ලෝක දේශගුණික විපර්යාස මේ තරම් දරුණු යෑයි කියන්නට මෙන් මේ වසරේ දී අප රටට දැඩි නියඟයක පෙරනිමිති පහළ වී ඇත. තෙත් කලාපයට තරමක වැසි පැවතුනත් වියළි කලාපයේ පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල, අම්පාර, මඩකලපුව, වව්නියාව, මුලතිව්, යාපනය, මොනරාගල, හම්බන්තොට, මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල වැනි ප්‍රධාන දිස්‌ත්‍රික්‌කවලට අප්‍රේල් මාසයෙන් පසු වැස්‌ස ලැබී නැත. එනිසාම යල කන්නයේ කෙත් වතු පාළු වී ඇති අතරම ආශ්‍රිත වනාන්තර දැඩි වියළි තත්ත්වයක පවතී. ඒ කෙතරම්ද යත්, කුමන හෝ මොහොතක මේ වියළි පොළොව මතට වැටෙන ගිනි පුපුරකින් මහා කැලෑ ගින්නක් පැතිර යන තරමේ භයානක හා අවදානමක් පෙරමග තබාගෙනය.
අප්‍රේල් මාසයෙන් පසු අගෝස්‌තු - සැප්තැම්බර් - ඔක්‌තෝබරය දක්‌වා ක්‍රමයෙන් වියළි කලාපය වියළි කාලගුණික තත්ත්වයක ගිලෙන නමුත් අප්‍රේල්, මැයි, ජුනි සහ ජුලි මාසවලද අතරින් පතර වැසි ලැබීම සාමාන්‍ය රටාවයි. එහෙත්, අප්‍රේල් මාසයෙන් පසු අප ගෙවාදමන ජුනි අග දක්‌වා වැසි නොලැබීම යනු සාමාන්‍ය රටාව අනුව ඉදිරියේදී ඔක්‌තෝබරය දක්‌වා වැසි රහිත වීමයි. එනමුත් ලෝකය හා ස්‌වභාව දහම එතරම්ම අසාධාරණ නොවේ යෑයි අපි කල්පනා කරමු. නියඟයෙන් විශාලා මහනුවරක් බවට අප රට පත්ව ඇත්තේ වළගම්බා රාජ්‍ය සමයේදී පමණකි. ඒ හැරෙන්නට සුවිසල් නියඟ තත්ත්වයක් රට තුළ කිසිදා වාර්තා වී නැත. එබැවින් නුදුරු අනාගතයේදීම සැලකිය යුතු වාර්ෂාපතනයක් රටට ලැබෙනු ඇතැයි අපේක්‍ෂා කරමු.
කෙසේ හෝ දැනටමත් පවත්නා නියං තත්ත්වය හේතුවෙන් යල් කන්නයේ වී වගාව පවා නවතා දමන්නට ගොවීන්ට සිදුව තිබේ. මේ බව අවබෝධ කරගත් රජය මුං, කව්පි, සෝයා, රටකජු වැනි අතිරේක බෝග වගාව එහි ප්‍රචලිත කිරීමේ උත්සාහයක නිරතව ඇත්තේ අතිරේක බෝග වගාවට පොහොර සහනාධාරයද සපයමිනි.
එසේම වනාන්තර (විශේෂයෙන්ම පතන් තණබිම්) වියළී ගොස් ඇති අතර, වනාන්තර ගිනි පැතිර යැමේ දැඩි අවදානමක ඉහත කී පරිපාලන දිස්‌ත්‍රික්‌ක සියල්ලම ගිලී පවතී. ඊට නිදසුන් සපයමින් කැලෑ ගිනි පිළිබඳ ප්‍රවෘත්ති පසුගියදා ප්‍රදේශ කිහිපයකින්ම අසන්නට ලැබිණි. වික්‌ටෝරියා - රන්දෙණිගල - රන්ටැඹේ අභයභූමියට අයත් බෑවුම් පතන්වල පැතිර ගිය ගිනි නිවාදැමීමට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා පවා යොදවාගන්නට සිදුව තිබිණි. නිල්ගල සවානා වනාන්තරයත්, රාවණා ඇල්ල අභය භූමියත් ගිනි පැතිර ගිය අනෙකුත් ප්‍රදේශ වේ. වාසනාවකට මෙන් මෙවර තවමත් වාර්ෂිකව පැතිර යන නකල්ස් (දුම්බර) අඩවියේ පතන්වල ගිනි පැතිර ගියේ නැත. කෙසේ හෝ වන හා වනජීවී නිලධාරීන් පවසන පරිදි මේ වන විට ගිනි අවදානම පිළිබඳව තමන් දැඩි විමසිල්ලකින් පසුවන බවද, හදිසි තත්ත්වයකට සූදානම්ව සිටින බවද කියයි. ඇති වූ ගිනි වහාම පාලනය කළ බව පවසන සංරක්‍ෂණ නිලධාරීහු මෙවර සැලකිය යුතු වන හානියක් සිදුනොවූ බවද, දැනුවත් කිරීම් මගින් හා ගිනිපටි කැපීම මගින් වනාන්තර ගිනි, පාලනය කිරීමට කටයුතු කර ඇති බවද පවසයි.
