ජාඇල - මාකේවිට - ජුබිලි මාවතේ වෙදගෙදර
පාරම්පරික පීනස් රෝග විශේෂ චිකිත්සක
අසෝක ගුණසේකර
මොනයම් තරබාරු පුද්ගලයකු වුවද ටිකින් ටික දිරාපත් කොට කඩවසම් සිරුර විරූපී කරවන "සෞඛ්‍ය භීෂණයේ අත්තිවාරම" වශයෙන් දේශීය පාරම්පරික චිකිත්සකයන්ගේ සාමූහික නිගමනයට ලක්‌ව ඇති, ආයුර්වේද ශිල්පීය ක්‍රමයෙහි ඌර්වගත සෙම් රෝග ගණයට අයත් ගතට සිතට පීඩාව හා අසහනය උරුම කරදෙන පීනස් රෝගයට ගොදුරු නොවූවකු වර්තමාන සමාජ වාතාවරණයෙන් සොයා ගැනීම නිකිණි සොයනවාටත් වඩා අපහසු කාර්යකි.
මෙම ආබාධය මොනතරම් පීඩාකාරී අවදානම් සහගත වූවක්‌ද යන්න "පීනං සපතිඉති" යනුවෙන් දැක්‌වෙන ආයුර්වේද පූර්වාචාරීන්ගේ නිර්දේශයෙන්ම පෙනී යයි. එහි සරල අර්ථය වන්නේ, කවර ස්‌ථුලයෙකු වුවද නසාලන්නේය යන්නයි.
වර්තමාන සමාජගත බහුතරයකගේ දැඩි විශ්වාසයක් වන්නේ සරල ගැමි වහරට "හෙම්බිරිස්‌සාව" යනුවෙන් හඳුන්වන "ප්‍රතිශ්‍යාව" පීනස බවයි. සමහරුන්ට දින කිහිපයකින් නිරායාසයෙනුත්, තවත් ඇතැමෙකුට සාමාන්‍ය ප්‍රතිදාරයකිනුත් සුවපත් වන ප්‍රතිශ්‍යාව මෙන් නොව, මෙකී පීනස් රෝගය නිදන්ගතව කල් ගතවන ආබාධ විශේෂයකි. එමෙන්ම හටගත් ප්‍රතිශ්‍යාවට වුවද සුදුසු ප්‍රතිකාරයක් නොකළේ නම් එයද පීනස් රෝගයක් බවට පත්වීමට වැඩි කලක් ගත නොවන බවද අනිවාර්යයෙන්ම පෙන්වා දිය යුත්තකි.
සම්ප්‍රදායික ආයුර්වේද ග්‍රන්ථවල "නාසා රෝග" ගණයට ඇතුළත් කොට දක්‌වා ඇති මෙකී පීනස් රෝගය, කවර නිරෝගිමත් පුද්ගලයකු වුවද ඉතාමත් කෙටි කාලයකින් අබල දුබල අවාසනාවන්ත ආබාධිතයකුගේ මට්‌මට ඇද දමයි. විශේෂයෙන්ම තරුණ පරපුරට ඔවුන්ගේ නැවුම් යොවුන් ජීවිත පවා කල්කදුරු කරවයි.
