ජාතික අක්ෂි රෝහල


පරම ආදරය වචනයෙන් ප්‍රකාශ කළ හැකි හොදම උපමාව වනුයේ ඇස්‌ දෙකය.සාමාන්‍ය මනුෂ්‍ය සමාජයේදී හදවතටත් වඩා වැඩි වටිනාකමක්‌, ඇස්‌ දෙකට හිමිව තිබේ.'ඇස්‌ දෙක වාගේ රැක ගන්නම්' 'ඇස්‌ දෙක වගේ බලා ගත්තේ'...ආදී ලෙස විස්‌තර කලත්, තමන්ගේ ඇස්‌ දෙක සම්බන්ධයෙන් එවැනි සැළකිල්ලක්‌ අප යොමු කරනවාද ...?

දිනපතාම අතපය, මුහුණ සේදුවත් අවම වශයෙන් වසරකට වරක්‌වත් ඇස්‌ දෙක ගැන ඔබ සොයා බැලුවාද ...? ඇස්‌ දෙක ගැන සිතා බලන්නට නම් අවම වශයෙන් නගනයක්‌වත් අපේ ඇසට ආ යුතුය. ආබාධයක්‌ නොමැති නම් අපට ඇස්‌ ගැන මතක්‌ වන්නෙම නැත.

ඔබ ඇස්‌ ගැන එසේ සිතුවත්, ඔබේ ඇස්‌ දෙක රැකදීම සඳහා ජාතික ඇස්‌ රෝහල සෑම මොහොතකම ඇස ගසාගෙන සිටියි. ජාතියකට කොඩියක්‌, ගීතයක්‌ සේ ජාතියේ ඇස්‌ වෙනුවෙන්ම පිහිටා තිබෙන රෝහල, කොළඹ ජාතික අක්‍ෂි රෝහලය.

අක්‍ෂි රෝහලේ කටුයුතු ගැන දැන කියා ගැනීම සඳහා, අප යන විටම අලුත් වෙනසක්‌ දකින්නට ලැබුණි. අපට අක්‍ෂි රෝහල පිළිබඳ තොරතුරු ලබාගැනීමේදී සම්බන්ධීකාරකත්වය දැරූ හෙද නිලධාරිනී නදී රාජකරුණා ගෙන් ඒ පිළිබද විමසමින්ම අප අක්‍ෂි රෝහලට ඇතුල් වූයෙමු.

'ඔව් ... අද ඉඳලා අපි ටිකට්‌ එක නිකුත් කරන්නේ පරිගණකයෙන්...' 

මෙතෙක්‌ කලක්‌ රෝගියා ඇතුල් කර ගැනීම සඳහා නිකුත් කරන ලද අතින් ලියන තුණ්‌ඩුව වෙනුවට, පරිගණක ටිකට්‌ පතක්‌ අක්‍ෂි රෝහල විසින් නිකුත් කරන්නට කටයුතු යොදා තිබුණි. දෛනිකව රෝගීන් 800 - 1000 අතර පමණ මෙහි බාහිර සායනය වෙත පැමිණෙන අතර සාමාන්‍යයෙන් දිනකට තුන්සීයක්‌ පමණ මෙහිදී නේවාසික ප්‍රතිකාර ලබා ගනිති.

අක්‍ෂි රෝහලේ තතු දැන ගැනීම සඳහා එහි අධ්‍යක්‍ෂ, වෛද්‍ය සනත් ද සිල්වා මහතා, අපි හමුවූයෙමු.

සාමාන්‍යයෙන් ආණ්‌ඩුවේ ඉස්‌පිරිතාලයක්‌ කිව්ව ගමන්ම, ජනතාවට එන චිත්‍රයක්‌ තියෙනවා. ජාතික අක්‍ෂි රෝහල පිළිබඳ ඊට වඩා වෙනස්‌ කතාවක්‌ ඔබට කියන්න තියෙනවද...?

ඔව්...ජාතික අක්‍ෂි රෝහල කියන්නේ, ලංකාවෙන්ම අක්‍ෂි ප්‍රතිකාර සඳහා රෝගීන් පැමිණෙන එකම ආයතනය.අපේ ඉලක්‌කය වෙලා තියෙන්නේ ජාතික අක්‍ෂි රෝහල ආසියාවේ ප්‍රධාන අක්‍ෂි රෝහල බවට පත් කිරීමයි. මේ රෝහලට පැමිණෙන රෝගීන්ට නවීනතම ක්‍රමවේදයන් අනුගමනය කරන්න අපි කටයුතු කරනවා. ප්‍රමාදයකින් තොරව, නවීන තාක්‌ෂණික ප්‍රතිකාර ක්‍රම අපි මෙහිදී අනුගමනය කරනවා.

