ක්‍ෂණික ආහාර මොළය වැඩීම පමා කරයි..

සෑම මවකගේම පියෙකුගේම අරමුණ තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක්‌ ලබාදී තමුනට වඩා උගත් පිරිසක්‌ බවට පත්කිරීමය. ඒ සඳහා දෙමාපියන් වෙහෙසෙන ආකාරය වර්තමානයේ අපට දැක ගත හැකිය.

පෙර පාසල් අධ්‍යාපනයේ සිට දරුවන් ටියුෂන් පංති රැගෙන යති. එනිසා වර්තමානයේ දූ දරුවනට කන්න බොන්න වෙලාවක්‌ නැත. ක්‍රීඩා කරන්න වෙලාවක්‌ නැත. දෙමාපියන්ගේ මෙම උත්සාහයේ ප්‍රතිඵල සියයට සියයක්‌ම සාර්ථක නැත. ඊට හේතුවක්‌ තිබේ. කොතරම් අධ්‍යාපනයක්‌ ලබා දුන්නත් දරුවා නීරෝගී සෞඛ්‍යයකින් පසු නොවේ නම් එම දැනුම මොළයෙහි ගබඩා නොවේ.

මෙය යම් දෙමාපියෙක්‌ පිළිගැනීමට මැළිවිය හැකිය. එහෙම කියන්නෙ කොහොමද? අපි දරුවන්ට හොඳට කන්න බොන්න දෙනවානේ. එසේ පවසන දෙමාපියන් තම දරුවන්ට කන්න බොන්න දී ඇත්තේ මොනවාදැයි කියා විමසා බැලුවහොත් හෙළිවන්නේ ඔවුන් තම දරුවන්ට වැඩිපුරම ආහාරයට දී ඇත්තේ ක්‍ෂණික ආහාර පාන බවය.

ක්‍ෂණික ආහාර පාන මගින් ලැබෙන්නේ ක්‍ෂණික ශක්‌තිය පමණි. දරුවාගේ නිසි වර්ධනයට අවශ්‍ය ඛණිජ ලවන, විටමින්, ප්‍රොaටීන් ඒවායේ අඩංගුව නැත. ක්‍ෂණික ආහාර පානවල වැඩිපුරම ඇත්තේ මේදය සහ පිෂ්ඨය පමණි.

එබැවින් දෙමාපියන් තම දරුවන් උගත් බුද්ධිමත් පිරිසක්‌ බවට පත්කිරීමට උත්සාහ කරනවා නම් දරුවාගේ අධ්‍යාපනය ගැන මෙන්ම ආහාර පාන ගැනද වැඩි අවධානයක්‌ යොමු කළ යුතුය. නිසි පෝෂණය නොලැබුණු විට 

කාන්තාවකගේ ගර්භාෂයේ දරු කළලයක්‌ හටගත් දා පටන් නිසි පෝෂණය ගැන අවධානය යොමු කළ යුතුය. එම කළලය දස මාසයක්‌ කුස තුළ වර්ධනය වී ප්‍රසූත වූ පසු පියවරෙන් පියවර වර්ධනය වීමට පටන් ගනී. එම වර්ධන කාලය තුළද දරුවාගේ පෝෂණය ගැන විශේෂ අවධානයක්‌ යොමු කළ යුතුය.

එසේ නොවුණහොත් දරුවා මන්ද පෝෂණයට ගොදුරුවේ. එහි ප්‍රතිඵලය වන්නේ හොඳින් මොළය වර්ධනය වීමට අවශ්‍ය පෝෂණය නොලැබීමය. එහි ප්‍රතිඵලය භයානකය. මන්දයත් නිසි පෝෂණය නොලැබීම නිසා දරුවාගේ අවයව වර්ධනය බාලවීම පමණක්‌ නොව මොළය වර්ධනය වීමද බාලවේ. එවැනි දරුවන් ටියුෂන් පිට ටියුෂන් රැගෙන ගියත් විභාගවලින් සමත් නොවේ.

ළදරු වියේ පෝෂණය යම් කාන්තාවක්‌ ගැබිනියක වූදා සිට නිසි පෝෂණය ලබා ගැනීම සඳහා උනන්දු වනවා සේම දරුවා බිහිවූ පසු නිසි පෝෂණය ලබාදීමටද උනන්දුවිය යුතුය. ඒ සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැය කළ යුතු නැත. පළමු මාස හයේදී දරුවාට ලබාදිය යුත්තේ මවු කිරි පමණි. වෙනත් ආහාර වර්ග විටමින් ලබාදීම අවශ්‍ය නොවේ.

