හිංසනයට එරෙහි ස්‌ත්‍රි භූමිකාව

ස්‌ත්‍රිය පිළිබඳව ගොඩනැඟී ඇති සමාජ කතිකාවත මෙන්ම ස්‌ත්‍රියකට මේ සමාජයේදී මුහුණ පෑමට සිදුවන අමිහිරි සිදුවීම්ද බහුලය. ස්‌ත්‍රියක කුඩා හෝ වැඩිමහලු යෑයි කියා වෙනසක්‌ නැත. ළාබාල දැරියකට පවා මේ සමාජ ක්‍රමයේදී මුහුණ පෑමට සිදුවන ව්‍යසන, කරදර, හිරිහැරවල නිමක්‌ නැත. පුරුෂ කේන්ද්‍රීය සමාජ ක්‍රමයේදී සෑම විටකදීම ස්‌ත්‍රියකට අසරණවීමට සිදුවේ. ඇතැම් අවස්‌ථා පුරුෂාධිපත්‍යය නිසා මෙන්ම පුරුෂාධිපත්‍යය ආකල්ප දරන වෙනත් ස්‌ත්‍රීන් නිසාද ස්‌ත්‍රියක අසරණ වියහැකි අවස්‌ථාවන් බහුලව දැකගත හැකිය. මේ සමාජ ක්‍රමය සකස්‌ව පවතිනුයේ පුරුෂයාගේ ආධිපත්‍යය තහවුරු කර තැබීම සඳහාමය. මේ සඳහා ඉතා සියුම් ස්‌ථර ක්‍රියාත්මක වේ. සමාජයක ආගමික, සංස්‌කෘතික, වෘත්තීයමය ආදී විවිධ ක්‍ෂේත්‍රයන්හි ව්‍යාප්තව පවත්නා යම් යම් පිළිගැනීම් සකස්‌ව පවතිනුයේ එබඳු ස්‌ථානවල අධිකාරි බලය මුළුමනින්ම පුරුෂභාවය මත පැවරෙන පරිදිය. එසේම විවාහ සංස්‌ථාව, පවුල් සංස්‌ථාව ආදී සමාජ සංස්‌ථා මුළුමනින්ම සකස්‌ව පවතිනුයේ පුරුෂාධිපත්‍යය තහවුරු කෙරෙන අයුරිනි. 

මෙකී සංස්‌ථාවකට හා ක්‍ෂේත්‍රයකට පිවිසෙන ස්‌ත්‍රියකට මුලින්ම සිදුවනුයේ මේවායේ පවතින පුරුෂාධිපත්‍යය සුරැකීමටය. එම වගකීම සමඟ එම ක්‍ෂේත්‍රයේ ඇයට හිමි සමාජ තත්ත්වය තහවුරු වීමට නම් අදාළ පුරුෂාධිපත්‍යය පවත්වා ගෙන ඒමේ කටයුත්ත පවා පැවරෙනුයේ එබඳු සංස්‌ථාවකට හෝ ක්‍ෂේත්‍රයකට පිවිසෙන ස්‌ත්‍රියකටය. ඒ කාර්යභාරය මනාව ඉටුකළ යුත්තේ සිය ස්‌ත්‍රිත්වය පාවාදී බව ගැඹුරින් විමසා නොබලන ඕනෑම විටක නොහැඟේ. තමාව පීඩනයකට නතුකරන සිය කායික ශ්‍රමය සූරාකන ඇතැම් විටකදී ලිංගික ශ්‍රමය පවා කැපකිරීමට සිදුවන පුරුෂාධිපත්‍යය රැකීම තම වගකීම වන අවස්‌ථාවලදී ස්‌ත්‍රියකට තමාට හිමි වටිනාකම හෝ සිය අනන්‍යතාව යන දෙකින් එකක්‌ අනිවාර්යයෙන්ම කැපකිරීමට සිදුවේ. ඇතැම් ස්‌ත්‍රීන් තමා සතුවූ ස්‌ත්‍රී අනන්‍යතාව මුදල් හෝ සමාජ මට්‌ටම හෝ තනතුර වෙනුවෙන් කැපකිරීමට දක්‌වන අකැමැත්ත නිසා ඔවුන්ට සමාජයේ ප්‍රබල ස්‌ථානයකට පිවිසීමට නොහැකි වන බව දක්‌නට ලැබේ. මීට වඩා වෙනස්‌ ආකාරයකට කල්පනා කරන ස්‌ත්‍රීන්ද මේ සමාජයේදී දැකගත හැකිය. ඔවුන් බොහෝවිට තමා ඉතා දැඩි ලෙස ආශා කරන වෘත්තීය මට්‌ටමට හෝ සමාජ මට්‌ටමට පැමිණීමේදී ස්‌වකීය අනන්‍යතාව 

