ඇෆ්රිකන් වයලට්‌


අලංකාර මල් පිපෙන බඳුන්ගත පැළෑටියක්‌ ලෙස ඇෆ්රිකන් වයලට්‌ ශාකය හැඳින්විය හැකිය. මෙම පැළෑටිය ගෘහස්‌ථව ඉතා හොඳින් වගා කළ හැකි සහ දේශීය වෙළෙඳ පොළෙහි ද අලෙවි වන ඇෆ්රිකන් වයලට්‌ පැළෑටිය ජෙස්‌නෙරියේසියේ ශාක කුලයට අයත් පැළෑටියකි.

කෙටි කඳක්‌ සහිත ඒක කේන්ද්‍රිය වලයන් ලෙස පත්‍ර හටගන්නා මෙම පැළෑටියේ පත්‍ර අතුරින් හටගන්නා කුඩා මල් කිනිතිවල මල් කිහිපයක්‌ දැකිය හැකිය. මල් පොකුරක්‌ ලෙස වර්ධනය වන මෙම ශාකයෙහි මල්වල පෙති තනි ද්විත්ව හෝ චලයන් ලෙස පවතී. නිල්, රෝස, දම්, සුදු, රතු හෝ තැඹිලි හා ද්විත්ව වර්ණයන්ගෙන් සමන්විත ප්‍රභේද රාශියක්‌ම නිෂ්පාදනය කර ඇත.

ශාකය වර්ධනය සඳහා සුදුසු දේශගුණික තත්ත්වයන් පැවතීම වැදගත්ය. මෙම ශාකය සෙවණට ප්‍රිය කරයි. ඒ නිසා 50% - 60% අතර සෙවණක්‌ යටතේ වැඩීමට සැලැස්‌විය යුතුය. ශාකයේ මල් හටගන්නා කාලයේදී සෙවණ තරමක්‌ අඩු කිරීමෙන් මල් හටගැනීම වැඩිකර ගත හැකිය.

ශාකයේ මනා වර්ධනයක්‌ හා අලංකාර මල් ලබාගැනීම සඳහා 60% - 70% අතර ආර්ද්‍රතාවයක්‌ පවත්වා ගැනීම ද ඉතා වැදගත් වේ.

ඇෆ්රිකන් වයලට්‌ ශාකය මෘදු පත්‍ර හා මල් සහිත ශාකයක්‌ බැවින් වැසි ආවරණ සහිත පැළ ගෘහයක්‌ තුළ වගා කළ යුතුය.

ශාකය බඳුන්ගත කිරීමේදී සැහැල්ලු බඳුන් මාධ්‍යයක්‌ පැවතීම ශාකයේ ඉක්‌මන් වර්ධනයට අත්‍යවශ්‍යය. ඒ සඳහා මතුපිට පස්‌ කොටස්‌ 01, දිරූ ගොම කොටස්‌ 01, කොළ පොහොර කොටස්‌ 01, වැලි කොටස්‌ 1/2 මෙම ද්‍රව්‍ය හොඳින් මිශ්‍ර කර සාදාගත් මිශ්‍රණයෙන් බඳුන් පුරවාගත යුතුය. මේ සඳහා සෙ.මී. 10 ත් 15 ත් අතර විශ්කම්භයක්‌ ඇති ප්ලාස්‌ටික්‌ මැටි හෝ සිමෙන්ති බඳුන් භාවිතා කළ හැකිය.

ඇෆ්රිකන් වයලට්‌ ශාක සඳහා ජලය යෙදීමේදී ඉතාමත් ප්‍රවේශමෙන් කල්පනාවෙන් සිදු කළ යුතුය. උෂ්ණත්වය අඩු ශීත කාලගුණික තත්ත්ව පවතින විට උදැසනින් ජලය යෙදීම සුදුසු නොවේ. සිසිල් ජලය පත්‍රය මත රැඳෙන විට පත්‍රය සුදු පැහැයට හැරී පිළිස්‌සුණු ස්‌වභාවයක්‌ ගනී. මෙම ශාක සඳහා ජලය යෙදීමේදී පත්‍රය මතට ඉසෙන ලෙස ඉහළින් ජලය යෙදීමට වඩා බඳුනෙහි මූල මණ්‌ඩලය සහිත ප්‍රදේශයට සැපයීම වඩාත් සුදුසු වේ.