මැසිවිලි හඬක්
දේශීය පාරම්පරික වෛද්‍යවරුන්ට තමන් වෙත ප්‍රතිකාර පතා සැපත් වන බහුතරයක් තරුණ තරුණියන්ගෙන් හා අලුත විවාපත් එබඳු තරුණ හා මැදිවියේ ජෝඩුවලින් බොහෝවිට අසන්නට ලැබෙන මැසිවිල්ලක් වන්නේ ඔවුන් මෙම රෝගයට ගොදුරුව මාස ගණනාවක් වන බවයි. තවම එයින් සුවයක් ලැබීමට නොහැකිව පීඩා විඳින බවයි. බටහිර බෙහෙත් පෙති, කරල් සෑහෙන තොගයක්‌ද බී ඇති බවයි. එබැවින් මෙම රෝග තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් එබන්දන් වෙත ලබාදීම දේශීය පාරම්පරික හෝ ආයුර්වේද මොනයම් වෛද්‍යවරයකුගේ වුවද කාලීන වගකීමක් බව නොවලහා පැවසිය යුත්තකි. මෙබඳු පීනස් රෝගයකට ගොදුරුව පසුවන්නන්ගෙන් හිස ඔසවාගෙන සිටීමට බැරි තරමේ හිසේ බරකුත්, නිතර දැනෙන අලසකම සමග දරාගත නොහැකි හිසරදයකුත් ඇඟපත අප්‍රාණිකව නිදිමත ගතියකුත් පෙන්නුම් කෙරෙයි. ඔවුන්ට වරින්වර කිවිසුම් යයි. සොටු දියර ගලයි දෙනෙත් කොන්වලට කබ, කඳුළු උනයි. දෑස් රත් පැහැ ගැනෙයි. උඩුතල්ල, උගුර හා දෙතොල් ඔස්‌සේ තෙපුල් දෙන කැසීමක්‌ද හටගැනෙයි. ඒ අතර ගලා එන සොටු දියර සූරා දැමීමත් සෙම කාරා දැමීමත් නිරායාසයෙන්ම කෙරෙයි. නාසය ඇතුළත දාහසහගත වියළි ගතියක් දැනෙයි. දෙසවන් වටා ඇතුළතින් වේදනා දෙයි. කන් බෙර සිසාරා තෙපුල් දෙන කැසීමක් හටගැනෙයි. මුළු ඇඟපතම තරමක උණ ගතියකින්ද පීඩා දෙයි.
මෙහි අනිටු විපාකයක් වශයෙන් සිදුවන්නේ හිසකෙස් ටිකෙන් ටික අකල් පලිතයකට ගොදුරුව පීරන පනාවට අහුරුපිටින් කෙස් ගැලවී තට්‌ටය පෑදීමයි. අනෙක් සුවිශේෂ ලක්‍ෂණය, විදුරුමස්‌වලින් ලේ, සැරව ගලා දත්මුල් දියවී කට ගඳ ගැසීමයි. එහිම අනෙක් පැතිකඩ වන්නේ, උගුරේ සෙම්ගෙඩි හා නාසයේ මස් දළු ඒමයි. ඇස් කැසීම කබ, කඳුළු ගැලීම, දෙඇස් මත රත් ඉරි මතුවීම, දෙකන් තුළ කැසීම සමග "හෝ හෝ" හඬක් නැඟීම එයටම අනුබද්ධ වෙයි. නාසාර්ශස් යනුවෙන් අර්ශස් රෝග අධ්‍යයනයෙහිලා පෙන්වාදී ඇත්තේ එකී පීනසට අනුබද්ධ නාසයේ මස් දළුය. වර්ධිත පීනසාබරයේදී දෙකන් තුළ තෙපුල් දෙන කැසීම හා හෝ හෝ හඬ කර්ණර්ශස් යනුවෙන් නම් කොට ඇති අතර, දෙඇස රත් ඉරි නැඟී කබ කඳුළු ගැලීම හඳුන්වාදී ඇත්තේ නේත්‍රාර්ශස් වෙනුවෙනි.
පැතිකඩ ගොඩක්
ඒ ඒ පාරම්පරික වෙද ගුරුකුලයන්ට අනුව මෙකී පීනසාබාධය, විසිඑක්‌වැදැරුම් හෝ දහඅට වැදැරුම් වශයෙන් පෙන්වා දී ඇත. අනාදිමත් කාලයක සිට පැවත එන පහතරට වට්‌ටෝරු වෙදකමට අනුව නම් එකී ප්‍රභේදයන්ගේ සංඛ්‍යාව දහතුනකි. ඒවා ගල් පීනස, ගල්කඩ පීනස, ගුල්ම පීනස, සන්නි පීනස, පාණ්‌ඩු පීනස, දුෂ්ට පීනස, වණ පීනස, ළය පීනස, මොළකඩ පීනස, අරමණ පීනස, පණු පීනස, ග්‍රහණි පීනස හා ශ්ලේෂ්මාඡ්වර පීනස ආදී වශයෙන් අනුපිළිවෙලින් දැක්‌වෙයි.
