ආසියාවේ පුදුමය යෝධ හනුමාන් ප්‍රතිමාව


ආසියාවේම ඇති විශාලතම හනුමාන් පිළිරුව වන්නේ වලිකාමම් ප්‍රාදේශීය බල ප්‍රදේශයේ හනුමාන් කෝවිල අසල ඉදිකොට ඇති මෙම යෝධ හනුමාන් පිළිරුවය. මේ සා විශාල ප්‍රතිමාවක්‌ මේ මිනිසුන් අතින් නිම වීමට තරම්, රාම සීතා වෘත්තාන්තය උතුරේ අපේ නෑදෑයන්ගේ සිත් තුළ ජානගත වී ඇති අන්දම පුදුම එළවන සුළුය

අච්චුවේලි නගරය පසු කර අප තුන් මංසලකට පැමිණියෙමු. එතැනින් අප යා යුත්තේ මනිපායි මාවත ඔස්‌සේය. අතු තුනකට බෙදී ඇති මාවත් තුනෙන් වමට හැරෙන්නේ නම් යාපනය නගරයටත්, දකුණට හැරෙන්නේ නම් පලාලි වලටත්, කෙලින් අතට යන්නේ නම් මනිපායි නගරයටත් යා හැකිය.

මෑතකදී විවෘත කළ කන්කසන්තුරේ දුම්රිය මාර්ගයේ වූ ඉනුවිල් දුම්රිය පළ පසු කොට දුම්රිය හරස්‌ පාර පැන වලිකාමම් ප්‍රාදේශීය බල ප්‍රදේශයේ, මල්ලාතම්හි ඇති හනුමාන් කෝවිල අපගේ මී ළග ඉලක්‌කයයි. ආසියාවේම ඇති විශාලතම හනුමාන් පිළිරුව වන්නේ වලිකාමම් ප්‍රාදේශීය බල ප්‍රදේශයේ හනුමාන් කෝවිල අසල ඉදිකොට ඇති මෙම යෝධ හනුමාන් පිළිරුවය.

මේ සා විශාල ප්‍රතිමාවක්‌ මේ මිනිසුන් අතින් නිම වීමට තරම්, රාම සීතා වෘත්තාන්තය උතුරේ අපේ නෑදෑයන්ගේ සිත් තුළ ජානගත වී ඇති අන්දම පුදුම එළවන සුළුය.

රාවණා විසින් පැහැරගත් සීතාවෝ සොයා එන රාමාට හනුමාන්ගෙන් ලැබුන සහයෝගයට කෘතවේදී බව පළ කරනු වස්‌ ඔවුන් විසින් මෙම මහා ප්‍රතිමාව නිර්මාණය කරන්නට ඇතැයි අපට සිතේ. එබැවින් ඔබ මතු යම් දිනෙක යාපනයේ සංචාරයක යෙදෙන්නේ නම් ප්‍රභාකරන් ඉපදුනේ කොතැනද? ඔහු දිය කෙලියේ කොතැනද? ප්‍රභාකරන් වෙඩි පහර කෑවේ කිනම් ස්‌ථානයේදී ද? කියා සොයමින් වෙහෙස වෙනවාට වඩා සුන්දර රාමා සීතා කතාවේ එන සැබෑ මිතුරෙකුගේ ආදරණීය කැපවීම වෙනුවෙන් යාපනයේ මල්ලාකම් ජනතාව දැක්‌ වූ උපහාරය සියෑසින්ම දැක බලා ගැනීම ඔබටම ප්‍රසන්න වූ අත්දැකීමක්‌ වනවා නොඅනුමානය.

අප ඊළඟට ගියේ කන්කසන්තුරේ සුන්දර වෙරළ තීරයේ වූ, තල් සෙවන හමුදා සංචාරක හෝටලය ආසන්නයේ වූ සංචාරක නිවහනක අප වෙනුවෙන් සූදානම් කොට තිබූ දිවා ආහාරය භුක්‌ති විඳීම පිණිසය. අප දිවා ආහාරය ගත් එම සංචාරක බංගලාව පිටුපසින් ඇත්තේ කන්කසන්තුරේ වෙරළ තීරයේම කොටසක්‌ය. මේ වනාහී මුළු සංචාරයේදීම අප දුටු ඉතාම පිරිසිදු වූත් සුන්දර වූත් වෙරළ තීරයයි. මේ සොඳුරු බිම් තීරුව සැබැවින්ම ඕනෑම නෙතකට උළෙලක්‌මය. 

දිවා ආහාරයෙන් පසු මඳක්‌ විවේකීව සුන්දර වෙරළ තීරය නරඹමින් සිටි අප යළි ගමන ආරම්භ කළේ තල් අරණේ වූ අපගේ ජාතික උරුමයන් සොයා යැමටය.

සඟමිත් මෙහෙණිය ජය ශ්‍රී මහා බෝධි මූලය රැගෙන ශ්‍රී ලංකාවට ගොඩ බසින ලද දඹ කොළ පටුන පුන්‍ය භූමිය අපි වන්දනා කළෙමු. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැනැවින් බලා කියාගන්නා මෙම පින්බිම අතිශයින් රමණීය වූ පරිසරයක පිහිටා තිබේ.

රන්වන් පාත්‍රයක හැඬය ගත් බෝධි ප්‍රාකාරයකින් වට වූ , අනුරපුර ජය ශ්‍රී මහා බෝධි අංකුරයකින් රෝපිත සිත නිවන බෝධි රාජයාගේ බෝධි ශාඛා සියල්ලම විහිඳි විසිරී සැදැවත් ජනතාවට සෙවන සදන ආකාරය, මෙත් සුව වඩවයි. ඉන් අනතුරුව අප වැඳ පුදාගත් කදුරුගොඩ රජ මහා විහාර පරිශ්‍රය හා එහි වූ රහතුන් වහන්සේලා 67 නමකගේ භෂ්මාව ශේෂ තැම්පත් කළ ඉපැරණි ස්‌මාරක ඊනියා බෙදුම්වාදීන්ගේ නිජ බිම් සංකල්පයට ප්‍රභල අභියෝගයකි.

ලංකාවේ වෙන කිසිම මාර්ගයක දකින්නට නොලැබෙන වාහන නැවැත්වීමේ අමුතුම කලාවක්‌ අප දුටුවේ යාපනය නගර මධ්‍යයේය. ඒ දකුණේ අපි මහා මාර්ගය දෙපස වාහන නවතා තබන නමුත්, යාපනය නගර වාසින් සිය රථ ගාල්කොට තබන්නේ මහ පාරේ හරි මැද තීරුවක වීම මෙහි ඇති විශේෂයයි. යාපනය නගර මධ්‍යයේ වූ සුපිරි වෙළෙඳ සංකීර්ණයක්‌ ආසන්නයේ මඳ විරාමයක්‌ ගත් අප විමසිලි දෑසින් වටපිටාව නිරීක්‍ෂණය කළෙමු. නගර වාසීන්ද, දෙස්‌ විදෙස්‌ සංචාරකයින්ද යුහුසුළුව තම තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගැනීමට වෙහෙසෙන සැටියකි. රථ වාහන පොලිස්‌ රාළහාමිලා මංසන්ධිවලට වී වාහන හැසිරවීමේ රාජකාරිවල නිරත වී සිටී.

යාපනයේ යතුරු පැදිවල ගමන් කරන සියලුම තරාතිරමේ කාන්තාවෝ පිටුපස අසුනේ පැත්තකට හැරී ගමන් කරනවා විනා දකුණේ ලලනාවෝ මෙන් ආසනය දෙපසින් කකුල් දෙක දමා දෑතින්ම ධාවකයා බදාගෙන ගමන් කිරීම යාපනය නගරයේදීත්, උතුරේ සෙසු නගරවලදීත් අප නුදුටු දර්ශනයකි.

එසේම නගර මධ්‍යයේ වූ ඇතැම් සිල්ලර කඩවල කැෂියර් කූඩුවේ සිටි මැදි විය ඉක්‌ම වූ මුදලාලිලා බොහොමයක්‌ නිරුවත් උඩුකයින් යුතුව සිටියේ සිය නොවෙනස්‌ සංස්‌කෘතික ලක්‍ෂණ කියා පාන්නක්‌ සේය.

මේ වන විට යාපනය උණුසුම් කළ හිරු, සිය සැඬ රැස්‌ අකුලාගෙන හමාර වී තිබිණි. අප සියල්ලන්ටම ඇඟට දැනෙන වෙහෙසක්‌, විඩාබර ගතියක්‌ කාන්දු වෙමින් එන ලකුණු පහළ වී ඇත.

උදේ අටට චුන්ඩිකුලමෙන් ගමන් ඇරැඹූ අපට, අනිවාර්යයෙන්ම යා යුතුව තිබූ ස්‌ථානයක්‌ දැන් අප සමීපයේය. නර්ලූල් කන්දසාමි කෝවිල ආසන්නයේ ඇති රියෝ අයිස්‌ ක්‍රීම් රස හලය ඒ.