මෙම ශාක බඳුන් මාධ්‍යය සෑම විටම සාමාන්‍ය තෙතමනයකින් පවත්වා ගෙන යැම ද වැදගත්ය. එහෙත් අධික තෙතමනය දිලීර රෝගය සඳහා හේතුවේ. එසේම සවස්‌ කාලයේදී ජලය යෙදීම සුදුසු නැත.

බඳුන් මාධ්‍යය අධික පෝෂණ තත්ත්වයෙන් යුතුව පවත්වාගෙන යැමද සුදුසු නැත. කාබනික දියර පොහොර සතියකට වරක්‌ යෙදීම ප්‍රමාණවත් වේ.

ඇෆ්රිකන් වයලට්‌ ශාකය ක්‍රම දෙකකට ප්‍රචාරණය සිදුකර ගත හැකිය. එය බීජ මගින් සහ වර්ධක ප්‍රචාරණය මගිනි. එහෙත් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන්නේ වර්ධක ප්‍රචාරක ක්‍රමය වේ.

ඇෆ්රිකන් වයලට්‌වල ද්විලිංගික පුෂ්ප හටගනී. වර්ධක ප්‍රචාරණයේදී ශාක පත්‍ර භාවිතා කරයි. මේ සඳහා ලබාගන්නා පත්‍ර මධ්‍යස්‌ථව පවතින පත්‍ර වලයකින් ලබාගැනීමෙන් ඉක්‌මණින් සහ වැඩි පැළ ප්‍රමාණයක්‌ ලබාගත හැකිය. පත්‍ර ලබාගැනීමේදී පත්‍ර නටුව අඟලක්‌ පමණ දික්‌විය යුතුය.

එසේම ලබාගත් පත්‍ර කොළ පොහොර කොටස්‌ 01 ක්‌ හා වැලි කොටස්‌ 01 ක්‌ මිශ්‍ර කර ලබාගත් බඳුන් මාධ්‍යයක රෝපණය කළ යුතුය. මාස 2 ක්‌ අතර කාලයකදී පත්‍ර නටුවෙන් පැළ 5 ත් 10 ත් අතර ප්‍රමාණයක්‌ ලබාගත හැකිය. මෙම පැළ අඟල් 2 ත් 3 ත් අතර ප්‍රමාණයකට වැඩුණු පසු තනි බඳුන්වල සිටවිය යුතුය.

මේ ශාකය සඳහා රෝග හා පළිබෝධ හානීන් බහුලව දැකිය නොහැකිය. එහෙත් දියමලන් කෑම, පිටි මකුණාගේ හානිය සහ ගොළුබෙල්ලන්ගේ හා හම්බෙල්ලන්ගේ හානිය ආදිය දැකිය හැක.

රෝග

දියමලන් කෑම

මෙහිදී ශාකයේ පාදස්‌ථය දුඹුරු පැහැයට හැරී විනාශ වී යයි. මෙය බොහෝ විට සිදුවනුයේ බඳුන් මාධ්‍යයේ අනවශ්‍ය ලෙස ජලය රැඳී පවතින විටය. එබැවින් පාලනයකින් යුතුව ජලය යෙදීමෙන් දියමලන් කෑම පාලනය කළ හැකිය. එසේ නොමැති නම් දිලීර නාශක යෙදිය හැක.

පළිබෝධ හානි

පිටිමකුණාගේ හානිය

මෙම ශාකයට පිටි මකුණාගෙන් විශාල ලෙස හානි සිදුවේ. වියළි කාලගුණික තත්ත්වයන්හිදී මෙම හානිය බහුලව දැකිය හැක. සුදු පැහැති මකුණන් මල් නටුව හා ශාක කඳේ සිට යුෂ උරාබීම සිදු කරයි. එවිට ශාක වර්ධනය දුර්වල වීමද සිදුවේ.

මේ සඳහා කෘමිනාශක භාවිතා කළ හැකිය.

ගොළුබෙල්ලන් හා හම්බෙල්ලන්ගේ හානිය.

මේ ජීවීන්ගෙන් පත්‍ර හා මල්වලට හානි සිදුවේ. පාලනය සඳහා රාත්‍රි කාලයේදී මෙම ජීවීන් එකතු කර විනාශ කිරීම හෝ ගොළුබෙලි නාශක භාවිතා කළ හැකිය. තොරතුරු ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවෙන්.

සටහන බමුණාකොටුව - නන්දනසිරි ශාන්තකුමාර

Post a Comment

0 Comments