මා ජීවත්වන ගමේම මාගේ හිතවතෙකු වූ පත්මශාන්ත මහතාගේ නිවසක ඔහුගේ හිතවත් තරුණයකු සිය විවාහක බිරිඳ සමග පදිංචිව සිටියේය. ඉතාමත් ලාබාල වියේ පසු වූ ඔවුන් දෙපළ පත්මශාන්තගේ ගොවිතැන් වැඩකටයුතුවලට උදව් පදව් වෙමින් ජීවත් වූහ. එතරම් උගත් නොවුණ එකී දෙපළට මෙකී සිදුවීම් සිදුවන විට දරුවන්ද නොවූහ. කාලයක් ගත වුවද දරුවන් නොමැති හෙයින් දේවාල වල පන්සල් වල බෝධි පූජා තබමින් දරුපල පැතුවද එයින් පලක් නොවිණි. බැරිම තැන ශාස්‌ත්‍ර කියන දේවාලයක පිහිට පැතූ ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුර වූයේ තරුණියට කළු කුමාර දිෂ්ටිය නිසා දරුපල නොමැති බවය. ඒ වෙනුවෙන් යාග හෝම පුද පූජා බාර හාර කළද කිසිදු ප්‍රතිඵලයක් නොවීය.
මෙසේ කාලය ගත වන විට එම තරුණ කාන්තාවගේ ශරීරයේ විවිධ වූ වෙනස්‌කම් ඇතිවෙන්නට වූවාය. ඇයගේ මුහුණ මුළුමනින්ම වෙනස් අස්‌වාභාවික ස්‌වරූපයක් ගෙන තිබිණි. ඇයගේ යම් යම් ඉරියව් වෙනස් වන්නට වූවාය. හැසිරීම් විලාෂය කෑම බීම නෑම ආදිය පිළිකුලෙන් ප්‍රතික්‍ෂේප කරන්නට වූවාය. අපිරිසිදු ලෙස සිටීමට බොහෝ කැමැත්තක් දැක්‌වීය. ජීවිතය දරදඬු ස්‌වරූපයක් ගත්තේය. බොහෝ විට හුදකලාව ජීවත්වීමටත් හුදකලාව කල්පනා කිරීමටත් තනියම සිනාවීමටත්, හිසකෙස් අවුල්කර පිස්‌සියක් මෙන් හැසිරීමට පටන් ගෙන තිබිණි.
මේ පිළිබඳව වැඩි අවධානයකින් සිටි හිතවතා, ඥතියා මෙන්ම ගැලවුම්කාරයා ලෙස ඔවුන්ට උදව් උපකාර කළ පත්මශාන්ත මහතා ඔවුන් කැටුව නොගිය දේවාලයක්, යන්ත්‍රමන්ත්‍රකරුවකු නැති තරම්ය. ඔහු වියදම් කර ශාන්ති කර්ම බලි යාග දෙවොල් මඩු පුද පූජා වත් පිළිවෙත් සියල්ලක්‌ම කරන ලද්දේ ඔහුගේ මානුෂිය හිතවත්කම නිසාමය. එහෙත් ඒ කිසිදු ශාන්තිකර්මයකින්වත් ප්‍රතිඵලයක් නොවීය. තරුණිය තනියෙන්ම විටෙක ආවේශ වන්නට වූවාය. දඩබ්බර වන්නීය. ඇය පාලනය කිරීමට ඇතැම් විට පිරිමි කීප දෙනෙකුට පවා නොහැකි විය. ඇයට යම් ආකාරයක භූත බලවේගයක් ආවේශ වී ඇති බව පැහැදිලිව තේරුම් ගත හැකිවිය. ඇතැම් දෛවඥයන් බලි ශාන්ති කර්ම වලදී අධික දුක් දෙමින් නටවන ලදී. භූත ආත්මය අතැර යන ලෙස කියමින් පහර දුන්නද - ඇයව අතහැර නොයන බව මියගිය ආච්චි ඇයට අවේශව කියන්නීය. රූප සම්පත්තිය අතින් අඩුවක් නොවුන ඇය ස්‌වල්ප කාලය තුළදී සැබෑ අපිරිසිදු ප්‍රියමනාප නොවන ගඳ ගසන ඇඳුම් ඇඳීමට ප්‍රිය, ඉඳුල් වූ ආහාර ගැනීමට ප්‍රිය තැනැත්තියක් බවට පත්වූවාය. ඇත්ත වශයෙන්ම ඇයගේ ඇතැම් ජීවිත ක්‍රියාකාරකම් දුක හිතෙන සුළුය. විටෙක ගෙයි මුල්ලට වී ඉතා බියෙන් දුක්‌මුසුව වකුටුවී සිටීමට ප්‍රියමනාප වූ ඇය නිතර සෙම සොටු පෙරාගෙන කෙස් අවුල් කරගෙන සිටීමට වැඩි කැමැත්තක් දැක්‌වූවාය.
අපද බොහෝ විට එම නිවසට විවේක විට ගිය ආවේ හිතවත් පත්මශාන්ත වෙනුවෙනි. ඔහුගේම අත්දැකීම් අනුව ඇතැම් දිනවල රාත්‍රියේ නිවස තුළ කෙඳිරි ගගා ඇවිදින ශබ්දයක් තිබුණ බව වගකීමෙන් යුතුව ඔහු පවසා ඇත. එය වඩාත් තහවුරු වූයේ එක් රාත්‍රියක ඔහු තම ගොවිපළට ගොස් ආපසු නිවසට පැමිණෙන විට එක්‌තරා දසුනකින් ඔහුද බියට පත්වූ බව මා සමග පවසා ඇත. අඩක් නිම කළ නිවසේ ස්‌තෝප්පුව තුළ වාඩිවීමට තබා ඇති පුටුවක සුදු කෙස් සහිත වියෑළී ගිය සිරුරකින්, වැරහැලි වූ ඇඳුමක් හැඳගත් වයස්‌ගත කාන්තාවක් වාඩි වී සිටිනු දැක ඇත. ඔහුට ආච්චිලා සිටියේ නැත. එදා අද මෙන් ආලෝකය තිබුණේ නැත. යාන්තම් එළිය දල්වන භූමිතෙල් කුප්පි ලාම්පුවේ අඩ අඳුරින් දුටු අහඹු දසුන සිත සසල කළද ඒ බවක් නොපෙන්වා ඉදිරියටම ආවේ ඇය කවුරුන් දැයි දැක බලා ගැනීමට වුව මිදුලට අඩිය තබන විටට වාඩිවී සිටි පුටුවද පෙරලාගෙන විලාප දෙමින් අතුරුදන් වූ බව සිය නෙතින් ඔහු දැක තිබිණි. ඔහු කෙළින්ම ගියේ ඇය සිටින නිවස තුළටය. ඒ යන විට රෝගියා අඬමින් zමට මේ ගෙදරින් උඹව දාල යන්නට බැහැ දුවේZ කියමින් ගෙයි මුල්ලට වී අඬනාකාරය දුකහිතෙන තරම් බව පවසා ඇත. සුවයක් මන්ත්‍ර යන්ත්‍ර ගුරුකම් වලින් නොවීය. ඒ ටික කලට එකී රෝගී තරුණිය දර ඉපලක් මෙන් වැහැරී ගොස්‌ය. මේ අතරතුර අසල්වාසී ගම්වල සිටි ප්‍රසිද්ධ යන්ත්‍ර මන්ත්‍ර කට්‌ටඩි ගෙන්වා විවිධ වූ සෙත් ශාන්ති කළද පලක් නොවූ තැන කැලණිය ගඟ අසබඩ තිත්තපත්තර නම් වූ වෙදදුරුවන් වෙත රෝගියා රැගෙන යැමට සූදානම් කර තිබිණි. මෝටර්රථය රැගෙන එන ලෙස මා වෙත පණිවිඩයක් එවා තිබිණි. තිත්තපත්තර යනු මෙයට පෙර මා කිසිදු දිනක නොගිය ප්‍රදේශයකි. වෙද මහතා ගැනද අසා තිබුණද නිවස පිහිටි තැන පිළිබඳ පැහැදිලි නිනව්වක් නොතිබිණි. එහෙත් පත්මශාන්ත මහතාගේ උපදෙස් පරිදි මිරිස්‌වත්ත - වැලිවේරිය හරහා නාරංවල පාරේ උඩුපිල දෙල්ගොඩ ආශ්‍රිත වූ මගකින් යා හැකි බව දැනගතිමි.
වැලිවේරිය පසුකරන විට වාහනයේ ධාවන වේගයේ කිසියම් බාධාවක් හිරවීමක් සිදුවන බව දැනිණි. එයින් කෙටි දුරක් ධාවනය වන විට රේඩියේටරය උණුසුම් වී ජලය පිටත විසිවෙන්නටත් වේගය අඩුවන්නටත් විය. අතරමග නවතා උතුරාගිය ජලය ඉවත් කර ජලය පුරවාගෙන කිලෝමීටර් දෙකකට වඩා යැමට නොහැකි වූයේ ඉදිරිපස ටයරයක හුලං බැස ගිය හෙයින්, ඉවත් කර නවතා වැඩිපුර ටයරය සවිකරගෙන අලුත්වැඩියා කරන ස්‌ථානයක් දක්‌වා ගොස් අලුත්වැඩියා කරගෙන අප ගමන යැමට පටන් ගත්තෙමු. උදයේ දහයට පමණ ආරම්භ කළ ගමන දහවල දෙක පමණ වන විට විටත් නියමිත ස්‌ථානයට යැමට නොහැකි වීම ගැන අප පුදුමයට මෙන්ම විමතියට පත් වූයෙමු. නැවත ගමන ආරම්භ කළෙමු. තිත්තපත්තර හංදියට ආසන්න වන විට ඉදිරිපස පසුපස ටයර් දෙකකම හුලං බැස්‌සේය. එය හරියටම හාස්‌කමක් මෙනි. වැඩිපුර තිබූ රෝදය සවිකරගත්තත් අනෙක් ටයරයට සවිකිරීමට වෙනත් රෝදයක් නොවූයෙන් බස්‌රථයක ටයරය ගෙන ගොස් අලුත්වැඩියා කරගෙන ආවෙමු. එහෙත් මෝටර්රථය වේගයෙන් ධාවනය කිරීමට අපහසු බව මගේ දෑතට දැනිණි. කිසිවෙකුට නොපැවැසූ මා අපහසුවෙන්ම තිත්තපත්තර අති ප්‍රසිද්ධ කට්‌ටඩි වෙද ඇදුරුතුමාගේ නිවසට ළඟාවුණෙමු. වාහනය පිටුපස මිදුලේ නවතා රෝගියා සමග බසින විට ඉදිරියට පැමිණි එතුමා කළ ප්‍රකාශය අද මෙන් මතකය.
"ඩැයිවර් මහත්තයා වාහනේට එන්න දුන්නෙම නැහැ නේද? දෙන්න පුළුවන් වද දුන්නා නේද? ඕකිව මෙහාට ගේනවට මළ පෙරේති කැමැති නැහැ. ඉදින්කෝ මම උන්දැට දෙන්නම්කෝ ඉළ ඇට බිඳෙන්න" කියා වාහනය අසලට පැමිණ තරුණියගේ කෙස් වැටියෙන් අල්ලාගෙන මිදුල දිගේ ඇද ගෙන ගොස් ස්‌තෝප්පුවේ දැමීය. වෙදමහත්මයාටත් තර්ජන කරමින් මෙල්ල වන ස්‌වරූපයක් නොපෙන්වූ තැන අප ඉදිරියේම කෙස් වැටිය අඹරාගෙන එල්ල කළ පහරවල් ගැහැනියට තබා හයිය ශක්‌තිය ඇති පිරිමියකුටත් වාවනු නොහැකි තරම්ය. ප්‍රකෘති සිහියෙන් සිටි ගැහැනියකට නම් එවන් පා පහරවල් දරා ගත නොහැකි බව මා විශ්වාස කළෙමි. එහෙත් ඇය නොවේ මෙල්ල වූයේ. අවසානයේ කෙස් වැටියෙන් අල්ලාගෙන දුන් අතුල් පහරවල් හමුවේ නම් "මම යනවා මම යනවා මට වදදෙන්න එපා. ඒත් මට දුක මේ කෙල්ල තනිවෙයි කියල එහෙම නම් වෙදමහත්තයෝ ඔබතුමා මගේ කෙල්ලගේ ආරක්‍ෂාව, වගකීම බාර ගන්නවද? කෙල්ලට දුකක් කරදරයක් වෙන්ට ඉඩ දෙන්න එපා. මගේ එකම ඉල්ලීම ඒකයි" කියා ඇය පොඩි දරුවකු විලස ඉකි ගගහා අඬපු ආකාරය අවට සිටි කාගෙත් දෑසට කඳුළක් එක්‌කිරීමට තරම් අනුවේදනීය දර්ශනයක් විය. එසේ කියා වෙද මහතාට වැඳ නමස්‌කාර කර වෙද මහතා වාඩිවෙන හාන්සි පුටුව යටට රිංගා ගෙන පොඩි දැරිවියක් සේ ඇඬූහ. වෙද මහතා යළිත් "උඹ මොකටද? මෙහේ ආවේ මොනව කරන්නද? උඹ කවුද?" කියා කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ ඉතාමත් පැහැදිලිවය. "මම මේ කෙල්ලගේ ආච්චි. මේකිව කුඩා කාලේ ඉඳලම ඇති දැඩි කළේ මම. උන්ගේ අම්ම මුං කුඩා සන්දියේදී වෙන මිනිහෙක් එක්‌කල පැනල ගියා. එදා ඉඳලම එකම කෙල්ලව හදාවඩා ගත්තේ මම. මම මියයන මොහොතේ මා ළඟ ඉඳගෙන උගුරට වතුර ටිකක් දැම්මේ මේ කෙල්ල. මේකිට මම මගේ පණ වගේ අදත් ආදරෙයි. ඒත් මේ කෙල්ලට මට පිං දෙන්න පුළුවන්කමක් නැහැ. වෙන කවුරුත් මට පිං දුන්නෙත් නැහැ. දාන ධර්ම ඇඳුම් පැළඳුම් පූජා කළේ නැහැ. මගේ ආත්මේ කන්න නැතිව බොන්න නැතිව මම පුදුම දුකක වින්ද. ඒත් ඒ එකෙකුටවත් ඒ බව තේරුණේ නැහැ. මම පෙරේතියක් වුණා. මටත් ආශ හිතුන අනෙක් වුන් වගේ කන්න. ඒත් කවුරුත් මා වෙනුවෙන් දානයක් දුන්නේ නැහැ. ඒ හින්දා මම කෙල්ල ළඟට ආවේ. මම දන්නව මට හැමදාම මේ ජීවිතයේම රැඳෙන්න බැහැ. මේ ආත්මයෙන් මම අත්මිදෙන්නට ඕනෑ. උඹවත් කියපන් මා වෙනුවෙන් දානයක් ඇඳුම් පැළඳුම් පූජා කරන්න කියා". ඇය යළිත් අඬන්නට පටන් ගත්තීය. "හරි උඹට දාන කර්ම ඇඳුම් පැළඳුම් දෙන්නම්. මේ අහිංසක කෙල්ලව අතැර පලයං කියා" වෙදතුමා කළ නියමයට ඇය අවනත වූවා වැනිය. "එහෙනම් උඹ යන බව ආයේ නොඑන බවට සහතික කරල මම වාඩි වෙලා ඉන්න පුටුව පෙරලල යමං" කියා දුන් නියෝගය ඉටුකරමින් මහා හයියෙන් අඬ අඬා සිටි ඇය එකවරම වෙදමහතාගේ පුටුව පෙරලා යටි ගිරියෙන් හූ තුනක් කියා ටික වේලාවකින් පුටුව යටට වී සිටි තරුණ කත කිසිදු වෙනසක් නැතිව නැගිට අවුල් වූ කෙස් වැටිය පිටුපසට කර බැඳගත්තේය.
අප රැගෙන ගිය කතට වඩා හාත්පසින්ම වෙනස් ස්‌වරූපයක් ඇයගේ මුව පුරා විහිදී තිබිණි. තෙහෙට්‌ටු ගතිය මිස වෙනකක් දිස් නොවිණි. සියල්ල අවසානයේ යථා ප්‍රකෘති තත්ත්වයට පත් ඇය වෙදතුමාගේ නිවසේ කුස්‌සියට ගොස් බත් බෙදාගෙන ආහාර භුක්‌ති විඳි ආකාරය අපට මෙන්ම පැමිණි සියලුම දෙනාගේ විමතියට හේතු විය. කැලණි ගඟෙන් අප නාගත්තෙමු. සවස තේ පානයෙන්ද සප්පායම් වී වෙදතුමාගෙන් සමුගෙන කිසිදු උපද්‍රව්‍යයකින් තොරව වාහනයෙන්ම ආපසු පැමිණියෙමු. එකී තරුණිය අද මවකි. දරු දෙදෙනා පාසල් අධ්‍යාපනය ලබති. සාර්ථක පවුල් ජීවිතයක් ගත කරති. එයට මග සලසා දුන් තිත්තපත්තර වෙදතුමාට පිං සිදුවේවි. ජීවත්ව සිටිනවානම් නිරෝගී සැප සම්පත් දීර්ඝායුෂ ලැබේවායි පතමි. (අත්දැකීමක් බව සලකන්න)
විල්ප්‍රඩ් බොනිපස් මැල්ලව