මිහිලිය හැඩකල පාරිසරික සිත්තම තෙත්බිම්

මේ එළැඹී ඇත්තේ ස්‌වභාවදහමෙහි නිහඬ මෙහෙවරෙහි අගය වැඩිමනත්ම කතාබහට ලක්‌වන කාල වකවානුවකි. මන්දයත් මිනිසා ප්‍රමුඛ සියලු සත්වයන් හට අතීතයට සාපේක්‍ෂව වර්තමානයේදී මුහුණදීමට සිදුවී ඇති ස්‌වාභාවික විපත් මුල් වූ හදිසි ආපදා තත්ත්වයන් විවිධාකාර වෙති. ජල ගැලීම්, නාය යැම්, අම්ල වැසි, නියඟ ආදී වූ සියලුම ස්‌වාභාවික විපත්තීන් හමුවේ මිනිසා ප්‍රමුඛ සමස්‌ත ජීවී ප්‍රජාවම අසරණව හිඳිති. මෙකී පාරිසරික විපත්තීන් සිදු වනුයේ එකී මිනිසා මුල් වූ ජීවින්ටද සමසේ බෙදී ගිය සොබාදහමෙහි නියතීන්, මිනිසා විසින්ම අනිසි ආකාරයට වෙනස්‌ කිරීමට තැත් කිරීම නිසාවෙන් නොවන්නේද ?

"සොබාදහමින් මිනිසාගේ අවශ්‍යතාවන් සපුරා ගත හැකිය. එනමුදු මිනිසාගේ අසීමිත වූ කෑදරකම නිසාවෙන් අවශ්‍යතාවන් සංතෘප්ත කළ නොහැකිය." යනුවෙන් මහත්මා ගාන්ධිතුමා පවසා ඇත්තේද සොබා දහමෙහි උතුම් නිමැවුම වන මිනිසා විසින් අයුක්‌ති සහගතව අවතීර්ණ වී සිටිනා ගෝලීය සංවර්ධනයේ අතුරු විපාකයන් භුක්‌ති විඳිනු ලබනුයේත් පරිසරයේම කොටසක්‌ වන මිනිසාමය යන පූර්විකාවට ඉඟියක්‌ ලබා දෙමිනි.

නව වසරේ ආරම්භයට සමගාමීව එළැඹෙන පෙබරවාරි මස 02 වැනි දිනයට යෙදෙන "ලෝක තෙත් බිම් දිනය" සමස්‌ත ලෝකවාසීන්ගේ අවධානය සොබාදහම වෙතට යොමු කළ යුතු සහ යොමු කළ හැකි දිනයක්‌ වශයෙන් ද හැඳින්විය යුතුය. මෙවර ලෝක තෙත් බිම් දිනය අර්ථ ගන්වා ඇත්තේ "තෙත් බිම් අපේ අනාගතය සඳහා ය" යන තේමාව යටතේය. එනම් තෙත් බිම් කළමනාකාරිත්වය අනාගතය උදෙසා සිදු කරනා මහඟු ඉතිරියක්‌ද වනු ඇත.

සාමූහික ජීවන රටාවකට පිළිපන් ආදීවාසීහු තම අවශ්‍යතා සියල්ලක්‌ සොබාදහමට අනුකූලව "තමන් අයිති පරිසරයටය" යන න්‍යායෙහි පිහිටා කටයුතු කළ බවට අතීතයේ වත - ගොත පිරික්‌සීමෙන් පසක්‌ කර ගත හැකි වෙති. සොබාවික වස්‌තූන් දේවත්වයෙන් පිදූ ඔවුහු ඉර - සඳු - තාරකා මුල් කරගත් ගුප්ත විශ්වයටත්a, ජලය, ජලය මූලික කරගත් ඇළ, දොළ ගංගාවන්ටත්, සෙසු පාරිසරික මූලයන්ටත් දේවත්වයෙන් වන්දනාමාන කළහ. පාරිසරික සංඝටකයන් ආරක්‍ෂා කිරීම තුළින් තම සනුහරේ පැවැත්ම සහතික වන බව ඔවුහු ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කරගත්හ.