මේ පිළිබඳ අප හා කරුණු දැක්‌වූ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වන සංරක්‍ෂක කේ. පී. ආරියදාස මහතා ප්‍රකාශ කර සිටියේ දැනටමත් ඇතිව තිබෙන කැලෑ ගිනිවලින් 5% ක් වත් තම දෙපාර්තමේන්තුව යටතේ ඇති කැලෑවල ඇති වූ ඒවා නොවන බවයි. මෙවර ගිනි අවදානම වැඩි බදුල්ල හා නුවරඑළිය දිස්‌ත්‍රික්‌කවල ගිනි පාලනයට දැඩි පියවර ගෙන ඇති බව පවසන නියෝජ්‍ය වන සංරක්‍ෂකවරයා කියා සිටියේ හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ගිනි නිවීම සඳහා පිරිස් සූදානමින් පසුවන බවයි. මහජනතාව දැනුවත් කිරීම සඳහාද පියවර ගෙන ඇති බවත් මීටර් 10 ක් පළල (අඩි 33) ගිනිපටි කපා (රක්‍ෂිත) වනාන්තර ආරක්‍ෂා කිරීමට පියවර ගෙන ඇති බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.
වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රචාරක නිලධාරිනී හසිනි සරත්චන්ද්‍ර මහත්මියගෙන් කැලෑ ගිනි ගැන අප කළ විමසීමේදී ඇය කියා සිටියේ දැනටමත් ඇති වූ ගිනි හේතුවෙන් වනජීවි රක්‍ෂිත ප්‍රදේශවල අක්‌කර 215 ක් පමණ දැවී ඇති බවයි. වික්‌ටෝරියා - රන්දෙණිගල - රන්ටැඹේ අභය භූමියේ තද බෑවුම් සහිත ප්‍රදේශවල ඇති වූ ගිනි හේතුවෙන් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ අසමෝදගම්යාය වැව ඉස්‌මත්තේ අක්‌කර 200 ක් දැවී ගිය බවද ඇය පැවසුවාය. ගින්න පාලනය කිරීම සඳහා ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානාවල සහාය ලබාගත් බවද පවසූ ඇය කියා සිටියේ වගකීමෙන් තොර පුද්ගලයන් විසින් මෙසේ කරනු ලබන කැලෑ ගිනි තැබීමේ විනාශයෙන් ජල උල්පත් සිඳීයැම, වායුගෝලය දූෂණය, ජෛව විවිධත්වයට හානි සිදුකිරීම ඇතුළු පරිසරයට මහත් ෙ€දවාචකයක් සිදුවන බවයි. රාවණා ඇල්ලට සමගාමී බෑවුම් ප්‍රදේශයේ අක්‌කර 15 ක පමණ සවානා බිමක් ගිනි ගත් බවද නිල්ගල වනාන්තරයට අයත් ප්‍රදේශයක්‌ද දැවී ඇති බවත් ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාව ලැව් ගිනි හෙවත් ස්‌වාභාවික ගිනි ඇතිවන රටක් නොවේ. අපේ රටේ යම් තැනෙක ගින්නක් ඇතිවේ නම් ඊට අනිවාර්යයෙන්ම මිනිසකු සම්බන්ධව සිටිය යුතු වේ. එසේ නම් ඔහුගේ හිතාමතා ගිනි තැබීමකින් හෝ අත්වැරැද්දකින් ගින්නක් ඇතිවිය යුතු වේ. එය