වස විස නැති එළවළුවකට සරල විසඳුමක්‌


අද අපේ රට තුළ රසායනික පොහොර, කෘමි නාශක හා වල් නාශක භාවිතය, කෘෂිකර්මාන්තයේ අත්‍යවශ්‍ය අංශයක්‌ බවට පත්වී හමාරය. විශේෂයෙන් වී හා එළවළු වගාවේදී රසායනික ද්‍රව්‍ය භාවිත නොකරන ගොවියකු නොමැති තරම්ය. එනමුදු අපේ රටේ වී හා එළවළු වගාවේ ඉතිහාසය සොයා බැලීමේදී ගොවීන් බොහෝ විට පොහොර හා කෘමි නාශක හෝ වල්නාශක නොයොදාම වගා කිරීමට පෙලඹුනු අතර අත්‍යවශ්‍ය යෑයි හැරුණු විට කාබනික පොහොර පමණක්‌ සිය වගාබිම්වලට එකතු කර තිබේ. විශේෂයෙන් ජනගහනය වැඩිවීමත් සමගම කෘෂිකාර්මික නිෂ්පාදනය සඳහා ඉල්ලුම වැඩි වූ අතර ඉහළ අස්‌වැන්නක්‌ අරමුණින් වැඩිම රසායන ද්‍රව්‍ය භාවිතයට ගොවීන් පුරුදු වී ඇත. කෙසේ නමුත් වගාවට රසායන ද්‍රව්‍ය භාවිතයට අපේ ගොවීන් යොමුවීම 1952 කාලය දක්‌වා දිවයන්නකි. විශේෂයෙන් දෙවන ලෝක යුද්ධ සමයෙන් පසුව තුන්වන ලෝකයේ ගොවීන් අතර ප්‍රචලිත වූ අදහසකි දැඩි අස්‌වැන්න සඳහා රසායනික පොහොර හා කෘමිනාශක වැඩි වැඩියෙන් වගාවට යෙදිය යුතු බව. එදා සිට අද දක්‌වා රසායනික පොහොර කෘමිනාශක හා වල් නාශක ආනයන කරනු ලබනු ආයතනවලින් විවිධ උපක්‍රම යොදා ගනිමින් ගොවීන් අතර ඒවා ජනප්‍රිය කරවීමේ ප්‍රබල උත්සාහයක යෙදී සිටින බව කවුරුත් දන්නා රහසකි. මෙලෙස අධික ලෙස වගාවේදී රසායන ද්‍රව්‍ය භාවිත කිරීම හේතුවෙන් ඒවා වගා කරනු ලබන ප්‍රදේශවල පුද්ගලයන් මෙන්ම ඒවා පරිභෝජනය කරන්නන් ද විවිධ ලෙඩ රෝග වලින් පීඩා විඳී. විශේෂයෙන් උතුරු මැද පළාත්වල වකුගඩු රෝගීන් ශීඝ්‍රයෙන් වැඩිවීමට අධික ලෙස රසායනික ද්‍රව්‍ය වගාවනට යෙදවීම හේතු වී ඇති බවට බොහෝ පර්යේෂණ වලින් හෙළිකර ඇත. මේ හැරෙන්නට උෂ්ණත්වය ඉහළ යැම, කාලගුණික හා දේශගුණික රටාවන් රට තුළ වෙනස්‌ වීම වැනි පරිසර ප්‍රශ්න වලින්ද අපි අද පීඩා විඳින්නෙමු. රසායනික පොහොර භාවිතය පිළිබඳ සංඛ්‍යා ලේඛන අනුව වර්තමාන ශ්‍රී ලංකාවේ ගොවීන් වාර්ෂිකව දළ වශයෙන් ටොන් 600,000 ඝන පොහොරද ලීටර් 250,00 දියර පොහොරද භාවිතා කරති. මෙහිදී සැලකිය යුතු කරුණක්‌ වන්නේ, විශේෂයෙන් නිර්දේශ කරනු ලබන ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයන් වගාව සඳහා යොදා ගැනීමය. නිදසුනක්‌ ලෙස උතුරුමැද පළාතේ ගොවීන් නිර්දේශ කරනු ලබන ප්‍රමාණයට පස්‌ ගුණයකින්ද, නුවරඑළිය ප්‍රදේශයේ දහ ගුණයකින් රසායන පොහොර භාවිත කරනු ලබන බව පර්යේෂකයෝ පෙන්වා දී ඇත.

බොහෝ විට එක්‌ වගාවක අස්‌වැන්න නෙලා අවසන්වන විට එම බිමෙහි ඊළඟ වගාව ආරම්භ කරයි. මේ හේතුව නිසා ගොවීන් සඳහා සුදුසු පසක්‌ සකස්‌ කරගැනීමට කෙටි කාලීනව සිදුවේ. ඒ නිසා ඔවුන් පැලය සිටවූ දා සිට අස්‌වැන්න ලබන කාලය තුළත් විවිධ වර්ගයේ රසායනික ද්‍රව්‍ය පසට මෙන්ම පැළයටද යොදයි. එසේම කාබනික පොහොර යෙදීම ඉතා අඩුවෙන් සිදුකරනු ලබන අතර, එසේ යොදන්නේ නම් ඒවා අතිරේක පොහොරක්‌ ලෙස සමහරක්‌ යොදා ගනී.

එළවළු වගා කරන ගොවීන් රසායනික පොහොර සඳහා වැඩි කැමැත්තක්‌ දැක්‌වීම එක්‌ අතකට ඔවුන්ගේ පැත්තෙන් සාධාරණ වේ. කෙටිකලක්‌ තුළ ඉක්‌මන් ප්‍රතිඵල ලැබීම, කාල වේලාව ඉතිරි වීම, ප්‍රවාහනයට පහසු වීම, අඩු ශ්‍රමයකින් පොහොර යෙදීමට හැකි වීම හා කාබනික පොහොර වලට වඩා ලාභදායක වීම, මින් සමහර හේතුන් වේ. එසේම රසායන පොහොර යෙදීම නිසා වල්පැළ බෝවීම අඩුබව ඔවුන්ගේ තවත් තර්කයකි. මේ හැරෙන්නට ඉඩම් අයිතිය පිssළිබඳ ගැටලුවද මෙම පොහොර භාවිතය හා සම්බන්ධ වී ඇත. බොහෝ ගොවීන් වගාව සඳහා බිම් බද්දට ගන්නා අතර ඊළඟ වගාව සඳහා එම ඉඩමට නැවත ගන්නේ දැයි ඔවුනට නිශ්චිතව තීරණය කළ නොහැක. ඒ මුදල් ප්‍රශ්න හෝ වෙනත් හේතු ඒ සඳහා බලපාන බැවිනි. මෙහිදී ගොවීන් සිය අත්දැකීම් අනුව දන්නා කරුණක්‌ වනුයේ කාබනික පොහොර මෙම වගාවේදී යොදාගතහොත් එහි වැඩි වාසිය ලැබෙන්නේ ඊළඟ වගාවේදී බවයි. එනම් කාබනික පොහොර වල වාසිය කෙටිකලකදී ලබාගත නොහැකි බවය. මේ නිසා බදු පදනම මත ඉඩම් ලබාගෙන වගා කරන ගොවීන් රසායනික පොහොරවලට යොමුවීම දැකිය හැකිය.

එසේම ගොවීන් කෘෂිකාර්මික උපදේශකයන්ගේ සේවාව ලබා ගැනීමට මැලිකමක්‌ දක්‌වනු ලැබේ. තමා සතු අත්දැකීම් හා පාරම්පරික ඥණය කෙරෙහි ගොවීන් සිය විශ්වාසය තබා තිබීම ඒ සඳහා මූලික හේතුවවේ. එනමුත් පැහැදිළිව දක්‌නට ලැබුණු කරුණක්‌ වූයේ ගොවීන් කෘෂි රසායන ද්‍රව්‍ය අලෙවි කරනු ලබන වෙළෙඳුන් හා ඔවුන්ගේ සේවකයන් කෙරෙහි ඉතා විශ්වාසයකින් යුතුව කටයුතු කරන බවයි. සිය වගාවේ ප්‍රශ්නයක්‌ වූ සැනින් ඔවුන් දිව යනුයේ වෙළෙඳසල වෙතය. කෘෂි රසායන ද්‍රව්‍යයක්‌ මෙරටට ගෙන්වන ආයතනවල නියෝජිතයන් වන එම වෙළෙඳුන් එම ආයතනවලින් ඔවුන් දැනුවත් කර ඇති ආකාරයටම ගොවීන් දැනුවත් කර රසායන ද්‍රව්‍ය ලබාදීම කරනු ලැබේ.

බොහෝ ගොවීන් සිය වගාවට භාවිත කරනු ලබන බොහෝ රසායනික පොහොර හා කෘමි නාශකවල නම පිළිබඳවත්, ඒවායෙන් විය හැකි අයහපත් ප්‍රතිඵල පිළිබඳවත් දැනුවත් වී නැත. "පොහොර" හා බෙහෙත්" ලෙසින් ඒවා හඳුන්වන අතර වගාවේ නම සම්බන්ධ කිරීම තුළින් පමණක්‌ වෙනස හඳුනා ගනී. උදාහරණ ලෙස "මෑ පොහොර, මිරිස්‌ බේත්" ආදී ලෙස ඒවා හඳුනා ගනී. මේ තත්ත්වයේ පූර්ණ වැරැද්ද ගොවීන්ට පැවරිය නොහැකි බවද මෙහිදී අවධාරණය කළ යුතුවේ.

කෙසේ වුවද රසායන ද්‍රව්‍යය යෙදීම හේතුවෙන් හෝ වෙනත් හේතුන් මත ගොවි පලවල වල් පැළ වර්ධනය අඩු මට්‌ටමක පවතී. එළවළු වගා බිම්වල දක්‌නට ඇති කලාඳුරු වැනි මුල තදට අල්ලාගන්නා ශාක මර්දනය සඳහා නම් බොහෝ විට වල් නාශක යොදා ගනී. ඒ හැරෙන්නට මිනිස්‌ ශ්‍රමය තුළින් වල්පැළ දුරලීමට භාවිත කිරීම ගොවීන් පුරුදු වෙමින් සිටීම ධනාත්මක ප්‍රයත්නයක්‌ ලෙස සැලකිය හැකිය. එසේ කිව හැකි වන්නේ විශේෂයෙන් එළවළු වගා කරන ගොවීන් විසින් යොදනු ලබන රසායනික පොහොර හා කෘමිනාශක බෙහෙත් හා සමානව වල්නාශක ද භාවිත කළේ නම් තත්ත්වය මීටත් වඩා භයානක විය හැකි බැවිනි. 

එමෙන්ම කෘමිනාශක කෙසේ නමුත් රසායන පොහොර අධික ලෙසින් ගොවීන් එය වගාවට යොදා ගන්නා බවට විවාදයක්‌ නොමැත. මෙහිදී ඉහත සඳහන් කළ රසායන පාරිසරික ගැටලු මෙන්ම වෙනත් වගා ආශ්‍රිත ගැටලු (උදාහරණ ලෙස වගාවට හිතකාමී කෘමිසතුන් විනාශ වීම) පැන නැගී ඇත. ගැටලුවලට තවත් පැත්තක්‌ තිබේ. මෙම රසායන ද්‍රව්‍ය බහාලුම් විශේෂයේ කෘමිනාශක බෝතල් හෝ ප්ලාස්‌ටික්‌ බඳුන් දියපහර හා කැළෑවලට වීසිකර දැමීම තුළින් ගැටලු පැනනැගිය හැක. පානීය ජලයට හා නාන ජලයට ඒවා එක්‌වීම තුළින් තවත් ආකාරයකින් අපගේ සෞඛ්‍යයට අහිතකර බලපෑමක්‌ එක්‌ කරයි. ඒ හැරෙන්න අධික රසායන ද්‍රව්‍යය පරිසරයට එකතු වීමෙන් භූගත ජලය දූෂණය වීමත් අද පවත්නා තවත් ගැටලුවකි. 

තරංග රත්නවීර මහතා සිය ලිපියේ සඳහන් කළ ආකාරයට ගෝවා හැරෙන්නට අධික ලෙස කෘමි නාශක හෝ වෙනත් දියර ඉසිනු ලබන බෝගයන් ලෙස තක්‌කාලි හා මෑ සඳහන් කළ හැකිය. අප දන්නා පරිදි තක්‌කාලි වල මිල නිතර උච්චාවචනය වේ. ගොවීන්ම පවසන ආකාරයට මිල ඉහළ ගිය වහාම තක්‌කාලි ඉදවා, රත් පැහැ ගැන්වීමට ඔවුන් රසායනික දියරයක්‌ පාවිච්චි කිරීම සිදුකෙරේ. මෙය කෙතරම් සැර අධිකද යත්, තක්‌කාලි කොටුවලට ඇඳීම සඳහා වෙනම ඇඳුමක්‌ තබාගෙන සිටීමට ඔවුන් පුරුදු වී ඇත. ඇඳුම් තද අඳුරු හෝ කළු පැහැයක්‌ ගනු ලබන අතර ගරා- සේවකයා විසින් පාවිච්චි කරනු ලබන් "මජන්" ඇඳුමට එය බොහෝ සමානය. විශේෂ තක්‌කාලි, මෑ සහ මාළු මිරිස්‌ වගාකරනු ලබන ප්‍රදේශවලින් හමා එන සුළඟ එවා තද කෘමි නාශක සැරකින් යුතුවේ. "බෙහෙත් ටැංකිය හැම විටම පිටේ" යෑයි එළවළු වගා කරන ප්‍රදේශයක ග්‍රාම නිලධාරි මහතුන්ගේ එම ප්‍රකාශය සරල වුවත් ඉන් ගම්‍ය වන අර්ථය සංකීර්ණවේ. 

මෙහිදී සැලකිය යුතු කරුණක්‌ වන්නේ රසායන ද්‍රව්‍ය සිය වගාවන්ට භාවිත කිරීම මිනිස්‌ ජීවිතය මෙන්ම පරිසරයට ඉතා හානිදායක බව ගොවීන් තුළ අවබෝධයක්‌ තිබීමයි. එනමුත් ඔවුන්ට ඒ සඳහා වෙන විකල්පයක්‌ද නොමැත. රත්නවීර මහතාගේ ලිපියේ සඳහන් පරිදි පවුලේ පරිභෝජනය සඳහා කාබනික පොහොර යොදා එළවළු වගාවක්‌ නඩත්තු කර තම ආරක්‍ෂාව තමාවත් බලාගත යුතු යන මතයේ සිට විය යුතුය. එනමුදු කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතකරන ගොවීන්ගෙන් වැඩි දෙනෙකු කිසිම ආකාරයේ ආරක්‍ෂක වැසුම් පාවිච්චි නොකෙරේ.

එහෙත් රජය, රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් විවිධ කෘෂිකාර්මික ආයතනයන්ගේ අවධානය දැන් මේ සඳහා යොමු වෙමින් පැවතීම සතුටට කරුණකි. ඒ අනුව පරිසර හිතකාමී ජීව අඟුරු භාවිතයට ගොවීන් යොමු කරවීමේ කටයුතු දැන් ආරම්භ කරමින් සිටී.

ජීව අඟුරු නිෂ්පාදනය කරනු ලබන්නේ කාබනික අපද්‍රව්‍ය කර කිරීම තුළිනි. ඒවා පසට එක්‌ කිරීම තුළින් පසෙහි ක්‍රියාකාරීත්වය වැඩිවේ. එසේම ජීව අඟුරු පස්‌ සකසනයක්‌ ලෙසද භාවිත කළ හැකිය. මේ තුළින් විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම හෝ වෙනත් හේතුන් මත හානි වී ඇති පස්‌ යථා තත්ත්වයට පත් කර ගුණාත්මක තත්ත්වය වැඩිකළ හැකිවේ.

මේ හැරෙන්නට ජීව අඟුරු පරිසරයට බෙහෙවින් හිතකාමී වේ. ගෝලීය උණුසුම අවම කිරීම මෙන්ම මහත් භයානක වූ දේශගුණ විපර්යාසයන්ගෙන් මිදීමටද එය උපකාරිවේ.

මෙම ජීව අඟුරු පිළිබඳ අදහස අලුත් දෙයක්‌ නොවේ. මින් වසර 2000 පමණ කලින් ඇමර්සන් ජාතිකයන් කෘෂිකාර්මික අපද්‍රව්‍ය පස සරුකිරීමට යොදා ගැනුණු කාලය දක්‌වා එහි ඉතිහාසය දිගය. නමුත් ජීව අඟුරු යොදා ගැනීම පිළිබඳ ක්‍රමවත් පර්යේෂණ ආරම්භ වූයේ දශකයක පමණ කාලයක්‌ තුළය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 1980 ගණන් වල අග භාගයේදී පිලිsස්‌සූ වී පොතු (කර අඟුරු) හඳුන්වාදීමක්‌ සමග ශ්‍රී ලංකාවේ පර්යේෂකයන් මේ පිළිබඳ උනන්දුවීමට පටන් ගනී. මුල් අවස්‌ථාවේ වී වගා ප්‍රදේශ සඳහා මේවා යොදා ගැනීම කරන ලදී. පසු කලක තේ හා රබර් වගාව සඳහා පාවිච්චි කරන ලද දර අඟුරුතුළින් ජීව අඟුරු නිෂ්පාදන සඳහා උත්සාහ කර ඇත. වර්තමානයේ පර්යේෂකයන් විසින් ලංකාවේ බහුලව වැවෙන ගිලිසීරියා ආශ්‍රයෙන් ජීව අඟුරු නිෂ්පාදනය පිළිබඳ සොයා බලමින් සිටී. 

මේ අනුව වගාවේදී ජීව අඟුරු සඳහා ගොවීන් හුරු වෙන්නේ නම්, රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කර ගැනීමේ විශාල හැකියාවක්‌ පවතී. එය රටතුළ මානව හා පරිසර හිතකාමී කෘෂිකර්මයට මග පාදනු ඇත. මේ සඳහා විශාල වගකීමක්‌ රජයට හා කෘෂිකර්මාන්තය සම්බන්ධ පර්යේෂකයන්ට, නිලධාරීන්ට පැවරේ. දැනුවත් කිරීමේ වැඩසටහන් මෙහිදී වැදගත්වේ. තවද ජීව අඟුරු නිෂ්පාදනයට අවශ්‍ය උපදෙස්‌ හා උපකරණ සැපයීම හෝ ජීව අඟුරු සැපයීම ආදිය තුළින් ගොවීන් මේ සඳහා උනන්දු කිරීමක්‌ හා හුරුකරවීමක්‌ කළ යුතුවේ. ලොව බොහෝ දියුණු රටවල් මෙම ක්‍රමය සාර්ථක ලෙස ක්‍රියාත්මක වන අතර ඒ තත්ත්වයට ගොවීන් ගෙන ඒමට මුල් අවධියේ මෙවැනි ක්‍රියාමාර්ග ඔවුන් අනුගමනය කර ඇත. විද්වතුන් ජීව අඟුරු "කළු රත්තරන්" ලෙස හඳුන්වා ඇති අතර ජීව අඟුරු භාවිතය බොහෝ පාරිසරික හා මානව ගැටලු වල සරල හා තනි විසඳුමක්‌ ලෙස ඔවුහු විශ්වාස කරති.

(ලේකාව දියුණු වෙමින් පවත්නා රටවලට තිරසාර ජීව අඟුරු පද්ධතිය හඳුන්වාදීමේ ව්‍යාපෘතියේ ජාතික මට්‌ටමේ විද්‍යාත්මක උපදේශ මණ්‌ඩලයේ සමාජ විද්‍යාවරිය ලෙස කටයුතු කරයි.

ආචාර්ය මල්ලිකා පින්නවල පේරාදෙණිය විශ්වවිද්‍යාලය

Post a Comment

0 Comments