ඩිනාර් සමඟ රටට ගේන ඒඩ්ස්


බහරේනයේ ඩිනාර් එකක මිල රුපියල් 355 කි. කුවේට්‌ ඩිනාර්Êඑකක මිල රුපියල් 442 කි. ඕමාන් රියාල් එකක මිල රුපියල් 347 කි. සෞදි අරාබියානු රියාල් එකක මිල රුපියල් 35 කි. ශ්‍රී ලංකාවේ සතේ අතේ නැතිව හිඟා නොකා හිඟා කමින් ජීවත්වන බොහෝ ඈත පිටිසර කාන්තාවෝ මැදපෙරදිග රටවල ගෘහ සේවයට ගොස්‌ ඩිනාර් රියාල්වලින් වැටුප් ලබාගෙන ලංකාවට පැමිණෙන්නේ තම සියලු අගහිඟකම් දුරකර ගැනීමේ ෙච්තනාවෙනි.

සෞදි රියාල් දහසක්‌ මාසිකව ගෘහ සේවක අවම වැටපු ලෙස ලැබුවොත් ලංකාවට එය රැගෙන එන්නේ රුපියල් තිස්‌පන්දහසක මුදලක්‌ ලෙසිනි. ඕමානයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කළහොත් ඇයට ලංකාවේ මුදලින් රුපියල් තුන්ලක්‍ෂ හතළිස්‌දහසක්‌ හිsමි වේ.

ශ්‍රී ලංකාවේ ඉහළම ධනපතියකුගේ නිවසක ගෘහ සේවිකාවක ලෙස සේවය කළත් මාසිකව ලබා ගත හැක්‌කේ රුපියල් විසිදහසකට ආසන්න මුදලකි. එනිසා අප රටේ බොහෝ කාන්තාවෝ මැද පෙරදිග ගෘහ සේවිකාවන් ලෙස සේවයට යන්නට මහත් රුචිකත්වයක්‌ දක්‌වති.

භාෂාව නොදැන, කළයුතු සේවය හරිහැටි නොදැන ඈත පිටිසර ගම්මානවල සිට මැදපෙරදිග යන බොහෝ කාන්තාවෝ යළි වසර කිහිපයකින් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ අරාබි භාෂාව හොඳින් හැසිරවීමේ හැකියාව සහිතවය. එවැනි කාන්තාවෝ නැවතත් මැදපෙරදිග ගෘහ සේවයට යන්නේ දන්නා හුරු පුරුදු රටක ධන කුවේරයන්ගේ නිවසකටය.

ගෘහ සේවයට යන සෑම කාන්තාවකටම නිසි ලෙස රිසි සේ රැකියාවේ යෙදී හොඳ වැටුපක්‌ ලබාගෙන යළි දිවයිනට පැමිණෙන්නට වාසනාව හිමි නොවේ. ඇතැම් කාන්තාවෝ අපා දුක්‌ විඳිති. තවත් කාන්තාවෝ ලිංගික අතවරවලට ලක්‌ව ගැබ්බර මව්වරු ලෙස යළි දිවයිනට පැමිණෙති.

මේ අතර මැදපෙරදිග යන කාන්තාවන් පිළිබඳව ලැබී ඇති අලුත්ම තොරතුරු අනුව ශ්‍රී ලංකාවේ සිටින එච්. අයි. වී. හෙවත් අපට හුරු පුරුදු ඒඩ්ස්‌ නමැති රෝගයෙන් ආසාධිත වූ කාන්තාවන්ගෙන් 90% ක්‌ මැදපෙරදිග රැකියා සඳහා ගිය අය බව හෙළි වී ඇත.

එසේම ඒඩ්ස්‌ රෝගය ආසාධිත ශ්‍රී ලාංකික පිරිමින්ගෙන් 40% ක්‌ විදේශගත රැකියාවල නිරත වූවන්ය.

