ඒඩ්ස්‌ රකුසා ඔබේ දරුවා ළගටම ඇවිත්


රට තුළ සිටින ගණිකා වෘත්තියෙහි නිරතවන්නන් හෙවත් ලිංගික ශ්‍රමිකයන් අතර එච්. අයි. වී./ ඒඩ්ස්‌ ඇතුළු සමාජ රෝග ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක්‌ පවතින බවත් ඔවුන් ඇතැමෙකුගේ දරුවන්ද මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීම හා ගණිකා වෘත්තියට යොමුවීම හේතුවෙන් මතුපිටට නොපෙනෙන සමාජ ගැටලු රැසක්‌ නිර්මාණය වී ඇතැයි මෑතකදී කරන ලද සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

සැබැවින්ම මෙම තත්ත්වය සමාජයට හානිකර වූ තත්ත්වයක්‌ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම ගණිකා වෘත්තියෙහි නිරත වන්නන් හෙවත් ලිංගික ශ්‍රමිකයන් මෙන්ම ඔවුනගේ දරුවන් අතර එච්. අයි. වී. /ඒඩ්ස්‌ ඇතුළු සමාජ රෝග වැළඳීම පිළිබඳව සෞඛ්‍ය දැනුම ඉතා අල්ප බවද පෙනී ගොස්‌ ඇත. 

මේ සා දියුණු සෞඛ්‍ය අධ්‍යාපන වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වන රටක එච්. අයි. වී./ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වීමේ දැඩි අවදානමක්‌ පවතින සමාජ කොට්‌ඨාසයක්‌ වන ගණිකා වෘත්තියෙහි නිරත වන්නන් හට ඒ පිළිබඳ දැනුම නිසි පරිදි සම්ප්‍රේෂණය නොවීම සැබැවින්ම දැඩි අඩුපාඩුවකි. ජාතික ලිංගාශ්‍රිත රෝග එච්. අයි. වී. ඒඩ්ස්‌ මර්දන වැඩසටහන හරහා ගණිකා වෘත්තියෙහි නිරතවන්නන්ට කොන්ඩම් ලබාදීම සිදුවන බව පැවසුවද එය පවා භාවිත නොවන තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බව වෛද්‍යවරු විසින්ම ප්‍රකාශ කර තිබේ.

මෙහිදී කොතැනක හෝ වැරැද්දක්‌ පවතින බව පෙනී යයි. බොහෝ දෙනකු අතින් අතට යන ගණිකා වෘත්තියෙහි නිරත වන්නන් නැතහොත් ලිංගික ශ්‍රමිකයන් අවාසනාවන්ත අයුරින් එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වීමත් ඔවුන් හරහා සිය ගනුදෙනුකරුවන්ටද එම රෝගය ව්‍යාප්ත වීම කොන්ඩම් භාවිතය සිදු නොවීමෙන් ඇතිවන ප්‍රතිඵලයන්ය. මෙහි ඇති දීර්ඝ කාලීන අවාසනාවන්ත ප්‍රතිඵල වනුයේ ලිංගික ශ්‍රමිකයන්ගේ පහස ලබන ඇතැම් විවාහක පුරුෂයන් හරහා ඔවුනගේ අහිංසක බිරින්දැවරුන්ටද එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගය සම්ප්‍රේෂණය වීමයි.

මෙරටින් වාර්තා වන කාන්තා ඒඩ්ස්‌ රෝගීන්ගෙන් වැඩිදෙනකු මෙසේ තම ස්‌වාමි පුරුෂයන් හරහා එම රෝගයට ගොදුරු වූ අය බව අනාවරණය වී ඇත්තේ අද ඊයේ නොවේ. මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඔවුනගේ ස්‌වාමි පුරුෂයන් ලිංගික ශ්‍රමිකයන්ගෙන් බෝකර ගත් රෝගය බිරින්දැවරුන්ටද දායාද කර දීමයි.

මෙම තත්ත්වය මත ඔවුනගේ දරුවන් පවා අනාථ වී එම පවුල් බිඳ වැටෙන අවස්‌ථාවන් සමාජය තුළ එමට දක්‌නට ලැබේ. මෙය නාගරික පමණක්‌ නොව ග්‍රාමීය සමාජය තුළද සුලබ දසුනක්‌ බවට පත් වෙමින් තිබේ. ඇතැම් විවාහක පුරුෂයන් එච්. අයි. වී. ඒඩ්ස්‌ රෝගයට ගොදුරු වී ඇත්තේ විදේශීය රැකියාවල යෙදී සිටියදී වෙනත් කාන්තාවන් සමග පැවැත්වූ අනියම් සබඳතා හේතුවෙනි. එහෙත් බහුතරය ලිංගික ශ්‍රමිකයන් හරහා මෙම රෝගයට ගොදුරු වී ඇති බව අනාවරණය වී ඇත.

මෙම තත්ත්වය මත එච්. අයි. වී. ඒඩ්ස්‌ ඇතුළු ලිංගාශ්‍රිත රෝග පිළිබඳව ලිංගික ශ්‍රමිකයන් මෙන්ම සමාජයේ ඉහළ තනතුරු දරන්නන්ගේ සිට සාමාන්‍ය සේවකයා දක්‌වා දැනුවත් කිරීම අද අත්‍යවශ්‍ය කරුණක්‌ වී තිබේ. පාසල් ළමුන් අද ඒඩ්ස්‌ ඇතුළු ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වීමේ දැඩි අවදානමකින් පෙළෙන කාණ්‌ඩයක්‌ බවට පත්වෙමින් සිටී. එයට ප්‍රධාන වශයෙන් අන්තර්ජාලය හරහා අසීමිත ලෙස නරඹන අසභ්‍ය වීඩියෝපට, ෙµaස්‌බුක්‌ වැනි සමාජ ජාල අඩවි, ස්‌කයිප් වැනි නව තාක්‍ෂණික සන්නිවේදන ක්‍රමයත් හේතුවන බව අනාවරණය වී තිබේ. ෙµaස්‌බුක්‌ වැනි සමාජ ජාලයන් හරහා ඇති කරගත් අනියම් සබඳතා මත ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වූ පාසල් ළමුන් මෙන්ම තරුණ තරුණියන් පිළිබඳව පොලිසියට හා ළමා හා කාන්තා කාර්යාංශයට පසුගිය කාලයේ දිගින් දිගටම පැමිණිලි ලැබී තිබීම මෙයට හොඳම නිදසුනකි.

දෙමව්පියන් තම දරුවන් පාසල් යෑවීමට පමණක්‌ සිමා නොවී ඔවුන් පාසලේදී අධ්‍යාපන කටයුතුවලට අමතරව වෙනත් ක්‍රියාකාරකම්වල යෙදෙන්නේද? ඔවුන් ඇසුරු කරන පුද්ගලයන් යන ගමන්බිමන් පිළිබඳව දැඩි අවධානයකින් පසුවන්නේ නම් එම දරුවන්ගේ ජීවිත මෙසේ බාහිර පුද්ගලයන් අතින් විනාශ විම වළක්‌වාගත හැකි වනු නොඅනුමානය. එහෙත් එවැනි තත්ත්වයක්‌ දකින්නට නොලැබෙන විට තමන්ට ලැබෙන අසීමිත වූ නිදහස වැරැදි අයුරින් භාවිත කිරීම මත මෙම පාසල් ළමුන් අවාසනාවන්ත අයුරින් සමාජ රෝගීන් බවට පත්වනු දක්‌නට ලැබේ. 

අප මුලින් කී පරිදි ලිංගික ශ්‍රමිකයන් පමණක්‌ නොව ඔවුනට සිටින දරුවන්ද ලිංගික ශ්‍රමිකයන් බවට පත්වීමේ අවදානමකින් පසුවන බවත් ඔවුන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සමාජයට තර්ජනයක්‌ වන තත්ත්වයක්‌ දක්‌නට ලැබෙන බවත් අනාවරණය වී තිබේ. එයට හේතුව ලිංගික ශ්‍රමිකයන් හට උපදින දරුවන් රැක බලා ගැනීම සඳහා සුදුසු වාතාවරණයක්‌ නිර්මාණය වී නොමැතිවීමයි. එම ශ්‍රමිකයන් තම රැකියාවට ගිය පසු ඔවුනගේ දරුවන්ද ලිංගික ශ්‍රමිකයන් බවට පත්කිරීමට මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයට හුරුකර ඔවුන් හරහා සමාජයේ සෙසු තරුණ පිරිස්‌ද එයට ගොදුරුකර ගැනීමට ඇතැම් පිරිස්‌ මාන බලන බව කොළඹ, ගම්පහ ඇතුළු දිවයිනේ දිස්‌ත්‍රික්‌ ගණනාවක්‌ ආශ්‍රිතව සිදුකළ සමීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

විශේෂයෙන්ම කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ පමණක්‌ ලිංගික ශ්‍රමිකයන් 600 ක්‌ පමණ සිටින බව අනාවරණය වී ඇති අතර ඔවුන්ගෙන් ඇතැමෙකු තම දරුවන් බිහිකර ඇත්තේද වීථි ආශ්‍රිතවය. වීථි, ලොජ්, සම්බාහන මධ්‍යස්‌ථාන (මසාජ් සෙන්ටර්), සමාජ ශාලා වැනි ස්‌ථාන ආශ්‍රිතව මෙම පිරිස්‌ ලිංගික ශ්‍රමය සපයන අතර මොවුන්ගෙන් බහුතරය අඩු ආදායම්ලාභී අධ්‍යාපන මට්‌ටමක්‌ නොමැති වතු ආශ්‍රිත පැල්පත්වාසීන් මෙන්ම නාගරික පැල්පත්වාසීන් බව අනාවරණය වී තිබේ.

මෙම පිරිස්‌ සමාජයට තවදුරටත් පිළිකාවක්‌ වීම වැළැක්‌වීම සඳහා ඔවුන් මුහුණපාන ලිංගාශ්‍රිත රෝග අවදානම අඩුකරලීම මෙන්ම ඔවුනගේ දරුවන්ද ලිංගික ශ්‍රමිකයන් හෝ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් වීම වැළැක්‌වීමට ක්‍රියාකාරී වැඩසටහන් දියත් කළ යුතු බව වෛද්‍ය අංශවල මතය වී තිබේ.

ලිංගික ශ්‍රමිකයන්ට සමාජ රෝගවල අවදානම පිළිබඳවත් ඔවුන්ගේ අයිතීන් පිළිබඳවත් වැඩමුළු පැවැත්වීම, ස්‌වයං රැකියා පුහුණු වැඩමුළු පැවැත්වීම, හැකියාව ඇති ලිංගික ශ්‍රමිකයන්ට ස්‌වයං රැකියා කිරීමට අමුද්‍රව්‍ය ලබා දීම, ලිංගික ශ්‍රමිකයන්ගේ දරුවන් නොමග යැම වැළැක්‌වීම සඳහා කටයුතු කිරීම, ලිංගික ශ්‍රමිකයන්ට මානසික සුවය මෙන්ම ඔවුන් තුළ ආගමික ශික්‍ෂණයක්‌ ඇතිකිරීම, සමාජයේ කොන් නොවූ පුද්ගලයන් බවට පිළිගැනීමක්‌ ඇති කිරීම වැනි වැඩසටහන් බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන්නේ නම් එමගින් ලිංගික ශ්‍රමිකයන් එම තත්ත්වයෙන් මුදා සමාජයට හානිකර නොවන පිරිසක්‌ බවටද පත්කළ හැකි බව කාන්තා සංවිධානවල මතය වී තිබේ.

තම දිළිඳුකම හෝ සමාජයෙහි කුමන හෝ වරදකින් ලිංගික ශ්‍රමිකයන් බවට පත්ව ඇති මෙම කාන්තාවන් අපගේම සහෝදරියක්‌, දියණියක්‌, මවක්‌, බිරිඳක්‌ ලෙස සලකා ඔවුන් සම්බන්ධව ක්‍රියාකාරී වැඩපිළිවෙළක්‌ දියත් කිරීම මේ වන විට කාලීන අවශ්‍යතාවයක්‌ව පවතින බව එම සංවිධානවල මතය වී තිබේ. සමාජයේ ඉහළ ප්‍රභූවරුන්ගේ සිට නොයෙක්‌ තරාතිරම්වල පිරිස්‌ විසින් මොවුනගේ සේවය ලබා ගන්නා බව හෙළිවී ඇති අතර ඔවුනට සමාජ රෝග වැළැක්‌වීම පිළිබඳව පමණක්‌ දැනුවත් භාවය ලබා නොදී එම තත්ත්වයෙන් ඔවුන් මුදවා සමාජයට ඵලදායී මිනිස්‌ කොටසක්‌ බවට පත් කරලීමේ අභියෝගය බලධාරීන් සතුව පවතී. එය යථාර්ථයක්‌ බවට පත්කරන දිනය නම් සමාජයටද මහත් ප්‍රතිලාභ දනවන දිනයක්‌ වනු නොඅනුමානය.

තොරතුරු සැපයීම - නාරාහේන්පිට - ජනගහන අංශය හා අභිමානී කාන්තා එකමුතුව 

* ඒමන්ති මාරඹේ 

Post a Comment

0 Comments