සැමියාගේ රුව බිරිඳගේ දැසින්


එදිනෙදා අපි ජීවත් වන පවුල තුළ බොහෝ දේවල් ගනුදෙනු කරගනිමින්, ජීවත් වන ගැහැනිය සහ පිරිමියා ජීව විද්‍යාත්මකවම වෙනස්‌ වූ දෙදෙනෙකි. ස්‌වභාවයෙන් ලැබුණු ජීව විද්‍යාත්මක වෙනස්‌කම් යම්තාක්‌ දුරට යටපත් කොට ජීවත් වන්නටත්, තම කැදැල්ල, සොඳුරු තැනක්‌ කරගන්නටත් උත්සාහවන්ත වීම කසාදයකින් එකතු වන ගැහැනියකට සහ පිරිමියෙකුට ලැබෙන බරපතළම අභියෝගය නොවන්නේද?

සොඳුරු පවුල නම් වූ කුටුම්බය තුළ අපට විමසා බලන්නට බොහොමයක්‌ පැතිකඩ තිබේ. එහෙත් මෙම පවුල් ඒකකය ඉතාම වැදගත්ම චරිත දෙක වන දෙන්නා දෙමහල්ලො පිළිබඳව අවබෝධයක්‌ ලබාගෙන එකිනෙක කරුණු විමසිල්ලෙන් බලා සකසා ගෙන ඉදිරියට යැමයි, අපේ මේ වෑයම

නිරන්තරවම එකට ජීවත්වන යුවළක්‌ එකිනෙකාට චෝදනා නඟන්නේ, ඔවුන් එකිනෙකා තේරුම් ගන්නේ නැතැයි යන කරුණ මුල් කරගෙනය.

මේ තේරුම් ගැනීම යනු කුමක්‌ද?

මෙහිදී අපි ප්‍රථමයෙන් මතු කරන්නට යෙදුණ, ලෝක ධාතුව ආරම්භයේ පටන්ම ගැහැනිය සහ පුරුෂයාට, වෙනස්‌ම වූ ශරීර දෙකක්‌ සහ අවශ්‍යතාවන් ගොන්නක්‌ සමග තමයි මේ ලෝකයට ඔවුන් දෙදෙනා බිහි වන්නේ.

එවන් වූ අවශ්‍යතා සහ ශරීර දෙකට අනුකූලව ඔවුන් පළ කරන හැඟêම්, ආකල්ප ආවේග, ආශාවන් විවිධත්වයක්‌ ගන්නා බව අප අමතක නොකළ යුතුයි.

ඕනෑම කෙනෙකු මෙහිදී සියයට ගණනකින් වෙනස්‌ විය හැකි වුවද මෙම ප්‍රශ්නය පොදුවේ කතා කළහොත් බොහොමයක්‌ පිරිමින් සහ ගැහැනුන් තුළ යම්කිසි මට්‌ටමක සමානතාවක්‌ දක්‌වන බව කිව යුතුයි. එම සමානත්වය මූලික කරගෙන එකිනෙකාට ආකර්ෂණය වන ගැහැනිය සහ පිරිමියා තුළ පසුකාලීනව මතභේදාත්මක කරුණු මතු වන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතුය.

එක වහළක්‌ යට ආත්මීය වශයෙන් ගනුදෙනු කර ගනිමින් ජීවිතය ගෙවද්දී සැමියෙක්‌ සිය භාර්යාවකගෙන් බලාපොරොත්තු වන මූලික කාරණා කිහිපයකුත්, බිරිඳක්‌ සිය සැමියෙකුගෙන් බලාපොරොත්තු වන මූලික කාරණා කිහිපයකුත් අවධානයට ලක්‌ කිරීම වටී. අප මේ තොරතුරු ඔබ වෙත ගෙන එන්නේ ලෝකය පුරා ස්‌ත්‍රීන් හා පුරුෂයන් පිළිබඳ, විද්වතුන් සිය පර්යේෂණ තුළින් ලබාගත් තොරතුරු ආශ්‍රයෙනුයි. එම නිසා

"මට මේ අදහස්‌ වැඩක්‌ නෑ මම දැනටත් ඔහුට හොඳින් තේරුම් අරගෙන ජීවත් වෙමි." 

නැතහොත්,

"මම ඇයව හොඳින් තේරුම් අරගෙන ජීවත් වෙමි" යන සංකල්පය තුළින් එළියට ඇවිත් නිකමට කියවා බලන්න තවදුරටත් ඔබට ඔබගේ සොඳුරු පවුල තුළ ඔහු හෝ ඇයව මඟහැරී ගිය අංශුමාත්‍රයක්‌ හෝ ඉතිsරිව තිබෙනවාදැයි කියා.

පළමුව අද අපි පුරුෂයෙකු සිය බිsරිඳගෙන් බලාපොරොත්තු වන දේවල් මොනවා දැයි කතා කරමු. සැමියකු අපේක්‍ෂා කරන බොහොමයක්‌ දේවල් අතර භාර්යාවගේ අතිශය වූ ප්‍රේමණීය ආදරණීය බව මෙන්ම ඉතා වැදගත් සම්බන්ධයකට තවත් මෙන්න මේ දේවලුත් බලපානවා.

එනම් පිරිමියෙකු නිරන්තරවම ස්‌වකීය භාර්යාවගෙන් ඉතා දැවැන්ත වූ ආදරයක්‌, ගරු කිරීමක්‌ සහ අගය කිරීමක්‌ බලාපොරොත්තු වෙනවා. එමෙන්ම ඔහු කැමතියි තම බිරිඳ තමාට විශ්වසනීයත්වයෙන් යුතුව කටයුතු කරනවා දකින්නට. එවිට ඔහු සමාජ ජීවිතය තුළ පවා තමා ඉතා සුරක්‍ෂිත බව තහවුරු කරගන්නවා. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම තමන්ට දැනෙන්නට ආදරය කරන්නට සමත් ගැහැනිය සොයා ඔහුගේ නිහඬ සිත සැමදාම වෙහෙසවන බවත් කිව යුතුමයි.

තවද පිරිමියෙකු නිතරම ගෘහ ජීවිතය තුළ යුතුකම් ඉටු කිරීමට සහ වගකීම් දරන්නට තමන් බැඳී සිටින බව ප්‍රත්‍යක්‍ෂ කොට ගත්තෙක්‌. ඔහු එහිදී සිය බිරිඳගේ ආර්ථික සහයෝගය බලාපොරොත්තු වන්නේ ඉතා අවම වශයෙන්. එහෙත් තම සැපයුම්කරුවකු ලෙස සන්තර්පනය කරන තමන්ගේ කුටුම්භය තුළ තමාගේ දහදියට වටිනාකමක්‌ හා අගය කිරීමක්‌ මෙන්ම සොඳුරු සුව පහසුකමක්‌ද පෙරළා තම බිරිඳගෙන් අපේක්‍ෂා කිරීමටත් ඔහු පසුබට වන්නේ නැහැ.

සැමියෙකු පිළිබඳ තවත් තොරතුරු අනාවරණය කර ගැනීමේ දී තම බිරිඳගේ ප්‍රතිරූපයේ ශෝභනත්වය පිළිබඳ සහ සොඳුරු ලාලිත්‍යය තුළ සංවේදී වන්නට, ආඩම්බර වන්නට පිරිමියෙකු දක්‌වන කැමැත්තත් නොකියාම බැහැ. එය තම බිරිඳට සෘජුව නොකිව්වද ඇයගේ සුන්දර ගැහැනුකම නිරතුරුවම ඔහුගේ ප්‍රධාන අපේක්‍ෂාවන්ගෙන් එකක්‌. 

පුරුෂයකු සිය බිරිඳ තමන්ගේ රූප සෝභාව රැක ගැනීමට දරන වෙහෙස අගය කරනා බවද කිව යුතුයි. ස්‌වකීය සොඳුරු කැදැල්ල තුළ " මිණි පහනක්‌" යෑයි කටපුරා ඇයට කීමට ඇයගේ අතීත යෞවනත්වය තවදුරටත් ඇය ළඟ සැරිසරනවාට, ඇය ඒ සඳහා කැපවෙනවා දකින්නටද ආදරණීය ස්‌වාමි පුරුෂයන් ඉතා කැමති වූ දෙයකි.

"මගේ නෝනා නම් හරිම පිළිවෙළයි. එයා ලස්‌සනට ඉන්න ආසයිනේ මගේ නෝනාට වයස පෙන්නේ නෑ. තාම පොඩි කෙල්ල වගේ"

මේ සමගම බිරිඳගේ ඉඟි බිඟි, ඇලුම් බැලුම්, තමන් වෙත යොමු වන ප්‍රේමාලිංගනවලටද ඔහු ඉතා ආශක්‌ත වන අතර බිඳෙන බැඳීම් නොව තවත් තදින් බැඳෙන බැඳීමක්‌ම වන්නට එය ඉවහල් වනු ඇත.