මෙලෙස ඔවුනට ඒඩ්ස්‌ රෝගය වැළඳී ඇත්තේ අනාරක්‍ෂිත ලිංගික සම්බන්ධය නිසා සහ මත්ද්‍රව්‍ය ගැනීම සඳහා භාවිතා කරන අනාරක්‍ෂිත එන්නත් කටු මගිනි.

මැදපෙරදිග ගෘහ සේවයට යන කාන්තාවන් බොහෝදෙනකු සිය හාම්පුතුන්ගේ ලිංගික අතවරවලට ලක්‌වන බව වාර්තා වේ. මෙලෙස අතවරවලට ලක්‌වන කාන්තාවන්ගේ සිරුරට ඒඩ්ස්‌ වෛරසය ඇතුළු වී ඇතිදැයි කියා බොහෝ විට වාර්තා වන්නේ ඔවුන් විදේශගතවන විටදී සිදු කරන රුධිර පරීක්‍ෂාවේදී ය.

මැදපෙරදිග සේවය සඳහා යන බොහෝ පුද්ගලයන් ද එම රටවලදී විවිධ කාන්තාවන් සමඟ අනාරක්‍ෂිත ලිංගික හැසිරීම්වල යෙදෙන බව හෙළි වී ඇත. ඇතැම් පුද්ගලයෝ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිති. ඔවුන් එම මත්ද්‍රව්‍ය ගනු ලබන්නේ පොදුවේ භාවිතා කරන එන්නත් කටු මගිනි. මින් ඒඩ්ස්‌ රෝගී අයකුගෙන් ඉතා පහසුවෙන් අනෙක්‌ පුද්ගලයකුට රෝගය පැතිර යා හැකිය.

ඒඩ්ස්‌ ආසාධිත විවාහක කාන්තාවන් ද යළි සිය රටට පැමිණ තම සැමියා සමඟ ලිංගික සංසර්ගයේ යෙදෙන විට ඉතා පහසුවෙන් සැමියාට රෝගය බෝවිය හැකිය. දිගු කලක්‌ බිරිඳ තමාගෙන් බැහැරට සිටි විට එවැනි ස්‌වාමිපුරුෂයන් බිරිඳ සමඟ ලිංගිකව එක්‌වීමේදී උපත් පාලන කොපු ආදිය භාවිතා කරන්නේ නැත. බිරිඳ ද සැමියාට එවැනි දෙයකට ඉල්ලීමක්‌ කරන්නේ නැත. ඒ අතර එවැනි ඉල්ලීමක්‌ කළහොත් ඉන් සැකයක්‌ ද මතුවිය හැකිය. එනිසා මෙය ඉතා සංකීර්ණ ගැටලුවක්‌ බවට වර්තමානයේ පත්ව තිබේ.

ඒඩ්ස්‌ රෝගය ගැන වසර දහයකට පමණ පෙර අප කතාබහ කළේ විදේශිකයන්ට පමණක්‌ උරුම රෝගයක්‌ ලෙසය. එසේම ඒඩ්ස්‌ වැළඳෙන්නේ සමලිංගික ඇසුර, ගුද මාර්ගය, මුඛ මාර්ගය වැනි ඉJද්‍රියයන් ඔස්‌සේ ලිංගිකව හැසිරීම නිසා යෑයි පැවසූ නිසා අපේ බොහෝ කාන්තාවෝ බියට පත් නොවූහ. ඔවුන්ට එවැනි ලිංගික හැසිරීම් හුරු පුරුදුව නොතිබුණි. නමුත් වර්තමානයේ මෙය උඩු යටිකුරු වී ඇත.

ඒඩ්ස්‌ රෝගයේ ඇති භයානකකම වනුයේ මෙම රෝගය සම්පූර්ණයෙන් සුව කිරිම සඳහා නිශ්චිත ඖෂධයක්‌ නොතිබීමය.

මෙය වෛරස්‌ රෝගයක්‌ නිසා ඊට ඖෂධ නිපදවීම අපහසුය. එසේම මෙම රෝගය නිසා සිදුවන්නේ අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්‌තිකරණය අඩපණ කිරීමය. එනම් සුදු රුධිර සෛලවල ඇති ලිමිපොසෛට නමැති කොටසේ ඇති ප්‍රතිශක්‌තිකරණයේ අත්‍යවශ්‍ය කොටසක්‌ වන CD4 නමැති සෛල කාණ්‌ඩ විනාශ වීමය. මෙම සෛල විනාශ වීමෙන් සිරුරේ ප්‍රතිශක්‌තිකරණ පද්ධතිය දුර්වල වේ. එවිට බාහිරින් සිරුරට ඇතුළු වන ඕනෑම විෂබීජයකින් දරුණු අසාධ්‍ය තත්ත්වයන් මතු වේ. එවිට පාචනය, නියුමෝනියාව, ක්‍ෂය රෝගය සහ පිළිකා වර්ග වැනි රෝග මතු වී ඉතා පහසුවෙන් ඒවා දරුණු තත්ත්වයන්ට පත් වී මරණයෙන් කෙළවර වේ.

මැදපෙරදිග රටවල ගෘහ සේවයට ශ්‍රී ලාංකික කාන්තාවන් යෑවීම සීමා කිරීමට මේ වන විට රජය අවධානය යොමු කර ඇත. එය ඉතාමත් කාලෝචිත දෙයකි. කාත් කවුරුවත් නොමැති රටකට ගොස්‌ නිවසක බැලමෙහෙවර කරන විට බොහෝ නිවැසියන් සිතනුයේ තමා වැටුප් ගෙවනවා නම් එම ගෘහ සේවිකාව තමුන්ගේ සියලු අවශ්‍යතා ඉටුකළ යුතු බවය. දුප්පත්කමට දුරු රටකට ගොස්‌ සිර වූ කාන්තාවන්ට මෙවැනි සිද්ධියක්‌ හමුවේ පිළිසරණ පතා යන්නට තැනක්‌ නැත. ආපසු දිවයිනට එන්නට ද හැකියාවක්‌ නැත. එනිසා නිහඬව සියල්ල විඳ දරා ගැනීමට සිදු වේ.

විශේෂයෙන් ම ලිංගික අතවරවලට ලක්‌ වූ විට එය අන් අයට පැවසීමට වඩා රහසක්‌ව තබාගැනීමට බොහෝ කාන්තාවෝ උත්සාහ ගනිති.

සැමියාගෙන් දුරස්‌ව බිරිඳගෙන් දුරස්‌ව දූ දරුවන්ගෙන් දුරස්‌ව හුදකලා වූ විට බොහෝ කාන්තාවන්ට, පිරිමින්ට වරදේ බැඳෙන්නට ඇති බිය නැති වේ. කවුරුත් දකින්නේ නැහැනේ යෑයි ඔවුහු සිතති. නමුත් බැඳුණු වරදේ බරපතළ බව වැටහෙන්නේ ඔවුනට මෙවැනි භයානක රෝග වැළඳුන විටදීය. ඒඩ්ස්‌ රෝගය වැළඳීමට ඇති 99% කම හිමිකම පවතිනුයේ අනාරක්‍ෂිත ලිංගික හැසිරීම් සහ අනාරක්‍ෂිත මත්ද්‍රව්‍ය එන්නත් කර ගැනීම නිසාය. එනිසා තමාට ඒඩ්ස්‌ රෝගය වැළඳුණේ ආහාරපාන මගින් හෝ ඇඳුම් පැළඳුම් මගින් කියා වරදින් මිදීමට ඇති ඉඩකඩ සීමිතය.

මැදපෙරදිග යන සියලු ගෘහ සේවිකාවන් සහ සේවකයන්ට මෙය පොදු චෝදනාවක්‌ නොවේ. නමුත් දැනට ශ්‍රී ලංකාවේ හඳුනාගෙන ඇති ඒඩ්ස්‌ රෝගීන් 2331 දෙනා ගෙන් 850 ක්‌ පමණ දෙනා විදේශගත ශ්‍රමිකයකු ලෙස කවදා හෝ සේවය කර ඇත.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments