හේතුවක්‌ නැතිව ඇතිවන හිසරදය


අප බාහිරින් කොතරම් වත්සුනු ගල්වා පැහැපත්ව සිරුර අලංකාර කරගෙන සිටියද සිරුරේ අභ්‍යන්තරය මහා ගිනි ජාලාවකි. ෆැරන්හයිට්‌ අංශක 98.4 ක බාහිරට දැනෙන උෂ්ණත්වයක්‌ සිරුරේ පැවතියද අභ්‍යන්තර ශරීර උෂ්ණත්වය ඊට වඩා අංශක 2 ක්‌ පමණ වැඩිය. මෙතරම් ශරීර උෂ්ණත්වයක්‌ සහිතව ජීවත්වන්නේ ශීත දේශගුණයකට ගියද උෂ්ණ දේශගුණයකට ගියද ශරීර උෂ්ණත්වය වෙනස්‌ නොවේ. ඊට හේතුවී ඇත්තේ අප ශරීර උෂ්ණත්වය වෙනස්‌ නොවන අචලතාපීන් නිසාය. ශීත දේශගුණයකදී සම මත හිරිගඩු පිපෙමින් ශරීර උෂ්ණත්වය රැක ගැනීමට උත්සාහ කරයි. උෂ්ණ දේශගුණයකදී දහදිය දමමින් උෂ්ණත්වය පාලනය කර ගැනීමට උත්සාහ කරයි. මෙලෙස සිරුර තම උෂ්ණත්වය රැක ගැනීමට උත්සාහ කළද එම සිරුරට හිමිකම් කියන අප බොහෝ දෙනා ශරීර උෂ්ණත්වය රැක ගැනීමට උත්සාහ නොකරති. එනිසා අපි බොහෝ ලෙස රෝගවලට ඉතා පහසුවෙන් ගොදුරු වන්නෙමු. මෙලෙස අප නිතර පීඩා විඳින රෝගයක්‌ ලෙස හිසරදය හැඳින්විය හැකිය.

හිසරදය සඳහා බලපාන හේතු රැසක්‌ ඇත. පීනස, වෛරස ආසාදන, කනේ ආසාදන, මොළයේ ගෙඩි, අධි රුධිර පීඩනය ආදිය ඉන් කිහිපයකි. මෙහිදී මතුවන හිසරදය සමග තවත් රෝග ලක්‌ෂණ රැසක්‌ මතුවේ.

නමුත් අප දුර ගමනක්‌ ගිය විට, අවේලාවේ ස්‌නානය කළ විට, අධික ශීතල ජලය ස්‌නානය කළ විට හෝ දිගු වේලාවක්‌ ස්‌නානය කළ විට මතුවන හිසරදය ශරීර උෂ්ණත්වය ගැන අප සැලකිලි නොවීම නිසා ඇති වන්නකි.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් නළල ප්‍රදේශයෙහි ඇති කුඩා රුධිර නාලිකා (කේශ නාලිකා) පුපුරා ගොස්‌ පුද්ගලයා තුළ කම්පන තත්ත්වයක්‌ මතුවේ. එහි අවසන් ප්‍රතිඵලය වන්නේ මියයැමය. එනිසා අප නිතරම අපගේ ශරීර උෂ්ණත්වය රැක ගැනීමට අවධානය යොමු කළ යුතුය.

උෂ්ණ ප්‍රදේශයක සිට ශීත ප්‍රදේශයකට ගිය විට එකවර ශීත ජලය ස්‌නානයට යොමු නොවිය යුතුය. පළමුව එම පරිසරයට ශරීරය හැඩ ගස්‌වා ගැනීමට පියවර ගත යුතුය. වෙහෙසකර ගමනක්‌ අවසානයේ බොහෝ දෙනා විඩාව නිවාගැනීමට සිතා වහාම ස්‌නානයට යොමුවෙති. එය එතරම් හොඳ ක්‍රියාවක්‌ නොවේ. වෙහෙස නිවෙනතුරු පැයක්‌ පමණ සිටිය යුතුය.

ඇළ, දොළ, ගංගා ආශ්‍රිත ප්‍රදේශවල ජීවත්වන අය බොහෝ විට පැය ගණන් ජලස්‌නානයේ යෙදෙති. මෙය දිගුකලක්‌ සිදු කිරීමෙන් ඔවුන්ට හිසෙහි කම්පන රෝග මතුවිය හැකිය. එනිසා පැය භාගයකට වඩා හිස තෙමමින් ජලයේ රැඳී සිටීම සුදුසු නැත. හිස නොතෙමා පැයක්‌ දෙකක්‌ පමණ වුව ජලයේ රැඳී සිටීම ගැටලුවක්‌ නැත.

වර්තමානයේ බොහෝ කාන්තාවෝ රූපලාවන්‍ය කටයුතු සඳහා නිතර හිස තෙමමින් හිසකේ විලාසිතා සඳහා යොමුවෙති. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ රෝගයක්‌ නැතිව නිතර හිස රිදෙනවා යෑයි පවසමින් පීඩාවට පත්වීමය. මෙවැනි කාන්තාවෝ වර්තමානයේ බහුලවම හමුවෙති.

රාත්‍රී කාලයේ ස්‌නානයට හුරුව ඇති බොහෝ දෙනා කලක්‌ ගත වන විට කිසිදු හේතුවක්‌ නැතිව හිස රිදෙනවා යෑයි පවසමින් පීඩා විඳිති. ඇතැම් දෙනා මින් බියට පත්ව විවිධ පරීක්‍ෂණ සඳහා යොමුවෙති. මොළයේ ගැටිත්තක්‌ ඇතැයි කියා සිතති. නමුත් රෝග නිධානය සොයා බැලූ විට සිදුව ඇත්තේ ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීම සඳහා උනන්දු නොවීමය. එහි ප්‍රතිඵලය ලෙස ඔවුන්ගේ කම්පන නාඩි අක්‍රමවත් ලෙස ක්‍රියාකිරීමට පටන් ගැනීම නිසා හිසෙහි කම්පන තත්ත්වයක්‌ මතුවේ. මෙම තත්ත්වයට පත්වූ විට යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීම එතරම් පහසු නැත. ඒ සඳහා දීර්ඝ කාලීනව ප්‍රතිකාර කළ යුතුය.

උපදෙස්‌ - නාඩි වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය 
වෛද්‍ය ජිනසිරි ලියන්වෙල

Post a Comment

0 Comments