නිහඬ වූ සොඳුරු අඬහැරය කපුගේ


බොහෝ විට සොඳුරු පරිසරයක්‌ තුළ අඳුරු ශෝකී මතකයන් ඉතිරි කරන බක්‌මහක කපුගේ නික්‌ම ගියේය. 2003 වසරේ අප්‍රේල් 03 වන දාක ඔහු නික්‌ම ගියේ නික්‌ම යා යුතු මොහොතක නොවේ. ඔහු සමුගත්තේ ඔහු වන් මිනිසුන් සියයක්‌, දහසක්‌ වුව අත්‍යාවශ්‍ය වූ යුගයකදීය. සමාජමය මිනිසෙකුට සුපසන් සැහැල්ලු හදවතකින් නික්‌ම යැමට තරම් හැකියාවක්‌ නොතිබූ අවධියකදීය. ඔහු අත්‍යාවශ්‍යම වූ යුගයක වේලාසනින්ම සමුගැනීම සමාජයට බරපතල ලෙස දැනුන අඩුවක්‌ විය.

බොහෝ මිනිසුන්ට ආදරය කළ, ඒ මිනිසුන් වෙනුවෙන්ම ජීවත් වූ ඒ වෙනුවෙන්ම ගී ගැයු සිය ජීවන භාවිතාවෙන් එය යථාර්ථයක්‌ කර පෙන් වූ සොඳුරු මිනිසෙකු වූ ඔහු මෙතෙක්‌ කිසිවකුට පිරවිය නොහැකි රික්‌තයක්‌ ගායන ක්‌ෂේත්‍රය තුළ ඉතිරි කළේය. නමුත් අපවන් අවර්ධිත පසුගාමී රටක ජීවත් නොවූවේ නම් විශිෂ්ට සංගීතඥයකු වශයෙන් ඔහු සිය රශ්මි කදම්භය මුළු ලොව පුරා පතුරුවනු නිසැකය. භාත්ඛණ්‌ඩ සරසවියෙන් සංගීත විශාරදවරයෙකු වීම මෙන්ම ඒ කාර්යය සඳහා වන නිසඟ ගුණ ඔහු සතුව තිබුණ බව ඔහු කළ අල්ප වූ නිර්මාණ ප්‍රමාණය සාක්‌ෂි දරයි. උචිතානුචිතභාවය තීරණය කරමින් ඔහු ගීතවත් කළ පදමාලා දෙස්‌ දෙයි. තනු නිර්මාණයේදී දැක්‌වූ සුවිශේෂි හැකියාවන් ද දෙස්‌ දෙයි. නමුත් ඔහු තුළ වූ සංගීතඥයා එසේම සිටියදී ගායකයකු ලෙස ඔහු ගායන ක්‍ෂේත්‍රය තුළ අද්විතිය තැනක්‌ හිමිකර ගත්තේය. 

