බලාගෙනයි අම්මේ ඔබේ දුවයි පුතයි

පාසල්වල ඇතැම් ක්‍රීඩා පුහුණුකරුවන්ගෙන් දරුවන්ට ලිංගික අපයෝජන සිදුවන බවට පැමිණිලි ලැබී ඇතැයි ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මිය මාධ්‍යයට හෙළිදරව් කළාය. ඒ අනුව ක්‍රියාත්මක වෙමින් සැකකරුවන් කිහිපදෙනකු අධිකරණය හමුවට යොමු කළ බව ද ඇය කීවාය. පසුගිය දිනවල අම්බලන්ගොඩ ප්‍රධාන පෙළේ පාසලක ශිෂ්‍ය භට පුහුණුකරු විසින් වසර කිහිපයක්‌ තිස්‌සේ පාසල් දරුවන් 7 දෙනකු විටින් විට අපයෝජනය කර ඇති බව වාර්තා විය. ඉතාම මෑතකදී අපට අසන්නට ලැබුණේ එක්‌තරා ජිම්නාස්‌ටික්‌ පුහුණුකරුවකු පුහුණුකිරීම් අතරවාරයේදී ගැහැනු දරුවන්ට ලිංගික අතවර සිදු කරන බවයි.

මේ හෙළිදරව් වූ ආසන්නතම සිද්ධීන් දෙකක්‌ වුවත් මෙවැනි සිදුවීම් පිළිබඳව නඩු විභාග, නිල හා නිල නොවන ආරංචි, පැමිණිලි ඕනෑතරම් තිබේ. ඉදිරියේදීවත් එවැන්නක්‌ වළක්‌වා ගන්නට පාසල් ගුරුවරුන්, විදුහල්පතිවරුන්, දෙමව්පියන්, දරුවන් ක්‍රියා කළ යුත්තේ කෙසේද? යන්න පිළිබඳව ඇස්‌ ඇරවීමටය. අපේ රටේ දරුවන් සම්බන්ධයෙන් ජාතික වගකීමක්‌ ඇති ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියේ සභාපති නීතිඥ අනෝමා දිසානායක මහත්මියගෙන් අපි පළමුව කරුණු විමසීම් කළෙමු. "අද බොහෝ නාගරික පාසල්වල ගුරුවරු නොවන පිටස්‌තරයන් පුහුණුකරුවන් වශයෙන් පාසල්වලට ඇතුළුවී සිටිනවා. දෙමව්පියන්ගේ, ගුරුවරුන්ගේ, විදුහල්පතිවරුන්ගේ ආශිර්වාදය ඇතුව පාසලෙන් මුදලක්‌ උපයමින් එවැනි පුහුණුකරුවන් දරුවන්ට සමීප වෙනවා. හැමෝම නොවුණත් ඇතැම් පුහුණුකරුවන් කිසිම හික්‌මීමක්‌, විනයක්‌ නැති අය නිසා ඔවුන් අපට පුහුණුවීම් සඳහා යොමුවන දරුවන්ට නොයෙකුත් අතවර දරුවන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව සිදුවෙනවා. වයස අවුරුදු 18 ට අඩු දරුවකුට කැමැත්ත ඇතුව හෝ නැතුව හෝ ලිංගික අපයෝජනයක්‌ සිදු කිරීම අපේ රටේ නීතිය හැටියට බරපතළ වරදක්‌ වුණත් මෙවැනි දෙයක්‌ නීතියේ රැහැනට හසුවන පුද්ගලයන් නීතියේ ඇති යම් යම් දුර්වලතා නිසා නිදහස්‌ වෙනවා. නැවතත් ඔවුන් දරුවන් අතරට ගොස්‌ ඒ වරදම තවත් හොඳින් කරගෙන යනවා. පාසල්වල බහුතරයක්‌ ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට අවශ්‍ය වන්නේ පාසලට ජයග්‍රහණ වැඩිකර ගනිමින් තමන්ගේ පාලන කාලයේදී පාසල කීර්තිමත්ම හා ජයග්‍රාහී පාසලක්‌ බවට පත්කර ගැනීමයි. දරුවන්ට හෙණ ගැහිලා ගියත්, සමහර විදුහල්පතිවරුන්ට ඒකෙන් වැඩක්‌ නැහැ. වැරදි ක්‍රියාවක්‌ සිදුකර අහුවුණොත් මහා ලොකුවට කරන්නේ අදාළ ළමයාව පාසලෙන් අස්‌කරලා ඒ ළමයාගේ අධ්‍යාපනයයි, ජීවිතයයි, මුළු අනාගතයමයි විනාශ කර දැමීම පමණයි.

ඊළඟට මේ රටේ අම්මලා මේ තරම් මෝඩද කියලා මට අනේක වාරයක්‌ හිතෙනවා. නන්නාඳුනන අයව විශ්වාස කරලා ඇටෙන් පොත්තෙන් එන්නත් කලින් අපේ පුංචි මල් කැකුළු වගේ පිවිතුරු දරු පැටවුන්ව ජිම්නාස්‌ටික්‌, නැටුම්, ගායන, පිහිනුම් කිය කියා බලහත්කාරයෙන් දක්‌කගෙන යනවා. ඒ දරුවන්ට ළමා කාලය එක්‌ පැත්තකින් අහිමි වෙලා යද්දී වයසට ඔරොත්තු නොදෙන දේවලින් පීඩාවට පත්වෙනවා. පුංචි ළමයි ටෙලිවිෂන් එකේ නටද්දී, සිංදු කියද්දී අම්මලා ප්‍රේක්‌ෂකාගාරයේ ඉඳගෙන සතුටු වන හැටි දැක්‌කාම මගේ පපුව පත්තු වෙනවා. මේ අම්මලා මේ තරම් අඥාන දැයි කියලා හිතෙනවා. ජිම්නාස්‌ටික්‌ වගේ ක්‍රීඩාවකට ගැහැනු දරුවන් යොමුකරවීම මම නම් පෞද්ගලිකව අනුමත කරන්නේ නැහැ. ඒ ක්‍රීඩාව ඇඟ අත පත ගාන්නේ නැතුව පුහුණු කරන්න අමාරුයි. කොහේවත් යන මිනිහෙකුට කියලා ඇතැම් විට සල්ලිත් දීලා දරුවාගේ ඇඟපත අතගාවන්න දෙන්නේ මොන හිතකින්ද? අනික අවුරුදු 11 ත් 18 ත් අතර දරුවන්ගේ ඇඟ පත අතගෑම නොකළ යුතු බව මනෝවිද්‍යාඥයන් පෙන්වා දෙනවා. ඔවුන්ගේ ලිංගික උත්තේජනය ඇතිවන ඒ කාලය ස්‌පර්ශය හානිකරයි. මෙහෙමත් මෝඩ දෙමව්පියෝ ඒවා බලාගෙනත් ඉන්නවා. දරුවන් ක්‍රීඩා, සෞන්දර්ය විෂයකට යොමුවිය යුතු බව ඇත්තයි. ක්‍රීඩාව දරුවෙකුගේ පෞරුෂ වර්ධනයට, ශරීර සෞඛ්‍යයට අත්‍යවශ්‍යයි. හැබැයි විනයක්‌ තියෙන නියම පුහුණුකරුවන් යටතේ එම පුහුණුවීම් කිරීමට තරම් විශ්වාසනීය පසුබිමක්‌ අපේ රටේ තියෙනවාද කියලා දහස්‌ වරක්‌ වැඩිහිටියන් කල්පනා කළ යුතුයි." බස්‌නාහිර පළාතේ හෝමාගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ති සමරසිංහ මහත්මියගෙන්ද අපි මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළෙමු. "මගේ පාසල මිශ්‍ර පාසලක්‌. මම මීට පෙර බාලිකා පාසල්වල උප විදුහල්පති කෙනෙකු හැටියට රාජකාරි කර තිබෙනවා. විදුහල්පතිවරයෙක්‌ හැටියට අපේ මූලිකම අරමුණ දරුවන්ගේ කුසලතාවලට අවස්‌ථාවක්‌ ලබාදීමයි. එවැනි අවස්‌ථාවක්‌ උදෙසා පිටස්‌තරව පුහුණුකරුවන් ලබා ගැනීමට සිදුවෙනවා. එම පුහුණුකරුවන්ට දරුවන්ව භාර දීමේදී මම නම් පාසලේ ගුරු මණ්‌ඩලයේ ගුරුවරයන්ව ඒ ඒ ක්‍රීඩාවන් සඳහා යොදවනවා. ගැහැනු දරුවන් පුහුණු කිරීම්වලදී අනිවාර්යයෙන්ම ගුරුවරියක්‌ව පුහුණු කිරීම් කාලය පුරා එම ස්‌ථානයේ නිරීක්‍ෂණය කරමින් රඳවා තැබීමට මම කටයුතු කරනවා. මොකද යම්කිසි දෙයක්‌ වුණාට පස්‌සේ පසුතැවෙනවාට වඩා එවැනි දෙයක්‌ සිදුවීමට ඇති ඉඩකඩ අහුරාලීමට ගුරුවරුන්, විදුහල්පතිවරුන් වගේම දෙමව්පියනුත් වගකිව යුතුයි. මම කවදාවත් දරුවාගේ වගකීම් පිටස්‌තර පුහුණුකරුවන්ට භාර දෙන්නේ නැහැ. ඒත් එක්‌කම විෂය බාහිර කටයුතු කරන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැනත් මම විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒකෙ ප්‍රතිඵලය තමයි මගේ පාසලේ ක්‍රීඩා නායිකාව උසස්‌ පෙළ ඒ තුනක්‌ අරගෙන විශ්වවිද්‍යාලයට ගියා. විෂය බාහිර කටයුතු දරුවන්ට කරවන්න ඕනෑවන්නේ දරුවා පූර්ණ පුරවැසියෙක්‌ බවට පත්කරවීම උදෙසායි."

ජිම්නාස්‌ටික්‌ ක්‍රීඩාව මෙරට ව්‍යාප්ත කිරීම උදෙසා මහත් පරිශ්‍රමයක්‌ දැරූ දක්‌ෂ ජිම්නාස්‌ටික්‌ ක්‍රීඩිකාවක වූ ද ජිම්නාස්‌ටික්‌ පිළිබඳ ව්‍යාපෘති නිලධාරිනියක වූ ද ක්‍රීඩා විද්‍යායතනයේ ලේඛකාධිකාරී මෙන්ම ජිම්නාස්‌ටික්‌ ජාතික පුහුණුකාරිනියක ලෙස ද කටයුතු කළ පත්මා බැද්දේවෙල මහත්මිය ජිම්නාස්‌ටික්‌ ක්‍රීඩාවට පුහුණුකරුවන් තෝරා ගැනීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පැහැදිලිs කළාය.

"අද ඇතැම් පාසල්වල එක එක්‌කෙනාගේ ඇඳුනුම්කම්වලට නොයෙකුත් ක්‍රීඩා සඳහා පුහුණුකරුවන් අඩු මිලට ගන්නවා. ඒ අයගේ නියම සුදුසුකම් පරීක්‍ෂා කරන්නේ නැහැ. විනය පිළිබඳ සෙවිල්ලක්‌ නැහැ. හොඳ පුහුණුවක්‌ තියෙන පරිණත අය ගන්න ඕනේ. නොමේරූ ළාබාල අය පුහුණුකරුවන් හැටියට පාසල් පද්ධතියට ඇතුළත් කර ගන්න නරකයි. සමහර දෙමාපියන් උත්සාහ කරනවා තමන්ගේ ළමයා බලහත්කාරයෙන් මෙවැනි ක්‍රීඩාවලට යොමුකරවන්න. ළමයාගේ ශරීර සෞඛ්‍යය, දැරීමේ හැකියාව ගැනත් පූර්ව නිගමනයක්‌ කරන්නේ නැතුව මෙවැනි තීරණාත්මක ක්‍රීඩාවලට දරුවන්ව විශේෂයෙන්ම ගැහැනු දරුවන්ව යොමු නොකළ යුතුයි."

ක්‍රීඩා, වෛද්‍ය සීවලී ජයවික්‍රම මහතා සමඟ අපි කතාබහ කළේ පාසල් දරුවෙකු ක්‍රීඩාවකට යොමුවීමේ වාසි සහ අවාසි පිළිබඳවයි.

"ඕනෑම ක්‍රීඩාවක්‌ වයස අවුරුදු දෙකේ තුනේ ඉඳලා පුහුණු වෙනවා නම් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම පාසල් දරුවෙක්‌ කුමන හෝ ක්‍රීඩාවකට, සෞන්දර්යය විෂයයකට යොමුවිය යුතුයි. දරුවා සමබර දරුවෙක්‌ වෙන්නේ එවිටයි. හැබැයි සමහර ක්‍රීඩා සමහර දරුවන්ගේ ශරීරයේ යම් යම් උප්පත්ති ඌනතාවලට නුසුදුසු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජිම්නාස්‌ටික්‌, කැඩෙටින් වගේ ඒවා හැමෝටම කරන්න බැහැ. ඒ තෝරාදීම දෙමව්පියන් හා පාසල් ගුරුවරුන් විසින් කළ යුතුයි. මොන ක්‍රීඩාවට දරුවන්ව යොමු කළත් අදාළ පුහුණුකරු සහතික ලත්, විෂය හොඳින් ප්‍රගුණ කළ, සුදුසුකම් සපිරූ පුහුණුකරුවෙක්‌වීම නම් අත්‍යවශ්‍යයි. එසේ නොවුණොත් පුහුණු කරන ඉරියව්, ව්‍යායාම් ආදියෙන් වගේම විනය අතිනුත් දරුවන්ට හානියක්‌ වෙන්න පුළුවන්. "සංකීර්ණ විෂම ලෝකයේ මිනිස්‌කමක්‌ නොදන්නා කාමයෙන්, දූෂණයෙන්, පීඩනයෙන් ඔද්දල්වූ මනසක්‌ ඇති ළෙන්ගතුකමක්‌ නැති ශරීර කූඩුවලින් උතුම් දරු පරපුර රැක ගැනීමේ භාරධූර වගකීම දෙමව්පියන් බරපතළ ලෙස භාරගත යුතුයි. මෙවන් කාලයක දරුවාගේ මනස නොතළා ශරීරයට උපද්‍රවයක්‌ද නොවන පරිදි සමබර පිරිපුන් ගුණගරුක දරුවකු සමාජගත කිරීම අතිශය සූක්‍ෂම ක්‍රියාවලියක්‌ බවට පත්ව තිබේ. ඇසිල්ලකින් මේ සියල්ල බිඳ වැටෙන නිසාම දයාබර අම්මේ ඒ ඇසිල්ලට ඉඩ නොදෙනු මැන.

තුෂාරී කළුබෝවිල

Post a Comment

0 Comments