අදින් වසර 6000 කට පමණ පෙරදී ස්‌ථිර ජනපද ගොඩනගා ගත් ආදිවාසීහු ස්‌වකීය මුල් ශිෂ්ටාචාර නයිල් නිම්නය, ඉන්දු නිම්නය, යුප්‍රටීස්‌ - ටයිගී්‍රස්‌ නිම්නයන් ආදී වූ තෙත් බිම් ආශ්‍රිතව ගොඩනගා ගනිමින් ශේ්‍රෂ්ඨතම ශිෂ්ටාචාරයන් බිහි කළහ. ජනාවාස ව්‍යාප්තියට බලපාන මූලිකම සිද්ධාන්තයන් වන තමන් ජීවත් වන ප්‍රදේශයේ වැසි රටාව, ජලය, භූමියේ පිහිටීම ආදිය පිළිබඳවත් සැලකිලිsමත්ව ගොඩනගා ගත් ජනපද වැසියෝ, වනාන්තර, පැළෑටි, මල්, විවිධ සතුන් ස්‌වකීය අවශ්‍යතා සඳහා භාවිතයට ගත්හ. පාරිසරික සම්පත් මත යෑපී ඔවුහු ඇළ දොළ ගංගා පමණක්‌ නොව කලපු, මුහුදු, සාගර ආශ්‍රිත මසුන් ආදියද සොයමින් තම පරිභෝජනය සඳහා යොදා ගන්නා නමුදු ජනපද ව්‍යාප්ත වත්ම අවශ්‍යතා සංකීර්ණ විය.

ශ්‍රී ලාංකේය ඉතිහාසය ගවේෂණයේදී ජනාවාස ගත ජන කාණ්‌ඩ දෙකක්‌ ගංගාධාර තෙත් බිම් පරිසර පද්ධතීන් ඇසුරේ ජනපද ඉදිකරගෙන ජීවත් වූ බවට පැහැදිලි සාක්‍ෂි හමුවෙති. මහවැලි, මල්වතු, කලාඔය, වලවේ නදී නිම්න ආශ්‍රිතව යක්‍ෂ ගෝත්‍රික ජනතාවත්a ජනපදවාසීහු වූහ. විජය කුමරුන්ගේ ලංකා ගමනයෙන් ඉනික්‌බිතිව විජය ඇතුළු සහපිරිවර ද මල්වතු ඔය දිගේ යමින් සුදුසු තැන්හි ස්‌ථාන ගත වෙමින් ජනාවාස පිහිටුවා ගත්හ. මෙකී රාජධානියේ අගය වටහාගත් ඔවුහු ගොවිතැනට බට අතර සත්ව පාලන කටයුතුවල ද නිරත වෙමින් තෙත් බිම් ඇසුරේ තම ජීවිකාව ගෙන ගියහ. 

අනතුරුව "අහසින් වැටෙන එක දිය බිඳවකුදු, නිස්‌කාරණයේ මුහුදට ගලා යැමට ඉඩ නොදෙමු....." යන පඬිවදනේ අරුත් පසක්‌ කරලමින් "වැව" නමැති නවමු නිර්මාණය ගොඩනැඟීමට මුල පිරීය. ඒ හරහා වර්ෂා ජලය වැවට රැස්‌කොට අවැසිතාව මත ප්‍රවාහන ඇළ මාර්ගයන් ඔස්‌සේ වැසි දිය ස්‌වකීය උපාය - උපක්‍රම මල්ඵල ගන්වමින් විවිධ ස්‌ථාන කරා ගෙන ගියහ. ලෝ වැසියෝ මේ පුංචි රට සතු තෙත් බිම් ජනපදයන්හි ජල කළමනාකරණ වාපී සංකල්පය පිළිබඳව මවිත වූහ.

