ම්මා ගේ තහනම් ආදරයට සිරබත් කමින් වන්දි ගෙවන චම්පිකා


දෙමාපියන් ජීවත් විය යුත්තේ තම දරුවන්ට ආදර්ශයක්‌ ලැබෙන පරිද්දෙනි. මිරිඟුවක්‌ පසු පස යැමෙන් විනාශයට පත් වන්නේ තම අහිංසක දරුවන් බව ඔවුන් අමතක නොකළ යුතුය. මන්ද දරුවන් තම මුල්ම පාඩම ඉගෙන ගන්නේ නිවස තුළින් බැවිනි. චම්පිකා මේ විපතට වැටුණේ එය අමතක කළ තම අම්මා නිසාය.

මගේ නම චම්පිකා, මට නංගි කෙනෙක්‌ ඉන්නවා. එයාගෙ නම ප්‍රියංකා, අපේ පවුලේ සාමාජික සංඛ්‍යාව හතර දෙනයි. නංගියි මමයි අධ්‍යාපනය ලැබුවේ බම්බලපිටියේ උසස්‌ පාසලක. තාත්තා පෞද්ගලික ආයතනයක උසස්‌ රැකියාවක්‌ කළේ. අපිට කිසිම අගහිඟකමක්‌ තිබුණෙ නැහැ. ඒ වගේම අපි හතර දෙනා හරිම සතුටෙන් ජීවත් වුණේ.

අම්මා පාන්දරින්ම අවදිවෙලා අපට ගෙනියන්න කෑම පිළියෙළ කරනවා. ඒ කාලේ අපිව පාසලට ඇරලුවේ තාත්තා. පාසල ඇරෙන වෙලාවට තාත්තා ඇවිත් නංගිවයි, මාවයි පාසල් බස්‌ රථයට නග්ගවලා කොන්දොස්‌තර තැනට කියනවා ගේ ළඟින් බස්‌සවන්න කියලා.

මෙහෙම කලක්‌ ගත වෙන කොට තාත්තට උසස්‌ වීමක්‌ සමඟ ඈත පැක්‌ටරියකට මාරුවීමක්‌ ලැබුණා. එදාට පස්‌සේ අපිව පාසලට එක්‌කගෙන ගියේ අම්මා. පාන්දරින් උයලා පිහලා අපිව එක්‌කගෙන යන අම්මා පාසල ඇරෙනකම්ම එතන ඉන්නවා. ඒත් කාලය අපතේ ඇරියේ නැහැ. පාසල ඇරෙන කම් රේන්දයක්‌ ගොතනවා. එහෙම නැත්නම් මැහුමක්‌a අරගෙන ඇවිත් මහනවා.

එක දවසක්‌ නංගිට බඩේ කැක්‌කුමක්‌ හැදිලා අඬන්න පටන් ගත්තා. මම අම්මට කියන්න ඉඳගෙන ඉන්න තැනට ගියා. අම්මා හිටියේ නැහැ. පස්‌සේ පන්තියේ මිස්‌ බෙහෙත් වගයක්‌ දුන්නා. තව දවසක්‌ පාසල ඇරුණු ගමන් නංගියි, මමයි අම්මා ඉඳගෙන ඉන්න තැනට ආවා. අම්මා පේනතෙක්‌ මානයක හිටියේ නැහැ.

අපි දෙන්නා ඉස්‌කෝලේ හැම තැනම හෙව්වා. නංගි අඬන්න පටන් ගත්තා. මම නංගි එක්‌ක ගේට්‌ටුව ළඟට ඇවිත් පාර දිහා බලාගෙන හිටියා. අම්මා එනකන් ටික වෙලාවකට පස්‌සේ අම්මා අංකල් කෙනෙක්‌ එක්‌ක මෝටර් සයිකලේකින් ඇවිත් බැස්‌සා. මග දිගට නංගි අම්මාගෙන් නොයෙක්‌ ප්‍රශ්න අහන්න පටන් ගත්තා.

