අධි රුධිර පීඩනය හා දියවැඩියාව


මෙරට සෑම පස්‌දෙනකුගෙන් එක්‌ අයකුම අධිරුධිර පීඩනයෙන්ද (හයි බ්ලඩ් ප්‍රෙෂර්) සෑම දස දෙනකුගෙන් එක්‌ අයකුම දියවැඩියා රෝගයෙන්ද පෙළෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂිකාවක වන විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසන්නීය. විශේෂයෙන්ම වයස අවුරුදු 20 ට වැඩි වයස්‌වල පසුවන්නන්ගෙන් සියයට 10 ක්‌ දියවැඩියාවට මේ වන විට ගොදුරුව සිටින බව ඇය කීවාය.

මෙය මෙරට සෞඛ්‍ය බලධාරීන් විසින් අවධානය යොමු කළ යුතු වූ ගැටලුවක්‌ වනුයේ පාලනය නොවූ අධි රුධිර පීඩනය හා දියවැඩියාව යන බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් හට ආඝාතය (ස්‌ට්‍රොaක්‌) හෘද රෝග වකුගඩු රෝග වැනි බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ දැඩි අවදානමක්‌ පැවතීම හේතුවෙනි.

වර්තමානයේ කුඩා දරුවාගේ පටන් වියපත් වූ පුද්ගලයා දක්‌වා වයස්‌a භේදයකින් තොරව මෙම බෝ නොවන රෝගවලට ගොදුරුවීමේ ප්‍රවණතාවක්‌ පවතිනුයේ වැරදි ආහාර හා ජීවන රටාව හේතුවෙන් බව අනාවරණයවී තිබේ. අතීතයේ තුන්වේලටම බත් අනුභව කළ මිනිසුන් සිටි රටක වර්තමානයේ බොහෝ දෙනා උදෑසන ආහාරයට ගනුයේ පාන් හෝ පිටිවලින් තැනූ කෙටි කෑම වර්ගය. ඇතැමුන් උදෑසන ආහාරය හිතාමතාම මගහරිනුයේ එක්‌කෝ පාසලට හෝ රැකියාවට යැමට ප්‍රමාදවීම නිසාය. එසේත් නැතිනම් පවතින ආර්ථික දුෂ්කරතා නිසාය.

කෙසේ හෝ උදෑසන ආහාරය නිසි වේලාවට හා නිසි ආකාරයෙන් නොගැනීමේ ප්‍රතිඵලය වනුයේ ඔවුන් අනාගතයේදී දියවැඩියාව, අධි රුධිර පීඩනය මෙන්ම ගැස්‌ට්‍රයිටීස්‌ වැනි බෝ නොවන රෝගවලට ගොදුරු වීමයි.

අද පාසල් සිසුන් හා තරුණ ප්‍රජාව අතර වඩාත් ප්‍රචලිත ආහාර සංස්‌කෘතිය වනුයේ පීසා බර්ගර් වර්ගයේ බනිස්‌, බැදපු කුකුල් මස්‌, චිප්ස්‌, සෝස්‌ වර්ග හා ෂෝට්‌ ඊට්‌ස්‌ යන කෙටි ආහාර වර්ගයි. මේවායින්ද තෙලෙන් බදින ලද කට්‌ලට්‌ස්‌, පැටිස්‌, රෝල්ස්‌, පේස්‌ටි්‍ර වර්ග, හා පිටි ආහාර වන මාළු පාන්, කේක්‌ වර්ග, ඩෝනට්‌ස්‌ වැනි පැණි රස ආහාරවලට පාසල් ආපනශාලාවේ මෙන්ම බොහෝ ආයතනවල ආපනශාලාවල ඇත්තේ විශාල ඉල්ලුමකි. මෙයින්ම අප රටේ මිනිසුන් ගනු ලබන වැරදි ආහාර පාන පිළිබඳව නිවැරදි චිත්‍රයක්‌ මවා ගත හැකිය.

ඇතමුන් සොසේජස්‌, බේකන් වැනි මස්‌ වර්ග යෙදූ ආහාර වලට ඇබ්බැහිවී සිටී. මෙවැනි ලුණු, තෙල් සීනි හා පිටි අඩංගු ආහාර වැඩි වශයෙන් අනුභව කිරීමේ අවසන් ප්‍රතිඵලය වනුයේ කෙටි කලකින්ම බෝ නොවන රෝගවලට ගොදුරුවීමයි.

අනෙක්‌ අතට නිසි ව්‍යායාමයක්‌ නොලැබීම, තම රුධිර පීඩන තත්ත්වය හා රුධිරගත ග්ලූකෝස්‌ මට්‌ටම නිසි ලෙස පරීක්‍ෂා කර නොබැලීම යන සාධකයන්ද බෝ නොවන රෝගවලට විශාල වශයෙන් අතවැනීමක්‌ සිදු කරනු ලබයි.

ශරීරයෙහි බර නියමිත බර ඉක්‌මවා යැම මෙන්ම තරබාරු බව වර්තමානයේ බෝ නොවන රෝගවලට ප්‍රධාන වශයෙන් හේතුවන සාධකයන්ය.

මෙම වැරදි ආහාර පරිභෝජන රටාවට අමතරව ව්‍යායාම මඳකම හා මානසික ආතතියද බෝ නොවන රෝගවලට ගොදුරුවීම කෙරෙහි බලපා තිබේ. විශේෂයෙන්ම දිනකට අඩුම වශයෙන් විනාඩි 30 ක්‌ ඇවිදීම තරම් හොඳ ව්‍යායාමයක්‌ නොපවතින බව වෛද්‍යවරු ප්‍රකාශ කර තිබියදීත් අද බොහෝ දෙනා කෙටි දුරක්‌ වුවද තම පුද්ගලික වාහනයෙන් නැතහොත් මගී ප්‍රවාහන සේවාවක්‌ හරහා යැමට පෙළඹී තිබේ.

මෙහි අනිසි ප්‍රතිඵලය වනුයේ ව්‍යායාමය මඳකම මත ශරීරයේ බර වැඩිවීම, හෘද රෝගවලට ගොදුරුවීම වැනි තත්ත්වයන්ට මුහුණපෑමට සිදුවීමයි.

දවසේ වැඩි වේලාවක්‌ එක තැන හිඳගෙන සිටීම, රූපවාහිනිය නැරඹීම පරිගණකය ආශ්‍රිතව වැඩ කිරීම වැනි තත්ත්වයන් ව්‍යායාමයට ඇති ඉඩකඩ ඇහිරීම නිසා එවැනි සාධකයන් සීමාවක්‌ ඇතිව සිදුකිරීමට වගබලා ගත යුතුව ඇත.

සීනි, ලුණු, පිටි, තෙල් සහිත ආහාර වර්ග වැඩි වශයෙන් පරිභෝජනය කිරීම නිසාම වැඩි වශයෙන් වැළඳෙන බෝ නොවන රෝග වළක්‌වා ගැනීම සඳහා දෛනික ජීවිතයේ අනුගමනය කළ යුතු ඉලක්‌කයන් අටක්‌ සුපර් -8 යනුවෙන් ජනතාව අතරට ගෙන යැමේ වැඩපිළිවෙළක්‌ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අරඹා තිබේ.

මේ යටතේ දෛනිකව සීනි පරිභෝජනය අඩු කිරීම, ලුණු භාවිතය අඩු කිරීම, ට්‍රාන්ස්‌ මේදය අඩංගු ආහාර ගැනීම සීමා කිරීම, දිනකට විනාඩි 30 ක්‌ වත් ව්‍යායාම කිරීම ඇතුළු ඉලක්‌කයන් 8 කට මේ යටතේ ජනතාව හුරුකිරීම සිදු කෙරේ.

මෙම ඉලක්‌කයන් ජනතාව අතරට ගෙන යැමේ සෞඛ්‍ය සැණකෙළියක්‌ ජුලි 4 වැනිදා බෝම්බුවලදී පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලැබීය.

ක්‍ෂණික කෙටි ආහාර වර්ගවලින් ජනතාව බේරා ගැනීමේ වගකීම සෞඛ්‍ය බලධාරීන් සතුය. එහෙත් ප්‍රචාරණය හේතුවෙන් එවැනි ආහාර වර්ග වෙත ජනතාව ඇදී යැම වැළැක්‌වීම බලධාරීන්ට සිදු කළ හැකි අසීරු කරුණකි.

මේ හේතුවෙන් ජනතාවටද එවැනි ක්‍ෂණික කෙටි කෑම වර්ගවලින් බේරී සිටීමේ වගකීම පවතී.

අවසන් වශයෙන් කිව යුත්තේ මෙරට හෘද හා ආඝාත (ස්‌ට්‍රොaක්‌) රෝගීන්ගේ තෝතැන්නක්‌ බවට පත්වීම වැළැක්‌වීමට නම් බෝ නොවන රෝග වැළැක්‌වීම ජාතික ප්‍රතිපත්තියක්‌ යටතේ අඛණ්‌ඩව සිදු කළ යුතු ක්‍රියාදාමයක්‌ බවයි.

ඒමන්ති මාරඹේ

Post a Comment

0 Comments