කොළඹ ගණිකාවෝ


කොළඹ කළුවර ඉරා දමමින් අලුත් දිනකට හිරු උදාවෙමින් තිබිණි. සුපුරුදු පරිදි තවත් හෝරාවක දෙකක ඇවෑමෙන් පිටකොටුව ඇතුළු තදාසන්න ප්‍රදේශ ඇවිස්‌සුන කඩි ගුලක සිරිගනු ඇත. එහෙත් මේ කියන මොහොතෙහි පිටකොටුව ඕල්කට්‌ මාවත ඇතුළු අවට වීදිවල දක්‌නට වූයේ අලසව ගෙවෙන රැයක කෙළවරෙහි දක්‌නට ලැබෙන පාළුවට ගිය ස්‌වභාවයකි. කාඩ් බෝඩ් කැබැල්ලක්‌, ඉටිකොලයක්‌ මත ලැග සිටින යාචකයන් යෑයි සිතිය හැකි ගැහැනුන්, මිනිසුන් වීදියෙහි අගුපිල් මත වූ අතර රැයෙහි ආලෝකය පිණිස නිවී දැල්වුණු වීදි පහන් තව නොබෝ වේලාවකින් කොළඹ අහසට පැමිණෙන හිරුට ඉඩදී නිවී යැමට නියමිතව තිබිණි.

අතරින් පතර මතුවන මිනිස්‌ රූ අතරින් අප ඇවිද යමින් සිටියෙමු. මා සමග වූ මිනිසා අමුම අමු කොළඹයෙකු වූ අතර කොළඹ වේල්ලවීදියේ උපන් හේ මේ වන විට දිවි ගෙවන්නේ පිටකොටුව මල්වත්ත පාරට ආසන්නයේ වූ තරමක වත්පොහොසත්කමින් පිරි ඔහුටම අයත් නිවසකය.

"මහත්තයට මේක කොළඹ වුණාට මට මේක මගේ ගම. අපි යමු. මේ වෙලාව තමයි ඇවිදින්න හොඳම වෙලාව. උදේ අට නවය වෙනකොට බලාගන්න පුළුවන් මං කියන දේ ඇත්ත නැත්ත.

ලො- හෙවත් "කාමර පහසුකම් ඇත" යනුවෙන් සඳහන් ස්‌ථාන දැක බලා ගැනීමත් එවැනි තැන් සහිත උඩුමහල් වල සිදුවන කැත සිරිකිත "ඇඟමස විකිණීමේ" ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමත් අපගේ ගමනෙහි අරමුණක්‌ විය.

අප ඕල්කට්‌ මාවත දිගේ බෝගහ හන්දිය දෙසට ඇවිද ගොස්‌ මගදී මුණගැසුණු පටු මං තීරුවකින් වමට හැරුණෙමු. කෙටි මඟක්‌ ඔස්‌සේ මැලිබන් වීදිය, කුමාර වීදිය පසුකොට ඵ්Main Street වෙත ළඟාවිය හැකි මාවතක්‌ වූ එය උස්‌ ගොඩනැඟිලි පාමුලින් වැටී ඇති ප්‍රසිද්ධ පටු මඟක්‌ විය.

උදැසන සීතලින් බේරීම පිණිස දුම් වැටියකින් පෙනහලු උණුසුම් කරන උඩුකය නිරාවරණය වූ කෙසඟ මිනිසෙකු කුණු කාණුවක්‌ අසල වූ ගල් බැම්මක්‌ මතට හේත්තු වී සිටි අතර බැලූ බැල්මට හේ "ඇදුම කැස්‌සෙන්" පීඩා විඳින්නෙකු යෑයි සිතිය හැක. පටු වීදියට හිරු එබෙන්නත් පළමුව විවරවූ පෙට්‌ටි කඩයක්‌ අසල තවත් පිරිමින් කීප දෙනෙක්‌ විය. ඔවුන්ද නාගරික වතු ආශ්‍රිත ජීවිත ගත කරන්නන් විය යුතුය. පෙට්‌ටි කඩය අසලට ඔවුන් රැස්‌ව සිටියේ ප්ලේන්ටියක්‌, කහට කෝප්පයක්‌ එසේත් නැත්නම් දුම් වැටියක්‌ වෙනුවෙන් විය හැක. මේ අතර පටු වීදියේ කෙළවරින් මතුවූ ගැහැනු කටහඬක්‌ විය. ශිෂ්ඨ මිනිසුන් භාවිතයෙන් ඈත් කළ වචන මාලාවක්‌ හෙවත් "කුණු හරුප" මිශ්‍ර භාෂාවකින් ඇය බැණ වදිමින් සිටියේ තවත් ගැහැනියකට වුවද පෙනෙන තෙක්‌ මානයේ වෙනත් ගැහැණු රූපයක්‌ද නොවීය.