හදහස්‌ හසිය පණහක්‌ තුන්ලක වැව්ය

දෙපණස්‌ ලක්‍ෂ හැත්තෑ දහසක්‌ කෙත්ය

තුදුස්‌ ලක්‍ෂ සූ සැටක්‌ බැඳි ඇළ වල්ය

අනූ දෙකෙළ විසි ලක්‍ෂය මුල් බිජුය

- මන්දාරම් පුවත 

අතීත මුතුන් මිත්තන්ගේ කෘෂිකාර්මික ජීවන රටාව තුළ ගොඩනැඟුණා වූ සාමූහික සංස්‌කෘතික භාවිතෙන් සොබාදහමට අනුකූලව තෙත් බිම් හා සමග දැඩිව බැඳී තිබුණද වර්තමානය වන විටදී භෞතික ජෛව සම්පත් පරිහරණය නිසා සිදුවන පරිසර දූෂණයේ අනිසි ප්‍රතිඵල තෙත්බිම් විනාශයේ පෙරමග ලකුණු පවසති.

සංවර්ධනය වෙමින් පවත්නා රටකට භූමිය යනු අනඟි සම්පතකි. භූමිය සීමිතය. භාවිතය අසීමිතය. නාගරීකරණ සංකල්පය හමුවේ තෙත්බිම් යනු සංවර්ධනයට බාධාවකි. ජලය ගලා නොබැස එක්‌තැන ර¹ පවත්වමින් දුඟද හමන නිසරු බිමකි. එබැවින් තෙත්බිම් ගොඩ කර නොයෙකුත් ඉදිකිරීම් සිදු කරති. 

තෙත් බිමක්‌ යනු කුමක්‌ද?...

බාහිර භෞතික පරිසරයට සාපේක්‍ෂව පහත් බිමක පිහිටා ඇත. පාංශු සැකැස්‌ම ජලයෙන් සමන්විතය. තෙත්ය. වැඩිම කාලයක්‌ ජලයෙන් පිරී පවතින භූමිය පැළෑටි, පඳුරු සහ ගස්‌වලින් සැකසී ඇත. තෙත් බිම් පරිසර පද්ධතීන් ආවේණික වූ ජෛව විවිධත්වයකින් ද සමන්විතය. මෙවැනි පරිසර පද්ධතියකට වැසි දිය මඳ වශයෙන් ලැබුණද, ජලය ගලා නොගොස්‌ රැඳී පවතින බැවින් ජලයෙන් සංතෘප්තව පවතී. එනම් පස ස්‌පොන්ඡ් ස්‌වභාවයක්‌ ගනී.

පරිසර පද්ධතියක්‌ තුළදී එකිනෙකට වෙනස්‌ වූ තෙත්බිම් හමු වේ. වගුරු වනාන්තර, කඩොලාන, තලා, පිටාර තැනී, මෝය, ඩෙල්ටා, උදම් ඊට උදාහරණ වෙති. ස්‌වාභාවිකව හෝ කෘත්‍රිමව නිර්මාණය වූ කරදියෙන් හෝ මිරිදියෙන් සමන්විත ගලා යන දිය, නිශ්චල දිය හෝ සාගර කලාපයේ නම් මීටර් 06 ක්‌ ගැඹුරැති ප්‍රදේශයෙන් ආදී වූ පාරිසරික තත්ත්වයන් හමුයේ තෙත්බිම් නිර්මාණය වේ. තෙත්බිම් පරිසර පද්ධතීන් ජල විද්‍යාත්මකව, ජෛව විද්‍යාත්මකව මෙන්ම පාංශු විද්‍යාත්මකව ද වැදගත් කාර්ය භාරයක්‌ සොබා දහමට ඉටු කරති.

1971 වසරේ ඉරානයේ රම්සා නගරයේදී ලෝකයේ රටවල් කිහිපයක්‌ එක්‌ව ජලචර පක්‍ෂීන් හා තෙත්බිම් සංරක්‍ෂණය කිරීමේ අරමුණින් "රම්සාර් සම්මුතිය" පිහිටු විය. 1990 වසරේ ජුනි 22 වැනි දින ශ්‍රී ලංකාව ද මෙකී සම්මුතියේ පාර්ශ්වකරුවකු වශයෙන් එකී සම්මුතිය හා සමග එකතු විය. රැම්සාර් සම්මුතියට අයත් මෙරට සතු තෙත් බිම්වල අයිතිය දරනුයේ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව වේ. 

ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්තව ඇති තෙත්බිම් 41 කට ආසන්න ප්‍රමාණයක්‌ වර්ග කිලෝමීටර් 2740 ක්‌ පුරාවට ව්‍යාප්තව පවතී. ඒ අතර ස්‌වාභාවික මෙන්ම මිනිසාගේ මැදිහත්වීම මත නිර්මාණය වූ තෙත් බිම් ද විසිර පවතී. සංවර්ධනය වෙමින් පවතින අප රට තුළ ව්‍යාප්තව ඇති තෙත් බිම් පරිසර පද්ධතීන් අතුරින් ආර්ථිකමය, සංස්‌කෘතිකමය, විද්‍යාත්මක සහ විනෝදාත්මක වශයෙන් වටිනාකමකින් අනූන වූ ජාත්‍යන්තර රැම්සා සම්මුතියට අයත් තෙත් බිම් පරිසර පද්ධති 06 ක්‌ ප්‍රකාශයට පත් කර ඇත.

1. බුන්දල ජාතික උද්‍යානය 2. ආනවිලුන්දාව අභය භූමිය

3. මාදු ගඟ අභයභූමිය 4. වාන්කලෙයි අභය භූමිය

5. කුමන - පානම අභයභූමිය 6. විල්පත්තුව

තෙත්බිම් පරිසර පද්ධති සංරක්‍ෂණය සහ එහි සම්පත් නැණවත් ලෙස පරිහරණය, තෙත්බිම් හඳුනා ගැනීම සහ ආරක්‍ෂා කිරීම, තෙත්බිම් සංරක්‍ෂණය ගුණාත්මක භාවිතය සඳහා ජාතික වශයෙන් ක්‍රියාකාරී රාමුවක්‌ සකස්‌ කිරීමත්, ඒ සඳහා අන්තර්ජාතිකව කලාපීය වශයෙන් සහයෝගය ලබාගැනීමත් රම්සාර් (Raපිaර) සම්මුතියේ අරමුණු වෙති. තෙත්බිම් ආශ්‍රිතව සංක්‍රමණික කුරුලු විශේෂ ආරක්‍ෂා කිරීම, තෙත්බිම් සම්බන්ධව ගැටලු ඇතිවූ අවස්‌ථාවන්හිදී ඒ සම්බන්ධ සාකච්ඡා කර සහයෝගීව කටයුතු කිරීමද මෙහිලා මූලික වේ.

තෙත් බිමක්‌ සතු අගය

තෙත් බිම් පරිසර පද්ධතීන් ඒ ආශ්‍රිත ප්‍රදේශයන්හි භෞතික සහ රසායනික සමතුලිතතාව පවත්වාගෙන යැමට ලබාදෙනුයේ අනගි පිටිවහලකි. වර්ෂාවෙන් අතිරික්‌ත ජලය ගලා විත් රැස්‌ වනුයේ පහත් බිමෙහි පිහිටි තෙත් බිම්වලට බැවින් ගං වතුර සමයට අතිරික්‌ත ජල ගබඩාවක්‌ වශයෙන් ක්‍රියාකරයි. ස්‌පොන්ඡ් තත්ත්වයේ පසු වන පස ගංවතුර සමග ගලා එන අපද්‍රව්‍ය රැගත් ජලය පස්‌ ස්‌ථරය හරහා භූගත ජලය තෙක්‌ මනා ලෙස පෙරී බේරී යයි. රොන් මඩ ආදියෙන් සමන්විත පස කඩොලාන ශාක සැකැස්‌මට කදිමය. කඩොලාන පරිසර පද්ධතියක්‌ යනු සංචාරක ආකර්ෂණය බැඳ ගන්නා ස්‌ථානයක්‌ වන්නා සේම එකී පරිසරය අනන්‍ය වූ ජීවී විශේෂයන්ට ව්‍යාප්ත වීමට ආරක්‍ෂිත පසුබිමද සපයති. වායුගෝලීය උණුසුම වැඩි කරනු ලබන අහිතකර මුදා හැරීම් කාබන් ආදිය වැඩි වශයෙන් අවශෝෂණය කර ගනී. වෙරළ ඛාදනයට විරුද්ධව ක්‍රියාත්මක වන ආරක්‍ෂිත වැටි වශයෙන් (කඩොලාන) ක්‍රියා කරයි.

