හුම්මානය සුන්දරයි


දක්‍ෂිණ ලංකාවේ ස්‌වභාව සෞන්දර්යය අතින් චමත්කාර වූ ප්‍රදේශයන් බොහොමයක්‌ හමුවන්නේ වෙරළ තීරයෙනි. එවන් අගනා ස්‌වභාව ධර්මයේ අපූර්වතම නිර්මාණයක්‌ වූ දුටුවන් නෙත් අමන්දානන්දයට පත්කරවන විශාලතම වතුරමල පිහිටි කුඩාවැල්ල ප්‍රදේශය ලොව සුපතළ වන්නේද මේ නිසාවෙනි. ධීවර ගම්මානයක්‌ වූ මෙහි පිහිටා ඇති හුම්මානය දකුණේ වැසියෝ කරිඡ්ජ මාලාව නමින් ද හඳුන්වති.

මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ දික්‌වැල්ල නගරය පසුකර යනවිට හමුවන 184 වැනි කිලෝමීටර් කණුව ඇති ප්‍රදේශය නාකුළුගමුව ග්‍රාමයයි. ඒ සමඟම පිහිටි කුඩාවැල්ල හන්දියෙන් හැරී හුම්මානය පිහිටි වෙරළ තීරයට පිවිසීමට එම අතුරු මාර්ගයේ කි.මී. 1.5 ක්‌ පමණ දුර ගෙවා යා යුතුය.

සිත් ඇද බැඳ ගන්නා මෙම මනස්‌කාන්ත දර්ශනය නැරඹීමට කුඩාවැල්ල වැසියන් වැල්ලේකැලේ නමින් හඳුන්වන ප්‍රදේශයේ පිහිටි කඳු ගැටය තරණය කළ යුතුය. මෙහි පිහිටි හුම්මානය ලෝකයේ හුම්මාන අතුරින් දෙවැනි තැනට පත්වෙයි. එසේ වුවත් අවට පරිසරය මෙන්ම පිහිටි භූමියේ සුන්දරත්වය අතින් ලෝකයේ පළමු තැන ගන්නා බව කියවේ.

හුම්මානය බැලීමට කුඩාවැල්ලට එන දෙස්‌ විදෙස්‌ සංචාරකයනට කි.මී. 1/2 පමණ දුර සිට හුම් යන හඬ විටින් විට ශ්‍රවණය කිරීමට හැකිවෙයි. මෙම අපූර්වතම වතුර මලට හුම්මානය නමින් ව්‍යවහාර වීමට මෙම ශබ්දය ඉවහල් වූ බව පෙනේ. හූම්+ගානය හුම්මානය වූ බවත් සමහර වැසියන් පවසන පරිදි හු+මානය හුම්මානය ලෙස භාවිතයට පැමිණි බවත් ඔවුන්ගේ අදහසයි.

මෙහි ඉහළම ක්‍රියාකාරි අවධිය මැයි සිට සැප්තැම්බර් යන වකවානු අතරතුරය. මෙම කාලයේ පවතින නිරිතදිග මෝසමත් සමඟ මෙහි ක්‍රියාකාරිත්වය හොඳින් නිරීක්‍ෂණය කළ හැකිය.

මෙහි පවත්නා ස්‌වාභාවික භූ දර්ශන ඉතා අලංකාරය. ප්‍රතිරෝධක පාෂාණ ස්‌ථරයකින් සමන්විත මෙම ප්‍රදේශය සාගරය දෙසට විහිදී යයි.

ගොඩබිම දෙසින් පිහිටි විශාල පාෂාණ දෙකකට මැදිව පිහිටි කපොල්ලක්‌ තුළින් ඉහළ පීඩනයත් සමඟ අඩි 100-150 ක්‌ තරම් ඉහළට වතුර මලක්‌ ආකාරයෙන් විහිදී යයි. මෙසේ වන්නේ මෙහි පිහිටා ඇති තද පාෂාණ ස්‌ථරයේ මුහුදු මට්‌ටමේ ඇති කවාකාර ගුහාව තුළට දෙපැත්තකින් පැමිණෙන මුහුදු ජල තරංග එකට එකතුවී ඒ තුළට වේගයෙන් ගලායැම නිසා ඇතුළත හටගන්නා පීඩනය ජලය ඉහළට එසවීමට සමත් වෙයි.

අහසට විදිනු ලබන ජලයේ විසිරුණු පෙනකැටි මුළු පරිසරය පුරාම විහිදුවා ලනු ලබන්නේ චමත්කාර වූ දර්ශනයක්‌ මවා පාමිනි. අහසට විහිදුණු කුඩා ජල අංශුවලට හිරු එළිය වැටීමෙන් සොබාදහමේ අපූර්වතම නිර්මාණයක්‌ වූ නන් පැහැ දේදුන්නක්‌ දර්ශනය වෙයි.