"ඔහොම තමයි ඔය ඕකුන්ගේ හැටි. අර සිගරට්‌ එකක්‌ බිබී හිටියේ ඒකිගේ මිනිහ. සමහරවිට ඒක බොන්න සල්ලි දෙන්නත් ඇත්තේ ඒක. මේ හරියේ විතරක්‌ එක රෑකට ඔහොම අම්මණ්‌ඩිල දහයක්‌ පහළොවක්‌ ඉන්නවා. රෑ දහය එකොළහ වෙනකොට පාරට බහින්න බෑ. උන්ට පොඩි කළුවරත් ඇති. මොකාව හරි දපනේ දාගෙන ගාන හොයා ගන්නවා. මේකෙ ඉපදිච්ච වැදගත් විදියට ජීවත්වෙන අයට මේක මහ හිරිහැරයක්‌ ලැ-ජාවක්‌. මේව පොලිසිය දන්නව. දැන් ටික දවසකට ඉස්‌සර රෑ දහය වෙනකොට ඔය ස්‌ටේෂන් එක ඉස්‌සරහ කෙල්ලෝ දහයක පහළොවක රංචුවක්‌ හිටිය. පාරෙ යන හැම මිනිහටම බැල්ම දානව. බැරි වෙලාවත් අහුවුණොත් කම්මුතුයි. සුද්ධ කරල තමයි ආපහු එවන්නේ. ඉස්‌සර කතාවක්‌ තිබුණනේ ගෑනියෙකුට පාරේ තනියම බැහැල යන්න බෑ කියල. දැන් වෙන්නේ ඒකෙ අනික්‌ පැත්ත.

මා සමග වූ මිනිසාගේ කටහඬෙහි කලකිරීම කේන්තිය හරි හරියටම මුහුව තිබූ අතර මඟදී මුණගැසුණු ගැහැනිය පිළිබඳවත් ඇය කෝපාවිෂ්ට වීමට හේතුව වන්නට ඇති කරුණ පිළිබඳවත් ඔහු විසින් මා දැනුවත් කරන්නට විය.

මුල, මැද, අග ගලපා ගත්විට ඇය දොස්‌ නඟා ඇත්තේ පෙරදා රැයෙහි තම රාජධානිය ආක්‍රමණය කළ වෙනත් ගැහැනියක්‌ හේතුවෙන් තම "ටාගට්‌" අහිමිව යැමේ වේදනාවෙන්ය.

බාල ලෝහයෙන් කළ සුදු පැහැති මුදු මාල පැළඳ සිටි ඇය අඟ පසඟ පමණටත් වඩා ඉස්‌මතුවන ඇඳුමින් සැරසී සිටින්නේ කුමන හෝ පිරිමි ඇසකට ආකර්ෂණය වීමේ කැමැත්තෙනි. වීදි සරන ගැහැනියකගේ අනන්‍යතාව ඇය තුළින් පමණටත් වඩා ඉස්‌මතුව තිබීම ඇයගේ විශේෂත්වය විය.

ඇඟමස විකිණීම හෙවත් ගණිකා වෘත්තියේ යෙදෙමින් කීයක්‌ හරි ඉපයීම පිණිස කුමන හෝ පිරිමියෙක්‌ සමග හිරිකිතයෙන් තොරව සැතපෙන්නට සූදානම් එවැනි ගැහැනුන් පිටකොටුව තුළ ඕනෑ තරම් දැකගත හැකිය. නූගත්කමත්, දුප්පත්ව ඉපදීමත් විසින් ඔවුන් මහමඟට ඇදදමා ඇති ගාණය. මෙවැනි ගැහැනුන්ගේ ස්‌වාමිපුරුෂයන් හෙවත් දරුවන්ගේ තාත්තා එක්‌කෝ කුඩ්ඩෙක්‌ය. නැත්නම් බේබද්දෙක්‌ය. එවැනි පව්කාර මිනිසුන්ගේ පවට උරදී ඇති බොහෝ ගැහැනුන් ජීවත්වීම පිණිස පිටකොටුව වීදිමත හිඳ රැයෙහි මෙන්ම දහවලද "කීයක්‌ හරි" වෙනුවෙන් සූසැට මායම්වල යෙදෙන්නේ විවිධ ක්‍රම සහ විධි උපයෝගි කර ගනිමිනි.