''කවුද අම්මා ඒ අංකල්''

''ඒ දුවේ හොඳ අංකල් කෙනෙක්‌''

''අපිවත් ඒ බයිසිකල් එකේ, එක්‌ක යන්නකෝ අම්මා.''

''හරි මම ඒ අංකල්ට කියන්නම් දුවවත් බයිසිකල් එකේ එක්‌ක යන්න කියලා.''

''නංගි ඔයාට මොලේ නැද්ද අනුන්ගේ බයිසිකල්වල යන්න. කෑ නොගහ යන්.''

එදායින් පස්‌සේ නංගි ඒ අංකල්ට කිව්වේ ''පුටු පුටු අංකල්'' කියලා. වෙනදා අපිව පාසලට එක්‌ක යන්න සාමාන්‍ය ඇඳුමක්‌ ඇන්ද අම්මා වෙනදට වැඩිය ඇඳුම් පැළඳුම් ගැන සැළකිලිමත් වුණා.

මේ කාලයේදී සිකුරාදා රැයේ ගෙදර එන තාත්තා සඳුදා පාන්දරින්ම ආපහු යනවා. මාස කීපයක්‌ ගතවන විට ''බොරුවට වැඩි ආයුෂ නැත'' කීවාසේ අම්මා ගෙන ගිය රහස්‌ වැඩ පිළිවෙළ කොහොම හරි තාත්තාගේ කනටත් ගිහින්. අපේ ගෙදර වෙනදා තිබුණ සතුට, සැනසීමත් පලාගිහින්. ගෙදර අඬ දබරත් එන්න එන්නම වැඩි වුණා.

දවසක්‌ උදේ අපි නැගිටින කොට අම්මා පේන්න හිටියේ නැහැ. එදා තාත්තත් ගෙදර හිsටිය දවසක්‌. අම්මා අපිව දාලා, පුටු පුටු අංකල් එක්‌ක ගිහින් බව පසුව අපි දැනගත්තා.

නංගිවයි, මාවයි බලාගන්න කවුරුවත් නැති නිසා තාත්තා රස්‌සාවෙන් අස්‌වෙලා ගෙදර නැවතුනා. අස්‌වෙන කොට ලැබුණ මුදලින් ගෙදර පොඩි කඩයක්‌ දාගත්තා.

මේ වෙන කොට මට අවුරුදු 18 ක්‌ විතර ඇති. නංගිට අවුරුදු 14 යි. ළඟ පාත ගෙදරක හිටිය පවුලක්‌ අපිට සෑහෙන්න උදව් කළා.

හිටිගමන් තාත්තා අසනීප වුණා. මගේ අධ්‍යාපනයත් කඩා වැටුණා. අපි ආර්ථික අතින් අන්ත අසරණ තත්ත්වයට පත් වුණා. වේල් ගණන් අපිට බඩගින්නේ ඉන්න සිද්ධ වුණා.

''ඉතින් බන්ධනාගාර ගතවෙන්න සිද්ධ වුණේ කොහොමද?''

තාත්තාගේ අසනීපයෙන් පස්‌සේ ආයෙත් කඩේ පටන් ගන්න අපි හිතුවා ගෙදර තිබුණ බඩුමුට්‌ටු ටික විකුණලා සල්ලි හොයා ගත්තා. ඒ මුදල් අරගෙන යන කොට බස්‌ එකේදි පොකට්‌ ගහලා. එදා තාත්තා ගෙදර ආවේ පිස්‌සෙක්‌ වගේ. 

නංගිවයි, මාවයි ළං කරගෙන තාත්තා අඬ අඬා කියෙව්වා. අම්මට ශාප කළා. මට දුකට වඩා ඇති වුණේ තාත්තාට මොනව හරි වෙයි කියලා බියක්‌. එදා දවස අපි ගත කළේ බඩගින්නේ.

උදේ තාත්තා අවදි වුණේ අලුත් කෙනෙක්‌ වගේ. අපිට කිව්වා අපේ පාසැලේ නිල ඇඳුම් ඇඳ ගන්න කියලා. මට මගේ පාසල් ගිය කුඩා කාලය සිහිපත් වුණා. පොත් බෑගයත් අරගෙන අපි ගෙදරින් පිටත් වුණා. ඊට කලින් තාත්තාගෙන් අපිට උපදෙස්‌ කීපයකුත් ලැබුණා.

''මොනවද ඒ උපදෙස්‌''

පළමු උපදේශය තමයි සාප්පුවකට ගියාම කලබලයෙන් රෙදි තෝරන කාන්තාවන් ගැන විමසිලිමත්වීම.

''ඒ කියන්නේ?''

''ඒකට කියන්නේ අලුත්ම පන්නයේ ගැටකැපීම කියලා. සාප්පු ගිහින් ඇඳුම් තෝරන සල්ලිකාර නෝනා කෙනෙක්‌ දැක්‌කාම අපි එයාට සැක නොසිතෙන විදියට ලං වෙනවා. සමහරු තමන්ගෙ ''හෑන්ඩ් බෑග්'' එක රෙදි කවුන්ටරය උඩ තියලා රෙදි පෙරළ පෙරළ බලනවා. නංගියි මමයි ඒ වගේ කෙනෙක්‌ ළඟට වෙලා රෙදි තෝරනවා.

අපි දෙන්නගෙන් එක්‌ කෙනෙක්‌ පොත් බෑග් එක අර නෝනගේ ''හෑන්ඩ් බෑග්'' එක උඩින් තියනවා. අනිත් කෙනා රෙද්දක්‌ පෙන්නලා අර නෝනාගෙන් අහනවා'' මේ සායට මේ බ්ලවුස්‌ එක මැච් වෙනවද'' කියලා එතකන් නංගි හරි මම හරි පොත් බෑග් එක ගන්න ගමන් ''හෑන්ඩ් බෑග් එකත් අරගෙන ගිහින් සාප්පුවෙන් පිටත ඉන්න තාත්තට දෙනවා. තාත්තා ඒකේ සල්ලි ටික අරගෙන මාරු වෙනවා. ඊට පස්‌සේ තිබුණ විදියටම බෑග් එක මේසේ උඩ.

රෙදි තෝර තෝර හිටිය අපි අර නෝනට ස්‌තුති කරලා සාප්පුවෙන් පිටවෙනවා. මේ කිසිවක්‌ නොදත් අර කාන්තාව රෙදි අරගෙන සල්ලි දෙන්න හදන කොටයි දන්නේ බෑග් එකේ මුදල් නැති බව.

''පාසල් ළමයි නිසා අවිශ්වාස කරන්න නැතුව ඇති. ඒ වගේම ඔය වගේ දෙයක්‌ කරන්න බයක්‌ ඇතිවුණේ නැද්ද?''

''මුලදි නම් මෙය අපිට ටිකක්‌ අපහසු කාර්යයක්‌ වුණා. පහු වෙනකොට අපි කටයුතු කළේ මැෂින් වගේ.''

''ඉතින් අහුවුණේ කොහොමද?''

''හමුදාවේ ලොකු මහත්තයෙක්‌ එයාගේ නෝනා බඩු අරගෙන එනකන් කාර් එකට වෙලා ඉන්නකොට දැකලා. මම එයාගේ නෝනගේ බෑග් එක අරගෙන එළියට එනවා. එතකොට ඒ මහත්තයා ඇවිත් මාව අල්ල ගත්තා. අන්න ඒ නිසයි මට මෙතනට එන්න සිද්ධ වුණේ. තාත්තවයි නංගිවයි බේරලා, මම අද දඬුවම් විඳිනවා.

මාලා වජිරා පෙරේරා

Post a Comment

0 Comments