5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව හා එහි යෝග්‍යතාවය


වර්තමානය වනවිට පහ ශේ්‍රණිය ශිෂ්‍යත්ව පරීක්‍ෂණය තම දරුවන්ගේ අනාගතය දීප්තිමත් කරන හෝ තීරණය කරනු ලබන කඩඉම් පරීක්‍ෂණයක්‌ ලෙස සෑම දෙමාපියෙක්‌ම විශ්වාස කරති. එහෙයින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම කාලෝචිතය.

මෙරට නිදහස්‌ අධ්‍යාපනයේ නිර්මාතෘවරයා වන සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් 1944 පෙබරවාරි මස 10 වැනි දින රැස්‌වූ විධායක කාරක සභාවේ රැස්‌වීමකදී ප්‍රථමයෙන්ම පහ වසර ශිෂ්‍යත්ව පරීක්‍ෂණය ආරම්භ කිරීමට තීරණය විය. ඒ වනවිට අලුතින් ආරම්භවූ දිවයින පුරා පිහිටි එක්‌ එක්‌ මධ්‍ය මහා විද්‍යාලවලට ප්‍රාදේශීය පදනමක්‌ මත සිසුන් 40 බැගින් තෝරා ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය පියවරක්‌ වශයෙන් මෙම පහ වසර ශිෂ්‍යත්ව පරීක්‍ෂණය ආරම්භ කිරීමට තීරණය වූ බව සඳහන් කළ හැකිය.

එයට අමතරව ශිෂ්‍යත්ව පරීක්‍ෂණය ආරම්භ කිරීමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ මෙරට ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය පිළිබඳ සම අවස්‌ථා උදාකර දීමය. එකල පැවැති මුදල් අය කළ පාසල්වල ධනවත් දෙමාපියන්ගේ ළමුන් ඉගෙන ගත් අතර ස්‌වභාෂා පාසල්වල ආර්ථික දුෂ්කරතා ඇති පවුල්වල ළමයින්ට ඉගෙන ගැනීමට සිදුව තිබිණි. එසේම එවැනි දරුවන් බොහොමයකගේම අධ්‍යාපනය ප්‍රාථමික පාසල් අවධියේම ගිලිහී ගිය බැවින්, අඩු ආදායම්ලාභී පවුල්වල ඉගෙනීමට දක්‍ෂතා දක්‌වන දරුවන් තෝරා ගැනීමට මෙම ශිෂ්‍යත්ව පරීක්‍ෂණය පැවැත්වීමට තීරණය විය. එසේම ප්‍රාථමික පාසල් තුළ දක්‌නට වූ අධ්‍යාපන නාස්‌තිය පිටු දැකීමටද, ප්‍රාදේශීය අවශ්‍යතාවලට ගැලපෙන අධ්‍යාපන ක්‍රියාවලියක්‌ සකස්‌ කිරීමේ අරමුණු ද ඇතිව මෙම පරීක්‍ෂණ පැවැත්වීමට යෝජිත වුණි.

ඒ අනුව සිසුන්ගේ හැකියා සහ අවශ්‍යතාවලට ගැලපෙන ජීවන රටාවකට ඔවුන් යොමු කිරීම සඳහාත්. ප්‍රාදේශීය පරිසරය පිළිබඳ යහපත් ආකල්ප සිසුන් තුළ ජනිත කරවීම හා අනාගතයේදී ප්‍රාදේශීය පදනමක්‌ සහිත රැකියාව සඳහා උගත් තරුණ පිරිසක්‌ බිහි කිරීමේ දූර දර්ශී සැලසුමකට අනුව පහ වසර ශිෂ්‍යත්වය ක්‍රියාත්මක විණි.

1943 කන්නන්ගර වාර්තාවට අනුව, සමබර මානසික වර්ධනයක්‌ හා සංස්‌කෘතික වර්ධනය පිණිසත්, දරුවන් තුළ කාර්යක්‍ෂමතාවය වැඩි දියුණු කිරීම යන කරුණු මෙම විභාගය පැවැත්වීමේ පරමාර්ථ අතර විය.

