මරණ පරීක්‍ෂණයක් සඳහා පැමිණෙන බොහෝ දෙනා එයින් සිදුවන කාර්යභාරය ගැන නොදනී. එබැවින් මේ ගැන තොරතුරු දැන කියා ගැනුමට කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක ශ්‍රීමතී රුද්‍රිගූ මහත්මිය සම්බන්ධ කරගත්තෙමු.
ප්‍රශ්නය - මරණ පරීක්‍ෂණයක් යනු කුමක්‌ද?
පිළිතුර - ස්‌වාභාවික මරණයක් හෝ වේවා හදිසි මරණයක් හෝ වේවා මියගිය අයගේ දේහය සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වා ඥතීන්ට දේහය භාරදීමේ ක්‍රියාවලිය. විශේෂයෙන්ම මෙහිදී මියගිය අයගේ ඥතීන්ගෙන් ලබාගන්නා සාක්‍ෂි හා අවශ්‍ය වුවහොත් මෘත දේහය කපා අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදුකරනු ලබන පශ්චාත් මරණ පරීක්‍ෂණයේ වාර්තා පදනම් කරගෙන මරණ පරීක්‍ෂණය සිදුකරනු ලබනවා.
ප්‍රශ්නය - මරණ පරීක්‍ෂණය හා හදිසි මරණ පරීක්‍ෂණය අතර වෙනසක් තිබේද?
පිළිතුර - නැහැ. එම දෙකම එකම අර්ථය ගෙන දෙන වචන.
ප්‍රශ්නය - මරණ පරීක්‍ෂකවරයකු මරණ පරීක්‍ෂණයක් පවත්වනු ලබන්නේ කුමන කරුණු පදනම් කරගෙනද?
පිළිතුර - "රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කිරීමට පෙර සිදුවන මරණ, රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිsටියදී සිදුවන මරණ, විශේෂයෙන් සිදුකරනු ලබනවා."
ප්‍රශ්නය - මරණ පරීක්‍ෂකවරයකු පවත්වන මරණ පරීක්‍ෂණ මොනවාද?
පිළිතුර - මාර්ග රිය අනතුරු, සියදිවි නසා ගැනීම්, හදිසි අනතුරු, හඳුනා නොගත් මරණ, ස්‌වාභාවික හේතූන් මත සිදුවන මරණ, මරණ පරීක්‍ෂකවරයකු විසින් පවත්වනවා.
ප්‍රශ්නය - මරණ පරීක්‍ෂණයක් සඳහා පැමිණෙන මියගිය අයගේ ඥතීන් රැගෙන ආ යුතු දේවල් මොනවාද?
පිළිතුර - අනිවාර්යයෙන්ම මරණකරුගේ හෝ මරණකාරියගේ ජාතික හැඳුනුම්පත, දේහය භාරගැනීමට නීත්‍යානුකූල අයිතිය ඇති ඥතියකුගේ ජාතික හැඳුනුම්පත, මියගිය පුද්ගලයා මීට පෙර රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත්නම් රෝග නිශ්චය කාඩ්පත්, වෛද්‍ය වාර්තා, ප්‍රතිකාර ලේඛන ඉතා අත්‍යවශ්‍යයි.
ප්‍රශ්නය - මරණ පරීක්‍ෂණය සඳහා පොලිසිය අවශ්‍යමද?
පිළිතුර - අනිවාර්යයෙන්ම පොලිසිය අවශ්‍යයි. මරණ පරීක්‍ෂණයක සාක්‍ෂි මෙහෙයවීම සිදුකරනු ලබන්නේ පොලිසියයි. මරණ පරීක්‍ෂකවරයාට පොලිසිය නැතිව මේ පරීක්‍ෂණය සිදුකරන්න බැහැ. පොලිසියට මරණ පරීක්‍ෂකවරයා නැතුව මේ පරීක්‍ෂණය කළ නොහැකියි.
ප්‍රශ්නය - මරණ පරීක්‍ෂණයකදී විවෘත තීන්දුවක් නිකුත් කරනවා කියා කියන්නේ කුමක්‌ද?
පිළිතුර - මියගිය අයගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වන අධිකරණ වෛද්‍ය නිලධාරියාට එම මරණයට හේතුව සොයාගත නොහැකි වුවහොත් ඒ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණයක් සඳහා දේහයේ කොටස් රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරනු ලබනවා. ඒ යොමු කරන කොටස් පිළිබඳ වාර්තා එනතුරු මරණය සිදුවූ ආකාරය පිළිබඳව නිශ්චිත නිගමනයක් ලබා නොදී එය ලබාදීම පසුවට කල්තබනවා. ඒක විවෘත තීන්දුවක් නමින් හඳුන්නනවා. විවෘත තීන්දුවක් ලබාදුන් පසු මෘත දේහය භූමිදාන කිරීමට පමණක් අවසර ලැබෙනවා. දේහය ආදාහනය කිරීමට (ගිනි තැබීමට) අවසර ලැබෙන්නේ නෑ. යම් කිසි හෙයකින් රස පරීක්‍ෂක වාර්තාවට අනුව මරණය සිදුවූ ආකාරය ගැන සැකයක් ඇතිවුවහොත් අධිකරණ නියෝගයකට අනුව මහෙස්‌ත්‍රාත්වරයා ඉදිරියේ මෘත දේහය ගොඩගනු ලබනවා.
ප්‍රශ්නය - පශ්චාත් මරණ පරීක්‍ෂණයක් කියන්නේ මොකක්‌ද?
පිළිතුර - අධිකරණ වෛද්‍ය නිලධාරීවරුන් මියගිය අයගේ ශරීර අභ්‍යන්තරය හා බාහිර සියලු ඉන්ද්‍රියන් කපා පරීක්‍ෂාවට ලක්‌කර ඒ පිළිබඳව දෙනු ලබන වෛද්‍ය විද්‍යාත්මක හේතුව පශ්චාත් මරණ පරීක්‍ෂණය නමින් හඳුන්වනවා.
ප්‍රශ්නය - පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවට තීන්දු කිරීමේ නීත්‍යානුකූල බලය ඇත්තේ කාටද?
පිළිතුර - ඒ බලය පැවරෙන්නේ මරණ පරීක්‍ෂකවරයාටයි. ඥතීන් ඉදිරිපත් කරන මරණකරුගේ ප්‍රතිකාර ලේඛන සටහන් බලා මරණය අදාළ පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පවත්වනවාද? නැද්ද? කියා තීරණය ගැනීමට බලය ඇත්තේ මරණ පරීක්‍ෂකවරයාටයි. ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් එම පරීක්‍ෂණය සිදුකරනු ලබනවා.
ප්‍රශ්නය - මියගිය අයකුගේ මරණ පරීක්‍ෂණ වාර්තාව ඥතීන්ට භාරදීමක් සිදුවෙනවාද?
පිළිතුර - මුලින්ම දෙන්නේ මරණ පරීක්‍ෂකවරයාගේ සහතිකය. එම මරණ සහතිකය මරණ රෙජිස්‌ට්‍රාර්වරයාට ඉදිරිපත් කළ යුතුයි. එහිදී රෙජිස්‌ට්‍රාර්වරයා විසින් මරණකරු වෙනුවෙන් මරණ සහතිකය නිකුත් කරනු ලබනවා." එම මරණ සහතිකයේ මරණයට හේතුව සඳහන් කෙරෙනවා.
ප්‍රශ්නය - මරණ පරීක්‍ෂණ වාර්තාව ඥතීන්ට ලබාදෙනවාද?
පිළිතුර - මෙහෙමයි ඥතීන්ට ලබා දෙන්නේ මරණ සහතිකය පමණයි. මරණ පරීක්‍ෂණ වාර්තාව දෙන්නේ අධිකරණයට පමණයි.
ප්‍රශ්නය - මරණ සහතිකයක ඇති වැදගත්කම කුමක්‌ද?
පිළිතුර - කෙනකුගේ උප්පැන්න සහතිකය වගේම මරණ සහතිකයත් ඉතාම වැදගත්. මොකද මරණකරු මියගියාට පසු ඔහුගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ඇති එකම සාක්‍ෂිය මේ මරණ සහතිකයයි. විශේෂයෙන්ම මෙම මරණ සහතිකය මියගිය අයගේ හෝ ඇයගේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමට හෝ සේවක අර්ථසාධක අරමුදල් ලබාගැනීම සඳහා වැදගත්.
ප්‍රශ්නය - මරණයක් භාරදෙන්නේ කාටද?
පිළිතුර - සැමියා මියගියහොත් ඔහුගේ බිරිඳටද? බිරිඳ මියගියහොත් ඇගේ සැමියාටද? අවිවාහක අයෙක් මියගියහොත් ඔහුගේ දෙමාපියන්ටද? විහාරයක හිමිනමක අපවත් වුවහොත් උන් වහන්සේගේ නායක හිමියන්ටද? දේහය භාරදෙනු ලබනවා.
ප්‍රශ්නය - මරණ පරීක්‍ෂණයක් සිදු නොකරන අවස්‌ථා තිබෙනවාද?
පිළිතුර - රෝහල් වාට්‌ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියහොත් ප්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරුන් මරණයට හේතුව ලබාදෙන්නේ නම් රෝහල් වාට්‌ටුවෙන්ම එම මෘත දේහය ඥතීන්ට ලබාදීමට කටයුතු කරනවා.
එවිට මරණ පරීක්‍ෂකවරයාගේ සහායක් අවශ්‍ය නෑ.
ප්‍රශ්නය - නිවසේදී මරණයක් සිදුවුවහොත් මරණ සහතිකය නිකුත් කරන්නේ කොහොමද?
පිළිතුර - මෙහිදී මියගිය අය රෝහලකින් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගෙන ඇත්නම් එම ලේඛන උපයෝගී කරගෙන ළඟම සිටින වෛද්‍යවරයකු හමුවට ගියහොත් වෛද්‍ය වාර්තාවක් ලබාගෙන එය මරණ රෙජිස්‌ට්‍රාර්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් මරණ සහතිකය ලබාගත හැකියි. එසේ නොමැතිව ග්‍රාම සේවා නිලධාරි සහතිකයට මරණ සහතික නිකුත් කිරීමක් සිදුවන්නේ නෑ.
ප්‍රශ්නය - මරණ සහතිකය නීත්‍යනුකූල ලියවිල්ලක් වෙන්නේ කොහොමද?
මරණකරුගේ තොරතුරු හා මරණයට හේතු පිළිබඳ දෙනු ලබන නීත්‍යානුකූල ලියවිල්ලක් මේක. මෙයට මරණකරුගේ සියලු විස්‌තර ඇතුළත් වෙනවා. ඒ වගේම මරණ පරීක්‍ෂකවරයාගේ දිව්රුම් ප්‍රකාශයක් සමගයි මෙය ලබාදෙන්නේ. ඒ දෙන මරණ සහතිකය පසුව රෙජිස්‌ට්‍රාර් ළඟට ගොස් ලියාපදිංචි කළ යුතුයි. පසුව එම මරණ සහතිකය නීත්‍යානුකූල ලියවිල්ලක් බවට පත්වෙනවා.
ප්‍රශ්නය - දුර බැහැර ප්‍රදේශයක පදිංචි අයකු කොළඹ රෝහලකදී මියගියහොත් මියගිය අය පදිංචි වසමේ පොලිසිය එම ඥාතීන් විසින් කැඳවාගෙන ආ යුතුමද? දුර පොලිසිය කැඳවීමට සිදුවීමෙන් එම ඥාතීන් අපහසුතාවයට ලක්‌වෙනවා නේද?
පිළිතුර - කොළඹ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී දුර ප්‍රදේශයක පදිංචිකරුවකු මියගියහොත් ඔහු පදිංචිව සිටි වසමේ පොලිස් නිලධාරියකු කැඳවාගෙන ආ යුතුමයි. පදිංචිය තහවුරු කිරීම සඳහා නීත්‍යානුකූල පදනම එයයි. ඥාතීන්ට එම පොලිසිය කැඳවාගෙන ඒමට අපහසු නම් මියගිය අය පදිංචි වසමට අයත් පොලිස් ස්‌ථානය මගින් කොළඹ රෝහලක රෝහල් පොලිසියට මේ මරණය කර දෙන ලෙසට පණිවිඩයක් ලැබුණහොත් එම නිලධාරීන්ගේ සහය ඇතිව මරණ පරීකAෂණය කරදෙනවා. එහෙම නැතිව එම මරණයට අදාළ පරීක්‌ෂණය කළ නොහැකියි. මෙහිදී ඥතීන් අපහසුතාවයට ලක් නොවන ආකාරයට අපි කටයුතු කර දෙනවා.
"කොහොම නමුත් මරණ පරීක්‌ෂණයක් සිදුකිරීමේදී හදිසි මරණ පරීකAෂක සාක්‌ෂි විමසන විට එය මෙහෙයවීමට පොලිසිය සිටිය යුතුමයි."
කළුබෝවිල රෝහලේ
හදිසි මරණ පරීක්‍ෂක ශ්‍රීමතී රුද්‍රිගූ
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්
ඡායාරූප - ඥනතිස්‌ස ජයවර්ධන
0 Comments