ඉස්‌සරත් පිටකොටුවේ ගණිකා වෘත්තියේ යෙදුනු ගෑනු හිටියා. හැබැයි උන් එළිපිට හිටියේ නෑ. තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් ඉස්‌සරත් සමහර පිරිමි තමන්ගේ වුවමනාවන් පිරිමහ ගත්තා. ඒ කාලේ නීති තදයි. පොලිසිය තදින් හිටිය.

උතුරේ ඇතිවූ යුද්ධයත් එක්‌ක හැම දේම වෙනස්‌ වෙන්න ගත්ත. ඒ වෙනස කොළඹ අපට විතරක්‌ නෙවෙයි රටටම දැනුණ. ඒ කාලේ මේ හරියේ "ලො-" වල හිටියේ උතුරු නැගෙනහිර මිනිස්‌සු දෙමටගොඩ, ආමර්වීදිය "ලො-" ගත්තත් එහෙමයි. ඒ අය ජීවිත ආරක්‍ෂාව පිණිස ඇවිත් නතර වුණේ කොළඹ. ඒ හින්ද ඒ කාලේ ලො-වලට ලොකු වටිනාකමක්‌ ලැබුණා. කොළඹ හැම ලො- එකක්‌ම අමුත්තන්ගෙන් පිරෙන්න ගත්ත. නිතරම වගේ හමුදාවෙන් පොලිසියෙන් ඒ තැන් පරීක්‍ෂා කළා. ඒ කාලේ නවාතැන් පහසුකම් කෑම ටික ඇරුණම "අමතර පහසුකම්" තිබුණේ නෑ. අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්‌. හතු පිපෙන්න වගේ මේ හැම තැනම "ලො-" පටන් ගත්ත. ඒව පිළිබඳ පසු විපරම් කිරීම් නොකරන තත්ත්වයට පත් වුණා. ඒත් එක්‌කම තමයි මේ වගේ ගැටලු නිර්මාණය වෙන්න ගත්තේ.

"අද පාර දිගේ ජෝඩුවකට යන්න බැරි තත්ත්වයක්‌ තියෙන්නේ. මොකද? මොකක්‌ හරි උවමනාවකට නෝනයි මහත්තයයි පිටකොටුවේ ඇවිදගෙන යනව කියල හිතන්න.

පාර අයිනේ ඉන්න ගෑනු කෙනෙක්‌ මහත්තයගෙන් අහනව "යමුද මහත්තය" කියල. ඒවා එයාගේ නෝනට ප්‍රවෘත්තියක්‌. නෝන අහනව "කවුද ඒ කියල" මහත්තයට දෙන්න උත්තරයක්‌ නෑ. ඇත්ත කිව්වත් පිළිගන්නෙ නැති නෝනලත් ඉන්නවනේ. එතන පවුල් ප්‍රශ්නයක්‌ ඇති වෙනව. මේව මේ හරියේ මේ රස්‌සාව කරන ගෑනු හිතලම කරන වැඩ.

61 වසරක්‌ පුරා කොළඹ ජීවිතය කර ගනිමින් දිවි ගෙවන මා සමග වූ අමුත්තා විවිධ හැල හැප්පීම් මැද කොළඹ වෙනස්‌වූ ආකාරයත් එයට ඔරොත්තු දුන්, නොදුන් මිනිසුන්ගේ ජීවිත මතින් එම වෙනස ගලා ගිය ආකාරයත් එකින් එක පහදන්නට වූ අතර එය තරමක්‌ දිග හෙළිදරව්වක්‌ විය.