මාස හයෙන් පසු දරුවාට යකඩ කැල්සියම් සහ විටමින් zzඒZZ යන පෝෂ්‍ය පදාර්ථ අවශ්‍යය. ඒ සඳහා මාළු, හාල්මැස්‌සන්, කුකුල් මස්‌, පීකුදු ගොටු කොළ, සාරණ, සෝයා, මුං ඇට වැනි ආහාර වර්ගත් කහ සහ කොළ පැහැති පලතුරු වර්ගත් දරුවාට ලබාදිය හැකිය. මෙහිදී බිත්තර කහමදය, වට්‌ටක්‌කා, කැරට්‌, කොළ පැහැති පලා වර්ග තුළින් දරුවාට අවශ්‍ය විටමින් zzඒZZ ලබාගත හැකිය.

එසේම පළතුරු වර්ග දරුවාට ලබාදීමේදී ආහාරයක්‌ ලෙස ලබාදිය යුතුය. එය බීමක්‌ ලෙස ලබා නොදිය යුතුය. ඉන් සිදුවන්නේ දරුවාගේ කුස තුළට වතුර වැඩිපුර එක්‌වීමෙන් කුස පිරී ආහාර ගැනීමට නොහැකිවීමය.

දරුවාගේ ආහාරයට පොල්තෙල්, මාජරීන් එළවළු තෙල්, උකු පොල් කිරි, බටර් එළඟිතෙල් ආදිය ස්‌වල්පයක්‌ මිශ්‍ර කිරීමෙන් මේදය ලබාදිය හැකිය. 

පළමු වසර සම්පූර්ණ වන තෙක්‌ දරුවාගේ ආහාරයට ලුණු සහ සීනි එක්‌ නොකළ යුතුය.

පළමු වසරින් පසු දරුවාගේ ආහාරය සඳහා ලුණු සහ සීනි එක්‌ කළ යුත්තේ ඉතා ස්‌වල්ප ලෙසය. යොවුන් වියේ පෝෂණය

වර්තමානයේ දරුවන් තුළ බරපතලම පෝෂණ ගැටලුව මතුව ඇත්තේ යොවුන් වියේදීය. දෙමාපියන් දරුවා වයස අවුරුදු හතරේදී පෙර පාසලට ඇතුලත් කිරීමටත් අවුරුදු හයේදී ප්‍රධාන පාසලකට ඇතුළත් කිරීමටත් ගන්නා වෙහෙස දරුවාගේ පෝෂණය නගා සිටුවීම සඳහා නොගනී.

මෙහි ප්‍රතිඵල මේ වන විට අනාවරණයවී ඇත. පාසල් දරුවන්ගෙන් බහුතරයක්‌ මන්දපෝෂණයෙන් පෙළෙන බව සොයාගෙන ඇත. මෙලෙස මන්ද පෝෂණයට ලක්‌ව ඇත්තේ ඉතා දිළිඳු යෑයි සම්මත පවුල්හි දරුවන් පමණක්‌ නොවේ. සුපිරි පැළැන්තියේ ලෙස පවසන පවුල්හි දරුවන් පවා මීට ගොදුරුව සිටිති. එසේ වී ඇත්තේ වැරදි ආහාර පුරුදුය. දෙමාපියන් දරුවාට පෝෂණය සහිත ආහාර පාන ලබා දෙනවා වෙනුවට දැන්වීම් මගින් ප්‍රචාරය කරන ආහාර පානවලට රැවටී වැඩිමිලක්‌ වැයකර අඩු පෝෂණයක්‌ සහිත ආහාර පාන මිලදී ගෙන ලබාදෙති.