දශක 2 කට අධික කාලයක්‌ පැවැත්වූ පහ වසර ශිෂ්‍යත්ව පරීක්‍ෂණය, 1968 සිදුවූ පාසල් ව්‍යqහය සංශෝධනයට ගත් පියවරයන්a සමග හත වසරේදී ජාතික නවෝද ශිෂ්‍යත්ව ක්‍රමය පැවැත්වීම ආරම්භ කළේය. එසේ වුවද 1973 දී ද්විතියික පාසලෙහි ආරම්භය හය වසර ලෙස තීරණය කිරීමත් සමග පහ වසර ශිෂ්‍යත්වය නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරුණි.

එහිදී ලබාගත් ලකුණුවලට මූලිකත්වය හිමිවුවද, පසුව දිස්‌ත්‍රික්‌ක මත වෙන් කෙරෙනු මුදල් ආධාර අනුව හා කතා කරන භාෂා මාධ්‍ය වන සිංහල හා දෙමළ ජන අනුපාතය මත දෙනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය තීරණය විය. එසේම අවම ලකුණු මට්‌ටම දිස්‌ත්‍රික්‌කය අනුව තීරණය කෙරිණි. මුදල් ආධාර දෙනු ලබන හා නොලබන ශිෂ්‍යත්ව සඳහා එය එකමාකාරයෙන් බලපෑවේය. දිස්‌ත්‍රික්‌ක පදනම මත සිසුන් තෝරා ගැනීම 1966 සිට ක්‍රියාත්මක වේ. ආරම්භයේදී රජයේ පාසල්වලට පමණක්‌ හිමිවූ මෙම ශිෂ්‍යත්ව වරප්‍රසාදය 1945 දී ආධාර ලබන පාසල්වලටද ලබාදීමට කටයුතු කර තිබිණි. 

ශිෂ්‍යත්ව පරීක්‍ෂණයේදී විනාඩි 30 බුද්ධි පරීක්‍ෂණ ප්‍රශ්න පත්‍රයක්‌ හා එකක්‌ විනාඩි 45 බැගින් වූ අංක ගණිතය හා මවු බස ප්‍රශ්න පත්‍රයකටත් පිළිතුරු ලිවීමට ආරම්භයේදී සිසුන්ට සිදු විය. එසේම 1992 දී විභාග කොමසාරිස්‌වරයා නිකුත් කළ චක්‍රලේඛයට අනුව සකසන ප්‍රශ්න ද හතර හා පහ වසර විෂය නිsර්දේශ ආශ්‍රිතව සිදුවිය යුතු බව තීරණය කෙරුණි. මෙවර ශිෂ්‍යත්ව විභාගයද විනාඩි 45 බහුවරණ ප්‍රශ්න පත්‍රයකට හා පැයකුත් විනාඩි 15 ක්‌ වෙන්වූ ප්‍රශ්න පත්‍රයකින් යුතු විය. එහිදී සමස්‌ත ප්‍රාථමික විෂය නිර්දේශය ආශ්‍රිතව ව්‍යාකරණ, පද බෙදීම, ආදේශන හැකියාව, අර්ථකථන හැකියාව, ගැටලු විසඳීමේ හැකියාව, තොරතුරු සංවිධානමය කුසලතාව, උපදෙස්‌ පිළිපැදීමේ හැකියාව, පෙර කීමේ හැකියාව ආදී වූ අංශ ගණනක දැනුම විමසා බැලෙන ප්‍රශ්න අඩංගු කෙරිණි.

මෙහිදී අවධානයට ගත යුතු වන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ අපේක්‍ෂිත අරමුණු හා පහ වසර ශිෂ්‍යත්වය කෙතරම් ගැලපෙන්නේ ද යන්න විමසා බැලීමටය. 