---------------------------------------------

සමාජයේ එක්‌තරා කාන්තාවන් කොටසක්‌ විවිධ ස්‌වරූපයෙන් පෙනී සිටිමින් වීදි ගණිකා ව්‍යාපාරයේ යෙදී සිටීම බොහෝ කලක පටන් පිටකොටුව ආශ්‍රිතව සිදුවෙමින් පවතින එක්‌තරා ජාවාරමකි. ඒ පිළිබඳ හෙළිදරව්වක්‌ පසුගිය සතියේ "දිවයින" ඉරිදා සංග්‍රහයෙන් සිදුකළ අතර පහත පෙළ ගැසෙන්නේ එහි තවත් කොටසක්‌ය.

කවදත් පිටකොටුව ජනතාවගෙන් පිරෙන්නට ගන්නේ උදැසන අටත් නවයත් අතර කාලයෙන් අනතුරුවය. විවිධ අවශ්‍යතාවන් ඉටුකර ගැනීම පිණිසත් රජයේ මෙන්ම පෞද්ගලික ආයතනවල වැඩ රාජකාරි පිණිසත් පැමිණෙන දහස්‌ ගණනින් යුත් ජනතාවගේ පැමිණීමත් සමග පිටකොටුව, ජනාකීර්ණ වෙයි. ඒත් සමගම පිටකොටුව ආශ්‍රීතව ඇති "කාමර පහසුකම් ඇත" යනුවෙන් සඳහන් ස්‌ථානවලද දෛනික රාජකාරි සඳහා දොරගුළු හැර තැබීම සාමාන්‍ය දෙයකි.

බොහෝවිට එහි පැමිණෙන අමුත්තන් අතර දුර බැහැරින් කොළඹ පැමිණි පිරිමි පුද්ගලයන් වන අතර ඔවුන් සමග පැමිණෙන අමුත්තිය වන්නේ පිටකොටුව වීදි මත නිදහසේ සැරිසරන වීදි ගණිකාවකි. අමුත්තා තරුණයෙකු විය හැක. ඇතැම් විට මැදි වියද ඉක්‌මවූ මිනිසෙක්‌ය. කුමන වයස්‌ මට්‌ටමේ අයෙකු වුවද කාමර පහසුකම් සහිත ස්‌ථානයකට පැමිණීවිට සිදුවන්නේ අමුත්තා හට මුදලට සේවය හා පහසුකම් සපයාදීමය.

ගම්වල මිනිස්‌සු හිතාගෙන ඉන්නේ කොළඹ කියන්නේ සුරපුරයක්‌ කියලා. කොළඹ සුර පුරයක්‌ බඳු තැන් තියෙනවා. ඒත් ඒ තැන්වලට හැමෝටම යන්න බෑ. සල්ලි යහමින් තියෙන්න ඕනේ. සල්ලිවලට කොළඹ ඕන දෙයක්‌ තියෙනවා. ඒ වගේම තමයි, කොළඹ අංගුලිමාලලා, චිංචිමානවිකාවියෝ, දේවදත්තල සැරිසරන තැන් පවා තියෙනවා. කොළඹ ගැන හැමෝටම හරි වැටහීමක්‌ නෑනේ. එහෙම අය තමයි ඔය කියන කාට හරි අහුවෙලා පිච්චිය නැතුව ගෙදර යන්නේ. මා සමග වූ මිනිසා යළිත් කටහඬ අවදි කළ අතර එවෙලෙහි කොළඹට ශාපයක්‌ වෙමින් පවතින වීදි ගණිකා වෘත්තිය පිළිබඳ තව තවත් තොරතුරු පැවසීම පිණිස වෙනත් පුද්ගලයන් කීප දෙනෙක්‌ද අප සමඟ වූහ.

