ප්ලාස්‌ටික්‌ සැත්කම්


කවුද ලස්‌සනට ඉන්න අකමැති, අපි කවුරුත් ලස්‌සනට ඉන්න කැමතියි. ඒ නිසා තමයි කණ්‌ණාඩියෙන් මූණ බල බලා මූණෙ තියෙන අඩුපාඩු නැති කරගන්න නොයෙකුත් රූපලාවන්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නෙ. හැබැයි ඉතිං... උපන් කැත නැති කරන්න බැහැ..... එහෙම කිව්වෙ ඉස්‌සර. දැන් උපන් කැතත් නැති කරන්න පුළුවන්. ඔන්න ඉතිං... එහෙම කිව්වා කියලා ඔබ ගොඩක්‌ ආසාකරන නළු නිළියන්ගේ වගේ මූණ හදාගන්නනම් බැහැ. එහෙම කියන්න වෙන්නෙ සමහරු තමන් කැමැති පුද්ගලයන්ගේ ඡායාරූප අරගෙන රූපලාවන්‍යාගාර වලට ගිහින් මාව මේ වගේ හැඩ වැඩ කරලා දෙන්න කියලා කියනවා. ඒකනම් කරන්න අමාරුයි. රූපලාවන්‍ය ප්‍රතිකාරවලින් කරන්න පුළුවන් තමුන්ගේ තියෙන රූපය වඩාත් දියුණු කිරීම පමණයි. මෙතෙක්‌ කාලයක්‌ ලංකාවේ අයට රූපය අලංකාර කරගන්න යන්න තිබුණ එකම තැන රූපලාවන්‍යාගාර පමණයි. දැන් රෝහල් වලට ගිහින් තමුන්ගෙ රූපය අලංකාර කර ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේත් දැන් රූපලාවන්‍ය සැත්කම් (ඤsපැඑසජ Sමරටැරහ) සිදුකරනවා. එම සැත්කම් සිදුකරන්නේ ප්ලාස්‌ටික්‌ සැත්කම් සිදුකරන ශල්‍ය වෛද්‍යවරුන් විසිනි. එහෙම කියන්න සිදුවන්නේ වර්තමානයේ මෙවැනි රූපලාවන්‍ය සැත්කම් විවිධ පුද්ගලයනුත් සිදුකරන නිසා. මෙහි තියෙන අවදානම් බව කොළඹ ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙක්‌ වන දුලිප් පෙරේරා සහ තුෂාන් බෙනරගම යන මහත්වරු පවසන්නේ නිසි ශල්‍යාගාර පහසුකම් සහ නිර්වින්දන වෛද්‍ය පහසුකම් නැතිව ඇතැම් දෙනා රූපලාවන්‍ය සැත්කම් සිදුකරන මධ්‍යස්‌ථාන පිහිටුවාගෙන තිබෙන බවය. මෙවැනි මධ්‍යස්‌ථානවලින් තමුන්ගේ රූපය අලංකාර කරගන්නට අවශ්‍ය සැත්කම් සිදුකර ගැනීමට යැමෙන් සිදුවන්නේ ජීවිත පවා අවදානම් තත්ත්වයකට පත්වීම බවය.

පිළිගත් වෛද්‍යවරයෙක්‌ මෙවැනි සැත්කමක්‌ සිදුකරන කොට බයවෙන්නේ ඇයි? අපට එවැනි පැනයක්‌ නැගෙන්න පුළුවන්. ඒ පැනයට වෛද්‍යවරුන් දෙපළ දුන් පිළිතුර තමයි සෑම වෛද්‍යවරයකුටම සැත්කමක්‌ කළහැකි වුණත් ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කරන්න, රූපලාවන්‍ය සැත්කමක්‌ කරන්න විශේෂ දැනුමක්‌ ලබා තිබිය යුතුයි කියන එක. ඒක ආවාට ගියාට කරන්න බැහැ. මොකද සැත්කමක්‌ කරන කොට ඒ පුද්ගලයාව නිර්වින්දනය කළයුතු වෙනවා. ඒ සඳහා නිර්වින්දන වෛද්‍යවරයකුගේ සේවය අවශ්‍යයි. එවැනි වෛද්‍ය පහසුකම් නැතිව පුද්ගලයකු නිර්වින්දනය කර පසුව සිහිගන්වන්න අමාරුවුණොත් එම පුද්ගලයාගේ ජීවිතය අනතුරට ලක්‌වෙනවා.