මෙම දර්ශනය එක්‌ වරක්‌ පමණක්‌ නෙත ගැටීමෙන් සෑහීමකට පත් නොවන බොහෝ දෙනකුට මෙහි ගත කරන කාලය ගෙවීයන්නේ ඔවුන්ටත් නොදැනීමය. සමහරුන් මඳ දුරක්‌ ගොස්‌ නැවත පැමිණ මෙහි අසිරිය විඳින ආකාරය බොහෝ අවස්‌ථාවන් හිදී දැකිය හැකිය.

හුම්මානය අසල දී සිදුවූ බොහොමයක්‌ ජීවිත හානි සිදුවී ඇත්තේ නොසැලකිලිමත් ලෙස ගල්තලාවෙන් පහළට බැස නැරඹීමට යැමෙනි.

හුම්මානයේ දී සිදුවූ මෙවන් තොරතුරු සොයා ගිය අපිට පළමුවෙන්ම හමුවූයේ හුම්මානය අසළ පදිංචි ලොකු යක්‌දෙහිගේ සමන් මහතාය. වෘත්තියෙන් ධීවරයකු වන ඔහු අපට විශේෂිතයකු වූයේ මෙම ප්‍රදේශයේ සිදුවූ බොහෝ කරුණු කාරණා ඔහු සතුව තිබීමත්, මෙහිදී සිදුවන අනතුරුවලදී ජීවිත බේරාදීමට හෝ මියගිය පිරිස්‌ ගොඩ ගැනීමට ඔහුගේ දායකත්වය ලබා දී ඇති නිසාත්ය.

පසුගිය කාලයේ රූපවාහිනි වැඩසටහනකින් දැනුවත් වුණු මිනිසුන් වැල නොකැඩී හුම්මානය බලන්න ආව. ඒ හා සමඟම ජීවිත හානිත් වැඩිවුණ නිසා තංගල්ල ප්‍රාදේශීය සභාවෙන් හුම්මානය වටකරල වැටක්‌ ගැහුව. ආරක්‍ෂාවට නම් හොඳයි. ඒත් ස්‌වාභාවික සෞන්දර්යයට නම් ඒ තරම් ලස්‌සන නැහැ. මිනිස්‌ ක්‍රියාකාරකම් ස්‌වාභාවික නොවන දේවල් පරිසරයට එක්‌ කළාම ස්‌වාභාවිකත්වය නැතිව යනව.

මෙතනට එන බොහෝ පිරිසකට මෙහි පවතින අවදානම තේරෙන්නේ නැහැ. මෙහි ක්‍රියාකාරිත්වය ගැන අවබෝධයක්‌ නැහැ. මෙතනට එන පිරිස්‌ අනතුරට පත්වෙන්නේ පින්තූර ගන්න ගිහිල්ල.

මෙතැනින් මුහුදට වැටුණු අය 30 කට අධිකයි. 8 දෙනෙක්‌ මිය ගියා. හුම්මානය පැත්තෙන් මිනිස්‌සු කෑගහන සද්දේ ආවම අපි දන්නව මුහුදට කවුරු හරි වැටිල කියල. ඒ අවස්‌ථාවලදී ජීවිත අවදානමත් නොතකා මුහුදට පැනල බේරගත්තු අවස්‌ථා තියෙනව. වැටුන කෙනා ගුහාව ඇතුළට තල්ලු වුණොත් කෑලි තමයි ගන්න වෙන්නේ.

කරදර වුණා කියල අහක බලාන ඉන්න බැහැ. පුළුවන් උත්සාහයක්‌ ගන්නව බේර ගන්න. මට මතක හැටියට 20 ක්‌ විතර පිරිසක්‌ වතුරට වැටිල බේරගෙන තියෙනව. සමහර අය තවමත් මාව හමුවෙන්න එනව. ජීවිත බේරගත්තට ආර්ථික වාසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බෞද්ධයෝ හැටියට ජීවිතයක්‌ බේරා ගැනීම පිංකමක්‌ හැටියටයි සලකන්නේ.