රැකගැනීම වෙනුවට ඊට ප්‍රතිවිරුද්ධ අනන්‍යතාව වූ පුරුෂාධිපත්‍යය තහවුරු කිරීමට පෙළඹේ. ඒ අය එසේ කළද සිය හෘද සාක්‍ෂිය නිරතුරුව ඊට ප්‍රතිවිරුද්ධව ක්‍රියාකිරීමට දක්‌වන අභිරුචිය අනුකූලව යළි කුමන හැඩතල ගෙන හෝ එබඳු ස්‌ත්‍රියකගේ හෘද සාක්‍ෂියේ සැබෑ ප්‍රතිරූපය කරළියට පැමිණෙනු ඇත. මෙහිදී සැබැවින් සිදුවනුයේ එබඳු ස්‌ත්‍රියකට තවදුරටත් රැකගත යුතු හෝ තහවුරු කරගත යුතු සමාජ මට්‌ටම් හෝ වෘත්තීය මට්‌ටම් නොමැතිවූ විටකදී එනම් එබඳු ස්‌ත්‍රියකගේ මනදොළ තෘප්තිමත්වී ඇති විටකදී පුරුෂාධිපත්‍යය තවදුරටත් සුරක්‍ෂිත කිරීමේ අවශ්‍යතාවක්‌ නැතිව යැමයි. එවිට එබඳු ස්‌ත්‍රියක්‌ වෙහෙස දරනුයේ මෙසේ තමා දිගුකලක්‌ ඉතා ආයාසයෙන් රැකගෙන පැමිණි අවංක බවේ හෘද සාක්‍ෂිය වහාම පිටතට දැමීමටයි. ඒ ස්‌ත්‍රීන් පසුකාලයකදී තමාට අහිමිවූ සිය අනන්‍යතාව වර්තමානයේ ලැබූ සමාජ තත්ත්වය මතදී ගොඩනගා ගැනීමට දරන පරිශ්‍රමය ඇය සිය හිමිකම යටපත් කරගෙන විසීම නිසා අත්පත්ව තිබූ පීඩාවේ ප්‍රමාණය විදහා පෙන්වයි. මේ තත්ත්වය ස්‌ත්‍රිය මූලිකත්වය දරන විවිධ විෂය ක්‍ෂේත්‍රයන්හිදී මනාව දැකගත හැකිය. මුලදී තමාට සිදුවූ හිංසනයට සෙසු ස්‌ත්‍රීන්ද ගොදුරුවීම වැළැක්‌වීමට මෙබඳු ස්‌ත්‍රීහු දැඩි වෑයමක්‌ ගනිති.