තෙත් බිම් පරිසර පද්ධතීන් මූලික වශයෙන් මුහුණ දී සිටිනුයේ අනවසර ඉදිකිරීම්, ගොඩ කිරීම්, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ආදී මානව ක්‍රියාකාරකම්වලට වේ. සමහරෙක්‌ අනවබෝධී ව්‍යාපෘතීන් සඳහා තෙත් බිම් පරිසර පද්ධතීන් යොදා ගනිති. වෙරළාශ්‍රිත ස්‌වාභාවික තෙත් බිම්, ලුණු ලේවායන් ආදිය තැනීමට යොදා ගනියි. කර්මාන්තශාලා ආදියෙන් කාර්මික අපද්‍රව්‍ය බැහැර කරනුයේද තෙත්බිම් වෙතටය.

තෙත්බිම් ආශ්‍රිත රැකියාවන්හි නියුතු වූවෝ නොදැනුවත් කමින් මෙකී පරිසර පද්ධතීන් වනසති. ඉස්‌සන් කොටු ඉදිකිරීමට දැව දඬු සඳහා කඩොල් ශාක කපති. එසේම මසුන් කොටු සඳහා අවශ්‍ය මස්‌ අතු ද සොයමින් කඩොල් පරිසරය වනසති. මෙකී පරිසර පද්ධතීන් අවට කෘෂිකර්මාන්තයන්හි නිරතව සිටින්නෝ තෙත් බිම් බලා ගලා බසිනා දිය පහරවල් තම වගා ප්‍රදේශයන් හරහා ගමන් කරන සේ සකස්‌ කර ගනිති. කෘෂි රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර පාංශූ දූෂණයට මුල් වේ. කාර්මික අපද්‍රව්‍ය බැහැර කරලීම නිසාවෙන් මෙකී බිම් ආශ්‍රිත ජලය දූෂිත වේ. මාදු ගඟ ආදී තෙත් බිම් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරයේ යෙදෙන බෝට්‌ටු මගින් ජලයට මුදාහරින තෙල් වැනි අපද්‍රව්‍ය ද ජලය සමඟ මුසු වේ. 

බෝට්‌ටු ගමන් මාර්ගයන්හි ඇති විශේෂිත ජලජ පැළෑටි එමගින් විනාශ වෙති. මෙකී ලිපියේ ආරම්භයේදීම සඳහන් කළ පරිදි මේ වනවිටදී ලෝකවාසීන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ නිරන්තරයෙන්ම අවිනිශ්චිතව සිදුවන දේශගුණික විපර්යාසයන් කෙරෙහිය. ඉදින් තෙත්බිම් සංරක්‍ෂණය කිරීම තුළින් අනාගතයේදී ඇතිවිය හැකි පාරිසරික ගැටලු බොහෝමයකට පිළියම් නිවැරැදිව සොයා ගැනීමටත්, අහිතකර වූ දේශගුණික විපර්යාසයන් අවම කර ගැනීමටත්, හැකිවනු ඇත. එA උදෙසා අප අද දිනයේදී ගනු ලබන තීන්දු තීරණයන්හි වැරදි නිවැරැදිතාවන් භුක්‌ති විඳිනුයේ අනාගත පරම්පරාව බැවින් ඒ පිළිබඳවත් සිතා අවැසි කටයුතු කිරීම යහපත් බවත් මෙහිලා අවසන් වශයෙන් සටහන් තබමි.

සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික (වනජීවී නියාමක)
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව.

Post a Comment

0 Comments