ඔහුගේ ජීවිතයේ හුම්මානයේ සිදුවූ අමතක නොවන සිදුවීමක්‌ මතකයට නඟමින්,

එදා වෙසක්‌ පෝය දවසක්‌. අහංගම දික්‌කුඹුර පැත්තේ ඉඳල නඩයක්‌ වැව්රුකන්නල වැඳලා හුම්මානයත් බලන්න ආව. එදා හුම්මානයේ වතුර ගොඩාක්‌ උඩට විදිනව. මුහුද කුණාටුයි. කොහොමත් පුර පසළොස්‌වකට මුහුද රළු වෙනව. මෙතැනට මිනිස්‌සු ආවම එක එක තැන ඉඳගෙන පින්තූර ගන්නව. සමහර අය වතුර ඉහළට විදින තැනටම යනව පින්තූර ගන්න. සංචාරක නඩයක්‌ ආවම ආපු අයට තරුණ පිරිස්‌ පාලනය කරන්න බැහැ. එපා කියද්දිම පහළට ගිහිල්ල පින්තූර ගන්නව. එදත් ඒ වගේ සිදුවීමක්‌ වුණේ. පින්තූරයේ පසුබිමට හුම්මානයේ වතුර විදින අවස්‌ථාව එක්‌කර ගන්න පහළ තියෙන බේසමක්‌ වගේ හැඩයේ ගලට නඟිනව. එතැන අනතුරුදායකයි. එතතැනට ගිහිල්ලා කැමරාව මානාගෙන ඉන්නව. ඔවුන්ගේ අවධානය හුම්මානයේ වතුර විදින අවස්‌ථාව කැමරාගත කරන්න. මුහුදට පිටුපා ඉන්න විට පිටුපසින් පැමිණි රළයකින් ඔවුන් ගලෙන් බිමට ඇදල දානව. නැතිනම් හුම්මානයේ ජලය විදින හඬට බයවෙලා ලිස්‌සල වැටෙනව. ඊළඟ රළ පහරින් වැටුණ කෙනා ගුහාවට තල්ලු වෙනව. එහෙම රළ පහරින් බිමට වැටුණු අහංගම තරුණයා දොaනාව තුළට තල්ලු වෙලා ගිහින්. මිනිස්‌සු කෑ ගහන සද්දෙට මම දුවගෙන ආවේ.

ඒ එක්‌කම විශාල ජලකඳක්‌ සිදුරෙන් එළියට ආව. වතුරත් එක්‌කම උඩට ආපු යමක්‌ දැකල මිනිස්‌සු කෑගහන්න පටන් ගත්තේ වතුරට වැටුණු කෙනා එතැනින් උඩට ආව කියල හිතාගෙන. ඉහලට ගිය ජල කඳ ගල මත පතිත වුණේ පහළින් වැටුණු ළමයගේ ඩෙනිම් කලිසමත් එක්‌ක. ඇතුළත පීඩනයට වැටුණු අයගේ ඇඳුම් ගැලවිල ගිහින්, මිනිස්‌සු තවත් කෑගහන්න පටන් ගත්ත. මුහුද තව තවත් රළු වුණා. (මිනිස්‌සු කෑගහන කොට හූ හඬට මුහුද රළු වෙනව කියල මතයක්‌ තියෙනව) ඊළඟ රළ පහර උඩට ආවේ ඔහුගේ අත්පාවල කොටස්‌ එක්‌ක. ඒ වෙනකොට වතුරට වැටුණු ළමයගේ තාත්තත් එතැන හිටිය. එයාගේ දෙපතුල් ළඟටත් සුන්බුන් වැටුණා.

ඉතාමත් ෙ€දජනක හද කම්පා කරවන සිදුවීමක්‌ එදා වුණේ.

මෙවැනිම තවත් සිදුවීමක්‌ අප සමඟ පැවසුවේ කුඩාවැල්ලේ එල්. වයි. රංජිත් මහතායි.

එදත් පිරිසක්‌ සමඟ පැමිණි තරුණ ගැහැනු ළමයෙක්‌ පින්තූරයක්‌ ගන්න පහළට බැහැල ගල ලිස්‌සල වතුරට වැටුණා. වතුරට වැටිල රළ පාරත් එක්‌කම දියඹට ගහගෙන ගියා. ඒ වෙන කොටත් උඩ පාවෙමින් තිබුණේ. ළමයා ඇඳගෙන හිටපු සායට හුළං පිරිල ඒ නිසයි. යට නොගියේ. බෝට්‌ටුවලින් ගිහින් ළමය ගොඩගත්තත් ජීවිතය අනතුරට පත්වෙලා තිබුණේ.

තවත් දවසක වයස 70 ක පිරිමි අයෙක්‌ වතුරට පැනල සිය දිවි හානි කරගත්ත. ගලක්‌ උඩ හැඳුනුම්පත තියලයි මුහුදට පැනල තිබුණේ. මේ වගේ බොහෝ සිදුවීම් වුණා.

කුඩාවැල්ල ප්‍රදේශයේ නම සඳහන් නොකළ ගම් වැසියකු මේ පිළිබඳ අදහස්‌ දක්‌වමින් කියා සිටියේ හුම්මානය නැරඹීමට එන සංචාරකයන්ගේ ආරක්‍ෂාව සඳහා හුම්මානය පිළිබඳ මනා අවබෝධයක්‌ ඇති අවදානම් කලාප ගැන දැනුමක්‌ ඇති නිරීක්‍ෂකයකු ඒ අවට රඳවා තැබීම තුළින් අනතුරු අවම කරගත හැකි බවයි. තංගල්ල ප්‍රාදේශීය සභාවනුයි, මේ ප්‍රදේශය පාලනය වෙන්නේ. පැමිණෙන සංචාරකයන්ගෙන් මුදලක්‌ අය කරනව. ඒ වගේම ඔවුන්ගේ ආරක්‍ෂාව ගැනත් අවධානය යොමුකළ යුතු බවයි ඔහුගේ අදහස.

සරත් කුමාර යූ. වඩුගේ

Post a Comment

0 Comments