 56 අවිය අනිවාර්ය වී ඇත. එය අවශ්‍යතා අනුව සපයා ගැනීම ඉතා පහසු වී ඇත. වෙඩි තබා ඝාතනය කළ බොහෝ තැන්වල තිබී හමුවන්නේ ඔ 56 හිස්‌ පතුරන්ය. මේ ආයුධ බොහෝ අවස්‌ථාවල දේශපාලකයන්ගේ මාර්ගයෙන් ඔවුන්ගේ හිතවත් අනුගාමිකයන් අතට පත්වෙයි. ඒ හැරෙන්නට පාතාලය සතුව ඕනෑම අවශ්‍යතාවකට මේ ආයුධ සුරක්‍ෂිතව ඇත. මෙය උතුරු නැගෙනහිරත් දකුණෙත් ප්‍රසිද්ධ රහසකි. අනවසර ආයුධ රජයට භාරදෙන ලෙස මොන නියෝග කළත් ආරක්‍ෂා වන තැන්වල ඒවා සුරක්‍ෂිතව පවතී.

මේ තත්ත්වය මත රටේ සිදුකරන අපරාධ කෙසේ නම් වළක්‌වාලිය හැකිද? අපරාධයක්‌ සිදුවූ ඇතැම් අවස්‌ථාවල දේශපාලයකුගේද නමක්‌ ඇඳී තිබීම හාස්‍යයට මෙන්ම පුදුමයටද කාරණයකි. ජනතා නියෝජිතයන් වශයෙන් කවර තරාතිරමකින් පත්වූවත් ඔවුන්ගේ කාර්යභාර්ය විය යුත්තේ ජනතා සේවයයි. එහෙත් එයින් පරිබාහිරව ධනය හා බලය පසුපස හඹායන විට ඔවුන්ට මේ අවි ආයුධ ද අත පොත නොගා බැරිවෙයි. මේ නිසා අද මුළු රටම අප්‍රසන්න කලු වලාවකින් වැසී ඇත.

ජනතා සේවය සඳහා පුද්ගලයන් තෝරා ගන්නා විට පක්‍ෂයට හෝ නායකයාට හිතවත් බව පමණක්‌ සාධකය කොට ගැනීම මේ මහා විපතට මූලික හේතුවයි. ලංකාවේ සෑම දේශපාලන පක්‍ෂයක්‌ම හැඩගැසී ඇත්තේ "කොක්‌කෙන් හෝ කෙක්‌කෙන්" යන නියායෙන් ජයග්‍රහණය කිරීමයි. එතනදී පුද්ගල ගුණාත්මක බව හෝ ජනතා හිතෛෂීභාවයක්‌ ගැන ඔවුන්ට අවශ්‍ය නැත. අද රටට සිදුවී ඇති භයානකම විපත මෙය බව කවුරුත් පිළිගන්නා කරුණකි.

අපරාධ මර්දනයේදී පොලිසියේ කාර්යභාරයද විශේෂයෙන් විමර්ශනය කළ යුතුය. පොලිසිය යනු මේ රටේම පුරවැසියන් ජීවත්වීම සඳහා තෝරාගත් එක්‌තරා රැකියාවකි. රටේ සිවිල් ආරක්‍ෂාව සඳහා මේ පිරිස සිදුකරන සේවය අපහාසයටත්, උපහාසයටත් නිරන්තරයෙන්ම ලක්‌වන බව කිවයුතුයි. රටක පොලිසියක්‌ මේ තත්ත්වයට පත්වීමට හේතුසාධක කීපයක්‌ ඇති බව රට වැසියන් වශයෙන් අපි කවුරුත් තේරුම් ගතයුතුය.

මෙරට හැඩගැසී ඇති ආකාරයට ඔහු දේශපාලකයාට අවනත විය යුතුය. නිතරම ඔහු සතුටු කළ යුතුය. එසේ නොවුනහොත් ඔහුට සිදුවන්නේ දුෂ්කර ප්‍රදේශයකට ස්‌ථාන මාරුවකි. යම් රාජකාරියක්‌ ඉක්‌මනින් කරවාගැනීමට අපේ මහ ජනතාවද ඇතැම් විට පොලිසියට යම් සංග්‍රහයක්‌ කරයි. පෝළිමක්‌ නම් පෝළිමේ ඉන්න බැරි මිනිහා එය මුදල් වලින් කරගැනීමට බලයි. හොරකම් කරන රජයට සම්බන්ධ ලොක්‌කෙකු නම් මුදල් මාර්ගයෙන් ඔහුගේ රාජකාරි කරගනියි. ලක්‍ෂ ගණන් වැටුප් ලබන මේ රටේ ලොකුම ලොකු අය වැටුප මෙන් දෙතුන්ගුණයක අල්ලස්‌ ලබා ගත්තත් ඒවා කිසිදිනක ජනතාවට හෙළිනොවන ලෙස කටයුතු යෙදෙයි. පොලිස්‌ කොස්‌තාපල්වරයෙක්‌ රුපියල් පනහක්‌ සීයක්‌ අල්ලස්‌ ලෙස ලබාගතහොත් ඔහු සිටුවා පස්‌ ගසන්නට මුළුරටම යෝජනා කරයි.