ශ්‍රී ලංකාවේ කැලෑ ගිනි ඇතිවීමේ සිද්ධාන්තයයි. විටෙක තම ඉඩමේ සිදුකරන ගින්නක් අත්වැරැද්දකින් අවට වනාන්තරයට පැතිරයැමේ හැකියාවද ඇති අතර, අද අපට බොහෝවිට දක්‌නට ඇත්තේ හිතාමතා සිදු කරන ගිනි තැබීම්ය. ඇතැම්හු විනෝදාස්‌වාදය පිණිස වියළි කැලෑ ගිනි තබති. ඒ සඳහා දැල්වූ සිගරට් µsල්ටරයක් සෑහේ. තවත් පුද්ගලයන් තමන්ගේ ගවපට්‌ටි සඳහා අලුත් තණකොළ ලබා ගැනීම සඳහාත්, තවත් සමහරුන් (දඩයක්‌කරුවන්) ළා පත් කන්නට පැමිණෙන වන සතුන් දඩයම් කිරීමේ අපේක්‍ෂාවෙනුත් කැලෑවලට ගිනි තබති. මේ කුමන දෙය කළත්, එක් අතකින් බලවත් පාරිසරික විනාශයක් වන අතර අනෙක් අතින් ගත් කල බරපතළ වරදක් සිදුකිරීමකි. කැළෑ ගිනි තබන්නන්ට එරෙහිව වන ආඥ පනතේ මෙන්ම වන සත්ව හා තුරුලතා ආරක්‍ෂා කිරීමේ ආඥා පනත අනුවද තදබල දඬුවම් ලබාදිය හැකි වේ. ඒ අතර දඩ හා සිර දඬුවම්ද වේ.
වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති සංරක්‍ෂිත වනාන්තරයක් ගිනි තැබීමේ වරදකරුවකුට වසර හතක සිරදඬුවම් හෝ රුපියල් 20,000 සිට ලක්‍ෂ 2 දක්‌වා දඩයක් ගෙවීමට සිදුවේ. එසේම, රක්‍ෂිත වර්ගයේ වනාන්තරයක් දැවීමේදී වසර පහක සිර දඬුවමක් හා රුපියල් 10,000 සිට ලක්‍ෂයක් දක්‌වා දඩයක් ගෙවීමටද, රජයේ වෙනත් වනාන්තරයක් දැවීමේදී වසර දෙකක සිර දඬුවමක් හා රුපියල් 5000 සිට 50,000 දක්‌වා දඩ මුදලක් ගෙවීමටද වරදකරුවකු වේ. එහෙත්, ගැටලුව ඇත්තේ මෙවන් වරදකරුවන් අල්ලා ගැනීමේ ඇති දුෂ්කරතාවයි. වනාන්තර සුරැකීම ගැන ලෝකයම කතා කරන අද වැනි කලෙක වනාන්තරයක් දවා අළු කිරීමට උදව් දෙන පුද්ගලයකු දේශෙද්‍රdaහියකු වේ. එබැවින් එවන් පුද්ගලයන් ගැන තොරතුරු අනාවරණය කිරීමත් වනාන්තර සුරැකීමට දායකත්වය ලබාදීමත් ජනතාවගේ සුවිශේෂ යුතුකමක් හා වගකීමකි. අද රටේ ඉතිරිව ඇත්තේ 18% ක් තරමේ වනාන්තර ප්‍රමාණයකි. එය සුරක්‍ෂිත කිරීම රජයේ මෙන්ම ජනතාවගේත් පරම යුතුකමක්‌ව පවතින මොහොතක අනපේක්‍ෂිතව මෙසේ ඇතිවන නියං තත්ත්වයන් දින කිහිපයකින් දැවැන්ත වනාන්තරයක් පරඬලාපත් බවට පත්කොට එය අනාරක්‍ෂිත තත්ත්වයකට පත්කරවයි. එවන් විටෙක රජයේ මෙන්ම සිවිල් ජන සමාජයේද සුවිසල් වගකීමක් මෙවන් වනාන්තර සුරැකීමට ඇතිවේ. අපි එහි කොටස්‌කරුවෝ වෙමු.
ජගත් කණහැරආරච්චි
0 Comments