සමහරක් ගම්මානවලට නම් පටබැඳී ඇත්තේ එකී ගම්මානවල ඇති කිසියම් ලක්‍ෂණයක් මුල් කරගෙනය. ගමේ පිහිටීම, ගමේ විසූ හෝ ඊට සම්බන්ධ පුද්ගලයකු මුල් කොටගෙනද ගම්මානවලට නම් ලැබී තිබේ.
අප මේ කියන්නට යන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැඩ විසූ අම්බන ඉදුරුගිරි ලෙන අවට ඇති ගම්මානවලට නම් පටබැඳී ඇති ආකාරය ගැනය. සැබැවින්ම ඉදුරුගිරි ලෙන අවට පිහිටි සෑම ගම්මානයකටම නම් ලැබී ඇත්තේ සිරි රහල් හිමියන්ගේ ආගමනයත් සමගය. එක එක ගම්මානවලට ග්‍රාම නාම සකස් වීමට තරම් රාහුල හිමියන් අම්බන ලෙනෙහි ගත කළ දිවිය වැදගත් විය.
රාහුල හිමියන් ගැන සඳහන් කරන විට නිතැතින්ම අපේ මතකයට එන්නේ තොටගමුවයි. 15 වැනි සියවසේදී අම්බන තොටගමුවට අයත් භූමි ප්‍රදේශයකි. එය රූස්‌ස වනයෙන් යුත් ප්‍රදේශයක් විය. රාහුල හිමියන් අම්බනට ඒමට පිටත් වී ඇත්තේ ගිංගඟ ඔස්‌සේ ය. අම්බන සිට ගලන අම්බෙන් ඇළ ගිංගඟට සම්බන්ධය. සිරි රහල් හිමියන් මෙකී ඇළ ඔස්‌සේ පැමිණ මෙහි එක් රැයක් ගත කළහ. ඒ නිසා මෙකී ප්‍රදේශයට නම් පට බැඳී ඇත්තේ රෑකඩහේන නමිනි.
වර්තමානයේ මෙම ගම්මානය ග්‍රාමසේවා වසම් තුනකින් යුක්‌තය. එමෙන්ම රහල් හිමියන් රෑකඩහේන සිට වතුරුවිල හරහා අම්බනට ගොඩ වූ ස්‌ථානයේ උන්වහන්සේ සමඟ පැමිණි අයකු විසින් රෝපණය කරනු ලැබූ බෝ පැළය අදත් දක්‌නට ලැබෙන බැව් ගම්වැසියෝ පවසති.
අම්බන සෑදී ඇත්තේ ආං බෙර යන පදයන් සන්ධි වීමෙනි. අම්බෝං ඇළ අම්බන වී ඇති බවටද මතයක් පවතී. රාහුල හිමියන් අම්බනට වැඩම කොට ඇත්තේ තනිව නොව විශාල පිරිසක් සමඟ ය. රාහුල හිමියන් අම්බනට වැඩම කිරීම සම්බන්ධව ජනයා අතර පවතින ප්‍රකට ජන කවි රාශියකි. මේ ඒ අතර වූ කවියකි.
රාහුල සමිඳු පීරාගෙන මහ වනය
තොටගමුවෙන් පැමිණියේ සැඟවී ගෙනය
ඉන්නට සුදුසු තැන අම්බන ගල් ලෙනය
සමිඳු නිකිණි පෝදා එහි වැඩි දිනය
රාහුල හිමියන් විශාල පිරිසක් සමඟ අම්බනට වැඩම කළ බැව් ඒ අවට ඇති ගම්මානවලට නම් පට බැඳී ආකාරයෙන් පැහැදිලි වේ. ලෙන අවට ප්‍රදේශවල ඇති නම් අළලා ගෙතුණු ජන කවියක ඒ බව සඳහන් වන්නේ මේ ආකාරයෙනි.