යාපනයේ සංචාරය පිණිස එන ඔබ කන්දසාමි කෝවිලද වැඳ පුදාගෙන ඒ ආසන්නයේ ඇති රියෝ අයිස්‌ ක්‍රීම් රස හලෙන්, අයිස්‌ ක්‍රීම් එකක්‌ නොකෑවේ නම්, ඔබගේ යාපනය සවාරිය මෙලෝ රහක්‌ නැති එකක්‌ වේය යන සුප්‍රකට කියමන, පට්‌ට ඇත්තක්‌ බව අපට පසක්‌ වූයේ "රියෝ" අයිස්‌ ක්‍රීම් එකක රසයට දිවේ සියලුම රසාංකුරයන් අවනත වූ නිසාය.

රස නහර පිනා යන යාපනයේ රියෝ අයිස්‌ ක්‍රීම් නිසා එතෙක්‌ අප පෙලූ විඩාව ආගිය අතක්‌ නැති විය.

පස්‌වරු පහයි පනහට පමණ යාපනය, නල්ලූර්වලින් පිටත් වූ අපි කාර්තිව් මන්නාරම ඒ 32 මාර්ගයට වැටී, ඉන් පසුව පරන්තන් හන්දිය කරා ආවේ අයස්‌කාන්ත පුනරීන් (සංගුපිඩ්ඩි) පාලම හරහාය. කළපු දෙකක්‌ මැදින් වැටී ඇති ලංකාවේ දෙවැනි දිගම පාලම සේ සැලකෙන පුනරීන් පාලම උඩින් අප ගමන් කරන විට හාත් පස පරිසරයේ වූ සුන්දරත්වය චිත්‍ර ශිල්පියෙකුගේ තෙලි තුඩකට නම් සොඳුරු නිමිත්තක්‌ය.

පරන්තන් හන්දියට පැමිණ අපි එතැනින් යළි ඒ 9 නුවර යාපනය මාර්ගය ඔස්‌සේ අලිමංකඩට එන විට හතර වටින්ම අඳුර වැටී තිබිණි. එනමුත් අලිමංකඩ හසලක වීරයාගේ ප්‍රතිමාව අභියසට ගොස්‌ අපගේ උත්තමාචාරය පුද දෙන්නටද අප අමතක නොකළෙමු.

මීට පෙර අප නුදුටු අලංකාර, ගාම්භීර ස්‌මාරකයක්‌ දැන් එතැන ඉදි වී තිබේ. රාත්‍රී අඳුර කපාගෙන හසලක වීර ගාමිණීගේ ප්‍රතිමාව එහි බැබලේ.

අලිමංකඩින් අපි නැවත පිටත්වන විට රාත්‍රී 8 ට ආසන්න වී තිබිණි. රෑහි හඬ පමණක්‌ ඇසෙන නිහඬ නිසල රාත්‍රියක යෝධ තල් රුප්පාවක්‌ මැදින් වැටී ඇති බොරළු පාරක ගැස්‌සෙමින් පැද්දෙමින් වල ගොඩැලිවල වැටෙමින් අපගේ කැබ් රථය අඳුර කපාගෙන වේගයෙන් ඉදිරියට ඇදී යයි.

යාපනය අර්ධද්වීපයේ දීර්ඝ සංචාරයක්‌ නිමවා චුන්ඩිකුලම් අපගේ නවාතැන කරා නැවත අප යන මේ මාවතේම මීට වසර පහකට හෝ හයකට පෙර අප මෙන් ගිය බොහෝ දෙනෙකුට ඔවුන් ගිය ඒ ගමන සිය ජීවිතයේ අවසාන ගමන වීමට ඉඩ තිබිණි. එහෙත් අද එසේ නොවේ. රණවිරුවන් මේ සියල්ල මුදාගෙන අපගේ අද දවස වෙනුවෙන් සිය ජීවිතයම රටට පූජා කරමින් කළ කැපවීම් නොවන්නට චුණ්‌ඩිකුලමේ වෙත්තිලයිකර්නි මුහුදු ඉමේ අද අප නිවාඩු ගත කරන්නා යනු මිත්‍යාවකි. එබැවින් එම විරුවන්ට පිං අනුමෝදම් නොකළ හොත් එය විශාල අඩුපාඩුවකි. අපගේ යාපනය සංචාරය අවසන් වූයේ එම පිංඅනුමෝදනාවෙන් පසුවය.

ජයන්ත විඡේසිංහ

Post a Comment

0 Comments