ප්‍රාථමික අධ්‍යාපනය මගින් ළමයින්ගේ විශාල මාංශ පේශීන් ශක්‌තිමත් කරන ක්‍රියාකාරකම් මෙන්ම කුඩා මාංශ පේශීන් ට අදාළ ක්‍රියාකාරකම්ද, සමාජ සංවර්ධන සලසන, සෞන්දර්යාත්මක හා නිර්මාණශීලී සංවර්ධනය, භාෂා කුසලතා, බුද්ධිමය සංවර්ධනය සලසන හා සදාචාර හා ගුණධර්ම වර්ධනය කිරීම අපේක්‍ෂා කරයි.

එම ප්‍රාථමික අධ්‍යාපනයේ අපේක්‍ෂිත අරමුණු වුවද, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය මගින් ලබාදීමේදී සැලසුම් සහගත සෙල්ලම් හා විනෝදජනක වැඩ සඳහා සුවිශේෂවූ ස්‌ථානයක්‌ ලබා දෙමින් ක්‍රියාත්මක කළ යුතු යෑයි සැලකේ. අනෙකුත් ක්‍රියාකාරකම් හා අසුන් ගත වැඩ සඳහා දරුවා හසුරුවනු ලබන්නේ තුන්වැනි ශේ්‍රණියේ සිට පහ ශේ්‍රණිය කාලය තුළය. එම කාලයේදී ආරම්භක ශේ්‍රණි දෙකට වඩා වැඩි කාලයක්‌ එවැනි අධ්‍යාපන කටයුතු සඳහා යොමුවන පරිදි ප්‍රාථමික අධ්‍යාපනය සැකසී ඇත.

එම අරමුණු හා ක්‍රමවේදයට අනුව පහ වසර ශිෂ්‍යත්වය නිසා උද්ගත වන ගැටලු විමසා බැලීම අතිශයින්ම යෝග්‍ය වේ. ප්‍රාථමික අධ්‍යාපනයේ ඉහත දැක්‌වූ අරමුණු සැබවින්ම පැසසිය යුතු තත්ත්වයකි. දරුවාගේ පෞරුෂ වර්ධනයට හා ළමා වයසට ගැලපෙන පරිදි සැලසුම් සහගත සෙල්ලම් හා විනෝදජනක වැඩ ප්‍රථම හා දෙවැනි ශේ්‍රණිවලදී අධ්‍යයන කටයුතු සඳහා යොදා ගනී. එහෙත් වැඩි අවධානයක්‌ හතර වන ශේ්‍රණිවලදී විවිධ ක්‍රියාකාරකම් හා අසුන්ගත වැඩ සඳහා දැක්‌විය යුතු වුව ද, මේ වනවිට ඊට දැඩි අවධානයක්‌ ලබාදී ඇත.

විශේෂයෙන්ම පාසල් කාලයට අතිරේකව පාසලේදීම පහ ශේ්‍රණියේ ශිෂ්‍යත්වය සඳහා අමතර පංති පැවැත්වේ. එය එපමණකින් නතර නොවී උපකාරක පංතිවලටද දරුවා සහභාගී කරවීමට දෙමවුපියෝ උත්සුක වෙති. මෙලෙස උදෑසන පහට හෝ පහයි තිහට හෝ හයට නිවසට යන තෙක්‌ම අසුන්ගත පාඩම් සඳහා වෙහෙස වේ. එය සවස නිවසට ගිය පසුද නිමා නොවේ. නැවත දරුවාගේ දෙමාපියන් උත්සාහ කරන්නේ අදාළ පාඩම්වල ගෙදර වැඩ හෝ අභ්‍යාස සම්පූර්ණ කර තිබේද යන්න කෙරෙහි දරුවා යොමු කරවීමටය. මේ ආකාරයට දරුවා මත අසීමිත පීඩනයක්‌ යෙද වේ. දරුවාට ළමා කාලයත්, මානසික සමබරතාවයත් නැතිවී යන්නේ එලෙසය. දරුවා කුඩා වැඩිහිටියෙක්‌ බවට පත් කිරීමත් එමගින් සිදුවී ඇත. එය ප්‍රාථමික අධ්‍යාපනයේ පමණක්‌ නොව අධ්‍යාපන ක්‍රියාවලියේදී ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් අධ්‍යාපන රටාවට සිදුවන බලපෑමකි.