මෙකී සියලු රෝග ලක්‍ෂණයන් විධිමත්ව එක්‌කොට චිරාගත ආයුර්වේද ග්‍රන්ථවල දක්‌වා ඇත්තේ වාතප්, පිත්තජ කව්ජ, රක්‌තජ හා සන්නිපාතජ වශයෙන් ප්‍රභේදයන් පසකි. නාසය තුළට සියුම් දුම් දූවිලි වැදීමත්, අධික ශබ්ද නඟා නිරන්තරයෙන් කතා කිරීමත්, අසීමිත ලිංගික සංසර්ගයත්, සිරුර දැඩි හිරු රැසින් තැවීමත්, අධික ශීතල සේවනයත්, හිසට තදබල පහරක් වැදීමත් මෙයට හේතුවන බව පීනසෙහි උපත දක්‌වන හංසරාජ නිදානාචාරීහු පවසති.
හිසේ බර බව ලොමුඩැහැගැන්ම (ඇඟ හිරිවැටීම), සිරුරේ (තෙත රෙද්දක් පෙරවූ සෙයක් හැඟීම) වරින්වර කිවිසුම් යාම දෑසින් කඳුළු ගැලීම අලස බව හා නිදිබර ගතිය ආදී ලක්‍ෂණයන් මෙම පීනසාබාධයෙහි පූර්ව රූපයන් වශයෙන් වැඩිදුරටත් පෙන්වාදී ඇත.
ඉහත දැක්‌වූ පංචවිධ ප්‍රභේදයන් අතර මූලික වාතජ පීනසේදී ස්‌වර භේදය හෙවත් උගුර බැරැන්ඩිය උද්ගත වෙයි. කෙල සිඳී දිව වියලෙයි. සොටු දියර වියළී නාසය ඇහිරෙයි. ගන උණුසුම් තුනී දියර මද වශයෙන් ගලයි. දෙකන් අවට සියුම් වේදනාවක් හටගැනෙයි. දෙවැනි ප්‍රභේදය වන පිත්තජ පීනසේදී දෙනාස්‌පුඩු තුළින් උණුසුම් සොටු දියර වැගිරෙයි. ගින්නකින් දුම් පිටවන සෙයක් හැඟෙයි. ඇඟපත දාහ ගැනෙයි. තෙවැනි ප්‍රභේදාංගය වන කවිජ පීනසේදී නාසයෙන් සිසිල් සුදුපාට සොටු දියර ගලයි. උගුර මුදුන හා දෙතලු කසයි. හිසරදය හටගැනෙයි. සිව්වැනි ප්‍රභේදය වන රක්‌තජපීනසේදී දෙකන් අවට දාහගැන්වෙයි. නාසයෙන් ලේ ගලයි දෙඇස් මත රත් ඉරි නැගෙයි. දරාගත නොහැකි හිසරදයක් හටගැනෙයි. පස්‌වැනි ප්‍රභේදාංගය වන සන්නිපාතජ පීනසේදී නාසය තෙත්බරිතව ක්‍රිමින්ගෙන් පීඩා දෙයි. නාසයෙන් හා මුවෙන් ඉවසාගන්නට බැරි දුර්ගන්ධයක් පිටවෙයි.
පීනසාබාධයෙහි ඒ ඒ ප්‍රභේදවලදී නාසය වාතයෙන් වියලීම හෝ සෙමෙන් බරව තෙත් වීමත්, හිස් මුදුනත කටු අනින්නාක් මෙන් වේදනාවක් හට ගැනීමත්, නාසයට ගඳ සුවඳ හඳුනා ගැනීමේ සහ මුවට රස නීරස අවබෝධ කරගැනීමේ ඉව තුරන්වීමත් නිසැකයෙන්ම සිදුවන බව ආයුර්වේද පූර්වාචාරීන්ගේ නිගමනයයි.
අමතර දෙයක්
මොනයම් තැනැත්තෙකු හෝ මෙකී පීනසාබාධයකට ගොදුරු කරවන ඉහත දැක්‌වූ හේතු රාශියට අතිරේකව, බලපාන අනිකුත් සාවද්‍යතාවයන් වන්නේ වැසි, පිණි, සුළං, කුණාටුවලට ගොදුරුවීම, උල්දිය ගලන තෙතමනය සහිත බිම් මත වාසය කිරීම, ජනාකීර්ණ වීදිවල වාහන තදබදයට මැදිව ඉන්ධන දුමාරයන් නාස්‌ගත වීම, රසායනික හුමාලයන් වැදීම,
රැවුල බෑමේදී දෙනාස්‌පුට ඇතුළත ස්‌වාභාවික වැඩෙන රෝම හෙවත් ලෝම කපා ඉවත් කිරීම ආදියයි.
තවත් අනිෂ්ට පැතිකඩක් වන්නේ එදිනෙදා ආහාර වේලට උෂ්ණ, කටුක, අම්ල, ලවණාදී ද්‍රව සහ ද්‍රව්‍යයන් අධිකව උපයෝගී කර ගැනීමයි. පිළුණු අපවිත්‍ර ආහාරපානාදිය ද මෙයටම අයත් වෙයි. රෑ නිදිවැරීමත්, දහවල් නිදාගැනීමත් අවේලාවේ සීතල වතුර නෑමත් එයටම අනුබද්ධ අනෙකුත් සාවදෘHතාවයන්ය. කොයිකාගේත් ජීවිතවලට සතුරෙකු මෙන් බාධක යොදන මෙකී පීනසාබාධයට ත්‍රාස, ශෝක කෝප බඳු වේග ධාරණයන්ද මානසික පාර්ශ්වයෙන් බලපානු ලබයි.
ප්‍රතිකාර - පාරම්පරික පීනස් රෝග චිකිත්සාවන්ට නැඹුරු වන කවර ආබාධිතයෙකු වුවද පිරිසිදු එළිමහන් විවේකී වාතාවරණයෙහි පසුවීමට මතක තබාගත යුතුය. උණුකර නිවාගත් ජලය පානයට ගත යුතුය. සීතල වතුර අතපතගෑමෙන් වැළකිය යුතුය. ගමනක බිමනක නිරත වන විට දෙපයට පාවහන් දමා සිරස කුඩයකින් ආවරණය කරගත යුතුය. දහවල් නිදාගැනීමෙන් හා රෑ නිදිවැරීමෙන් වැළකිය යුතුය. ඉර මුදුන්වීමට පෙර උණු වතුරෙන් ස්‌නානය කරගත යුතුය. ආවේගකාරී සිතිවිලි වලින් බැහැරව හිත සංසුන්කර ගත යුතුය. නිතර ප්‍රබෝධයෙන් පසුවිය යුතුය.
ප්‍රතිකාර ලබන කාලපරාසයෙහි එදිනෙදා ආහාර වේලට ගොටුකොළ, රතුළුEණු, කතුරුමුරුංගා කොළ, මල්, අලුත් එළවළු හා පලා වර්ග නිවුඩු හාලේ බතට වැඩි වැඩියෙන් එක්‌කර ගත යුතුය. එළු මස්, කුකුල් මස් වෑංජන, එම සුප් වර්ග හා එළවලු සුප් වර්ගද බෙහෙවින්ම හිතකරය. මත්ස්‍ය වර්ග අතරෙන් හාල්මැස්‌සන්, පුළුන්නා, කටිල්ලා, හැඩැල්ලා, සුදු සූඩයා වැනි හීන් මාලු වර්ගත්, හුංගා කාවයියා වලපොත්තා මල්තැලුමා බඳු මිරිදිය මාලු වර්ගත් ඉතාමත් ගුණදායකය. හිස්‌බඩ ඔසු පැන් බීමත් දිනපතා කොළ කැඳ බීමත් ඉක්‌මන් සුවයට විශේෂයෙන්ම හිතකරය.
සකස් කළේ - ප්‍රේමචන්ද්‍ර තේනුවර