සාමාන්‍යයෙන් අපි ප්ලාස්‌ටික්‌ සැත්කම් විදියට ශ්‍රී ලංකාවේ සිදුකරන සැත්කම් ලෙස දැනගෙන තිබුණේ පිළිස්‌සීමකින් ඇතිවන සමේ විකෘතිතාවයක්‌ යළි සැකසීම, තොල්වල විකෘතිතාවයක්‌ නැවත සකස්‌ කිරීම, අනතුරකින් වෙන්වී ගිය අතක්‌ පයක්‌ යළි බද්ධ කිරීම වැනි ප්‍රතිකාර ගැන පමණයි. නමුත් බටහිර රටවල ප්ලාස්‌ටික්‌ සැත්කම් මගින් සිරුරේ නොයෙකුත් අවයව පවා සකස්‌ කරන බව අසා තිබෙනවා. එදා අපි අසා තිබූ එම සැත්කම් අද ශ්‍රී ලංකාවේ රෝහල්වලත් සිදුකිරීමේ පහසුකම් ඇති බව අපට දැනගන්නට ලැබුණා.

එම සැත්කම් අතරට මුහුණේ බෙල්ලේ සම එල්ලා වැටීම, සිරුරේ අධික තරබාරුව නිසා සම මත තැන්පත්වී ඇති අධික මේද තට්‌ටුව ඉවත් කිරීම, කාන්තාවන්ගේ දරු ප්‍රසූතියෙන් පසු ඇති වූ උදරය එල්ලා වැටීම, නාසය, තොල්, ඇස්‌, ආදියේ මතුව ඇති විකෘතිතා, කම්මුල, නිකට වැනි ප්‍රදේශවල පවතින විකෘතිතා ආදියත් පියයුරුවල මතුව ඇති අසාමාන්‍ය තැන් සැත්කම් මගින් සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමේ සැත්කම් ශ්‍රී ලංකාවේදී සිදුකරන බව මෙම වෛද්‍යවරුන් දෙපළ අපට පැවසුවා. අපි බොහෝ වෙලාවට සිතන්නේ මෙවැනි විකෘති තා බහුලවම පවතින්නේ කාන්තාවන් අතර යෑයි කියාය. එය වැරැදියි. ඇතැම් පිරිමින් තුළත් මෙවැනි විකෘතිතා තිබෙනවා. නිදසුනක්‌ දක්‌වතොත් ඔවුන්ගේ පියයුරු අසාමාන්‍ය ලෙස විශාල වීම දක්‌වන්න පිළිවන්. ඉතිං එවැනි තත්ත්වයක්‌ සඳහා රූපලාවන්‍ය සැත්කමකට යොමු වී සාමාන්‍ය ආකාරයකට පත්කරන්න හැකියි.

පියයුරු සම්බන්ධ ගැටලු බහුලව මතුවන්නේ කාන්තාවන් තුළයි. පියයුරු විශාලව පැවතීම, එල්ලා වැටීම හෝ ඉතා කුඩාවට පැවතීම ආදියත් පියයුරු පිළිකාවක්‌ නිසා එය ඉවත් කිරීමට සිදුවීමක්‌ වැනි අවස්‌ථාවකදී රූපලාවන්‍ය සැත්කමකට යොමුවී එය සාමාන්‍ය තත්ත්වයට පත්කරගත හැකියි.

මේ මොන සැත්කමකට වුවත් සල්ලි අවශ්‍යයි. මොකද මෙවැනි සැත්කම් රජයේ රෝහල්හි සිදුකරන්නේ නැහැ. රජයේ රෝහල්හි සිදුකරන්නේ අත්‍යවශ්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ පමණයි. වැයවන මුදල තීරණය වන්නේ සැත්කම සිදුකිරීමට භාවිත කළ යුතු වෛද්‍ය ක්‍රම සහ පහසුකම් අනුව බව මෙම වෛද්‍යවරුන් පවසනවා. ඇතැම් අයට පැයකින් දෙකකින් සැත්කම සිදුකළ හැකිවුවත් සමහරුනට පැය කිහිපයක්‌ ගත වෙනවා. ඒ සඳහා ගත වන කාලය අනුව ශල්‍යාගාර පහසුකම් සඳහා වැයකළ යුතු මුදල වෙනස්‌ වෙනවා.

හදිසි අනතුරකින් සිදුවන කැපීම් සීරීම් වැනි තුවාල සඳහා වර්තමානයේ ප්‍රතිකාර සිදුකිරීමේදී මැහුම් යොදනවා. මෙම මැහුම්වල කැලැල් තුවාලය සුවවුවත් මැකීයන්නෙ නැහැ. 

මුහුණ වැනි සිරුරේ වැඩි අවධානයක්‌ ඇති ස්‌ථානයක මෙවැනි මැහුම් කැලැල් ඇතිවිට එවැනි පුද්ගලයන්ට මතුවන අපහසුතාවය මෙතෙකැයි කියලා කියන්න බැහැ. ඉතිං ඒ සඳහා මේ රූපලාවන්‍ය සැත්කම් මගින් ප්‍රතිකාර තිබෙනවාද?

