සමනල අඩවියට ඇලූම් කළ සුදු මිනිසා


ලංකාවේ පළමුවරට යුද නීතිය හෙවත් මාර්ෂල් ලෝ පැනවීමට හේතු වූ වෙල්ලස්‌සේ කැරැල්ල 1818 දී නිම වීමෙන් පසු 1819-1820 පමණ කාලයේදී තෝමස්‌ ස්‌කිනර් සිය පියා සමග ලංකාවට පැමිණියේය. ඔහු පසු කලකදී ආණ්‌ඩුකාර ස්‌ටුවර්ට්‌ මැෂන්සිට අඹගමුවේ සිට ලියන ලද ලිපියක කොටසකින් මේ ලිපිය ආරම්භ කිරීමට අදහස්‌ කරයි. "දුෂ්කර වැඩ හා අගහිඟකම් ඇතත් සමනල අඩවිය මගේ සිත බැඳ ගනී. දිය පිරුණු ගංගාවලින් එතෙර වෙමින්, කැලය ගැන හොඳින් දන්නා සිංහලයන්ට පමණක්‌ තෝරාගත හැකි කෑමට සුදුසු අල හා කොළ අනුභව කොට ජීවත්වෙමින් මට නොයෙක්‌ විට දුෂ්කර කාර්යයන්හි යෙදීමට සිදු විය. දිගටම ප්‍රමාණවත් තරම් ආහාර නොලැබීම නිසා මා එහි වැඩකළ අවසන් සති දහය අතිශයින් පීඩාකාරී විය.

අපගේ ඉපැරණි සංස්‌කෘතිය, සභ්‍යත්වය හා සිරිත් විරිත් සම්බන්ධයෙන් මෙන්ම වාරි මාර්ග ක්‍රම පිළිබඳව ද, පුරා විද්‍යාත්මක අගණාකමක්‌ ඇති නෂ්ඨාවශේෂ ගැනද, ජනතාවගේ හැදියාව සම්බන්ධයෙන්ද වැදගත් ලිපිලේඛන හා සටහන් තබා යැමට පිටරැටියෝ අමතක නොකළහ. බෙල්ගේ පුරාවිද්‍යාත්මක සොයා ගැනීමට බ්‍රොaහියර්ගේ ඉඩම් හා වාරි මාර්ග ක්‍රම පිළිබඳ විස්‌තර තරමටම අපේ කතා නායකයා වන තෝම්ස්‌ ස්‌කිනර්ගේ "ලංකාවේ පනස්‌ වසරක සටහන්" ද අතීතයේ විසූ සිංහලයාගේ නියම පෞරුෂත්වය කියා පාන්නේය. අප ගැන අප විසින්ම කෙරෙන ඇගයීමකට වඩා අන් ජාතිකයකු වෙතින් දැකිය හැක්‌කේ අපක්‍ෂපාතී අගය කිරීමකි.

අපගේ පැරැන්නන් ගැන මේජර් තෝමස්‌ ස්‌කිනර් සිය ග්‍රන්ථයේ මෙබඳු සටහනක්‌ තබයි. " විනිසුරුවන්, නීතිඥයින් හා පූජකවරයින් වශයෙන් සේවය කරන ස්‌වදේශිකයින් පෙන්නුම් කරන්නේ ලාංකිකයින් තුළ අවංකභාවය, බුද්ධිමත් බව හා ස්‌වෛරීභාවය ගැන අඩුවක්‌ නොමැති බවයි. මෙසේ මා සඳහන් කරන්නේ බලවත් ප්‍රීතියෙන් හා ස්‌ථීරභාවයෙනුයි. " මේ චරිත සහතිකය කියවන විට මට හිතෙන්නේ වත්මන් ස්‌වදේශිකයා මෙතරම් පිරිහී ඇත්තේ පිට රැටින් ඇසුරු කිරීමෙන් පසුව යෑයි අපට සිතේ.

තෝමස්‌ ස්‌කිනර් විසින් ලියා ඇති ග්‍රන්ථයේ සඳහන් විස්‌තර ඓතිහාසික අගණාකමින් යුක්‌ත වෙයි. වෙල්ලස්‌සේ කැරැල්ල නිමවීමත් සමග කාලතුවක්‌කු හමුදාවේ නිලධාරියකු වූ තම පියා කැටුව 1819-20 දී තමන් ලංකාවට පැමිණි ස්‌කිනර් ඉපදී ඇත්තේ 1804 මැයි මස 22 වන දින නිව්සවුත්ලන්තයේය. ගමන් පහසුකම් නොමැති යුගයකදී දෙවන ලෙµaටිනන්ට්‌ කෙනකු ලෙස රට මැදින් මහනුවර හරහා ත්‍රිකුණාමලේ සිට කොළඹ දක්‌වා භට කණ්‌ඩායමක්‌ සමග ගමන් කිරීමට අවුරුදු 16 ක්‌ පමණ වූ මේ ගැටවරයාට හැකිවීම එක්‌ ආශ්චර්යවත් සිද්ධියකි.

1819-20 කාලයේදී අති භයානක වසූරිය වසංගතයක්‌ මෙරට පැතිර යන්නට පටන්ගෙන තිබේ. ක්‍රි. ව 1802 දී වසූරිය සඳහා අත් එන්නත් කිරීම පළමුවරට සොයා ගන්නා ලද නමුදු අත් එන්නත් කිරීම එකල මෙහි සිදු නොවූ හෙයින් රෝගය ඉතා ඉක්‌මනින් පැතුරුණු අතර රෝගීන් හඳුනාගත් ඉක්‌මනින් වාසය කළ නිවෙස්‌වලින් පිටමං කිරීම සිරිත විය. ආහාර ටිකක්‌ සමග නිවසට හුඟක්‌ ඈතින් වූ මඩුවක තනිකරනු ලබන රෝගීන් මිය ගිය විට වනසතුන් විසින් කෑලිවලට ඉරා අතුණුබහන් අනුභව කරන බව ස්‌කිනර් සඳහන් කරයි.

මෙසේ ගෙවල්වලින් පිටමං කරනු ලබන ඇතැමෙක්‌ තමන් මරණාසන්න වූ විට අමු අමුවේම වළ දමතැයි බියෙන් බඩගා යන්නේ අසල ඇති හමුදා කඳවුරටය. එහි කරුණාවන්ත හදවතක්‌, ඇති තැන්පත් ගති ලක්‍ෂණ පෙන්වන අනුකම්පා සහගත තරුණ නිලධාරියෙක්‌ සිටී. ඒ තෝමස්‌ ස්‌කිනර්ය. හේවායන් යවා මේ රෝගීන් ගෙන්වා බැරැක්‌ක කාමරයක වැලි මත පැදුරු එලා ඒ මත රෙදි දමා රෝගීන් නිදි කරවීමට පමණක්‌ නොව, බේත් හේත් කර කැඳ සාදා දීමට තරම් මේ තරුණ පිටරැටියා උතුම් මහත්මයෙක්‌ විය. මේ රෝගීන්ගේ සිරුරේ පැල්ලම් ඉතිරි වූවත් සියල්ලන්ම සුවපත් වූ බව හේ පවසයි.

1831 ඔක්‌තෝම්බර් මාසයේ සර් එඩ්වර්ඩ් බන්ස්‌ ආණ්‌ඩුකාරයා ලෙස පත්වී ආ බව සඳහන් කරන ස්‌කිනර් මොහුගේ සම්ප්‍රාප්තිය ආන්දෝළනයක්‌ ඇති කිරීමට තරම් රටේ හැම තැනම ප්‍රසිද්ධ වූ බවත්, ලක්‌වැසියන් ඔහුගේ පාලනය ගැන පැහැදී සිටි බවත් ඔහු පවසයි. පසු කලකදී කොළඹ පිහිටුවන ලද බාර්න්ස්‌ ප්‍රතිමාවට රෑ දවල් නොබලා ගම් නියම් ගම්වලින් ජනතාව පැමිණ, විහාර දේවාලවලදී මෙන් ප්‍රතිමාව අසල බත්, බුලත් හා මල් පූජා කළ බවත්, කල්යත්ම ප්‍රතිමාවේ ආරක්‍ෂාවට එය වටා ආරක්‍ෂක වැටක්‌ සෑදීමට සිදු වු බවත් ස්‌කිනර් සඳහන් කරයි. මේ ගැන ස්‌කිනර් විශේෂයෙන් දක්‌වන්නේ ඇතැම් අය පවසන පරිදි ලක්‌ වැසියන් අකෘතඥ, අකාරුණික පිරිසක්‌ නොවන බවත් දැක්‌වීම බව ස්‌කිනර් කියයි.

මේජර් ස්‌කිනර් දස වසරක්‌ ක්‌වාටර් මාස්‌ටර් ජනරාල් (භටයන්ගේ ඉඳුම්, හිටුම් භාර නිලධාරියා) ලෙසද, රටේ නම් විස්‌තර දැකීම නිසා 1839 දී ඔහු මැහුම් අධිකාරී ලෙසද, සේවය කර ඇත.

ප්‍රාම් දෙල්දෙණිය

Post a Comment

0 Comments