ගැහැනියකගේ ඇසුර නිසා පාසල් වියෙහිම සිපිරි ගෙදරට


ඔබ ඔබේ දරුවන් පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න. ඔවුන්ට නොදැනෙන්න දරුවන් පිළිබඳව සොයා බලන්න. එය දෙමාපියන් වශයෙන් ඔබෙන් ඉටුවිය යුතු පළමුවන වගකීම විය යුතුයි. 

මගේ නම උමේන්ද්‍රා. දැන් මට වයස අවුරුදු 20 ක්‌ වෙනවා. පවුලේ අයියයි, මමයි විතරයි. අපි පදිංචි වෙලා හිටියේ වත්තල. තාත්තා රැකියාව කළේ දුර පළාතක. මගේ අම්මත් රැකියාවක්‌ කරනවා. අයියයි මායි ගියේ කොළඹ පාසල්වලට.

"පියා ළඟ නොසිටියත් අයියටයි, මටයි උගන්නන්ඩ මගේ මව සෑහෙන උත්සාහයක්‌ දැරුවා. දුර පළාතක ජීවත් වූ අපේ පියා පඩියෙන් එයාගේ සියලු වියදම් ඇරලා ඉතාම සුළු මුදලක්‌ ගෙදරට දුන්නේ. අපිට කිසිම අඩුපාඩුවක්‌ නොකර අවශ්‍ය හැම දෙයක්‌ම ලබා දෙන්න මගේ මව සෑහෙන ධෛර්යක්‌ ගත්තා.

"තරමක අගහිඟකම් මැද අයියයි, මමයි හොඳට ඉගෙන ගත්තා. මම සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව තිබුණු වසරෙදි තමයි මගේ ජීවිතයට කණකොකා හැඬුවේ.

තම කතාව මොහොතකට නතර කළ උමේන්ද්‍රා හඬා වැළපෙන්න පටන් ගත්තා. 

"දැන් අඬලා වැලපිලා පලක්‌ නැහැ. වෙච්ච දේවල් නැතිවුණ දේවල් යළිත් ලබාගන්න බැහැනේ. මේවා පාඩමකට අරගෙන දැන් ඉදිරි ජීවිතය හැඩගස්‌වා ගන්න බලන්න."

මොහොතක්‌ නිහඬව සිටි ඇය ඇගේ අතීත කතාව මා ඉදිරියේ දිග හැරීමට පටන් ගත්තා. 

අපේ පාසලේ ඉගෙන ගන්න සමහර පුංචි නංගිලව එක්‌කගෙන එන්නේ පිටස්‌තර අය. ඒගොල්ලෝ පන්ති ඇරෙනකම් පඩිපෙළ ළඟ වාඩිවෙලා කතාව දාගෙන ඉන්නවා. මෙහෙම එන කෙනෙක්‌ තමයි කමලා. එයාට අපි කතා කළේ කමලා ඇන්ටි කියලා. එයා වෙනත් අයට වඩා මට විශේෂ ආදරයක්‌ පෙන්නුවා. දවසක්‌ විවේක වේලාවේදී පාසලේ පිට්‌ටනියේ මම ඇවිද ඇවිද හිටියා. කමලා ඇන්ටි මං ළඟට ඇවිත් මගේ අත අල්ල ගත්තා.

"ඔය දුව හරියට මගේ නැතිවුණ දුව වගේමයි. එයාගේ ලස්‌සන ඇඳුම් ගෙදර තියෙනවා. මම ඒවා ගෙනත් ඔය දුවට දෙන්නම්."

කමලා ඇන්ටි කතාකළේ හරියට එයාගේ හදවත ගලෝලා අතට දෙන්න වගේ. හදිසි අනතුරක්‌ වෙලා එයාගේ දුව මැරුණලු. ඒ දුකට මහත්තයත් මැරිලා ගියාලු. දැන් ඉන්නෙ a නෑ ගේක කියලා කිව්වා. එයා කියපු හැම දෙයක්‌ම මම විශ්වාස කළා. ඒ විතරක්‌ නොවේ සමහර දවස්‌වලට කමලා ඇන්ටි චොකලට්‌, තව කෑම වර්ග මට ගෙනත් දෙනවා. දවසක්‌ උදේ මම පාසලට එනකොට අතරමග එයා හිටියා.

"ඇයි කමලා ඇන්ටි, අර පුංචි නංගිව එක්‌ක ආවේ නැද්ද?

"නැහැ දුව, අද මට සනීප නැහැ. මගදී කලන්තේ වගේ. බෙහෙත් ටිකක්‌ ගත්තොත් නම් හොඳයි. ඒත් ඉතින් තනියම යන්න බයයි. මගදී මොකක්‌ හරි වුණොත් කියලා."

"අනේ පව්. දැන් ඉතින් මොකද කරන්නේ?

"ඒක තමයි දුව මම මේ කල්පනා කළේ. දුවට බැරිද මාව අපේ ගෙදරට එක්‌ක යන්න. එක දවසක්‌ ඉස්‌කෝලේ නොගියට කමන් නැහැනේ. ඉස්‌කෝලේ ඇරෙන වෙලාවට මම ඇරලවන්නම්. 

කමලා ඇන්ටි ගැන මට දුක හිතුණා. මම එයා එක්‌ක ඒ ගොල්ලන්ගේ ගෙදර ගියා. අම්මා දැනගත්තොත් මොනව වෙයිද කියලා මට පුංචි බයකුත් ඇතිවුණා. ගේ තිබුණේ පාලු පාරක. තරමක්‌ ලොකු ගෙයක්‌. මට ලස්‌සන ගවුමක්‌ දුන්නා ඇඳගන්න. මම පාසල් නිල ඇඳුම ගලවලා ඒක ඇඳගත්තා. "තව දෙයක්‌ කියන්න ඕනේ."

"ඒ මොකක්‌ද?"

"ගෙදරට ගියාට පස්‌සේ එයාට කිසිම ලෙඩක්‌ කෙඳිරියක්‌ තිබුණේ නැහැ."

"ඉතින් ඊට පස්‌සේ මොකද වුණේ"

මට කිව්වා කාමරයට වෙලා පොතක්‌ බල බලා ඉන්න කියලා. එතකම් කමල ඇන්ටි මට කන්න මොනවා හරි හදන්නම් කිව්වා. ටික වේලාවකට පස්‌සේ එයාගේ නෑයෙක්‌ වෙන සහෝදරයෙක්‌ ආවා. එයාට මාව හඳුන්වලා දුන්නේ ඥති දියණියක්‌ කියලයි.

මම කාමරයට වෙලා ඉන්නකොට කමලා ඇන්ටි මට දොඩම් වීදුරුවක්‌ ගෙනත් දුන්නා. ඒක බොනකොට අර සහෝදරයයි කියපු පුද්ගලයත් ඇවිත් එතන පුටුවේ ඉඳගත්තා. ඔහු අත ලස්‌සන ඔරලෝසුවක්‌ තිබුණා. කමල ඇන්ටි කාමරයෙන් එළියට ගියා ලිපේ තියෙන එළවළුව බලන්න.

"මට කමලක්‌කා කිව්වා මේ ඔරලෝසුව ඔයාට දෙන්න කියලා. ඉන්න මම ඔයාගේ අතේ බඳින්න.

ඔරලෝසුවට තිබුණ ආශාවත්, ඇඟට දැනුන කෙඩෙත්තු ගතියත් නිසා මම ඔහේ හිටියා. ටික වේලාවක්‌ යනකොට මට මොනවා වුණාද දන්නේ නැහැ. කමලා ඇන්ටිගේ නෑදැයා මාව තුරුළු කරගෙන හිටියා. 

මම ඔහුව පැත්තකට තල්ලු කරලා ඇඳෙන් බැස්‌සා. මාව බයෙන් ගැහෙන්න ගත්තා. මම කෑගහලා ඇඬුවා. මගේ ඇඟපතේ වේදනාවක්‌ එක්‌ක වෙච්ච දේ මම තේරුම් ගත්තා.

"දුව දැන් අඬලා වැඩක්‌ නැහැ. ආසා ඇති කියලා මම කුකුල් මසුත් හැදුවා. දැන් නාන කාමරයට ගිහින් මුහුණ කට හෝදගෙන එන්න. කෑම කාලා යං. ඉස්‌කෝලේ ඇරෙන වෙලාවත් ළඟයිනේ.

එදාට පස්‌සේ මට ඉගෙනීමත් එපා වුණා. උදේ ගෙදරින් පිටත්වෙන මම කෙලින්ම යන්නේ කමලා ඇන්ටිලගේ ගෙදරට. පාසල ඇරෙන වෙලාවට ගෙදරට යනවා. මේ කාලයේ මට ලැබුණ වෛවාරණ තෑගි දැකලා අම්මා ප්‍රශ්න කළා. පාසලේ තරගවලින් දිනලා හම්බවුණ තෑගි කියලා මං කිව්වා.

දවසක්‌ අපේ පාසලේ අම්මාගේ හිතවත් ගුරු මහත්මියක්‌ මුණගැහිලා අම්මගෙන් අහලා "විභාගෙ ළඟ තියාගෙන ඇයි දුව ඉස්‌කෝලේ එන්නේ නැත්තේ" කියලා. අම්මා ඒ වෙලාවෙම පාසලට ගිහින් විපරම් කරලා. සති කීපයකින් මම පාසලට නාපු බව දැනගෙන. ගෙදරට ආපු අම්මා මට හොඳටම ගැහුවා. සිදුවුණ හැම දෙයක්‌ම මම අම්මට කිව්වා. අයියත් මට පාරවල් කීපයක්‌ ගැහුවා. ඒත් අම්මා මාව බේරගත්තා.

"ඇයි දුවේ, මම ඔය දෙන්නා වෙනුවෙන් දුක්‌ වින්දේ මේ ටිකටද? කියලා අඬ අඬා මාව බදාගෙන ඇඬුවා. එදා අපි කාටවත් කෑමක්‌ වත් නැහැ. අපේ ගේ හරියට මළ ගෙයක්‌ වගේ. මම මැදියම් රෑ වෙනතුරු නොනිදා කල්පනා කළා. ගෙදරින් කාටත් හොරා පැනගිය මම කෙලින්ම ගියේ කමලා ඇන්ටිලගේ ගෙදරට.

කමලා ඇන්ටි පුංචි ළමයින්ව පාසලට ගේන ගමන් කරන්නේ ලස්‌සන තරුණ ළමයින්ව බිල්ලට දෙන එක. 

නරකට වැඩි ආයුෂ නැහැ" කීවා සේ කමලා ඇන්ටි නම් ඒ නිරා ගැහැණියගේ වැඩපිළිවෙල එළිවෙලා දවසක්‌ ඒ ගෙය පොලිසියෙන් වට කළා. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් තමයි මට මෙතනට එන්න සිදුවුණේ.

අයියත්, මාත් වෙනුවෙන් දහදුක්‌ වින්ද මගේ අම්මගේ හැම බලාපොරොත්තුවක්‌ම සමාජයේ හොඳ මුහුණක්‌ පෙන්වාගෙන සිටි කපටි ගැහැනියකගේ බහට රැවටී මම විනාශ කළා. මාත් විනාශ වුණා. 

මාලා වජිරා පෙරේරා 

Post a Comment

0 Comments