යම් ආයතනයක හෝ යම් ස්‌ථානයක සේවයේ නිරතව සිටින හෝ වෙසෙන කිසියම් ස්‌ත්‍රියක්‌ ස්‌ත්‍රියක සතු යෑයි සමාජය විසින් ඇයව අර්ථකථනය කර ඇති ස්‌වරූපය වූ භාවභාව ලීලා නොමැතිව පුරුෂයකු සතු යෑයි බාහිර සමාජය විසින් එසේම අර්ථකථනය කර ඇති පුරුෂ ස්‌වරූපයකින් කටයුතු කිරීම පිණිස සිය සැබෑ ස්‌ත්‍රි අනන්‍යතාව සඟවා ගනු ලැබූ ස්‌ත්‍රියකගේ බාහිර ස්‌වරූපය ව්‍යාජයක්‌ ලෙස සැලකිය හැකිය. එබඳු අවාසනාවන්ත අවස්‌ථාවකට වෘත්තීය අවශ්‍යතා මත පොළඹවනු ලැබූ ස්‌ත්‍රීහු සැබැවින්ම චිත්ත අභ්‍යන්තරයෙන් පීඩනයකට පත්වෙති. තමාට ස්‌වකීය අනන්‍යතාව රැකගෙන කටයුතු කිරීමේ අවශ්‍යතාව ඇතත්, වෘත්තීය කටයුතුවලට ප්‍රමුඛ ස්‌ථානයක්‌ ලබාදිය යුතු බැවින් තාවකාලිකව වුවද ඇගේ අකැමැත්ත බාහිර සමාජයෙන් සඟවාගෙන ආරූඪ කරගත් පුරුෂ ගතිලක්‍ෂණ අනුව ක්‍රියා කිරීමට ඇතැම් ස්‌ත්‍රීන්ට සිදුවේ. එබඳු ස්‌ත්‍රීන්ගේ කායික හා මානසික ස්‌වරූපය අනුව ඉතාම පහසුවෙන් මෙබඳු ස්‌ත්‍රීන් හඳුනාගත හැකිය. ඇතැම්විට ස්‌ත්‍රියකගේ බාහිර ඇඳුම්, පැළඳුම්, හැසිරීම් රටාව පවා පුරුෂ ස්‌වරූපකට අනුවර්තනය කොට සිය පැවැත්ම තහවුරු කරගැනීමට මෙබඳු ස්‌ත්‍රීන්ට සිදුවේ. ස්‌ත්‍රී ස්‌වභාව ලාලිත්‍යවත් යන්නේ අදහස ස්‌ත්‍රියක්‌ සෑම විටකදීම කෝමළ ස්‌වරූපයෙන් කල්හැරිය යුතු බව නොවේ. එසේම මින් අදහස්‌ වනුයේ සැබෑ ස්‌ත්‍රියකට නම් එබඳු භාවභාව ලීලා තිබිය යුතුම යෑයි යන ආකල්පයද නොවේ. එය යම් ස්‌ත්‍රියකගේ ජීව විද්‍යාත්මක හැඩතලය විය හැකිය. මන්ද ස්‌ත්‍රියක සක්‍රීය වීමට බාහිරින් නිරූපණයවනුයේ ඇයගේ ජීවවිද්‍යාත්මක හැඩයටම අනන්‍ය වන ස්‌වරූපයකින් වීමයි. සමාජයේ තදින්ම මුල්බැස ඇති පුරුෂ කේන්ද්‍රීය සමාජ තහංචි බිඳහෙළා සිය අනන්‍යතාව තහවුරු කරගැනීම පිණිස වෑයම් කරන ස්‌ත්‍රියකට ඇතැම් අවස්‌ථාවලදී නිසර්ග ස්‌ත්‍රී ස්‌වභාවය වූ කෝමළ බව බාධාකාරී විය හැකිය. එබඳු අවස්‌ථාවලදී අවස්‌ථානෝචිතව උපක්‍රමශීලී ලෙස සිය බාහිර අනන්‍යතාව සමාජ ආකල්පවලට සරිලන ලෙස සකස්‌ කරගැනීමට පවා ස්‌ත්‍රීන්ට සිදුවේ. නූතන සමාජය තුළ බෙහෙවින් ව්‍යාප්තවන ඇඳුම් මෝස්‌තර හා රූපලාවන්‍ය ක්‍රමවල දැකගත හැකි කැපී පෙනෙන පැහැදිලි වෙනසකට ප්‍රධානතම හේතුව මෙය බවට අනුමාන කළ හැකිය. ස්‌ත්‍රියකගේ සිරුරේ විද්‍යමානවන ජීවවිද්‍යාත්මක හැඩතල වඩාත් කැපී පෙනෙන අයුරින් උත්කර්ෂයට නැංවීමෙන් එක්‌වර සමාජ අවධානය එබඳු ස්‌ත්‍රියක්‌ වෙත පහසුවෙන් නතුකර ගත හැකිය. මෙය ස්‌ත්‍රියක සමාජයේ අඩු අවධානයට පාත්‍රවීම වෙනත් ස්‌වරූපයකින් ලබාගැනීමේ පියවරකි. පිරිමියකුට සමාන විලාසිතා කිරීම, එබඳු වෘත්තීන්හි නිරත වීම, රිය පැදවීම, අනම්‍යශීලී පෞරුෂයකින් යුක්‌තවීම වැනි සාධක අනුගමනය කිරීමෙන් සිය ස්‌ත්‍රී ස්‌වරූපය මකාදැමීමට පවා ඇතුම් ස්‌ත්‍රීහු කැමැති වෙති. පුරුෂාධිපත්‍යය එරෙහිවීමට වඩා පුරුෂාධිපත්‍යට සංකේතාත්මකව පිළිගැනීම සමාජයෙහි සෙසු ස්‌ත්‍රීන්ට නැති සමාජ පිළිගැනීමක්‌ ලැබීමට මෙබඳු ස්‌ත්‍රීහු අපේක්‍ෂා කරති. බොහෝවිට මෙබඳු අය විධායක තනතුරු වැනි සමාජ මට්‌ටම්වලදී දැකගත හැකිය. ඔවුන්ට අනුව තමා ස්‌ත්‍රියකවීමේ ඇති ගැටලු සෙසු ස්‌ත්‍රීන් මෙන් බාහිරව ප්‍රදර්ශනය නොකරතත්, හෘද සාක්‍ෂියට එකඟව කටයුතු කිරීමේදී ස්‌ත්‍රියකට ආවේණික පොදු සමාජ සම්මත පිළිගැනීමට වඩා අඩුවන අවස්‌ථාවලදී එය ඇයට තරමක ගැටලුවකි. සමාජ තත්ත්වය, ඉහළ වෘත්තීය පසුබිම නිසා ඇතැම් අවස්‌ථාවලදී එබඳු ස්‌ත්‍රීන්ට හිමිව ඇති සෙසු ස්‌ත්‍රීන්ට සාපේක්‍ෂ ඉහළ සමාජ පිළිගැනීම පවුල් පසුබිම හා විවාහ සංස්‌ථාව තුළ එලෙසම නොලැබීම නිසා එම පිළිගැනීම විකල්ප අවස්‌ථා භාවිත තුළින් සොයා යැමට පවා ඇතැම් අවස්‌ථාවල එබඳු ස්‌ත්‍රීන් පෙළඹිය හැකිය. එය ස්‌ත්‍රිත්වයට ආවේණික චපලබව හෝ වෙනත් දොaෂ දර්ශි ස්‌වරූපයක්‌ නොවේ. පිරිමියකුට වුවද මෙබඳු මනෝභාවයකට පත්විය හැකිය. එවිට එවැනි පිරිමියකු අතින් පවා මෙබඳු සේ සිදුවිය හැකි බව දැකගත හැකිය. උසස්‌ සමාජ මට්‌ටමක වෙසෙන සෑම ස්‌ත්‍රියකම මෙලෙස ක්‍රියාකරතැයි මින් අදහස්‌ නොවේ. ඉතා දැඩි දරිද්‍ර ජීවන මට්‌ටමක පසුවන ස්‌ත්‍රීන් අතින් පවා මෙබඳු දුබලතා ප්‍රදර්ශනය විය හැකිය. එබඳු ස්‌ත්‍රීන් එසේ සිදුකරන්නේද ඇයට පවුල් පසුබිම හෝ විවාහ සංස්‌ථාව තුළ හිමි නොවන පිළිගැනීම ලබාගැනීමට අන්මඟක්‌ නොමැතිවීම හා ඉච්ඡාභංගය නිසා හටගත් අවමානසිකත්වය මත විය හැකිය.

ප්‍රදර්ශන කාමය, මිල මුදල්, සමාජ තත්ත්වය වැනි සාධක ඉදිරියේ සිය ස්‌ත්‍රී සිරුරේ කායික හැඩතල රිසිසේ වාණිජ පරමාර්ථ අවශ්‍යතාව පිණිස ලබා දීමට පවා ඇතැම් ස්‌ත්‍රීsන් නොපැකිළෙන්නේ එමඟින් ලබාගත හැකි යෑයි ඔවුන් විසින් උපකල්පන කරන දේ ලැබිය හැකි වෙනස්‌ විකල්ප මාර්ග ඔවුන්ට නොපෙනීම නිසාය. එබඳු ස්‌ත්‍රීන් විසින් අපේක්‍ෂා කරන ප්‍රදර්ශන කාමය තෘප්තවීම, මිල මුදල් සමාජ තත්ත්වය වැනි දේ ලැබීම පමණකින් සෑහීමකට පත්විය හැකි බවක්‌ පුහුදුන් මනුෂ්‍ය සිත්වලට ඇතිනොවේ. පුහුදුන් මනුෂ්‍ය ස්‌වභාවය නිරතුරු ලැබූ දෙයින් සෑහීමට පත්නොවීමයි. නොලැබූ දේ පසුපස ලුහුබැඳ දිව යන ස්‌වරූපයක්‌ පුහුදුන් මනුෂ්‍ය සිත්වල ඇත. මිනිසත් බවේ ආවේණික දුබලතාව ස්‌ත්‍රියක වූ පමණින්ම අහෝසි නොවේ. අවසානයේදී සිදුවනුයේ ප්‍රදර්ශන කාමය, මිල මුදල්, සමාජ තත්ත්වය වැනි දේ ඉක්‌මවා අතෘප්තකර ස්‌වභාවය ලියලා යැමයි. කාම ආශාවේ නිම්තෙර ඉක්‌මවූ බව එබඳු ස්‌ත්‍රියකට වැටහෙන විට ඇයට වියයුතු සෑම දෙයක්‌ම සිදුවී හොඳ නම නැති වී සමාජයේ අප්‍රසාදයට පත්වී අවසානය. අධික ආශාවත්, ආවේගශීලීත්වයත් ස්‌ත්‍රියක්‌ විෂයෙහි හොඳ දේ නොවේ. නුවමනා අවස්‌ථාවලදී ආවේගශීලී ලෙස හැසිරීම නිසා ස්‌වභාවයෙන් සමාජයෙන් ස්‌ත්‍රියක්‌ හට ලැබී ඇති මාතෘ ගෞරවයට පවා හානි සිදුවීමට ඉඩතිබේ. සෑම ස්‌ත්‍රියක්‌ තුළම මවුපදවිය දැරීමේ හැකියාව, සම්භාවිතාව ගැබ්ව ඇත. එයට හානි නොපැමිණෙන ලෙස ක්‍රියාකිරීම ස්‌ත්‍රියක සතු වගකීමකි. නූතනයේ බොහෝවිට දැකගත හැකි දෙයක්‌ නම් සාම්ප්‍රදායික සමාජයේ ස්‌ත්‍රියකට තිබූ ගෞරවය පිළිගැනීම බිඳ දැමීමට ඉඩ ඇති ඇතැම් ක්‍රියාකාරකම් පවා නවීන විලාසිතා අනුගමනය කරන ස්‌ත්‍රීන් විසින් සිදුකර ගැනීමයි.

