රුපියල් දහසට අඩුවෙන් විකිණෙන තරුණ තරුණියෝ


මිනිස්‌ වෙළඳාම ශිෂ්ටසම්පන්න සමාජය පිළිගන්නේ නැත. අතීතයේ දී මිනිස්‌ වෙළඳාම තිබුණත් එය වැඩවසම් යුගයේ පැවැති වහල් වෙළඳාමක්‌ නිසා වර්තමාන සමාජයේ එම අශිෂ්ට මිනිස්‌ වෙළෙ¹ම් තහනම් කර ඇත.

කිසිදු පුද්ගලයකුගේ ජීවිතයට වටිනාකමක්‌ ලබාදිය නොහැකිය. මිනිස්‌ ජීවිතයක්‌ යනු මිල කළ නොහැකි සම්පතකි. නමුත් වර්තමානයේ වාණිජකරණයවී ඇති සමාජය තුළ මිනිසාට මිලක්‌ නියම නොකළත් මිනිස්‌ ශ්‍රමයට මිලක්‌ නියම කර ඇත. එසේ මිල නියම කරමින් කොන්ත්‍රාත් පදනමට රැකියා ආයතන සඳහා සේවක සේවිකාවන් අලෙවි කරන ආයතන බිහිවී ඇත. මෑන් පවර් (Man power) හෙවත් 'මිනිස්‌ ශ්‍රමය අලෙවි කිරීම' නමින් පෞද්ගලික ආයතන පිහිටුවාගෙන ඔවුහු විවිධ කර්මාන්තශාලා සහ පෞද්ගලික ආයතන වෙත දවසේ වැටුපට සේවක සේවිකාවන් අලෙවි කරති.

මෙවැනි එක්‌ සේවක සේවිකාවකට දිනකට මෑන් පවර් ආයතනය මගින් ගෙවනු ලබන්නේ රුපියල් දහසකට අඩු මුදලකි. නමුත් ඔවුන් ආයතනය සඳහා සේවක සේවිකාවන් අලෙවි කරන්නේ රුපියල් දහසකට වැඩි මුදලකටය.

මෙම මෑන් පවර් ආයතන සේවක සේවිකාවන් අලෙවි කිරීම සඳහා සොයා ගන්නේද අපූරු ආකාරයටය. එවැනි අත්දැකීමක්‌ විඳගැනීමට මටද පසුගිය දිනෙක හැකිවිය.

උදැසන හතවන විට බියගම නිදහස්‌ වෙළෙඳ කලාපයට ඇතුළුවන ප්‍රධාන දොරටුව අසලට ගියෙමි. කලාපේ ඉදිරිපිට යෑයි මෙම ස්‌ථානය ප්‍රසිද්ධියට පත්ව ඇත. මෑන් පවර් ආයතනවල නිලධාරීහු වෑන් රථවලින් ත්‍රි රෝද රථවලින් බස්‌ රථවලින් පැමිණ සේවක සේවිකාවන් ලබා ගනිති. හරියටම එය සේවක සේවිකාවන් ලබා ගන්නවාට වඩා පෑලියගොඩ මාළු වෙළෙඳ පොළේ තොග මිලට මාළු අලෙවි කරනවා හා සමානය.

බලවත්තු ජයගනිති. එනම් සේවක සේවිකාවනට වැඩි ලංසුවක්‌ ලබාදෙන මෑන් පවර් නිලධාරීන් වෙත සේවක සේවිකාවෝ ඇදී යති.

ආ... මල්ලි ෆැක්‌ටරියක වැඩ තියෙනවා, දවසට රුපියල් නවසිය පනහයි, කන්න දෙනවා... තේ දෙනවා අටයි පහ වැඩ. දහ දෙනෙක්‌ ඕනේ.. මෑන් පවර් නිලධාරියෙක්‌ කලාපය ඉදිරිපිටට පැමිණ සිටින දවස්‌ පඩියට සේවය කිරීමට යැමට කැමැති සේවක සේවිකාවනට පැවැසීය.

අපෝ... බැහැ.... රුපියල් දාහක්‌වත් ඕනේ. තරුණයෝ පිරිසක්‌ ඔහුට පිළිතුරු දුන්හ.

බැහැ මල්ලි... එයාලා ඉල්ලන්නෙත් රුපියල් දාහටම. මට ඔයාලගෙන් තියෙන්නේ රුපියල් පනහයි. මෑන් පවර් නිලධාරියා කීවේය.

නංගි... ගාර්මන්ට්‌ එකක ඇඳුම් මහන්න තියෙනවා. දවසට අටසීයයි. දවල්ට කන්න දෙනවා.. හවසට තේ දෙනවා. හවස හයට වැඩ ඉවරයි. සතියක්‌ දෙකක්‌ වැඩ තියෙනවා. කැමතිද? පහළොවක්‌ ඕනේ... මේ අතර තවත් මෑන් පවර් නිලධාරියෙක්‌ සිය වෑන් රථයේ සිට තරුණියන් පිරිසකට පැවැසීය. ඔයාලව උදේට ඇවිත් අපි අරගෙන යනවා. හවසට ගෙනත් ඇරලනවා.

ඔහුගේ මුදලට කැමැතිව තරුණියන් පහළොස්‌ දෙනෙක්‌ වෑන්රථයට ගොඩවූහ.

සිය ගොදුර ඩැහැගත් මෑන් පවර් නිලධාරියා ඉතා වේගයෙන් වෑන් රථය ධාවනය කරමින් අදාළ කර්මාන්තශාලාව වෙත යන්නට ගියේය.

මල්ලී කොන්ක්‍රීට්‌ එකක්‌ දාන්න තියෙනවා පස්‌ දෙනෙක්‌ ඕනෙ. දවසට එක්‌දහස්‌ දෙසීයයි. කට්‌ටිය ඉන්නවද? ත්‍රිරෝද රථයකින් පැමිණි මෑන්පවර් ආයතන නිලධාරියෙක්‌ විමසීය.

අලුත්ම පන්නයේ ටී ෂර්ට්‌ සහ ඩෙනිම් කලිසම්වලින් සැරසී සපත්තු දමා හිසකෙස්‌ වර්ණ ගන්වා කනට කරාබු දමා බෙල්ලේ දම්වැලක්‌ සමාන සුදු යකඩ මාල දමාගෙන සිටි තරුණයන් පස්‌දෙනෙක්‌ එම ආරාධනය පිළිගත්හ.

ඇත්තටම මෙය අපූරු වෙළෙඳ පොළකි. උදැසන හතවන විට මෙම ස්‌ථානයේ දිනපතා මෙලෙස සේවක සේවිකාවන් මෑන් පවර් ආයතන වෙත මිලදී ගන්නා බවත් උදැසන අට වනවිට සියල්ල අවසන් බවත් එම කටයුතුවල නිරතවන මෑන් පවර් නිලධාරියෙක්‌ මා හට පැවැසීය.

දැන් ඉස්‌සර වගේ නොවෙයි රස්‌සාවලට තරුණ තරුණියන් සොයගන්න අමාරුයි. සමහර ෆැක්‌ටරිවලින් කැමැති නැහැ ස්‌ථිර සේවයට ගන්න. දවසේ පඩියට කට්‌ටිය ගන්නයි එයාලා කැමැති. ඊ.පී.එµa., ඊ.ටී.එµa. ගෙවන්න ඕනේ නැහැ. දවස්‌ පඩිය දුන්නා වැඩේ ඉවරයි. අපිත් එක්‌ සේවකයෙක්‌ගෙන් රුපියල් පනහක්‌ සීයක්‌ තියාගෙන ෆැක්‌ටරිවලට කට්‌ටිය දෙනවා.

මේ අය මේ අවට ගම්වල විතරක්‌ නෙමෙයි. ඈත ප්‍රදේශවල ඉඳල ඇවිත් බෝඩිංවෙලා ඉන්නෙ. සමහරු හමුදාවෙන් පැනලා ආපු අය. තවත් අය රස්‌සාව කරපු තැනින් අතරමග දාලා ආව අය. තවත් අය ගෙවල්වලින් හොරෙන් පැනලා ආව අය. තවත් අයගේ වැඩකරපු ෆැක්‌ටරි වහලා.

අපි කරන්නෙ එයාලගේ හැඳුනුම්පතේ ඡායා පිටපතකුයි උප්නැන්න සහතිකේ ඡායා පිටපතකුයි අරගෙන ෆැක්‌ටරිවලට දෙන එක.

ඇත්තටම මේක ලොකු වගකීමක්‌. ඒ අය මොනවා හරි වරදක්‌ කළොත් මෑන් පවර් ආයතනයට තමයි චෝදනා කරන්නෙ. ඔහු සිය මෑන් පවර් ආයතනයේ වගකීම ගැන පැවැසීය.

මෑන් පවර් ආයතන මගින් රැකියාවට යන තරුණයෙක්‌ සමඟ මම පිළිසඳරේ යෙදුණෙමි.

මේ වැඩේ ලේසියි දවසට අපිට රුපියල් දාහක්‌ විතර හොයා ගන්න පුළුවන්. එකම තැන නොවෙයිනේ වැඩ කරන්නෙ. දවසගානේ එක එක කොම්පැනිවල. සති අන්තයේ ගෙදර යනවා. මගේ ගම අනුරාධපුරය. මා සමඟ පිළිසඳරේ යෙදුණු තරුණයා කීවේය.

අපි වෙළෙඳ කලාපෙ වැඩට ආවේ. අපේ ෆැක්‌ටරිය වහලා දැම්මා. දැන් කරන්න රස්‌සාවක්‌ නැහැ. බෝඩිං ගාස්‌තු ගෙවන්න ඕනේ. රස්‌සාවක්‌ නැතුව ගමට යන්න බැහැ. අපේ පවුලේ වැඩි බරක්‌ තියෙන්නේ මට. රම්‍යා නමින් හඳුන්වමින් ඇඹිලිපිටිය සිට බියගම නිදහස්‌ වෙළෙඳ කලාපයේ රැකියාවට මීට වසර හතකට පමණ පෙර පැමිණි ඇය කීවාය.

අපේ ෆැක්‌ටරියෙ බෝනික්‌කො හැදුවෙ. කොරියන් ෆැක්‌ටරියක්‌. අපි ගැහැනු ළමයි පනහක්‌ විතර වැඩ කළා. සමහරු වෙනත් ෆැක්‌ටරිවල වැඩට ගියා. අපි විසි දෙනෙක්‌ මේ වගේ මෑන් පවර් ආයතනවලට සම්බන්ධවෙලා දවසේ පඩියට සේවය කරනවා. අපිට වැඩකරපු තැනින් වන්දියක්‌වත් ලැබුණෙ නැහැ. මං කසාද බැඳලා. හැබැයි තවම වෙඩින් එක ගත්තෙ නැහැ. මං බැඳපු එක්‌කෙනත් මෑන් පවර් ආයතන එක්‌ක වැඩ කරනවා. රම්‍යා තම ජීවිත කතාව කීවාය.

ඔහොම එක එක දවසට එක එක තැන්වලට යන කොට ඔයාලා හෑල්ලුවට ලක්‌වෙනවා නේද? මම විමසූ පැනයට ඇය දුන්නේ අතිශය සංවේදී පිළිතුරකි.

වෙළෙඳ කලාපේ රැකියාවට එන කෙල්ලො ගොඩක්‌ කලාපේ කෑලි කියලා ලේබල් ගහලා තියෙන්නෙ. දැන් අපේ හෑල්ලු වෙන්න දෙයක්‌ නැහැ. හැබැයි අපි නන්නත්තාරේ යන කෙල්ලො නොවෙයි. නැති බැරි කමට කොළඹ ඇවිත් රස්‌සාව කරන්නෙ.

උදැසන හතට පමණ මීමැසි ගුලක්‌ ඇවිස්‌සුනා මෙන් කඩිසරව පැවති බියගම වෙළෙඳ කලාපේ ප්‍රධාන දොරටුව අබියස පෙදෙස උදැසන අට පමණ වනවිට පාළු සොහොන් පිටියක්‌ බඳු විය. මෑන් පවර් නිලධාරීන් විසින් දවසේ වැටුපට සේවය කිරීමට කැමැති සේවක සේවිකාවන් රැගෙන ගොස්‌ අවසානය.

ඉතිරිව සිටියේ වයස අවුරුදු පනහට ආසන්න පුද්ගලයන් දෙතුන් දෙනකු පමණි. ඔවුන්ද කුමක්‌ හෝ කුලී වැඩකට තමුනට කිසිවකුත් ආරාධනා කරන තුරු අසල තේ කඩයට ගොඩවී මහමග දෙස නෙත් යොමුකර බලා සිටින්නට වූහ.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments