හල්දුම්මුල්ල ඖෂධ උයන ජාතියේ සම්පතකි

ශ්‍රී ලංකාවේ පිහිටි පේරාදෙණිය, හග්ගල ආදී උද්භිද උද්‍යානවලට සමගාමීව හල්දුම්මුල්ල ජාතික පර්යේෂණ ඖෂධ උද්‍යානය ආසියාවේ විශාලම ඖෂධ උද්‍යානය වශයෙන් ගණන් ගෙන තිබේ. 

ඉතාමත් නිසල ශාන්ත පරිසරයක අක්‌කර 65 ක පමණ බිම් තීරුවක ස්‌ථාපිත කර තිබෙන මේ පරිසර හිතකාමී අලංකාර උද්‍යානය නැරැඹීමට දැන් ආයුර්වේද දෙපාර්තමේන්තුව සියලුම පහසුකම් සලසා ඇත.

මෙම ස්‌ථානය කොළඹ බදුල්ල මහා මාර්ගයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් බත්ගොඩ 184 වැනි කිලෝමීටර් කණුව අසල පිහිටා තිබේ. 1984 වසරේදී මුලින්ම පැල තවානක්‌ වශයෙන් ආරම්භ කළ මේ ස්‌ථානය ගොඩනැඟීම කෘෂි විද්‍යාඥ පියල් මාරසිංහ මහතාගේ මෙහෙය වීමෙනි. 

මේ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක වනසත්ව අරමුදල ආයුර්වේද දෙපාර්තමේන්තුවට ආධාර කර ඇති බවට වාර්තා වේ. 

මෙහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ඖෂධ පැළෑටි පිළිබඳ පර්යේෂණ කිරීම, වඳවී යන පැළෑටි සංරක්‍ෂණය කිරීම, පැළෑටි ගැන හදාරන්නන්ට සහාය වීම, දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට ප්‍රදර්ශනය කිරීම, දුර්ලභ පැළෑටි ගැන අවබෝධයක්‌ ලබාදීමය. 

මෙම උද්‍යානය ඒ, බී, සී, ඩී, ඊ යනුවෙන් කලාප 5 කට බෙදා ඇති අතර ඒ කලාපය තුළ ස්‌වභාවික වනාන්තරයක්‌ද, ඊ කලාපය තුළ දැනට සංවර්ධනය කර තිබෙන කොටසද, එහි මනා ලෙස ඖෂධ පැළ වගාකර තිබෙන්නේ බී, සී සහ ඩී කොටස තුළය. 

මේ වන විට වඳවී යැමේ තර්ජනයට පත්ව තිබෙන ශ්‍රී ලංකාවේ වටිනා ඖෂධ පැළෑටිද, විසිතුරු පැළෑටිද මෙතෙක්‌ හඳුනා නොගත් පැළෑටි වර්ගද මෙහිදී දැක බලාගත හැකිය. 

ඉතාමත්ම සෞම්‍ය වනාන්තර කොටසට අයත් මුහුදු මට්‌ටමේ සිට මීටර් 1000 කට වැඩි මේ ස්‌ථානය අතරමැදි කාලපයට අයත් වේ. 

මේ නිසාම ශ්‍රී ලංකාවේ වැවෙන ඕනෑම පැළෑටියක්‌ මෙම ස්‌ථානයේ හොඳින් වැවෙන ප්‍රවනතාවයක්‌ තිබේ. 

රතු කහ ෙµdඩිසෝල්, රතු දුඹුරු පස සහ අපරිනත ලොම් පස මෙම භූමියේ තිබෙන අතර ඖෂධීය ශාක බී කලාපයේ 61 ක්‌ද, සී කලාපයේ 157 ක්‌ද, ඩී කලාපයේ 56 ක්‌ද වගාකර තිබේ. 

මේ වන විට සියලුම ඖෂධීය පැළ වර්ග 274 ක්‌ දැක ගැනීමට හැකිය. 

ඒකාවේරිය, සංජීවනී, විෂකුම්භා, අඳු, නගාමැරූ අල, මූනමල්, සුදු හඳුන්, රත් හඳුන්, බිම් කොහොඹ, භූමි චම්පා, ගොඩ මානෙල්, තිත්ත අගුන වැනි දුර්ලභ පැළෑටි මෙහිදී හඳුනාගත හැක.

පරිසර හිතකාමී කිසිම රසායනික පොහොර, කෘමිනාශක නොයාදා වගා කරන මේ ස්‌ථානය ඖෂධ ගස්‌ සෙවණ යටතේ ඉතා හොඳ වාතාශ්‍රයක්‌ තුළ මඳ වේලාවක්‌ හෝ රැඳී සිටින්නට හැකි වේ නම් එය මහඟු වාසනාවක්‌ කොට විදෙස්‌ සංචාරකයෝ සළකති. 

උතුරෙන් හපුතලේ කන්ද, ඉදල්ගස්‌හින්න කන්ද, කොටුගොඩැල්ල කන්දයි. නැගෙනහිරෙන් මොනරාගල දිසාවත්, බටහිරෙන් රත්නපුර දිසාවත්, දකුණෙන් තිස්‌ස, හම්බන්තොට, උඩවලව දිසාවත් හොඳින් නැරැඹිය හැකිය.

රාජ්‍ය සේවයේ සිටින අයට නවාතැන් ගැනීමට සංචාරක බංගලාවක්‌ද, 48 දෙනකුට නවාතැන් ගත හැකි නේවාසිකාගාරයක්‌ද, ඇඳන් 20 සහිත ශාලාවක්‌ද, ආහාර පිළියෙල කර ගැනීමට මුළුතැන්ගෙයක්‌ද, 100 කට අසුන් ඇති දේශන ශාලාවක්‌ද විශාල පැළ තවානක්‌ද, හරිත ගෘහද, දැල් ගෘහද, වීදුරු ගෘහද කාර්යාලය හා නිල නිවාසවලින් මෙම ස්‌ථානය අංග සම්පූර්ණව පවතී.

සංචාරකයන්ට අලෙවි කිරීමට පැළ වර්ග විශාල වශයෙන් තවාන්කර තිබෙන අතර 

නැරැඹීමට පැමිණෙන සංචාරකයන්ට මාර්ගෝපදේශන මෙන්ම පැළ හඳුන්වාදීමද නිරන්තරයෙන් මෙහි සේවා නියුතුවන් මගින් සිදුකරනු ඇත. 

තවද සමනලුන්, කුරුල්ලන්ද මෙම ඔසු උයනේ නිරන්තරව ගැවසෙන අතර ඔවුන් පිළිබඳවද දැනීමක්‌ මෙහිදී ලබාගත හැක. 

මේ ස්‌ථානයේ සුන්දරත්වය විඳින්න නම් වරක්‌ හෝ පැමිණිය යුතුය. කිසිදු මුදලක්‌ දැනට අය නොකරනු ඇත. තම රටේ ස්‌වභාවික සම්පත්වල වටිනාකම මෙම අලංකාර ඖෂධ උද්‍යානය නැරැඹීමෙන් පසක්‌ වන බව නම් ඉඳුරා කිව හැක.

ඡායාරූප හා සටහන
හල්දුම්මුල්ල එස්‌. සෙනෙවිරත්න

Post a Comment

0 Comments