මේකයි මහත්තයෝ කොළඹ ජනගහනය එන්න එන්නම වැඩි වෙනවා. ඔය අතරින් අඩු අධ්‍යාපනය සහිත නූගත් නොවැදගත් යෑයි සම්මත ජනතාවකුත් ඉන්නවා. හැබැයි ඒ අයටත් ප්‍රධාන වශයෙන් බඩගින්න ඒ ඇරණම අනෙකුත් ඕන එපාකම් දැනෙනවා. ඒ දේවල්වලට සල්ලි වුවමනා වෙනවා. ගමක නම් බඩගින්නට කැලේකට ගියත් මොනව හරි හොයාගෙන එන්න පුළුවන්. ඒත් කොළඹදී ඔය සේරම පිරිමහගන්න වෙන්නේ මුදලට. ඒකට සල්ලි ඕන වෙනව. ඒ වගේ තමයි මෙහේ තව තව විෂමාචාර දේ සිද්ධ වෙනව. කොළඹ පීඩිත පන්තියක්‌ ඉන්නවා. ඒ අතර පාදඩ පන්තියක්‌ ජීවත් වෙනවා. ගෙදර ගෑනියි මිනිහයි දෙන්නම අරක්‌කු බොනව, ගංජා බොනව නැත්නම් කුඩු උරනවා. ඔය පේව්මන්ට්‌ එකේ ඉන්න ගොඩක්‌ ගෑනු කීයක්‌ හරි හොයාගන්න කාව හරි දැලේ දාගන්න බලන් ඉන්නේ නැති බැරි කමට.

දැන් බලන්න... ඕනනම් දැන් ගියත් බලාගන්න පුළුවන්. මේ අහල පහල ඔය වගේ ගැහැනු උදවිය කී දෙනෙක්‌ ඉන්නවද කියලා. අවුරුදු දහඅටේ විස්‌සේ ඉඳල හතළිහ පනහ වෙනකම් ඕනම වයස්‌ කාණ්‌ඩයක ගැහැනු උදවිය තමයි වැඩිපුරම ඉන්නේ.

ඔය කියන ගෑනු උදවියගෙන් සමහර කෙනෙක්‌ ලෙඩ ගොඩවල්. සමහරුන්ට සමාජ රෝග. අනික්‌ වැදගත්ම දේ තමයි ඒ අය පාරට බහින්නේ ආත්මය ගෙදර තියල. නිකම්ම නිකන් ශරීරයක්‌ විතරයි පාරට ගේන්නේ. එහෙම ගෑනු කොටසක්‌ ගාවට ඇවිත් තමයි ඔය සමහර පිරිමි උදවිය අතේ තියෙන දෙකයි පනහ ඉවර කරගෙන යන්නේ. ඕනම කෙනෙක්‌ මොකක්‌ හරි රස්‌සාවක්‌ කරන කොට ඒකෙන් ලැබෙන අත්දැකීම් ටිකක්‌ තියෙනවනේ. ඒක හොඳ වෙන්නත් නරක වෙන්නත් පුළුවන්. මේ රස්‌සාව කරන ගැහැනුන්ටත් ඒක එහෙමයි. ඒ අය දන්නව රවට ගන්න පුළුවන් කෙනා බැරි කෙනා කවුද කියල. ගමනින් කතා බහෙන්, හැසිරීමෙන් කෙනෙක්‌ දිහා බලලා මූලික වැටහීමක්‌ සහිතව තමයි ඒ අයත් වැඩේට බහින්නේ. දුර තියාම හඳුනාගෙන තමයි කොටු කරන්න බලන්නේ. කවුරුහරි එහෙම කොටු වුණා කියමුකෝ. ඒ මිනිහ පුරුදු කාරයෙක්‌ නොවෙයි නම් ගෑනි බලනව සම්පූර්ණ සුද්දයක්‌ දාන්න. එහෙම අහුවෙන මෝඩ පිරිමි ඕන තරම් ඉන්නව. වේල පිරිමහගන්න ගිහින් අතේ සතේ නැතුව පිටකොටුවේ චාටර් කන ඕන තරම් අය අපට හමුවෙනව. බස්‌ එකේ යන්නවත් සල්ලි නෑ. මේ වගේ "පොට්‌" ගැන අත්දැකීම් ලබල තෙම්පරාදු වෙච්ච කොටසකුත් ඔය අතරේ ඉන්නව. කාලයක්‌ තිස්‌සේ කොළඹ එන පිරිසක්‌ තමයි ඒ අතරේ වැඩිපුරම ඉන්නේ. ඒ අය කොළඹ එන්නෙ වැඩ දෙක තුනක්‌ම එකපාර කරගෙන ආපහු ගමට යන්න. ආපු වැඩෙත් කරගෙන පුරුදු තැනකට ගිහිල්ල ඒ දේවල් ටිකත් කරගෙන තමයි, ආපහු යන්නේ. විශ්වාස කරන්න... සමහර මිනිස්‌සු ඉන්නව කාමර පහසුකම් හොයාගෙන දුවගෙන එන්නේ වැසිකිළි යන්න තරම් හදිසියකින්. අහල පහල ඉන්න මේ රස්‌සාව කරන කාවහරි ගෑනු කෙනෙක්‌ ඇදගෙන කාමරයකට දුවන මිනිස්‌සු එහෙම යන්නේ මේකෙ තියෙන බරපතලකම තේරුම් නොගෙන වෙන්න ඇති. මතක්‌ කරන්න ඕනේ දැන් දැන් මේ ගෑනුන්ගේ සේවය ලබාගන්න එන පිරිස අතරේ වැඩිහරියක්‌ම ඉන්නේ තලස්‌තෑනි මිනිස්‌සු කියල.