ස්‌ත්‍රියකට අයත් යෑයි පුරාණ සමාජය විසින් පැවරුණු කටයුතුවලට පරිබාහිරදේ පවා නූතනයේ ස්‌ත්‍රීන් විසින් සිදුකරන අයුරු දැකගත හැකිය. පිරිමින්ගේ සින්නක්‌කර අයිතියට සිරවී තිබූ ක්‍ෂේත්‍රයන්හි පවා ස්‌ත්‍රීන් විසින් ස්‌වකීය ආධිපත්‍යය ක්‍රමානුකූලව තහවුරු කර ගනිමින් කටයුතු කරනු පෙනේ. එබඳු අවස්‌ථාවලදී ස්‌ත්‍රියකගේ ස්‌ත්‍රී භූමිකාව එවන් කටයුතුවලට බාධාකාරීවී නැතිබව පැහැදිලි වේ. මෙය ස්‌ත්‍රිය විසින් බොහෝ වෙහෙසෙක්‌ දරා අත්පත් කරගත් දෙයක්‌ මිස නිරායාසයෙන්ම ඇයට හිමිවූවක්‌ නොවේ. ස්‌ත්‍රිය මතවාදීව ආකල්පවලින් ශක්‌තිමත් වීම තුළ ඇයව අවභාවිත කිරීමෙන් වැළකිය හැකි අවස්‌ථාවක්‌ තිබේ. බොහෝවිට සිදුවනුයේ විවිධ හේතු නිසා ස්‌ත්‍රියක අවභාවිතයට ගැනීමේ අවස්‌ථා මතුකර ගැනීමට පුරුෂ කේන්ද්‍රීක සමාජය විසින් දරන වෑයමට ස්‌ත්‍රිය ගොදුරු වීමයි. මෙය සංස්‌කෘතික, සාමයික, සමාජයීය හා දේශපාලනික වශයෙන් සිදුවිය හැකිය. මේ සෑම ක්‍ෂේත්‍රයකදීම පුරුෂ කේන්ද්‍රීය සමාජ ස්‌වරූපය මතුව පැමිණීමට ස්‌ත්‍රියව මෙවලමක්‌ කරගැනීම විනා ස්‌ත්‍රියට සාධාරණය ඉටුකරදීමේ කිසිදු අවස්‌ථාවක්‌ දැක ගැනීමට නොලැබේ. සැබැවින්ම ස්‌ත්‍රිය සවිමත් විය යුත්තේ සෘජුවම ස්‌ත්‍රියට එරෙහිව සමාජයේ මතුවන ඇතැම් ආකල්පවලට පමණක්‌ මුහුණදීමට නොවේ. බාහිරින් ප්‍රකටව ප්‍රදර්ශනය නොවන එහෙත් සියුම්ව විවිධ සංකේත ස්‌වරූපයෙන් අභ්‍යන්තරගතව පැමිණෙන යටිඋගුල්වලින් ගැලවී කටයුතු කිරීමට තරම් නූතන ස්‌ත්‍රිය සවිමත් විය යුතුමය. මෙහිදී පුරුෂ කේන්ද්‍රීය මතවාදී යටිඋගුල් ක්‍රියාත්මක වනුයේ පිරිමින් මඟින් පමණක්‌ නොවේ.