එමෙන්ම බිරිඳක්‌ නිරතුරුව සිය ගෘහය ඉතා පිළිවෙළටත්, කාර්යක්‍ෂමවත්, කළමනාකාරිත්වයෙන් යුක්‌තව සහ, අරපිරිමැස්‌මෙන් පවත්වාගෙන යනවා දකින්නටත් කාන්තාවකගේ දෑතෙන් හැඩ වැඩ විය යුතු සියලුම කාර්යයන්වලට ඇය දක්‍ෂ වී තම පවුලේ සහ යහළු මිත්‍රාදීන් අතර ඇය බැබළෙනු දකින්නටත් සැමියෙකුගේ සිත ආඩම්බරයෙන් මග බලා සිටිනු ඇත. ධෛර්ය සම්පන්න මෙන්ම, ආදරණීය මවකගේ සෙනෙහස ඈ තුළින් දකින්නටද, ප්‍රණීත ආහාර සුවඳින් මෙන්ම, අලංකාර මල් සුවඳින් තම නිවස පිරී යනවා දකින්නටද ඔහු කැමති වනු ඇත. එහෙත් බොහොමයක්‌ පිරිමින් එළිපිට මේවා අගය කිරීමට නොපෙළඹුනද, ඔහු කොපමණ දුරක සිටියත්, ඔහුව නිවස දෙසට හරවන දුරස්‌ථ පාලකය මෙවන් බිරිඳකගේ අතෙහි ඇති බවද නොසඟවා කිව යුතුමය. 

මේ සියලු කාරණා අතරතුර පුරුෂයෙකු කිසිදු විටක, අතිශයෝක්‌තියෙන් යුක්‌ත ප්‍රේමාලිංගන අපේක්‍ෂා කළද, ඉන් සතුටු වුවද, ඔහු වඩාත් ගෘංගාරාත්මක වීමට මැලිකමක්‌ දක්‌වනවා. ඒ ඔවුන්ගේ පෞරුෂයට එය හානියක්‌ යෑයි සිතා ගෙන වන අතර තමා ඉන් සමාජය ඉදිරියේ අපකීර්තියට ලක්‌වේ යෑයි ඔහුට හැඟේ. එහෙත් බිරිඳකට ඇගේ දක්‍ෂතාවයෙන් සහ දිරි ගැන්වීම තුළින් ඔහුගේ සංවේදී බොළඳ ආදරය තමන් දෙසටම හරවා ගත හැකි වනු ඇත.

අපි දෙන්නම කඩේට ගිහින් එමුද?

විටෙක සැමියා මෙවන් දෙයක්‌ සිය බිරිඳගෙන් විමසන්නේ ඔහුට ඒ මොහොතේ පොඩි දරුවකු සේ ඇය ළඟ දැවටීමේ වුවමනාවෙන් විය හැකිය. එහෙත්

දෙන්නෙක්‌ ඕනැයි අනේ ඕකට

මට බෑ...... විකාර

මට වැඩ තියෙනවා. ආදි වශයෙන් ඔහුගේ ඇරයුම ප්‍රතික්‍ෂේප කළහොත් ඔහු අසීරුවෙන් පෙරට තිබූ පය ආපස්‌සට ගන්නා අතරම, බිරිඳ කිසියම් දිනක ඔහුගේ හදවතෙහි බොළඳ සෙනෙහසක්‌ අපේක්‍ෂා කරන විටකදී ඔහු පෞරුෂත්වය නමැති තද කබායකින් ඔහුගේ හදවත වසාගෙන හමාර වීමට බොහෝ සෙයින් ඉඩ කඩ ඇත.

සොඳුරු පවුල් අඳුරු කරන තවත් අවස්‌ථාවක්‌ වනුයේ සාප්පු සවාරි යැමයි. පිරිමියෙකුගේ ඇඟ හිරිවැටී අවසානයේ නිවසට එන විට සාක්‌කුව මෙන්ම හදවතද හිස්‌ කරගත් පුද්ගලයෙකු ඔබට බොහෝ විට බිරිඳත් සමග සාප්පු යන සැමියන් වෙතින් දැකගත හැකි වනු ඇත. බිරිඳ යමක්‌ ගන්නට යැමට ඔහුට කතා කළහොත්, ඔහු පළමුව, දැනගන්නට කැමැතිවන්නේ, යන්නේ කොහේද, කුමන කාලයක්‌ ඊට ගතවනවාද යන්නත් කුමක්‌ද අවශ්‍ය සහ එහි වර්ණයත්, එය කා සඳහා ද යන්නත් විය හැකිය. එහෙත් සාප්පු සවාරි යැමට සූදානම් වන කිසිදු බිරිඳකගේ ඔළුවෙහි පූර්ව සාප්පු සවාරියකදී මේ කිසිවක්‌ නැත. ඇය ගන්නට යන්නේ එකකි. ගන්නේ තවත් එකකි. එය ඇය ඉතා ආශා කරන විනෝදාංශයක්‌ වන අතර කිසිවක්‌ම කරගත නොහැකි තැන අවසානයේ පුරුෂයා මෙවන් විටක දෑත් බැඳගෙන සාප්පුව තුළ කණුවකට බර වී බලා සිටී. එය මඳක්‌ තේරුම් ගෙන ඔහු මග හැර සාප්පු යැමට හෝ ඔහු සමග ගිය විට ඉක්‌මනින් තම කාර්යය නිමා කිරීමට ද ආදරණීය මෙන්ම නුවණක්‌කාර බිරිඳක විසින් වග බලා ගත යුතුම වන්නීය.