වයස අවුරුදු 18 දක්‌වා දරුවකුගේ සිරුර වර්ධනය, ස්‌නායු පද්ධතියේ වර්ධනය, මොළයේ වර්ධනය ඇතුළු සිරුරේ සියලු අවයව වර්ධනය සිදු වේ. මෙම අවධියේදී නිසි පෝෂණය නොලැබීමෙන් සිදුවන්නේ වර්ධනය බාලවීමකි. එහි ප්‍රතිඵල අධ්‍යාපනය ලබන කාලයේදී පමණක්‌ නොව විවාහ වූ පසුද මතුවේ. විශේෂයෙන්ම ගැහැනු ළමුන්ගේ ඔසප් චක්‍රය අක්‍රමවත්වී එය නිසරුවීම, පිරිමි ළමුන්ගේ පුරුෂ ශක්‌තිය දුර්වලවී දරුවන් ලැබීමේ හැකියාව අඩුවීම ප්‍රධාන වශයෙන්ම දැකිය හැකි රෝගාබාධ වේ.

නිසි වයසේදී මොළය වර්ධනය නොවූ විට එය යළි සකස්‌ කළ නොහැකිය. අස්‌ථි වර්ධනය නොවූ විට කුඩා සිරුරු සහිත පුද්ගලයන් බවට පත්වේ. එයද යළි සකස්‌ කළ නොහැකිය. නිසි පෝෂණය ලබාගැනීම

නිසි පෝෂණය ලබාගැනීම එතරම් අපහසු කටයුත්තක්‌ නොවේ. දිනපතා ප්‍රධාන ආහාර වේල් තුනට බත්වලට අමතරව පරිප්පු, කඩල, මුං ඇට වැනි ධාන්‍ය වර්ග, එළවළු, පලාවර්ග, කුඩා මාළු වර්ග එක්‌කරගත හැකිය.

මෙම ආහාර විවිධ වට්‌ටෝරු යටතේ සකස්‌ කළ යුතුය. එසේ නැතිව දිනපතා ආහාර වේල් තුන එකම ආහාර වට්‌ටෝරුවකට සකස්‌ කළ හොත් දරුවන්ට ආහාර ගැනීමේ රුචිකත්වය නැතිවී ආහාර ගැනීම ප්‍රතික්‍ෂේප කරයි. එය දිගින් දිගටම සිදුවීමෙන් ආහාර නිසි අයුරින් නොගැනීමේ තත්ත්වයට දරුවාගේ මානසිකත්වය සකස්‌ වේ. වර්තමානයේ බොහෝ දෙමාපියන් තම දරුවා ආහාරපාන ගන්නේ නැතැයි කියා වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණෙන්නේ මෙවැනි තත්ත්වයට දරුවාගේ මනස සකස්‌ වූ පසුය.

ඇතැම් දෙමාපියන් තම දරුවන්ට තුන් වේලටම දෙන්නේ බත්ය. එය එතරම් හොඳ ක්‍රියාවක්‌ නොවේ. උදෑසන වේලට ධාන්‍ය වර්ග වැඩිපුර එක්‌කිරීම, රාත්‍රි ආහාරයට වැඩිපුර එළවළු පළතුරු එක්‌කිරීම, සුප් වර්ග ලබාදීම ආදී විවිධ ආහාර පළපුරුදු කෙරෙහි දරුවා යොමු කළ යුතුය.

ක්‍ෂණික ආහාර පාන වර්ගද ඉඳහිට ලබාදිය යුතුය. මෙම ආහාරවල නිසි පෝෂණයක්‌ නැති බව දරුවාට අවබෝධ කර දීමෙන් දරුවන් ක්‍රමක්‍රමයෙන් එම ආහාර පාන ගැනීමෙන් ඈත් කරගත හැකිය.

මෙලෙස දරුවන්ට නිසි පෝෂණය ලබාදීමෙන් දෙමාපියන් බලාපොරොත්තු වන උගත් බුද්ධිමත් පැහැපත් දූ දරු පරපුරක්‌ අනාගතයට දායාද කළ හැකිය.

ශ්‍රී ලංකාව ලෝකයේ සෙසු රටවලට වඩා සෞඛ්‍ය පුරුදු වලින් ඉහළ මට්‌ටමක පසුවේ. මාතෘ මරණ, ළදරු මරණ අනුපාතය අඩුය. සාක්‌ෂරතාව අතින් ඉහළය. නමුත් පෝෂණය ලබාදීම අතින් සිටින්නේ පහළ මට්‌ටමකය. එයද සකස්‌ කරගත හොත් ආසියාවේ ආශ්චර්යය බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීම එතරම් අපහසු නැත.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌ සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය සුරංග දොලමුල්ල මහතා සමග කළ සාකච්ඡාවක්‌ ඇසුරිනි.

උපාලි ද සේරම්