මී මැස්‌සා, බඹරා සහ දෙබරාගෙන් වඩාත් දරුණු කවුද


මී මැස්‌සා, බඹරා සහ දෙබරාගෙන් වඩාත් දරුණු කවුද?

මීමැස්‌සාත්, බඹරාත්, දෙබරාත් සහ කූඹියාත් අයත් වන්නේ එකම වර්ගයකටයි. Hymenoperans යන වර්ගයට අයත් මෙම කෘමීන්ගේ විෂ අපගේ ශරීරයේ රතු රුධිරානුවලට කෙළින්ම බලපානවා. එනිසා මෙවැනි කෘමියකුගේ ප්‍රහාරයකට ලක්‌වූ විට ශරීරගත වන විෂ නිසා වේදනාවක්‌ දැනෙනවා. ප්‍රහාරය එල්ල වූ තැන ඉදිමෙනවා. රත්පැහැ වෙනවා.

මී මැස්‌සා සහ බඹරාගේ විස ශරීරගත වූ විට එම විස මගින් අපගේ රුධිර ගමනාගමනය අඩු කරනවා. එවිට එම ස්‌ථානයේ විස ක්‍රියාකාරීත්වය වැඩිවෙනවා. ඊට එරෙහිව ශරීරයේ ප්‍රතික්‍රියා දක්‌වමින් එම ස්‌ථානයට රුධිර සැපයුම වැඩිකරනවා. එනිසා ප්‍රහාරය එල්ල වූ ස්‌ථානය ඉදිමුම, රත්පැහැ වීම ඇතිවෙනවා.

මී මැස්‌සකු, බඹරකු හෝ දෙබරකුගේ විෂ නිසා මාරාන්තික අනතුරක්‌ සිදුවන්නේ එම විෂ ශරීරගතවී ඇති ප්‍රමාණය අනුව සහ ශරීරය ඊට දක්‌වන ප්‍රතිචාරය අනුවයි. ඇතැම් දනාට මෙම විෂ අසාත්මික වෙනවා. එවිට සිරුර පුරා පලු දැමීම, කැසීම ඇතිවීම, ගෙඩි දැමීම, සම රත්පැහැ වීම තොල් ඉදිමුම, උගුර ඉදිමුව හුස්‌ම ගැනීමේ අපහසුතාවය, කතා කිරීමට අපහසු බව ආදිය ඇතිවිය හැකියි.

කුඩා දරුවන්ට සහ වයසක අයට මෙම විස දරා ගැනීම අපහසුයි. එනිසා එවැනි අයට මෙම කෘමි ප්‍රහාරයක්‌ එල්ල වූ විට දැනෙන වේදනාව වැඩියි. මතුවන අපහසුතා ප්‍රමාණයත් වැඩියි. 

මීමැස්‌සන් හත් දෙනකුගේ විස බඹර විසට සමාන බවත් බඹරුන් හත් දෙනකුගේ විස දෙබර විසට සමාන බවත් දෙබරුන් හත්දෙනකුගේ විස නයි විසට සමාන බවත් සමාජයේ මතයක්‌ තිබෙනවා. එහි සත්‍ය බවක්‌ තිබෙනවාද?

මෙම කෘමීන්ගේ විස තුළ පවතින වෙනස්‌කම් තවම හරිහැටි හඳුනාගෙන නැහැ. හැබැයි එක කෘමියෙක්‌ අපට විද්දවිට ශරීර ගතවන විස ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්‌ කීප දෙනකු විද්ද විට ශරීරගත වෙනවා. උදාහරණයක්‌ විදිහට එක්‌ බඹරකු විද්ද විට ශරීරගත වන විෂ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක්‌ බඹරුන් කිහිප දෙනකු විද්ද විට ශරීරගත වෙනවා. එසේම මෙම ප්‍රහාරය එල්ල වූයේ මුහුණ සහ බෙල්ල ප්‍රදේශයට නම් එය වඩාත් සැලකිලිමත් විය යුතුයි. අසාත්මිකතාවයක්‌ නිසා උගුර ඉදිමුම, තොල් ඉදිමුම ආදිය නිසා ඇතිවන හුස්‌ම ගැනීමේ අපහසුතා ආදිය ඉතා ඉක්‌මණින් මෙවැනි අයට මතුවෙනවා. එසේ වන්නේ මෙම විස ශරීර ගතව ඇත්තේ එම ඉන්ද්‍රියන්ට සමීපව බැවිණි.