මේ සම්බන්ධව වෛද්‍යවරුන් දෙපළ දුන් පිළිතුර වූයේ එවැනි කැලැල් නැති කිරීමට ප්ලාස්‌ටික්‌ සැත්කම් මගින් අපහසු බවයි. හැබැයි එවැනි කැලැල් ඇති නොවන ලෙස කළහැකි ප්‍රතිකාරයක්‌ ගැනත් ඔවුන් පැවසුවා. එනම් මෙවැනි තුවාලයකදී මැහුම් යෙදිය යුතු නැති බවයි.

තුවාලයකදී ප්‍රථමයෙන්ම කළයුත්තේ රුධිරය ගලායැම නතරකිරීමයි. ඉන් පසු තුවාලය සඳහා ප්‍රතිකාර කළහැකියි. මුහුණ වගේ තැනක නම් මැහුම් නොදා ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ මගින් කැලැල් ඉතා අවම මට්‌ටමක පවත්වාගෙන තුවාලය සුව කළහැකි බව වෛද්‍යවරු දෙපළ පැවසුවා.

මෙම කරුණු සාමාන්‍ය ජනතාව වගේම වෛද්‍යවරුනුත් දැනුවත්වී තිබීම වැදගත්. මොකද සමහර අවස්‌ථාවලදී වෛද්‍යවරුන් විසින් සිදුකරන ප්‍රතිකාර නිසා රෝගියා මුළු ජීවිත කාලයටම අපහසුතාවට පත්වෙනවා. ඉතින් එවැනි ගැටලු අවම කරගෙන නවීන විද්‍යාවේ පහසුකම් යොදාගෙන ප්‍රතිකාර කළොත් ගොඩක්‌ ලෙඩ අඩුකරගත හැකියි. 

ප්ලාස්‌ටික්‌ සැත්කම් සම්බන්ධව ජනතාව තුළ තිබෙන බියක්‌ තමයි මෙවැනි රූපලාවන්‍ය සැත්කම්වලින් පස්‌සේ සැත්කම් කළ ස්‌ථානවල පිළිකා ඇතිවිය හැකියි කියලා. මේ සම්බන්ධව මෙම වෛද්‍යවරුන් දෙපල පැවසුවේ පිළිකා සහ ප්ලාස්‌ටික්‌ සැත්කම් අතර සම්බන්ධයක්‌ නැති බවයි. පිළිකාවක්‌ ඇතිවීමේ අවදානමක්‌ ඇති අයට මෙම සැත්කම සිදුකළා කියා එය ඇතිවීමේ ඉඩකඩ ඉක්‌මන්වීමක්‌ හෝ ඒ සඳහා පරිසරයක්‌ ගොඩනැඟීමක්‌ සිදුවන්නේ නැහැ කියලා තමයි වෛද්‍යවරුන් දෙපළගේ අදහස.

කොහොමත් ඉතින් ලෙඩ අඩුකර ගන්න නම් තිsයෙන එකම විසඳුම නිරෝගීව ජීවත්වීමට උත්සාහ කිරීමයි. වර්තමානයේ අප බොහෝ දෙනා ශරීරයේ විකෘතිතාවයන් ඇතිකරගන්නේ කට නිසයි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව වැනි රටක අඩි පහක්‌ උස කාන්තාවකගේ තිබිය යුතු බර ප්‍රමාණය කිලෝ ග්රෑම් 55 යි. පිරිමියකුගේ එය කිලෝ ග්රෑම් 60 යි. වැඩිවන සෑම උස අඟලකටම කිලෝ 5 ක්‌ බැගින් එකතු කර ගණන් බැලීමෙන් තමුන්ගේ උසට සරිලන බර තීරණය කරගත හැකියි. එම බර පවත්වාගෙන යන්න පුළුවන් නම් සිරුරේ අවලස්‌සන බව බොහෝ දුරට මගහරවා ගන්න පුළුවන්.

ඒ වගේම තමයි සිරුර හැඩවැඩ කරගන්න කියලා අප ප්‍රතිකාර සඳහා යොමුවීමේදීත් නිවැරැදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි. වර්තමානයේ වෛද්‍යවරුන් නමින් පෙනී සිටින ඇතැම් දෙනාට අදාළ ප්‍රතිකාර කටයුතු සම්බන්ධව නිවැරැදි දැනුමක්‌ නැහැ. ඔවුන්ගේ අරමුණ මුදල් උපයාගැනීම පමණයි. ඉතින් නොදන්නා තැන්වලට ගොස්‌ ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරු ඇතිකරගන්න එපා කියලා තමයි අපට කියන්න වෙන්නේ.

ප්ලාස්‌ටික්‌ සැත්කම් පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන දුලිප් පෙරේරා සහ තුෂාන් බෙනරගම යන මහත්වරුන් විසින් කොළඹ ලංකා පෞද්ගලික රෝහලේ දී රූපලාවන්‍ය සැත්කම් පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා පැවැත්වූ වැඩමුළුව ඇසුරින් මෙම ලිපිය සකස්‌ කර ඇත.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments