ගහේ ඉදුණු පලතුරු සහ කඩා ඉදවූ පලතුරු හඳුනාගන්න


ලාභයි.... ලාභයි.... ගෙඩි පහක්‌ සීයයි... ගහේ ඉදුණු අඹ... කාබයිට්‌ ගහලා නැහැ.... මෙහෙම කියලා පලතුරු විකුණන වෙළෙන්දකුගෙන් මිලදී ගන්න පොත්ත කහ පැහැ වූ අඹ ගෙදර අරගෙන ගිහින් කපලා බැලුවහම මදය කොළ පාටයි. කටේ තියන්න බැහැ ඇඹුල්ම ඇඹුල්... ආයෙත් අඹගෙඩි ටික ගිහින් දෙන්න යන වියදම බැලුවහම ඊට වඩා හොඳයි වෙළෙන්දාට බැණ බැණ විසිකරලා දාන එක.

පස්‌සෙ දවසක මේ පලතුරු වෙළෙන්දා හමුවී සිද්ධිය පැවසූවිට ඔහු දුන් පිළිතුරු වූයේ අනේ... මහත්තයෝ අපට ඉතිං ඔය පලතුරු ලොරිවලින් ගෙනත් දෙන ඒවනෙ. එයාලා කියන්නෙ අනුරාධපුරෙන්, කුරුණෑගලින්, ඇඹිලිපිටියෙන් ගේන ගහේ ඉදුණු පලතුරු කියලා.

පලතුරු කඩවල පොත්ත කහපාටට දීප්තිමත්ව ඇති අඹ, ගස්‌ලබු, කෙසෙල්, අන්නාසි, දොඩම් ආදිය මිලදීගන්නා විට ඇත්තටම මේවා හොඳින් පැසුණු පසු ඉදුණු පලතුරුද එසේත් නැතිනම් කාබයිඩ් හෝ එතිෆොaන් වැනි රසායනික සංයෝග භාවිතා කර ඉදවූ ඒවාදැයි කියා දැනගන්නේ කොහොමද?

කාබයිඩ් (CaC2) හා එතිෆොaන් (Ethephon) වැනි රසායනික සංයෝග භාවිතා කර පලතුරු වර්ග ඉදිවීම (Fruit ripening) සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ පමණක්‌ නොවේ. ලොව බොහෝ රටවල මෙම ක්‍රියාවලිය අනුගමනය කරයි. එනිසා මෙය නීති විරෝධී හෝ අපේ රටට පමණක්‌ ආවේණික ක්‍රමයක්‌ නොවේ.

කාබයිඩ් මගින් සිදුකරන්නේ පලතුරු ස්‌වභාවිකව ඉදීමේ ක්‍රියාවලියට බලපාන ශාඛ හෝමෝනයක්‌ වන එතිලීන් රසායනිකයට සමාන ක්‍රියාවලියක්‌ සිදුකිරීමය.

එතිෆොaන් යනු ශාඛ වර්ධනයට හා මේරීමට සහ පලතුරු ඉදවීමට ගනු ලබන අවර්ණ ඝණ රසායනිකයකි.

මෙම රසායනික සංයෝග භාවිත කර ඉදවිය හැකි පලතුරු වනුයේ අඹ, පැපොල්, බ්ලැක්‌බෙරි, බ්ලූබෙරි කුලයේ පලතුරු, කෙසෙල්, දොඩම් ඇපල්, මිදි, අන්නාසි, තක්‌කාලි ආදියයි.

මෙම රසායනික සංයෝග යොදා පලතුරු ඉදවීමේදී වර්තමානයේ බොහෝ ගොවීහු මෙම රසායනික සංයෝග නිසි ප්‍රමාණය ඉක්‌මවා අධික ප්‍රමාණයක්‌ භාවිත කරති. එසේම මෙම රසායනික සංයෝගය පලතුරු මතට ඉසිනු ලබති. මෙවැනි වැරදි ක්‍රම අනුගමනය කිරීම නිසා මෙම රසායනික ද්‍රව්‍ය අධි ප්‍රතික්‍රියාකාරී වේ. විශේෂයෙන්ම කාබයිඩ්වල ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියා කිරීමෙන් සයිනයිඩ් සෑදේ. එසේම පලතුරුවලට යොදන පළිබෝධනාශකවල ශේෂ කොටස්‌ සමග කාබයිඩ්වල ඇති රසායනික ද්‍රව්‍යයන් ප්‍රතික්‍රියා කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු මතුවේ.

පලතුරු ඉදවීමේ නිවැරදි ක්‍රමය 

කාබයිඩ් යොදා පලතුරු ඉදවීමේදී කළ යුත්තේ කාබයිඩ් මතට ජලය එක්‌කරන විට ඉන් පිටවන ඇසිටලින් වායුව පලතුරුවලට නිරාවරණය කිරීමය.

එතිෆොaන් භාවිත කර පලතුරු ඉදවීම සඳහා අනුමත ක්‍රමය වනුයේ කැල්සියම් හෝ සෝඩියම් හයිෙඩ්‍රාක්‌සයිඩ් ද්‍රdවණයකින් මිලි ලීටර් 01 ක්‌ ජලය ලීටර 01 ක දියකර එයට එතිනෝල් දියරයෙන් මිලි ලීටර් 01 ක්‌ මිශ්‍ර කර සාදාගනු ලබන ද්‍රවණය භාජනයක දමා පැය 24 ක්‌ තබා ඉන් නිකුත්වන එතිලීන් වායුව පලතුරු වෙත පැය 24 ක කාලයක්‌ නිරාවරණය කිරීමය.

නමුත් වර්තමානයේ බොහෝ වෙළෙඳුන් එතිෆොaන් පලතුරු මතට ස්‌ප්‍රේකරනු ලබයි. එවිට අප ගනු ලබන එම පලතුරු සමග එතිෆොaන් ශරීරගතවී උදරයේ සහ ස්‌නායු පද්ධතිය ආශ්‍රිත රෝග ඇතිවේ. විශේෂයෙන් වයස අවුරුදු 06 ට අඩු දරුවන්ට මෙය විශේෂයෙන් බලපායි.

කෘත්‍රිමව ඉදවූ පලතුරු හඳුනාගන්නා අයුරු

කාබයිඩ් හෝ එතිෆොaන් භාවිත කර ඉදවූ පලතුරුවල ස්‌වභාවිකව ඉදුණු පලතුරුවලමෙන් පොත්තේ ඇති සුමට බව කැලැල් සහිත බව කෘමීන් හෝ වෙනත් කුඩා සතුන්ගේ ආක්‍රමණ ලක්‌ෂණ දක්‌නට නොලැබේ.

මතුපිට ඒකාකාරීව ඉදුණු, ඉතා සුමට රැළි නොගැසුණු දිලිසෙන සුළු පිට පොත්තක්‌ තිබේ.

පිටපොත්ත ඉතා තද කහ පැහැතිය. පලතුරු ගෙඩිය කැපූවිට ඇතුළත ඉදී නොමැත. අමු කොළ පැහැතිය. පොත්ත ආශ්‍රිත ඇතුළත ප්‍රදේශය පමණක්‌ කහ පැහැතිය.

පලතුරුවල කහ පැහැති මතුපිට මත කොළ පුල්ලි දැකිය හැකිය.

සාමාන්‍ය ලෙස ඉදුණු පලතුරක ඇති යුෂ නොමැත.

කෘත්‍රිම සුවඳක්‌ හා රසයක්‌ දැනේ.

කෘතිමව ඉදවූ පලතුරු ආහාරයට ගැනීමෙන් ඇතිවන හානි

පලතුරු සමග කාබයිඩ් හෝ එතිෆොaන් ශරීරගතවීමෙන් මුඛය, ආමාශය උගුර යන ස්‌ථානවල දැවිල්ල හා තුවාල ඇතිවේ. රුධිරය සහිතව හෝ රහිතව වමනය හා පාචනය මතු වේ. සම මත පලු දමයි. ඇස්‌ දැවිල්ල හා ඇස්‌වල ස්‌ථර හානි සිදුවේ. ශරීරය අප්‍රාණික වේ. අත්වල හිරිගතියක්‌ මතුවීම, කැස්‌ස, හතිය හා ඇදුම, කාන්තාවනට තම දරු කළල ගබ්සාව, විකෘති දරුවන් බිහිවීම, හිසරදය, නින්ද නොයාම මතකය හීනවීම, අපස්‌මාරය, වකුගඩු ආබාධ, මුඛයේ සහ සම මත තුවාල හටගැනීම, බඩවැල් ආශ්‍රිත පිළිකා මතුවීම වැනි සෞඛ්‍ය ගැටලු මතුවේ.

එනිසා නිරෝගී දිවියක්‌ ගත කිරීමේ අපේක්‌ෂාවෙන් නිතර දෙවේලේ පලතුරු ආහාරයට ගැනීමේදී පොත්තේ පැහැයට රැවටී මිලදීගෙන ආහාරයට ගන්නේ නැතිව හොඳින් පරීක්‌ෂාකර බලා පලතුරු මිලදී ගතහොත් පලතුරු ආහාරයට ගැනීම නිසා බලාපොරොත්තු වන සමේ පැහැපත් බව, නිරෝගී බව උදාකර ගත හැකිය.

ගහේ ඉදුණු පලතුරුද බලෙන් ඉදවූ පලතුරුද කියා හඳුනා ගැනීමට උන්නදු වුවහොත් වෙළෙඳුන්ටද පහසුවෙන් අප රැවටිය නොහැකි වනු ඇත.

තොරතුරු - ජාතික විෂ තොරතුරු මධ්‍යස්‌ථානය කොළඹ ජාතික රෝහල.

උපාලි ද සේරම්

Post a Comment

0 Comments