තත්ත්වය මෙලෙස නම් පොලිසිය නරක්‌කොට ඇත්තේ කවුරුන්ද? පොලිසිය මේ තත්ත්වය හැඩගස්‌වා ඇත්තේ කවුරුන්ද? පොලිසියෙන් යුක්‌තිගරුක සේවයක්‌ ලබාගන්නට නම් සේවය ලබාගන්නා අයද යුක්‌තිගරුක විය යුතුයි.

මේ හැරෙන්නට රටේ එදිනෙදා සිදුවන මිනිස්‌ ඝාතන මහා පරිමාණ සොරකම්, කුඩා සොරකම් කුඩු ව්‍යාපාර, ස්‌ත්‍රී දූෂණ, ළමා අපචාර ආදී නොයෙක්‌ අපරාධ සොයා බලන්නේ විමර්ශනය කරන්නේ පොලිසියයි. දේශපාලන අතක්‌ නොපොවන තැන පොලිස්‌ පරීක්‍ෂණ ඉතා කාර්යක්‍ෂම මෙන්ම නිවැරදි ද වෙයි. අද සිදුවී ඇති මේ දේශපාලන අතපෙවීම් පිළිකාවක්‌ වී මුළු සමාජ දේහය පුරාම ඔඩුදුවා ඇත. ඇතැම් පොලිස්‌ පරීක්‍ෂණ දේශපාලන බලපෑම නිසා ඇල්මැරුණු තත්ත්වයට පත්ව ඇත. දේශපාලන අවශ්‍යතාව මත ඒ සියල්ල සිදුවෙයි. ඝාතන පමණක්‌ නොව කෞතුකාගාර සොරකම ගැනද ජනතාව අතර ඇත්තේ මෙවන් හැඟීමකි. මේ රටේ සෞඛ්‍ය ඇමැතිවරයා පසුගිය දිනක තමන්ගේ සමගාමී ඇතැම් ඇමැතිවරු ගැන හොඳ සහතිකයක්‌ ලබාදුන් බව කාටත් මතක ඇත.

මහජනතාවගේ බදු මුදලින් සුඛෝපභෝගි ජීවිත ගත කරන අපේ මැති ඇමැතිවරුන්ට මේ රටේ සිදුවන අපරාධ මැඬලීමට හෝ ඊට සරිලන වැඩපිළිවෙළක්‌වත් සැකසීමට නොහැකිව ඇත්තේ ඒ පිළිබඳව ඔවුන් තුළ හැඟීම් මාත්‍රයක්‌වත් නොමැති නිසාය. අපරාධ අධිකව සිදුවන ප්‍රදේශවල ආගමික සිද්ධස්‌ථාන මූලික කොටගෙන ජනතාව ඒකරාශී කොට විවිධ වැඩසටහන් දියත්කොට ඒ මගින් මිනිසුන්ගේ සිත් සතන් අපරාධ වලින් වළක්‌වාගැනීමේ වැඩපිළිවෙළක්‌ අවශ්‍යනම් අපේ බුද්ධ ශාසන අමාත්‍යාංශයට වුවත් කළ හැකිය. එවැනි අදහසක්‌ හෝ යෝජනාවක්‌වත් ඇති බවත් පෙනෙන්නට නැත.

මේ හැරෙන්නට විද්යුත් මාධ්‍ය තුළින් අපරාධ මැඬලීමේ වැඩසටහන් ඉදිරිපත් කළහැක. අවුරුද්ද පුරාම ගායකයන්, නර්තකයන් බිහිකරන, දවසේ වැඩි කාලයක්‌ ටෙලි නාට්‍යම විකාශනය කරන මෙම රූපවාහිනී නාලිකා වලින් සතියකට වරක්‌ හෝ, මිනිස්‌ ඝාතන, සොරකම්, අපරාධ හා නීතියට පටහැනි වීමේ ආදීනව පෙන්වන පැය භාගයක හෝ ටෙලිනාට්‍යයක්‌ ජනතාවට දැකගන්නට විකාශනය කෙරේ නම් එයද ජනතා සිත් සංවර කිරීමට පිටිවහලක්‌ වනු ඇත. ඒ වගේම ජන විඥනයට කාවදින දේශන මගින්ද මේ ඉතිරී පැතිරීයන අපරාධ රැල්ල මැඬපවත්වා ගැනීමේ හැකියාව ඇත. ඕනෑම රටක ලොකු කුඩා සියලු ජනතාව නීතිවිරෝධී දැ "අපරාධ" ලෙස සලකා කටයුතු කරන aනේ නම් ඒ රටේ සමාජය සන්සුන් ප්‍රබුද්ධ සමාජයක්‌ වනු නොඅනුමානය.

අරුණ ශාන්ත එරමිණිගම්මන

Post a Comment

0 Comments