රූපලාවන්‍ය සැත්කම්


එදා දැක්‌ක වගේමයි... කිසිම වෙනසක්‌ නැහැ. ඇතැම් අය වසර ගණනාවකට පසු දුටු විටත් රූපයේ එතරම් වෙනසක්‌ දක්‌නට නොමැතිවූ විට අපි පවසන්නෙමු. සාමාන්‍යයෙන් අප මෙවැනි අයට කියන්නේ වයසට යන්නේ නැති පුද්ගලයන් කියාය. තමුන්ගේ බාහිර රූපයේ පෙනුම මැදිවියට පත්වන විටත් තරුණ වියේ මෙන් පැවතීමට බලපාන බොහෝ කාරණා ඇත. පළමුවැන්න ඔවුන්ගේ ජානවල ඇති බලපෑමය. දෙවැන්න නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්‌ ගත කිරීමය. තෙවැන්න බාහිර රූපලාවන්‍ය ප්‍රතිකාර මගින් රූ සපුව පවත්වාගෙන යැමය.

මේ දිනවල බොහෝ දෙනාගේ කතාබහට ලක්‌වී ඇත්තේ බාහිර රූපලාවන්‍ය ප්‍රතිකාර මගින් රූ සපුව පවත්වාගෙන යැම පිළිබඳවය. එහිදී විශේෂයෙන්ම රූපලාවන්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කම් පිළිබඳව අප රට තුළ මේ වන විට ආන්දෝලනාත්මක කරුණක්‌ බවට පත්ව ඇත.

රූපලාවන්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කම් (ඤsපැඑසජ චක්‌sඑසජ sමරටැරහ) ප්‍රතිකාරය අප රටට අලුත් දෙයක්‌ වුවද ප්ලාස්‌ටික්‌ සැත්කම් ප්‍රතිකාරය නම් එතරම් අලුත් දෙයක්‌ නොවේ. කිසියම් පුද්ගලයකුගේ ශරීරය පිළිස්‌සුණු විටදී දරුණු ලෙස කැපුම් තුවාලවලට ලක්‌වූ විටදී උපතින්ම ඇතිවන ශරීරයේ බාහිර ඉන්ද්‍රියයන්හි විකෘතිතා ප්‍රකෘති තත්ත්වයට පත්කිරීම ආදි කටයුතු සඳහා ප්ලාස්‌ටික්‌ සැත්කම් ප්‍රතිකාර කොළඹ ජාතික රෝහල තුළ සිදු කරනු ලබයි. නමුත් රූපලාවන්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කම් සිදු කරනු ලබන්නේ ඊට හාත්පසින්ම වෙනස්‌ වූ කරුණු සඳහාය. සිරුරේ සම රැළි වැටී ඇත්නම් එය වෙනස්‌ කිරීමට, පියයුරු අලංකාර කර ගැනීමට, උදරයේ සම මත අධිකව මේදය තැන්පත්ව ඇත්නම් එය ඉවත්a කිරීමට ආදී රුව පැහැපත් කිරීම සඳහා මූලික කරගත් අවශ්‍යතා සඳහා ය. එනිසා මෙවැනි සැත්කම් ශ්‍රී ලංකාවේ සිදු කරනු ලබන්නේ පෞද්ගලික රෝහල්හිය. මේ සඳහා අඩුම තරමින් රුපියල් ලක්‌ෂ දෙක තුනක්‌වත් වැය කිරීමට සිදු වේ. මෙම මුදල තීරණය වන්aනේ සිදුකරන සැත්කම අනුවය.

මේ වන විට පෞද්ගලික රෝහල් කිහිපයක මෙවැනි රූපලාවන්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කම් සිදුකරන අතර ඒවායේ මිල ගණන් එකිනෙකට වෙනස්‌ය. භාවිත කරන උපකරණ, ඖෂධ, ශල්‍යාගාර පහසුකම් ප්‍රථමාධාර පහසුකම්, වෛද්‍ය කාර්ය මණ්‌ඩලය ආදී මේ සියල්ල අනුව මෙම මුදල තීරණය වේ. එනිසා අඩු මිලට මෙවැනි සැත්කම් සිදු කරන ස්‌ථානද ඇතැම් වෛද්‍යවරු පවත්වාගෙන යති. පසුගියදා මහත් ආන්දෝලනයකට හේතු වූයේද මෙවැනි අඩු පහසුකම් මත අඩු මිලට පවත්වාගෙන යන රූපලාවන්‍ය සැත්කම් සිදු කරන සායනයකදී වෛද්‍යවරියක්‌ මිය යැමය.

මෙතෙක්‌ බොහෝ දෙනා සැඟව හොර රහසේ සිදු කරගත් මෙවැනි රූපලාවන්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කම් සායන පිළිබඳව තොරතුරු අනාවරණය වන විට බොහෝ නළු නිළියන් මැති ඇමැතිවරුන් ගායක ගායිකාවන් නිවේදක නිවේදිකාවන්ද කලබලයට පත්ව සිටිති. නමුත් මෙතෙක්‌ හොර රහසේ සිදු කරගත් ප්ලාස්‌ටික්‌ සැත්කම් ප්‍රතිකාරය හෙළිවුවහොත් තිරිහන්ව සිටීමේ රහස හෙළිවෙතැයි ඔවුහු බියට පත්ව සිටිති. අපි මෙතරම් නිරෝගීව ලස්‌සනට ඉන්නේ අහවල් කෑම ආහාරයට ගන්නා නිසා යෑයි පැවසූ බොහෝ දෙනා මෙවැනි සැත්කම් කරගෙන ඇත.