යුග දිවිය තුළ අතිශය පෞද්ගලික වූත් ආදරණීයතම බැඳීමක්‌ වූත් ලිංගික එක්‌වීම් පිළිබඳ බොහෝ විද්වතුන් කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ, බිරිඳක තම සැමියා ලිංගික එක්‌වීම කදී ප්‍රතික්‍ෂේප කිරීමකදී ඔහුට එය දැනෙන්නේ මුළු ජීවිතයෙන්ම තමන්ව ඇය, ප්‍රතික්‍ෂේප කළ බවක්‌ ලෙසය. එහිදී තම බිරිඳ ඊට තමන්ට ආරාධනා කරනවා දකින්නට කැමති ස්‌වාමියා, බොහෝ විට තම බිරිඳ තමන් ඉදිරියේ වෛශ්‍යාවක්‌ ලෙස හැසිරෙනු දුටුවහොත්, එම අවස්‌ථාවේදී කුමන ප්‍රතිචාර දැක්‌වුවද ජීවිතයේ යම් දිනක තිගැස්‌සෙන්නට යමක්‌ ඔහුගේ බිරිඳට විරුද්ධව තම හදවත තුළ තැන්පත් කරගනු ඇත.

ජීව විද්‍යාත්මක සාධකවලට අනුව ගැහැනියකගේ ලිංගික හෝමෝනවලට දස ගුණයකින් හෝ විසි ගුණයකින් පිරිමියකු තුළ ලිංගික ගෝමෝන ඇති අතර, ලිංගිකත්වයට ආශාව ඇති කරවන මොළයේ ඇති මධ්‍යස්‌ථානය වන හයිපොතැලමසයේ අදාළ ස්‌ථානය පිරිමින්ගේ විශාල වේ. මේ අනුව තවදුරටත් කරුණු අධ්‍යයනයේදී පිරිමියෙකු සතු කායික හා මානසික රළු බවට ද මෙම හෝමෝන වර්ග බලපා ඇති අතර ඉතාම සෙනෙහසින් සහ බුද්ධිමත්ව තමන්ව තේරුම් ගත් බිරිඳක ගෙන් පුරුෂයකු අපේක්‍ෂා කරන ආදරය කුමක්‌දැයි වටහා ගැනීමට අපට අසීරු නොවනු ඇත.

ඉහත කරුණු තුළින් අප මෙහි සඳහන් කළේ පිරිමියෙකු සහ ගැහැනියකගේ සබඳතාව අතරතුර පුරුෂයෙකු ගැහැනියගෙන් බලාපොරොත්තු වන ඉතා අල්ප වූ කරුණු කිහිපයක්‌ පමණයි. දෛනික ජීවිතය තුළ යම්තාක්‌ දුරට සම්මතයක්‌ අවම කරගෙන ජීවත් වන්නටත්, තම සැමියාගේ දුර්වලකම් සහ ආත්මාර්ථකාමී ලක්‍ෂණ ලෙස මෙතෙක්‌ දුටු බොහොමයක්‌ කාරණා එසේ නොවන බවට ඔබට ප්‍රත්‍යක්‍ෂ වූවා නම් එයද අප ලද ජයග්‍රහණයකි. එසේම තම සැමියා ගැන මෙතෙක්‌ තිබූ වැරදි වැටහීම් මෙන්ම තමන්ගෙන් ඔහු අපේක්‍ෂා කරන්නේ කුමක්‌දැයි යන්නද, ඉඟියක්‌ හෝ සපයන්නට අප මෙහිදී සමත් වූවා නම් අපගේ සොඳුරු පවුල සංකල්පය තුළින් අප ඔබට සමීප වන්නටත්, ඒ තුළින් සැබෑම සොඳුරු පවුලක්‌ නිර්මාණය කරන්නටත් ගත් වෑයම යම්තාක්‌ දුරට හෝ සාර්ථක වනු ඇත.

අමාලි මංගේෂ්කා පෙරේරා

Post a Comment

0 Comments