නාගහවත්ත නාරජ මතු වූ තැනය
සිල්වත්ගොඩ තමයි ඒ අය සිටි තැනය
මග අරක්‌ගත් කන්ද යක්‌සෙන් සිටි තැනය
මහඅම්මයිදුව උවැසියො සිටි තැනය
ඉදුරුගිරි ලෙන ඉදිරිපිට පිහිsටි භූමිය හැඳින්වූයේ සිල්වත්ගොඩ යන නමිනි. මෙම ප්‍රදේශය වර්තමානයේ ජනාවාස වී ඇතිs ගම්මානයකි. රාහුල හිමියන්ට ඇප උපස්‌ථාන කළ සිල්වත් උවැසියන් මෙහි වාසය කිරීම නිසා සිල්වත්ගොඩ යනුවෙන් නම පටබැඳී තිබේ. ගනේගොඩ භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි පන්සලය. භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටි නිසා ගනේගොඩ යනුවෙන් මෙකී ගම්මානය හැඳින්විණි. ගල්ලෙන ඉදිරිපිට ඇති කුඹුර දෙයියන්ගේ කුඹුර යනුවෙන් හැඳින්විණි. මෙම කුඹුරෙන් දේව මංගල්‍යය සඳහා සහල් පිදූ නිසා ඒ නමින් හැඳින්වීමට හේතු විය. ලෙන අසල පිහිටි තවත් ප්‍රදේශයකි, මහඅම්මයිදුව. රහල් හිමියන්ට උපස්‌ථාන කළ තරබාරු උපාසිකාවක් ඇතුළු මෑණිවරු පිරිසක් මෙහි පදිංචිව සිටි නිසා මෙම ප්‍රදේශය මහඅම්මයිදුව යනුවෙන් හැඳින්විණි.
මේ අවට ඇති මලපලාවත්ත ලෙනට ඊසාන දෙසින් පිහිටි බිම් කඩකි. රාහුල හිමියන්ට මල් පළතුරු සපයනු ලැබුවේ මෙම භූමියෙනි. ලෙන අවට ඇති තවත් ගම්මානයකි, කපුගේවත්ත. නොයෙකුත් පුද පූජා පැවැත්වීම සඳහා කපුවන් සිටි නිසා මෙකී ප්‍රදේශය කපුගේවත්ත යනුවෙන් හැඳින්විණි.
අම්බන නාථ දෙවියන්ට පුද පූජා පැවැත්වූ ස්‌ථානයකි. තොටගමුවේ නාථ දේවාලය නිසා නාථ දේව ඇදහිල්ල අම්බනට ලැබුණු බවද පැවසේ. ලෙනට ඊසාන දෙසින් පිහිටි භූමිය නාථ දෙවියන් සඳහා ගම්මඩු දෙවොල් මඩු ආදි ශාන්තිකර්ම කළ තැනකි. මෙකී ප්‍රදේශය හැඳින්වෙන්නේ අංමිපිටිය කියාය.
අම්බන ලෙන අසල පිහිටි එළිමහන් බිම්කඩ හැඳින්වූයේ ඇවුළුම යන නමිනි. මක්‌නිසාද යත් රහල් හිමියන්ගේ සිරුර ගෙන යැමට පැමිණි පරංගින් හා සිංහලයන් යුද වැදුණේ මෙම ස්‌ථානයේ නිසා එය ඇවුළුම යනුවෙන් හැඳින්වෙන බව ජනප්‍රවාදවල සඳහන් වේ. සටන ඇවිළුණුq තැන ඇවුළුම ලෙස හැඳින්විණි. මගාරක්‌කන්ද මුදුරුගිරිලෙන ඉදිරිපිට පිහිටි බිම්කඩකි. මෙය කඳුකර ප්‍රදේශයකි. මෙහි යක්‍ෂයන් මඟ ආරක්‍ෂා කිරීම සඳහා රැකවල්ලා සිටි නිසා මගාරක්‌කන්ද නම් විය. පැලැන්දගොඩ රහල් හිමි සමඟ පැමිණි ප්‍රභූවරයකු වාසය කළ ප්‍රදේශයකි. මෙම ප්‍රභූවරයා මෙකී ප්‍රදේශයේ අධිපති ලෙස කිරුළ පළන් ස්‌ථානය පැලැන්දගොඩ නම් විය.
ඉගල්කන්ද මෙම අවට පිහිටි ගම් ප්‍රදේශයකි. ඊතල දැරූ දුනුවායන් කඳුකර මෙම ප්‍රදේශයේ රැකවල්ලා සිටි නිසා ඊතලකන්ද ඉගල්කන්ද යනුවෙන් හැඳින් වූ බැව් ගැමියෝ පවසති. මෙම ගල්ලෙනට ඉහළින් පිහිටි ගල් තලයේදී දිය නොසිඳෙන පොකුණක් දැකිය හැක. රහල් හිමියන් දිනපතා අවට බැලුවේ මෙම ස්‌ථානයේ සිටය. ඒ නිසා එය බැලුම්ගල නම් විය. මෙහි උගුල් ගල් තුනක් තිබී ඇත.