මෙලෙස තිරිහන් වන්නට සිදු කරන මෙම රූපලාවන්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කම් ප්‍රතිකාරය ශ්‍රී ලංකාවේ සිදු කරන විශේෂඥ වෛද්‍යවරයකු ලෙස කොළඹ ජාතික රෝහලේ ප්ලාස්‌ටික්‌ සැත්කම් අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය දුලිප් පෙරේරා මහතා හැඳින්විය හැකිය. ඔහු මෙම සැත්කම් ගැන පවසන්නේ මෙලෙසය. 

යම් පුද්ගලයකුගේ උපතින්ම විකෘතිව පවතින තොල්, නාසය, කම්මුල්, පියයුරු, කන්පෙති, ඇහිබැම, නිකට ඇතුළු ඉන්ද්‍රියයන් ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමට, නිසි ලෙස ව්‍යායාම නොකිරීම සහ නිසි ලෙස ආහාර පාලනයක්‌ සිදු නොකිරීම නිසා ඇතිවන අධික තරබාරුවේදි එල්ලා වැටෙන බෙල්ලේ උදරයේ මස්‌ පිඬු නිසි ලෙස සකස්‌ කිරීමටත් සිරුරේ තැන්පත්ව ඇති අනවශ්‍ය මේදය ඉවත් කිරීමටත් සිරුරේ හිසේ සිට දෙපතුල දක්‌වා වූ බාහිර රූපයේ ඕනෑම ස්‌ථානයක පවතින පෙනුම පැහැපත් කිරීමටත් රූපලාවන්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කම් භාවිත කරනවා. 

මෙම සැත්කමින් බලාපොරොත්තු වන්නේ පුද්ගලයකුගේ බාහිර ස්‌වරූපය වැඩිදියුණු කිරීමයි. එසේ නැතිව වෙනත් අයෙකුගේ රූපයකට සමාන රූපයක්‌ සකස්‌ කරන්න බැහැ. ඇතැම් දෙනා විවිධ නළු නිළියන්ගේ නම් කියමින් ජනප්‍රිය පුද්ගලයන්ගේ නම් කියමින් ඔවුන්ගේ මුහුණ වගේ නහය වගේ තොල් වගේ ඇස්‌ වගේ පියයුරු වගේ තමාගේ සිරුරේ පෙනුමත් සකස්‌ කරගන්න, රූපලාවන්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කම් සඳහා යොමු වෙනවා. එවැනි විශ්ව කර්ම වැඩ කරන්න මෙම ප්‍රතිකාර ක්‍රමයට බැහැ. 

මෙවැනි සැත්කම් සඳහා විශාල මුදලක්‌ වැය වන්නේ ඇයි?

සාමාන්‍යයෙන් සැත්කමක්‌ සිදු කිරීමේදී ඒ සඳහා භාවිත කරන නිර්වින්දන ඖෂධ, අදාළ සැත්කමට අවශ්‍ය ශල්‍ය උපකරණ, ශල්‍යාගාර පහසුකම්, නිර්වින්දන වෛද්‍ය පහසුකම් ආදිය අනුව ඒ සඳහා වැයවන මුදල තීරණය වෙනවා. 

රූපලාවන්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කම් නිසා පසුකාලීනව පිළිකා වැනි රෝග ඇතිවිය හැකි බවට බියක්‌ පවතිනවා. එය සත්‍යයක්‌ද?

නිවැරැදි අයුරින් සැත්කමක්‌ සිදු කළොත් එවැනි අතුරු ආබාධ ඇති වන්නේ නැහැ. සමහර අය පවසනවා මෙවැනි සැත්කම් නිසා පසුකාලීනව ශරීරය වැහැරෙයි කියලා. නියමිත ඖෂධ භාවිත කර පළපුරුදු වෛද්‍යවරයෙක්‌ සිදු කරන සැත්කමකදී එහෙම අතුරු ආබාධ ඇති වන්නේ නැහැ. 

රූපලාවන්‍ය ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ ඕනෑම වයසක ඕනෑම පුද්ගලයකුට සිදු කරගත හැකිද?

මෙය සැත්කමක්‌ නිසා ඒ සඳහා අදාළ පුද්ගලයාගේ ශරීරය සැත්කමට අවශ්‍ය ලෙස සූදානම් කළ යුතුයි. අධික ලෙස ශරීර බර වැඩි නම් එය පාලනය කරගත යුතුයි. අධික රුධිර පීඩනය ඇති අය සැත්කමට දින දෙකකට වත් පෙර සිට එය පාලනය කරගත යුතුයි. ඊට අමතරව පුද්ගලයාගේ පවතින වෙනස්‌ රෝග ගැන පරීක්‌ෂා කළ යුතුයි. විශේෂයෙන්ම දියවැඩියාව පිළිබඳව අවධානය යොමුකළ යුතුයි.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments