ඔබටත් ගැස්‌ට්‍රයිටීස්‌ තිබෙනවාද

මොනව හරි සැර බීම ටිකක්‌ බොනවද? කිසිවකු ආරාධනා කළොත් ඇතැම් දෙනා එය ප්‍රතික්‍ෂේප කිරීමට හේතු ලෙස වර්තමානයේ බොහෝවිට පවසන්නේ අනේ බැහැ ගැස්‌ට්‍රයිටීස්‌ තියෙනවා...... උදේට තමයි අමාරු වෙන්නෙ යෑයි කියාය.
වර්තමානයේ බාල මහලු කොයිකාටත් පවතින බහුල රෝග තත්ත්වයක්‌ ලෙස ගැස්‌ට්‍රයිටීස්‌ හැඳින්විය හැකිය. ආයුර්වේදයේ මෙය අම්ල පිත්ත රෝගය ලෙස හැඳින්වේ. පොදුවේ අපි මෙය බඩේදැවිල්ල ලෙස පවසන්නෙමු.

ගැස්‌ට්‍රයිටීස්‌ වැලඳෙන අයුරු

ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇතිවීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ අපගේ කාර්ය බහුල ජීවන රටාව සහ වැරැදි ආහාර පුරුදු සහ ගතිසිරිත්ය.

වර්තමානයේ බොහෝ දෙනෙක්‌ කාර්ය බහුල ජීවිතයක්‌ ගත කරති. අලුයම හතරට පමණ අවදිව රාත්‍රී දොළහ පමණ දක්‌වා වැඩ රාජකාරිවල නිරත වෙති. එබැවින් නිසි වේලාවට උදෑසන ආහාර වේල ගැනීම, දහවල් ආහාර වේල ගැනීම සහ රාත්‍රී ආහාරවේල ගැනීම කෙරෙහි අවධානය යොමු නොවේ.

උදේ කෑම ලෙස කුමක්‌ හෝ කෙටි ආහාර වර්ගයක්‌ ගිල දමා යාන්තම් කුස පුරවා ගනිති. එහි ඇත්තේ පාන් පිටි සහ අධික තෙල්ය. ඉන්පසු දහවල් ආහාරය සවස දෙක පසුවී ගැනීමට යොමුවෙති. එහිදීත් විවිධ වර්ගයේ කෙටි ආහාරවර්ග අනුභව කරති. රාත්‍රිS ආහාර වේල ගන්නේ රාත්‍රී අට නවය පසුවීමෙනි.

මෙලෙස අපගේ නිවැරැදි ආහාර රටාව වෙනස්‌වීම නිසා ආමාශයේ නිපදවෙන හයිෙඩ්‍රාa ක්‌ලෝරික්‌ අම්ල ඉහළ යයි. මෙම අම්ලය මගින් සිදු කරන්නේ ආහාර ජීර්ණය පහසු කිරීමය. නමුත් නිසි ලෙස ජීර්ණය වීම සඳහා ආහාර කුසට නොලැබෙන විට මෙම අම්ලය දිගු වේලාවක්‌ ආමාශයේ තැන්පත්ව තිබීමෙන් ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වය ඇතිවේ. එසේම දිගු කාලයක්‌ මෙය පැවැතීමෙන් ආමාශයේ තුවාල ඇතිවීමද සිදු වේ.

වැරදි ආහාර පුරුදු

ඇතැම් දෙනෙක්‌ දවසේ ආහාර වේල් තුනම පිටි සහිත ආහාර වලට හුරුවී සිටිති. එසේත් නැතිනම් අම්ල බව අධික තක්‌කාලි, අන්නාසි, අච්චාරු, ඉස්‌සෝ, දැල්ලෝ වැනි ආහාර වර්ග ගනිති. ඒ අතර මත්පැන් වැනි සැර බීම වර්ග දිනපතා අධිකව ගනිති. මෙමගින් ආමාශයේ නිපදවෙන අම්ලයේ සාන්ද්‍රණය ඉහළ යයි.

මානසික පීඩා

ආහාරපාන වලට අමතරව අපට නිතර ඇතිවන මානසික පීඩාවන් නිසාද ආමාශයේ අම්ල පිත ඉහළ යැමට බලපායි. වර්තමානයේ බොහෝ දෙනෙක්‌ විවිධ ආර්ථික ගැටලු, දූ දරුවන්ගේ ගැටලු අඹුසැමියන්ගේ නොහොඳ නෝක්‌කාඩු නිසා විවිධ ආකාරයේ මානසික පීඩාවලටද මුහුණදී සිටිති. මෙවැනි ගැටලුවලින් නිතර නිතර සිත කලකිරීමට ලක්‌වීමෙන් සිරුරේ හෝමෝනවල සමතුලිතතාව නැතිවී එහි ප්‍රතිඵලය වන්නේද ආමාශයේ ඇති අම්ල බව වැඩිවීමය.

ගැස්‌ට්‍රයිටීස්‌ හඳුනාගැනීම

අප බොහෝ දෙනා ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය හඳුනාගන්නේ බඩේ දැවිල්ල ඇතිවූ විටදීය. එය ඇතිවන්නේ දිගුවේලාවක්‌ නිරාහාරව සිටීමෙන්, අධික සැර බීම වර්ග ගැනීමෙන් පසු, ඉස්‌සන්, දැල්ලන්, කකුළුවන්, තක්‌කාලි, අච්චාරු වැනි සැර ආහාර ගැනීමෙන් පසු නිරාහාරව සිට තෙල් අධික ආහාරයක්‌a ගැනීමෙන් පසු වැනි අවස්‌ථාවලදී ඇතිවන බඩේ දැවිල්ලෙනි.

මෙහිදී බඩේ දැවිල්ලට අමතරව හුස්‌ම ගැනීමේ අපහසුතාව, පපුව සිරකරන බවක්‌ දැනීම වැනි රෝග ලක්‍ෂණද මතුවේ. මෙවැනි අවස්‌ථාවලදී ඇතැම් දෙනෙක්‌ හෘදයාබාධයක්‌ වැලඳී ඇතැයි කියාද බියට පත්වෙති.

ප්‍රතිකාර

ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය ඇතිවූ වහාම වෛද්‍ය උපදෙස්‌ මත ලබාගන්නා ඖෂධ සඳහා යොමුවීම කළ හැකිය. රෝගය උත්සන්න වේ නම් වහාම වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස්‌ ඒ සඳහා ඇති ක්‌ෂණික ප්‍රතිකාර ලබාදිය යුතුය. නිසි වේලාවට ආහාර ගැනීම, කුසගින්න වැඩි වේලාවක්‌ පවත්වාගෙන නොසිටීම සහ අධික කුසගින්නෙන් වැඩිවේලාවක්‌ ගතකර එකවර ආහාර විශාල ප්‍රමාණයක්‌ නොගැනීම වැනි පිළිවෙත් අනුගමනය කළ යුතුය. වැඩිවේලාවක්‌ කුසගින්නේ සිටි අයෙක්‌ එකවර විශාල ප්‍රමාණයක්‌ ආහාර නොගත යුතුය. එවිට ගැස්‌ට්‍රයිටීස්‌ මතුවීමට පිළිවන.

පිටි සහිත සහ අධික තෙල් සහිත ආහාර දිනපතා ගැනීමෙන් වැළකිය යුතුය. කෙඳි සහිත ආහාර ගැනීම ටවැඩි අවධානයක්‌ යොමුවීම, ධාන්‍ය වර්ග බහුලව ආහාරයට එක්‌කර ගැනීම, ගැස්‌ට්‍රයිටීස්‌ වළක්‌වා ගැනීමට හොඳ ගති සිරිත්ය.

නිසි ලෙස ආහාර වේල ගැනීමට නොහැකිවන සහ ප්‍රමාද වන විටදී මතුවන කුසගින්න අවම කරගැනීමට පිරිසිදු ජලය පානය කිරීම, පලතුරු කැබැල්ලක්‌ ආහාරයට ගැනීම කළ හැකිය.

ගැස්‌ට්‍රයිටීස්‌ දරුණුවීම

ගැස්‌ට්‍රයිටීස්‌ දරුණුවීම යනු ආමාශයේ තුවාල ඇතිවීමය. මෙය ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වය දිගුකාලයක්‌ පැවැතීමෙන් මතුවේ. මෙහි බරපතල තත්ත්වය වනුයේ ආමාශයේ තුවාල මතුවීමෙන් පසු ඒවා බැක්‌ටීරියා ආසාදනයට ලක්‌වීමය. එවිට රෝගය දරුණු වේ. ආහාරපාන ගත් විගස අධික ලෙස බඩේ දැවිල්ල ඇතිවීම මෙහි ප්‍රධාන රෝග ලක්‍ෂණයකි. විශේෂයෙන්ම සැර ආහාර ගත්විට මෙය උත්සන්න වේ.

අධික ලෙස නිදි වැරීමද ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය දරුණුවීමට බලපායි. ඊට අමතරව රාත්‍රී ආහාර වේල නින්දටයැමට පැයකට දෙකකට පමණ පෙර ගැනීමට හුරුවීමෙන්ද ගැස්‌ට්‍රයිටීස්‌ තත්ත්වය නිතර නිතර ඇතිවී පසු කලෙක ආමාශගත තුවාල ඇතිවීමට බලපායි.

මෙලෙස අධික ලෙස ගැස්‌ට්‍රයිටීස්‌ පැවැතීම, ආමාශයේ තුවාල ඇතිවීම වැනි තත්ත්වයන් දිගුකලක්‌ පැවැතීමෙන් එය ග්‍රහණිය සහ බඩවැල් දක්‌වා ගමන් කළ හැකිය. පසුකලෙක පිළිකා බවට පත්වීමටද පිළිවන. එබැවින් ගැස්‌ට්‍රයිටීස්‌ හෙවත් බඩේ දැවිල්ල සුළුකොට තැකිය යුතු නැත.

බහුල රෝග ලක්‍ෂණ

බඩේ දැවිල්ලට අමතරව ගැස්‌ට්‍රයිටීස්‌ රෝගීන්ට බහුලව ඇතිවන රෝග ලක්‍ෂණ වනුයේ ආහාර ගත් විගස වැසි කිළියැමට අවශ්‍යතා මතුවීම, බඩ පිපුම, හුස්‌ම ගැනීමේ අපහසුතා පපුව සිරකරනු වැනි තත්ත්වයක්‌ මතුවීමය. වෙනත් කිසිදු රෝග තත්ත්වයක්‌ නොමැතිව මෙවැනි රෝග ලක්‍ෂණ මතුවේනම් එය ගැස්‌ට්‍රයිටීස්‌ බව අනුමාන කළ හැකිය.

ඖෂධවලින් තොර ප්‍රතිකාර

ගැස්‌ට්‍රයිටීස්‌ රෝගයට ඖෂධ මගින් පමණක්‌ ප්‍රතිකාර කළ නොහැකිය. ඒ සඳහා ඊට ගොදුරුවූවන්ද ආහාර පාන ගැනීමේදී එදිනෙදා තම කටයුතුවලදී සිරුරට විවේකය ලබාදීම ආදිය කෙරෙහි සැලකිලිමත් විය යුතුය.

දිනකට අඩුම තරමින් පැය හයකවත් නින්දක්‌ අවශ්‍යය. එය නොලැබුණුවිට සිරුරේ හෝමෝන ක්‍රියාකාරිත්වය වෙනස්‌ වේ. අන්නාසි, තක්‌කාලි, අච්චාරු වැනි සැර ආහාර වර්ග හැකිතාක්‌ ආහාරයට ගැනීම අඩුකිරීමට ගැස්‌ට්‍රයිටීස්‌ රෝගීන් වග බලා ගත යුතුය. මානසික පීඩා අවම කරගෙන සැහැල්ලු සිතින් දිවිගෙවීමට නිතර උත්සාහ කළ යුතුය. බිය සැක යන මානසික පීඩාවන්ගෙන් හැකිතාක්‌ මිදිය යුතුය. සරල දිවියක්‌ ගතකිරීමට යොමුවිය යුතුය.

දීර්ඝ කාලයක්‌ ප්‍රතිජීවක ඖෂධ ගන්නේනම් නිතර වෛද්‍ය උපදෙස්‌ ලබාගත යුතුය. එම ඖෂධ නිසාද ආමාශයේ ආම්ලිකතාව වැඩිවේ. එවිට ඒ සඳහා විකල්ප ඖෂධ වර්ග වෛද්‍ය උපදෙස්‌ මත ලබාගත හැකිය.

වර්තමාන ලෝකයේ ගැස්‌ට්‍රයිටීස්‌ රෝගය හඳුන්වන්නේ බඩේ ඇතිවන ගින්දර ලෙසය. එම ගින්දර නිවා දැමීමට අප සැලැසුමක්‌ ඇතිව සහ ක්‍රමානුකූල ජීවිතයක්‌ ගතකිරීමට හුරුපුරුදු විය යුතුය. එසේ නොවුණහොත් මෙම ගින්දර නිසා ජීවිත දැවී අළුවී යා හැකිය.

වෛද්‍ය උපදෙස්‌ ඇසුරිනි
උපාලි ද සේරම්