මෑතක ඉඳලා තියෙන අලුත්ම ක්‍රමය තමයි හොඳට සාරි ඇඳ පැළඳ ගෙන රජයේ රස්‌සා කරනව වගේ වැදගත් පෙනුමින් ඉඳගෙන පරණ වැඩේම අලුත් ක්‍රමයකට කරන පරම්පරාවක්‌ බෝවීම. උදේට රස්‌සාවට එනව වගේ ගෙදරින් ඇවිත් ආපහු හවසට ගෙදර යනව. කෝච්චියෙන්, බස්‌ එකෙන් ඇවිත් තමයි පිටකොටුවේ බහින්නේ. බැහැල අදාළ තැන්වලට වෙලා දවස ගෙවනව. අපි දන්න සමහර මහත්තුරු ඉන්නව රජයේ රැකියා කරන උගත් වැදගත් අය. ඒ උදවිය දවල්ට කෑම පැයේ ඇවිත් තමන්ගේ වුවමනා එපාකම් පිරිමහගෙන යනව. අර සාරි ඇඳලා ඉන්න ගෑනු මනුස්‌සයෙක්‌ එක්‌ක කාමරයකට යන එක නම්බුයි කියල ඒ අය හිතුවට මේ අහල පහල ඉන්න මිනිස්‌සු දන්නව කොහාටද? යන්නෙ මොකක්‌ද වෙන්නේ කියලා.

එහෙම එන නොයෙක්‌ තරාතිරමේ උදවිය රවට්‌ටල ඒ අයගේ උවමනා එපාකම් පිරිමහල මේ රස්‌සාව කරන ගෑනු උදවිය දවසකට කීයක්‌ හොයනවද? කාමර අයිතිකාරයෝ කීයක්‌ හොයනවද කියලා හරියටම ගණන් ඉලක්‌කම් කියන්න දැනුමක්‌ නැතත් මේක දැන් නගරයට හිසරදයක්‌. මේක බොහොම සංවිධානාත්මකව සිද්ධ වෙන ජාවාරමක්‌. මේකෙත් පැති කීපයක්‌ වෙනව. එකක්‌ තමයි දැන දැනම තමන් හම්බ කරන සල්ලි නිරපරාදේ නාස්‌තිවෙන එක. මොකද ඔය වැඩටික කරල එළියට බහින ඕනම කෙනෙකුගේ පොකැට්‌ටුවෙන් රුපියල් දාහක්‌ දෙදාහක්‌ අඩුවෙනවා. අනික තමයි මේ දේවල් තුළින් නොදැනුවත්ව තමන්ට කරගන්න හානිය. තමන්ගේ හෘද සාක්‌ෂිය රවටා ගැනීම ඇතුළු තාවකාලික වින්දනය තුළින් දීර්ඝකාලීනව විඳින්නට සිදුවන යම් යම් ශාරීරික ලෙඩ රෝගවලට ගොදුරුවීම, නොදැනුවත්වම පවුල් ආරවුල් දක්‌වා මේ ඇබ්බැහි වීම් දුරදිග යැම, මේ අහල පහලින් ඒවට ඕන තරම් උදාහරණ උනත් පෙන්නන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි එළිපිටම මේව සිද්ධ වෙද්දී පොලිසිය ඇතුළු වගකිවයුතු තැන් මේ සම්බන්ධව සොයා නොබැලීම ඒවටත් හොඳ හේතු තියෙනව.



රුවන් ජයවර්ධන

Post a Comment

0 Comments