සාමාන්‍ය රජයේ රෝහලක පරිදිම නොමිලේ ප්‍රතිකාර කරන අතරේ, එය කාර්යක්‌ෂම ආකාරයකින් ඉෂ්ට කිරීම සඳහා රාශියක්‌ අරගෙන තියෙනවා. අප සතුව දක්‌ෂම විශේෂඥ වෛද්‍යවරුන් හත් දෙනෙකු සිටිනවා. ඒ හත්දෙනා යටතේ, දිනපතාම සායන පවත්වාගන යනවා. ඊළගට උප විශේෂිත වූ සායන තියෙනවා. අද වන විට බෝනොවන රෝගවල වැඩිවීමක්‌ තිබෙනවා. ඇස සඳහා බෝනොවන රෝගවල බලපෑම ප්‍රබල ලෙස තිබෙනවා. විශේෂයෙන්ම දියවැඩියාව, අධික රුධිර පීඩනය වගේ රෝගී තත්ත්වයන් තියෙන පුද්ගලයන්ගේ, ඇස තුළ දෘෂ්ටි විතානය සම්බන්ධයෙන් සායන පවත්වනවා. මේ සඳහා විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙක්‌ අපට සිටිනවා.එම සායන අප හදුන්වන්නේ විශේෂිත උප සායන නමින්. ඊට අමතරව තවත් විශේෂිත උප සායනයක්‌ තිබෙනවා.ඇසේ බාහිර සිවිය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුත් දැන් අපි ගාව ඉන්නවා. ඇසේ බාහිර පෙනුම සම්බන්ධයෙන් ශල්‍යකර්ම කරන විශේෂඥ වෛද්‍යවරයකුත් මෙහි සිටිනවා. ඉතාමත්ම මිල අධික වෛද්‍ය උපකරණ සෑම එකක්‌ම අපි ළඟ තියෙනවා. එහෙම බලනවිට අපි පරිපුර්ණ අක්‍ෂි රෝහලක්‌ බව නොබියව කියන්න පුළුවන්.

අධ්‍යක්‍ෂතුමා අපට කරුණු පහදා දෙන අතරේ ද විටින් විට පරිපාලන කටයුතු සඳහා මැදිහත් වෙයි.නවීන උපකරණ මගින් අක්‍ෂි පරික්‌ෂා කිරීම් කටයුතුද අපට දක්‌නට ලැබේ.

අප රෝගීන් පිළිබඳව පුර්ණ වගකීම ගතහැකි ආයතනයක්‌. අපේ වෛද්‍ය, හෙදි සහ කණිෂ්ට කාර්ය මණ්‌ඩලය මනා පුහුණුවක්‌ ලබා තිබෙන පළපුරුදු රෝග පිරිසකගෙන් සමන්විතයි. ජාතියේ අක්‍ෂි රෝග සම්බන්ධ වගකීම නොබියව දරන්න තරම් අපි ශක්‌තිමත්. ඒ වගේම ඇස්‌ සම්බන්ධයෙන් පැය විසිහතර පුරාම ක්‍රියාත්මක වෙන හදිසි අනතුරු අංශයක්‌ අපට තිබෙනවා.

රෝහලක්‌ සතුව සියල්ල පැවතුනත්, එහි කාර්යක්‌ෂමතාවය නොමැති නම් එයින් පලක්‌ වේද...?අපි ඒ ප්‍රශ්නය රෝහල් අධ්‍යක්‍ෂකතුමාට ඉදිරිපත් කළෙමු.

ගිය වසරේ සහ මේ වසරේ අපිට ඵලදායිතා සම්මාන සහ සහතික හිමිවී තිබෙනවා.අපිට සැම වසරකදීම ඒ ඇගයීම ලැබී තිබෙනවා. ඒ වගේම අපි ශික්‌ෂණ රෝහලක්‌. පශ්චාත් උපාධිය හදාරණ වෛද්‍යවරුන් මෙහි පුහුණු වෙනවා. ඒ සඳහා සම්පුර්ණයෙන්ම නවීකරණය කරන ලද ශ්‍රවණාගාරයක්‌ ලබා දෙන්න, මම කටයුතු කළා .අක්‍ෂි තාක්‌ෂණවේදීන් සඳහා පුහුණුවීම් කරන්නෙත් අපි. ඇස්‌ කන්නාඩි ලබාදීමේදී පරීක්‌ෂණ කටයුතු කිරීම තමයි ඒ අයගේ රැකියාව. ඒ සඳහා විධිමත් ආයතනයක්‌ මේ රෝහලේම ඉදිකරමින් පවතිනවා. එසේම රෝහල් සංඛ්‍යා ලේඛන විධිමත් ලෙස පරිගණක ගත කරන්නත් අපි කටයුතු ආරම්භ කර තිබෙනවා.

අධ්‍යක්‌ෂකතුමා විසින් පැහැදිළි කර දෙන්නේ, ජාතික අක්‍ෂි රෝහල කොතරම් පොහොසත්ද කියාය. හොඳීන් පෙනෙන ජාතියක්‌ උදෙසා, නවමු පියවර රැසක්‌ ගෙන තිබෙන අතර සෞඛ්‍ය අමාත්‍යංශය සමඟ තවත් ඉදිරි පියවර රැසක්‌ ගැනීමට ද කටයුතු යොදා තිබේ.

ඔසිත අත්තනායක
ඡායාරූපය - ක්‍රිෂාන් කාරියවසම්

Post a Comment

0 Comments