විවාහය, පවුල් සංස්‌ථාව තුළ ස්‌ත්‍රීන් නිසාද ඇතැම්විට ස්‌ත්‍රියකට අසාධාරණකම්වලට මුහුණපෑමට සිදුවිය හැකිය. එබඳු අවස්‌ථාවකදී පියා, සහෝදරයා, සැමියා, පුතා ආදී භූමිකා දරමින් ස්‌ත්‍රියට සිදුවන එබඳු අසාධාරණකම්වලදී පිහිටට පැමිණෙන්නේද පිරිමි අයම විය හැකි බවද අමතක නොකළ යුතුය. ස්‌ත්‍රියකට සමාජ අසාධාරණකම් සිදුවන අවස්‌ථාවල කාරුණික අදහසින් යුතුව පිහිටට පැමිණෙන පිරිමි මේ සමාජය තුළ බහුලව සිටිති. ස්‌වල්ප දෙනකු නිසා ස්‌ත්‍රීන්ට සිදුවන අකටයුතුකම් නිසා බහුතර එබඳු කාරුණික පිරිසටද සිදුවනුයේ ලොකු නින්දාවකි. මේ නිසා ස්‌ත්‍රිය විෂයේ සමාජ ආකල්ප නිවැරැදි කිරීමේදී සෑම පිරිමියකුම ස්‌ත්‍රි පීඩකයකුය යන ආකල්පය දැරීම 

වැරැදි බව වටහාගත යුතුය. සමාජය ආකල්ප වලින් දැනුවත් වෙත්ම, නිවැරැදි දේ පිළිබඳව වැටහීම සියලු දෙනාතුළ ඇතිවේ. එය ස්‌ත්‍රියකගේ භූමිකාව පැත්තෙන් ඇයට විශාල සාධාරණයක්‌ ඉටුවීමකි. පිරිමි තුළ මෙන්ම ස්‌ත්‍රින් තුළ ද ස්‌ත්‍රියක සතුවූ අයිතිය හා වගකීම පිළිබඳව දැනුවත්භාවය තිබීම වැදගත්ය. පශ්චාත් කාර්මිකකරණයේ අනිසි බලපෑම් සිදුවන කාලවකවානුවලදී සමාජයේ බොහෝ අංශ බිඳ වැටීම ලෝකයේ සෙසු රටවලදීද සිදුව තිබේ. එය සැලකිල්ලට ගෙන බුදුදහමේ සම්පර්කය ලැබූ සංස්‌කෘතියක්‌ ඇති රටක ජනතාව ලෙස වඩා මිනිස්‌කම වඩාත් හොඳින් ඔප් නැංවෙන පරිදි ක්‍රියාකිරීමේ වගකීම අප සෑම දෙනාටම පැවරෙන බව සිතිය යුතුය.

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ

Post a Comment

0 Comments