මීට අමතරව මෙහි අවට ඇති ප්‍රධාන ගම්මාන කිහිපයක නම් පටැබඳීමටද රාහුල හිමියන් හේතු වූහ. රහල් හිමියන් නිරතුරුවම යකුන්ගෙන් වැඩගත් අයෙකිs. යක්‍ෂයන් කොටු කරපු ප්‍රදේශය යක්‌කටුව නම් විය. යක්‌කටුව පනහ දශකයේදී රක්‍ෂිත බිම් කඩක් ලෙස වෙන් කර තිබූ බවද කියෑවේ.
රහල් හිමියන්ගේ පිරිවර තරාබද්දට වැඩිය නිසා තරාබද්දේගම යනුවෙන් හැඳින්වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එමෙන්ම තරාබද්දේගම ආසන්නයේ පිහිටි ඇල්ල ගම්මානය අසල ඇති කඳු ගැටය හැඳින්වෙන්නේ යක්‌බටේ යනුවෙනි. රහල් හිමියන්ගේ දේහය රැගෙන යැමට පැමිණීමේදී යක්‌කුන්ට බැට දීපු තැන නොඑසේ නම් යක්‌කුන්ට බැටේ වැදුණු තැන මේ නමින් හැඳින්වෙන බැව් ජුලංගැටේ චන්දිම හිමියෝ මා සමඟ කීහ.
එමෙන්ම අලුත්වලට ආසන්නව ඇති බටපොළ ග්‍රාමය පතිරාජ සෙනෙවි සමඟ පැමිණි භටයන් රැස්‌වූ පොල නිසා බටපොල ලෙස නම් විය. රහල් හිමියන් ගැන සඳහන් කරන විට තොටගමුව ද නිතැතින්ම අපේ මතකයට නැඟේ. තොටගමුව විහාරස්‌ථානය නිසාද ඒ අවට ඇති ගම්මානවලට නම් පටබැඳී තිබේ.
තොටගමුව ආසන්නයේ ඇති මැටිවල ප්‍රදේශයට මැටිවල නම ලැබී ඇත්තේ තොටගමුව පන්සලට මැටි ලබාගත් නිසාය. විහාරස්‌ථානයේ කටයුතු සඳහා ගල් ගෙන ගිය ප්‍රදේශය හඳුන්වන්නේ නාගහගොඩ නමිනි. විහාරස්‌ථානයට තෙල් සැපයූ නිසා තෙල්වත්ත යනුවෙන් නම් පටබැඳුණි. එම ප්‍රදේශයේ විශාල තෙල් ගබඩාවක් විය. වර්තමානයේ තෙල්වත්ත යනුවෙන් හැඳින්වෙන්නේ මෙකීs තෙල් ගබඩාව පිහිටි ප්‍රදේශයයි.
මෙකී විහාරස්‌ථානයට නුදුරු තවත් ගම්මානයකි, මල්වැන්න. විහාරයට පූජා කිරීම සඳහා මල් වර්ග සපයා ගනු ලැබුවේ මෙකී ගම්මානයෙනි. අදත් මෙම ප්‍රදේශය ඕලු, නෙළුම් යන මල් වර්ග වැවෙන ප්‍රදේශයක් බව කියෑවේ.
එමෙන්ම රාහුල හිමියන් සමග අම්බනට පැමිණි පිරිවර නිසා ඔවුන්ගෙන් පැවතගෙන එන පෙලපත් නාමයන් පහක් පමණ ඇති බැව් අම්බන ශ්‍රී රාහුල සංඝරාජ, ඉදුරුගිරිලෙන් විහාරාධිපති ජුලංගැටේ චන්දිම හිමියෝ පවසති.
රාහුල හිමියන් සමග පැමිණි චරපුරුෂයන්ගෙන් තමයි, මෙම පෙලපත් පැවතගෙන එන්නේ. රණවිතන්ත්‍රි, මලවිආරච්චි, ඇබිත්තගොඩගේ, ගල්ගේවත්ත යන පෙලපත් නාමයන් සඳහන් පිරිස් මේ අවට ජීවත් වෙනවා. චන්දිම හිමියෝ පවසන්නාහ.
විශේෂ ස්‌තුතිය පුරාවිද්‍යා විශේෂවේදී තරංග ලියනාරච්චි මහතාට
ලලිත් චාමින්ද - ගාල්ල