ඒ වගේම තමයි බඹරකුගේ හෝ මීමැස්‌සකුගේ විස උගේ ශරීරයෙන් පිටතට පැමිණි පසු එම විස තුළ ඇති Pheromones නමැති රසායනික ද්‍රව්‍යය මගින් අනෙක්‌ සතුන්ටත් ප්‍රහාරය එල්ල වූ ස්‌ථානය පිළිබඳ යම් සංවේදී බවක්‌ ඇතිවෙනවා. එනිසා යම් පුද්ගලයකු බඹරකු හෝ මී මැස්‌සකුගේ ප්‍රහාරයකට ලක්‌වුවහොත් ප්‍රහාරයට ලක්‌ නොවූ අයට වඩා ඉක්‌මණින් එම පුද්ගලයා අනෙක්‌ බඹරුන් හෝ මීමැස්‌සන්ගේ ප්‍රහාරයට ලක්‌වෙනවා.

බඹර ප්‍රහාරයකදී ලබාදිය යුතු ප්‍රතිකාර මොනවාද?

පළමුව කළ යුත්තේ ප්‍රහාරය නිසා අපගේ ශරීරගතවූ උගේ විත (Stinger) ඉවත් කිරීමයි.

බඹරුන්, දෙබරුන් සහ මීමැස්‌සන් ප්‍රහාර එල්ල කිරීම සඳහා භවිතා කරන මෙම විත පිහිටා තිබෙන්නේ උන්ගේ ශරීරයේ පසුපස කොටසෙහිය. එම විත උන් භාවිත කරන්නේ සතුරාට ප්‍රහාර එල්ල කර විස පිටකිරීමටත් බිත්තර දැමීමත් සඳහායි. සාමාන්‍යයෙන් මී මැස්‌සකු ප්‍රහාරයක්‌ එල්ල කළ පසු මෙම විත කැඩීයනවා. එය කැඩී ගොස්‌ පැය භාගයක්‌ පමණ ගිය විට මී මැස්‌සා, මරණයට පත් වෙනවා. එනිසා මී මැස්‌සකුට ප්‍රහාරයක්‌ එල්ල කරන්න පුළුවන් එක වරක්‌ පමණයි. නමුත් බඹරා සහ දෙබරාගේ විත එකවර කැඩී යන්නේ නැහැ. එනිසා උන්ට ප්‍රහාර දෙක තුනක්‌ එල්ල කළ හැකියි. උන්ගේත් මෙම ප්‍රහාර එල්ල කරන විත කැඩී ගිය පසු මිය යනවා.

සිහින් තුඩක්‌ බඳු මෙම විත ඉතා කුඩා නාලයකි. එහි විස තැන්පත්ව ඇති නිසා සිරුරින් ඉවත් කිරීමේදී මෙය තෙරපුමට ලක්‌ නොවන ආකාරයට සිරුරින් ඉවත් කළ යුතුයි. තෙරපුමට ලක්‌වුණොත් විතෙහි ඇති විස තව තවත් ශරීරගත වෙනවා. එනිසා මෙම විත ඉවත් කිරීමට යැමේදී එම ස්‌ථානය තෙරපුමට ලක්‌කරන්න හොඳ නැහැ. පැතැලි පිහි තුඩකින් හෝ නියපොත්තෙන් එය සූරාදැමිය යුතුයි.

මෙම කෘමි ප්‍රහාරයට ලක්‌වූ ස්‌ථානය මත අයිස්‌ තැබීම සුදුසුයි. එසේ තබන අයිස්‌ කැට කෙලින්ම සම මත නොතබා ගෝස්‌ කැබැල්ලකින් හෝ ඉටි බෑගයකින් ඔතා සම මත තැබිය යුතුය.

ප්‍රහාරය නිසා මතුව ඇති අපහසුතාවල බරපතළකම අනුව රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදීම තීරණය කළ යුතුයි. ප්‍රහාරය එල්ල වූ ස්‌ථානයේ මතුව ඇති ඉදිමුව සහ රත් පැහැය සිරුරේ විශාල ප්‍රදේශයක පැතිර යයිනම් අසාත්මික තාවයක්‌ මතුව ඇත්නම් වහාම රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදිය යුතුයි.

ශරීරයේ ප්‍රතිශක්‌තිය දුර්වලව පවතින විට හෝ ප්‍රහාරය නිසා ශරීරගතව ඇති විස ප්‍රමාණය අනුව හෝ අසාත්මිකතාවයේ ප්‍රබලතාවය මත ඇතැම් පුද්ගලයන්ගේ හදවත දැඩි ලෙස කම්පාවට ලක්‌ව මරණයට පවා පත්වනවා.

කොළඹ වෛද්‍ය පීඨයේ පරපෝෂිතවේදය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරපෝෂිතවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍ය සනත් සේනානායක.

ඡායාරූපය - සමන් අබේසිරිවර්ධන

Post a Comment

0 Comments