සැබවින්ම ගුණදාස කපුගේ නිකම්ම නිකම් ගායකයෙකු වූවා නම් නිකම්ම නිකම් කලාකරුවකු වූවා නම් ඔහු පිළිබඳව සමාජය යළි යළිත් මතකයන් අවදි නොකරනු ඇත. සමාජය - සමාජ විඥානය හැසිරවිමේදි සමාජය වඩාත් යහපත් තැනක්‌ කිරීමේ කටයුත්තේදී ඒ අරගලයේ කොටස්‌කරුවෙක්‌ වීමට කලාවට ඇති හැකියාව ඔහු මැනවින් වටහාගෙන සිටියේය. මානව වර්ගයාගේ සිත් සතන් වඩාත් නිර්මල කිරීමට, වඩා යහපත් වීම සඳහා මඟපෙන්වීමට, තම සගයන් වෙත ආදරය දැක්‌වීමට, මානව වර්ගයාගේ අභිවෘද්ධිය සඳහා සටන් වැදීමට මතවාදී අවියක්‌ වීමට කලාවට හැකි බව ඔහු අවබෝධ කරගෙන සිටියේය. ඒ සඳහා වූ ඉතා නිවැරදි දෘෂ්ටියක ඔහු නිශ්චිත ලෙස පය ගසා සිටියේය. කිසි දිනක ජනතාවට හතුරු වූ පාර්ශවය නියෝජනය නොකළ ඔහු ශිෂ්‍යයින්ගේ ප්‍රශ්න ගැන ඌව වෙල්ලස්‌ස ජනතාවගේ ප්‍රශ්න ගැන ගීත නිර්මාණය කළා. ගායනා කළා පමණක්‌ නොව එම අරගලවලටද ඔහු සක්‍රීයව දායක විය. එබැවින් ඔහු කලාකරුවන් අතර හිඟම කොඳු ඇට පේළියක්‌ සහිත මිනිසෙක්‌ ද විය.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස විය යුතු ලෙස විය යුතු පරිදිම ගායකයකු ලෙස ඔහු බොහෝ කරදර හිරිහැරවලට මුහුණ පෑවේය. ඔහුගේ හඬට රුවට රූපවාහිනිය, ගුවන් විදුලිය තහනම් කලාප විය. ඔහුට එලෙස වැට බැඳි කාලය ඉතා දිර්ඝ විය. ඔහුගේ ජීවනෝපායට අවහිර කළේ වරක්‌ දෙවරක්‌ නොවේ. නමුත් බලධාරීන් බලාපොරොත්තු වූ ලෙස ඔහුගේ හඬ තාවකාලිකව හෝ අමතක කරලීමට ඔව්හු අපොහොසත් වූහ. නුවර මහ මැදුරු තුළද, ඈත පසල් දනව් තුළද, දුගී පැල්පත් තුළ, කඩපිලවල, වැඩපළවල, කෙත්වතු තුළ ඔහුගේ ගැඹුරු හඬ රැළි සුළි නංවමින් නින්නාද විය. එමෙන්ම ඒ හඬ වැළ¹ ගත්තෝ එක්‌ සමාජ ස්‌ථරයකට අයත් වූවෝ නොවූහ. එක්‌ වයස්‌ කාණ්‌ඩයකට අයත් වූවෝ නොවූහ. නාගරික මධ්‍යම පාංතිකයාද පැල්පත් වැසියාද, ගොවියාද, කම්කරුවාද, ලිපිකරුවාද, ගුරුවරයාද, තරුණ, මහලු මේ විස්‌තීර්ණ සමාජයේ සියලු හදවත් ඔහුගේ හඬ වැළඳ ගත්තේ ඒ හඬ මේ මහ පොළොව තුළින් පැනනැඟි අපගේම හඬ වූ නිසාය. රජරට නවදැලි හේනකින් හමන පුසුඹක්‌ සේම එය මේ බිමෙන්ම උපන්නක්‌ විය. වෙල්ලස්‌සේ, පොළොන්නරුවේ, ගොයම් කරළින් නැගි පුසුඹ ගිරුවාපත්තුවේ කුරහන් සුවඳ ළය පුරා ආශ්වාස කර ගත් මිනිසෙකුගේ හඬක්‌ම විය. අනේක විධ දුක්‌ කම්කටොළු වලින් හෙම්බත් වූ දුකින් පිරි පීඩිත සහෝදර ජනතාව පිළිබඳ හැඟිමක්‌ සහිත ලයකින් ගලා ආ හඬක්‌ම විය. 'මගේ බිසවුනේ අසාපන්', උලලේනෝ, දැස නිලුපුල් තෙමා, උන්මාද සිතුවම්, බිම්බරක්‌ සෙනඟ ඇවිදින්, වෙල්ලස්‌සේ ගීතය ගයද්දිත්, කරණවැමි සොයුරන්ට ගයද්දිත් සිංදු කියන මාළුවන් ගැන ගයද්දිත්, සුදු නැන්දා දොරවැසූ හැටි ගයද්දිත් ජනතාව ඒවා හදවතින්ම වැළඳගත්තේ ඒ 'අපේකම' ඒ හඬ තුළ නින්නාද වූ නිසාමය. එමෙන්ම ඒ හඬෙහි වූ පෞරුෂයද ඊට බෙහෙවින් බලපෑවේය.

වර්තමානයේ 'ගායක තරු' බිහිවන්නේ එක්‌ රැයෙනි. ඒ තාක්‌ෂණය විසින් නිර්මාණය කළ සුපිරි මෙවලම්වලද ආධාරයෙනි. හඬ නැළවීමට, හඬ මිහිරි කිරීමට මේ සියල්ල තාක්‌ෂණයේ පිහිටෙන් අපූරුවට කළ හැකිය. එබැවින් එක රැයකින් වැසි වසින 'ගායන තරු' අඹරේ කිසිදු සටහනක්‌ නොතබාම බැසයන්නේ, යළිත් දවසක නොපායන ඉරණමද අතේ ගුලිකර ගනිමිනි. නමුත් 'කපුගේ' ලා ගායනය ආරම්භ කළ අවධියේ තාක්‌ෂණ මෙවලම් තිබුණේ නැත. එකල ගායකයකු වීම ලෙහෙසි පහසු කටයුත්තත්ද වූවේ නැත. එය ප්‍රතිභාවේම, සතතාභ්‍යාසයේම ප්‍රතිඵලයක්‌ විය යුතුව තිබුණි. සැබවින්ම කපුගේ ගායකයකු කළ ඒ හඬ ප්‍රතිභාවේම සතතාභ්‍යාසයේම පූර්ණ ප්‍රතිඵලයක්‌ විය. එය කිසිසේත් අනුකරණාත්මක හඬක්‌ වූවේ නැත. එබැවින් අනුකරණය තරන්නටද කිසිවෙකුට නොහැකිය.

ගායකයකු, සංගීතඥයකු වූ කපුගේ තවත් එක්‌ කාරණාවක්‌ නිසා සුවිශේෂි කොට අනෙකුත් බොහෝ කලාකරුවන්ගෙන් වෙන් කොට ගත හැකිය. හොඳින් ඇදපු විණා තතක්‌සේ සුළඟටත් හැඩවෙන හදවත් සහිත සංවේදි කලාකරුවන් යෑයි කියාගන්නා බහුතරයක්‌ මේ පල්වුණු, බොරවුණු, මඩවුණු ඕජස්‌ සහිත ජලදහරාවෙන් දිය දෝතක්‌ ගෙන බි නිවි සැනහෙන සමාජයක මේ ඕජස්‌ සහිත ජලදහරාවට එරෙහිව උඩුගං බලා පිහිනන්නට ඔහු උත්සාහ කළේය. මේ ඕජස්‌ දහරාවෙන් දිය දෝතක්‌ ගත්තවුන් පසුපස මුදල්, තාන්න - මාන්න - වරදාන - වරප්‍රසාද හඹා එද්දි කපුගේ මුදල් උපයා ගැනීමට සිය භාවිතාව යොදා ගත්තේ නැත. මුදල් ගැන තැකිමක්‌ ඔහුට නොවීය. ඔහු තරාතිරම නොව ගීතයක රචනය පරම කොට සැලකිය. ලුෂන් බුලත්සිංහල ලියා ඔහු ගායනා කළ ''ඔබේ මන්දිරෙන් එහා මගේ ලොව බලා සිටින බව'' ඔහු වටහා ගෙන සිටියේය. වඩා පැහැබර සමාජයක්‌, වඩා සුන්දර සමාජයක්‌, කලා නිර්මාණවල සෞන්දර්යය හදවත පතුලෙන් විඳින්න පුළුවන් මිනිසුන් සහිත සමාජයක්‌ නිර්මාණය කිරීම උදෙසා වූ නිශ්චිත පැහැදිලි දෘෂ්ටියක්‌ ඔහු පය ගසා සිටි නිසාය ඒ. කපුගේ වේලාසනින්ම සමුගැනීම සමාජයට දැරිය නොහැකි පාඩුවක්‌ වන්නේ ද ඒ නිසාය.

''නිවැරදි කරගත යුතු මහා පරිමාණයේ වැරදි අප තුළ ඇත'' කම්පන සියවැනි සමරු කලාපයේ කපුගේ තමන් ආ ගමන් මඟ දෙස බලමින් පවසා තිබේ. නමුත් ඔහුට නිවැරදි කරගත යුතු වැරදි තිබුණානම් වැරදි නිවැරදි කර ගැනීමට මරණය ඉඩ දුන්නේ නැත. 

කෙසේ නමුත් චිලියේ ඒකාධිපති වියරුවට එරෙහිව ගිටාරය රැගෙන විදියට බට ජනතාවාදි ගායක 'වික්‌ටර් හාරා' ට ඉතිහාසයේ, හිමිවන වපසරිය කපුගේට හිමි නොවුණද ''අපේ වික්‌ටර් හාරා" කපුගේය.

සුජාතා අලහකෝන්

Post a Comment

0 Comments