විෂයය කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමවේදය පිටුදැක ශිෂ්‍යයා කේන්ද්‍ර කරගත් අධ්‍යාපන රටාවක්‌ නිර්මිත වූයේ, ළමයින්ට ළමා කාලය, නිදහස, සැහැල්ලු බව හා මානසික විවේකය ගෙන දෙමින් සන්තෘෂ්ටිදායක පරිසරයක්‌ තුළ අධ්‍යාපනය ලබා ගැනීමට සැලැස්‌වීමටය. එය මනෝවිද්‍යාඥයන්ගේ හා සමාජ විද්‍යාඥයන්ගේ ද මතය වේ. පන්තියෙන් පන්තියට මාරු වෙමින් රාත්‍රියේ නින්දට යන තෙක්‌ම අධ්‍යයන කටයුතුවලට හිස හා මනස යොමා ගත් දරුවාට එම කරුණු ආවර්ජනය සඳහා ද කාලයක්‌ නොමැති වේ. ඉගෙන ගන්නේ මොනවාද යන්න පවා නිරවුල් නොවීම පුදුම සහගත නොවේ. එවැනි සිසුන්ට ශිෂ්‍යත්ව පරීක්‍ෂණයේ අපේක්‍ෂිත ලකුණු ප්‍රමාණය ලබා ගැනීමද දුෂ්කර වීම සාමාන්‍ය තත්ත්වයකි. මෙම පීඩනයට බොහෝ දුරට ලක්‌ වන්නේද, ආර්ථික දුෂ්කරතා සහිත පවුල්වල දරුවන් හා තම දරුවන් ජනප්‍රිය පාසලකට ඇතුළු කරවීම අභිමතාර්ථය කරගත් පවුල්වල දරුවන් බව පැහැදිලිය.

දරුවා තුන ශේ්‍රණියේ සිට දිගින් දිගටම මෙවැනි පීඩනයකට ලක්‌වීමෙන් සිදුවන්නේ මානසික අසංකූලතාවන්ට ගොදුරු වූ සෞඛ්‍යසම්පන්න නොවූ අනාගත පරපුරක්‌ බිහිවීමය. මානසිකව රෝගී වූ පරපුරක්‌ තුළින් විවිධ වූ සමාජමය ගැටලු රැසක්‌ නිර්මිත වේ. එවිට පවුල් පසුබිමේ සිට සමාජයේ සෑම අංශයකම අවුල්කාරී තත්ත්වයක්‌ බිහිවීමට එය හේතු විය හැකිය. මේ වනවිට ප්‍රාථමික අධ්‍යාපනයේ අපේක්‍ෂිත අරමුණු අභියෝගයකට ලක්‌වී ළමයි යාන්ත්‍රික රොබෝවරුන් මෙන් ක්‍රියා කරති.

විවිධ කුසලතාවන්ගෙන් යුතු සිසුන් හඳුනාගැනීමට ඇති ඉඩ ප්‍රස්‌ථාව ඇහිරී ගොස්‌ එකමාකාර සුදුසුකම් රාමුවක්‌ කරා සමස්‌ත ජාතියම ගමන් කිරීමක්‌ මෙම පරීක්‍ෂණය තුළින් සිදු වේ. එහෙත් සමාජයකට අවශ්‍යව ඇත්තේ විවිධ අංශයන්හි නිපුණතාවයෙන් යුතු, විවිධ වෘත්තීන් හි නියෑලෙන පිරිසක්‌ බිහි කර ගැනීමටය. දරුවන්ගේ දෙමාපියන් වුවද ශිෂ්‍යත්ව කඩඉම ජයග්‍රහණය කර ගැනීමට අසමත් වන තම දරුවන්ට වුවද අමානුෂික ලෙස සැලකීමට පෙලැඹී ඇත. එය ශෝචනීය තත්ත්වයකි. දරුණු පිළිස්‌සීම් සිදු කිරීම, පහරදීම, කූඩුවල සිරකර තැබීමට තරම් දෙමාපියන් යථාර්ථයෙන් බැහැර වී ඇත.

එහෙයින් යෝජනා කළ හැකි මුල්ම විසඳුම වන්නේ විෂය කොටස්‌ අතහැර, ශිෂ්‍යත්වය අරමුණු කර ඉගැන්වීම, පරිසර අධ්‍යයනයට අඩු අවධානයක්‌ යොමු කිරීම, ධර්මතා හා කුසලතා ඔප් නැංවීම කෙරෙහි සැලකිලිමත් නොවීම හා පෞරුෂ වර්ධන කටයුතු ක්‍රියාත්මක නොවීම පාලනය කිරීම සඳහා පහ ශේ්‍රණිය ශිෂ්‍යත්ව පරීක්‍ෂණයද නියමාකාරයෙන් පහ ශේ්‍රණිය අවසානයෙහි පැවැත්වීමට කටයුතු යෙදීමය. 

එම තත්ත්වය ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය සාර්ථක කරවන අතරම විවිධ වූ කලා හා ක්‍රීඩා කටයුතුවලට දරුවාට සහභාගි වීමට ඇති අවස්‌ථාවද සලසා දේ.

විශේෂයෙන්ම පහ ශේ්‍රණිය ශිෂ්‍යත්ව පරීක්‍ෂණය ජාතික මට්‌ටමේ පරීක්‍ෂණයකි. එය වාර පරීක්‍ෂණයක මට්‌ටමින් පැවැත්විය යුතු නැත. මේ වනවිට සිදුවන්නේ එවැන්නකි. ජාතික මට්‌ටමේ කිසිදු පරීක්‍ෂණයක්‌ නියමාකාරයෙන් විෂය නිර්දේශය සම්පූර්ණ කිරීමෙන් තොරව, එක්‌ කොටසකට පමණක්‌ සීමා කර පැවැත්වීම ම ගැටලු සහගතය. ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය අසාර්ථක වීමටත්. දරුවා මත අනවශ්‍ය පීඩනයක්‌ යෙද වෙන්නේත් මෙම ව්‍යාකූල තත්ත්වය යටතේ බව පැහැදිලිය.

එසේම ශිෂ්‍යත්ව පරීක්‍ෂණයේ ස්‌වභාවයද කාලීනව වෙනස්‌ විය යුතුව ඇත. ශිෂ්‍යත්ව පරීක්‍ෂණය සඳහා දෙනු ලබන බහුවරණ ප්‍රශ්න පත්‍රය විනාඩි 30 කාලයකට සීමා කිරීමත්, එය බුද්ධිමය කුසලතාවයන් හඳුනා ගැනීම සඳහා ගණිතමය ගැටලු අංශයට වෙන්වූ පරීක්‍ෂණයක්‌ ලෙස ඉදිරිපත් කළ හැකිය. 

මේ වනවිට පැයකුත් විනාඩි 15 ක්‌ වෙන් කර ඇති ප්‍රශ්න පත්‍රය උදෙසා එකක්‌ විනාඩි 30 බැගින් වෙන්වූ භාෂාව හෝ මවුබස හා පරිසර අධ්‍යයනයට වෙන් කිරීමෙන් කිසිදු අංශයකට අඩු අවධානයක්‌ යොමු නොවන අතරම දරුවා මත කිසිදු බරක්‌ පැටවීමටද ඇති අවකාශය දුරු වී යනු ඇත.

මෙසේ වෙන් කළ කාලය පැය එකකුත් විනාඩි 30 වන අතර, තවත් විනාඩි 30 ක කාලයක්‌ පවතින ශිෂ්‍යත්ව පරීක්‍ෂණය සඳහා යොදා ගන්නා කාලයෙන් ඉතිරි වේ. එය ප්‍රාථමික අධ්‍යාපනයේ ඉහත දී සඳහන් කළ අරමුණු සාක්‍ෂාත් කර ගැනීම උදෙසා ප්‍රායෝගික පරීක්‍ෂණයක්‌ සඳහා යොදා ගැනීමේ අවකාශ ඇත. සිසුන්ගේ කුසලතා මෙන්ම, පෞරුෂය, හැදියාව යන සියලු අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට එය මහඟු අවස්‌ථාවක්‌ කර ගැනීමේ හැකියාව පවතී. එය සැබෑ දක්‍ෂයන් හඳුනා ගැනීමටද උපකාරී වේ. සියලු අංශ කෙරෙහි එක සමානව අවධානය යොමු වන බැවින් අමතර පංති හෝ උපකාරක පංති කරා යැමට අවශ්‍ය නොවන්නේය. දරුවාට නිදහසේ ඉගෙන ගැනීමට කාලය හා අවස්‌ථාව සැලසේ. ළමා කාලය හා ප්‍රාථමික අධ්‍යාපනයේ අරමුණුද ඉටු වනු ඇත.

විවිධ නිර්මාණ සඳහා හෝ ගායන වාදන හා ක්‍රීඩා හැකියාවන් අපේක්‍ෂිත පරිදි තෝරා ගැනීsමට සිසුන්ටම අවස්‌ථාව සලසා ඒ අනුව ප්‍රායෝගික පරීක්‍ෂණ සඳහා යොමු කරගත යුතුය. එය සමස්‌තයක්‌ වශයෙන් ප්‍රාථමික අධ්‍යාපනයේ සියලු අංශ කෙරෙහි අවධානය යොමු කිරීමකි. එපමණක්‌ නොව සිසුන් කුසලතා දක්‌වන අංශය පැහැදිලි කර ගැනීමට අවස්‌ථාව සැලසීමෙන් ද්විතියික අධ්‍යාපනය ඒ ඔස්‌සේ දියුණු කර ගැනීමට වුවද මාර්ගය සැලසේ. එය ඉතා කෙටි මාර්ගයක්‌ ඔස්‌සේ ගමනාන්තයකට ළඟා වීමට අවස්‌ථාව සැලසීමකි. නැතහොත් අනාගත වෘත්තීය මාර්ගයෙහි නිපුණතාවය ද්විතියික අධ්‍යාපනය අවසාන වනවාත් සමග සිසුන්ට උදාකර දීමකි.

එය විරැකියාවෙන් තොර අනාගතයක්‌ දැයේ දරුවන්ට ලබා දීමකි. සිය ජීවිත කාලයෙන් වසර 20 ක්‌ හෝ ඊට වැඩි කාලයක්‌ වෘත්තීය නිපුණතාවය හා ඊට අදාළ අධ්‍යාපනය සාර්ථක කර ගැනීම සඳහා කැප කරනවාට වඩා සරලව එම අවශ්‍යතාවන් සම්පූර්ණ කර ගැනීම සඳහා මඟ පාදා දීමක්‌ වන්නේය. එය මෙරට ජාතික ධනය නිසි පරිදි හසුqරුවා ගැනීමකි. විරැකියාව නිසා උද්ගත වන ප්‍රශ්නවලටද කාලීන විසඳුමකි. ඊට අවශ්‍ය පිළියම් යෙදීමට මේ සඳහා විද්වතුන්ගේ අවධානය යොමු විය යුතුව පවතී. 1942 පළ කළ අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාගේ වාර්තාවේ සඳහන් අරමුණු ද, 1943 කන්නන්ගර කමිටු වාර්තාවේ ද සඳහන් පරමාර්ථ සාක්‍ෂාත් වන්නේ එවිටය.

කුමුදුනී ඉද්දමල්ගොඩ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
විද්යුත් ප්‍රචාරණ දෙපාර්තමේන්තුව

Post a Comment

0 Comments