මීට වසර කීපයකට කලින් දිනක් මම ආහාර ද්‍රව්‍ය කීපයක් මිලදී ගැනීම සඳහා මා ජීවත්වන ප්‍රදේශයේ ඇති ප්‍රසිද්ධ තොග සහ සිල්ලර වෙළෙඳ සළකට ගියෙමි. එවෙලේ එම වෙළෙඳසලේ බඩු මිලදී ගැනීම සඳහා කාන්තාවන් සෑහෙන පිරිසක් පැමිණ සිටියෝය. එම පිරිස දෙස බැලූවිට එකවරම පෙනී ගියේ ඔවුන්ගෙන් අති බහුතරයක් තරබාරු බවෙන් පෙළෙනා බවය. අද අපේ රටේ කුමන කාන්තා නියෑදියක් දෙස බැලුවත් පෙනී යන්නේ එම කාරණයමය . තවත් දිනක පානදුර ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී, ඉතා අපහසුවෙන් ජීවිතය ගැටගහගන්නා කාන්තාවන් සමූහයක් හමුව නිවැරදි පෝෂණය පිළිබ`දව ඔවුන් දැනුවත් කරන්නට ගිය අවස්‌ථාවේදීද, පැමිණ සිටි දුගී කාන්තාවන්ගෙන් විශාල ප්‍රතිශතයක් තරබාරු බවෙන් පෙළෙන බව දැකගත හැකි විය.
මීට ටික කලකට පෙර අප රටේ තරබාරු බව සැලකුවේ සුපිරි සමාජයේ පමණක් පවතින සෞඛ්‍ය ගැටලුවක් ලෙසටය. එහෙත් අද වන විට තරබාරු බව ආර්ථික මට්‌ටමෙන් ඉතාම පහළ කාන්තා පිරිස් පවා ආක්‍රමණය කොට ඇති බව පෙනේ. එයින් මිදී නිරෝගීව ජීවත්වීමට අපේ රටේ කිසිම කාන්තා ස්‌ථරයකට වරම් ලැබී නැත.
අද වන විට අප රටේ කාන්තාවන් තරබාරු බවෙන් පමණක් නොව තරබාරු බව මූලික අවදානම් සාධකය ලෙස ක්‍රියාත්මක වන දියවැඩියාව, කොලෙස්‌ටරෝල් අධික බව, හෘදයාබාධ, අධික රුධිර පීඩනය ආදී රෝගවලින්ද ඉතාම දැඩි ලෙස පිඩා විඳියි. අප සීමාවාසික වෛද්‍යවරුන් ලෙස සේවය කළ අවධියේ කාන්තාවන් වීම හෘදයාබාධ අවධානම අඩු වීමට හේතුවක් ලෙස සලකන ලදී. එය එසේ වූයේ ඊස්‌ට්‍රජන් හෝර්මෝනය විසින් කාන්තාවන්ට හෘදයාබාධ සම්බන්ධයෙන් යම් ආරක්‍ෂාවක් ලබා දීම නිසාය. නමුත් දැන් කාන්තාවන්ට එම ආරක්‍ෂාව නොමැති බව ඉතා පැහැදිලිව පෙනී යන අතර පිරිමින් තරමටම හෝ ඊටත් වඩා කාන්තාවන් දැන් හෘදයාබාධ ඇතුළු කිරීටක ධමනි රෝගවලට ගොදුරු වේ. එයට ප්‍රධාන හේතුව ලෙස සැලකිය හැක්‌කේ කාන්තාවන් තරබාරු බවට ගොදුරු වීමය.
තරබාරු බව යනුවෙන් අදහස් කරන්නේ ශරීරයේ අනවශ්‍ය මේදය අධික ලෙස තැන්පත් වීමය. තරබාරු බවම භයානක රෝගයකි. එය වඩාත් භයානක රෝගයක් වන්නේ තවත් නූතන භයානක රෝග කන්දරාවකට එය හේතුවන නිසාය. එම නූතන භයානක රෝගවලින් කීපයක් නම් දියවැඩියාව, කොලෙස්‌ටරෝල් වැඩි වීම, හෘදයාබාධ, අධි රුධිර පීඩනය, අංශභාගය, ඇතැම් පිළිකා වර්ග, හන්දි ගෙවීයාම, ප්‍රතිශක්‌තිය අඩුවීම ආදිය යි. ඊට අමතරව තරබාරු නොවන අය සමඟ සැස» විට සියලුම රෝග සෑදෙන ප්‍රමාණයත්, විඳවීමත්, මරණයට භාජන වන ප්‍රමාණයත් තරබාරු අය ස`දහා වැඩිය. ඇතැමුන් තවමත් ඉතා පෘෂ්ටිමත් ඇ`ගක් තිබීම හෙවත් තරබාරු බව හොඳ දෙයක් සේ සිතාගෙන සිටියත් තරබාරු බව මිනිසාට බලපාන කිසිම රෝගයකට ආරක්‌ෂාවක් සපයන්නේ නැත.
රටේ ජනගහනයෙන් හතරෙන් එකකට දියවැඩියාව වැළඳී ඇති බවත් පාසැල් දරුවන්ගෙන්ද සියයට 16 කට දියවැඩියාව වැළඳී ඇති බවත් රජයේ සෞඛ්‍ය බළධාරීන් විසින්ම ප්‍රකාශයට පත්කොට දැනටමත් වසර ගණනාවක් ගෙවී ගොසිනි . මෙයින් අති බහුතරයක් අයත් වන්නේ දෙවන කාණ්‌ඩයේ දියවැඩියා රෝගයටය. දෙවැනි කාණ්‌ඩයේ දියවැඩියා රෝගයේ ප්‍රධාන වගඋත්තරකරුවා වන්නේ තරබාරු බවය. වෙනත් වචනවලින් කියනවානම් දෙවන කාණ්‌ඩයේ දියවැඩියා රෝගීන් සියලු දෙනාම පාහේ තරබාරු බවට ගොදුරු වූ අයය.
ඇත්ත වශයෙන්ම තරබාරු බව රෝගයකටත් වඩා වැරදි ආහාර රටාවට සහ වැරදි ජීවන රටාවට සොබාදහම විසින් ලබාදෙන ද`ඩුවමක් සේ සැලකීම නිවැරදිය. තරබාරු බවට ප්‍රතිකාර කිරීමේදී සිදු කරන්නේ එම වැරදි ආහාර රටාව සහ ජීවන රටාව නිවැරදි කිරීමය . අවම වශයෙන් ඒවා නිවැරදි කිරීමට උත්සාහ කිරීමය.
එහෙත් බොහෝදෙනා නූතන භයානක ආහාර රටාවට සහ නූතන අකර්මණ්‍ය ජීවන රටාවට ගොදුරු වී ඇති ප්‍රමාණය කොතෙක් ද යත් එයින් ගලවා ගැනීම ඉතාම අපහසු කටයුත්තකි. බර අඩු කරගැනීම සහ එසේ අඩු කරගත් බර නැවත වැඩි නොවී පවත්වා ගැනීම ලෝකයේ ඇති ඉතාම අපහසු කටයුතු වලින් එකක් බව බොහෝ දෙනා පවසන්නේ ඒ නිසාය.
නූතන භයානක අනුකාරකවාදී ජීවන රටාවේ ලක්‌ෂණ වී තිබෙන්නේ මිනිසාගේ ඉන්ද්‍රියයන් අසීමිත ලෙස පිනවමින් ජීවිතයේ එක් එක් කාර්යයන් අනෙක්‌වායින් වෙන්කරමින් අධි සුඛෝපභෝගිත්වය කරා මිනිසා රැගෙන යැමය. එය විසින් රැකියාව අනෙක් කටයුතුවලින් වෙන්කොට නූතන මෙවලම් භාවිත කරමින් සිදුකරන සුඛෝපභෝගී කටයුත්තක් බවට පත්කොට ඇත. ප්‍රවාහනය අති සුඛෝපභෝගී වාහන භාවිත කරමින් සිදුකරන අතර එයද ජීවිතයේ අනෙක් කටයුතුවලින් වෙන්කොට ඇත. එසේ එක් එක් කටයුතු වෙන වෙනම අධි සුඛෝපභෝගිත්වය කරා රැගෙන යැමේදී මිනිසා මහන්සි වී කිසිත් වැඩක් නොකරන සුපිරි කම්මැලියකුගේ තත්ත්වයට පත්වී ඇත. අනෙක් අතට ඒ සුපිරි කම්මැලියා රස නහර අධික ලෙස පිනවන සීනි සහ අහිතකර මේදය අධික වෙනත් රෝගකාරකද බහුල ආහාර විශාල ප්‍රමාණයක් පරිභෝජනය කරයි . ඉතින් එම තත්ත්වයන් තුළ තරබාරුබවට පත්වීම ගැන පුදුම විය යුතු ද?
අනෙක් විහිළු සහගත කාරණය වන්නේ තාක්‌ෂණික මෙවලම් භාවිතය නිසා එසේ ශරීරයට එකතු කරගත් අනවශ්‍ය මේදය දවාලීමටද නූතන තාක්‌ෂණික මෙවලම් හෙවත් වයායාම යන්ත්‍ර සොයා යැමය. එයද ජීවිතයේ අනෙක් කටයුතු වලින් වෙන්කොට වෙනම ව්‍යායාම ව්‍යාපෘති බවට පත්කරගෙන ඇත .
මෑතක් වනතුරුම අපේ සමාජයට මේ නූතන ව්‍යාධිය වැළඳී තිබුණේ නැත. එය අපේ රටේ සීග්‍රයෙන් බෝ වන්නට වූයේ විවෘත ආර්ථිකය අපේ රටට හඳුන්වා දීමෙන් පසුවය.
අපේ රටේ මේ තත්ත්වයට ගොදුරු නොවූ පරම්පරාවල කාන්තාවෝ ඉතා යහපත් ජීවන රටාවක්, ආහාර රටාවක් සහ ක්‍රියාශීලී ජීවිතයක් ගත කළහ. ගෙදර වැඩ ලේසි යෑයි කියා තම බිරිඳ කුඹුරට යෑවූ ගමයාගේ කතාවෙන් හෙළිවන්නේද එදා අපේ රටේ කාන්තාව කොතරම් වැඩ කොටසක් කරමින් ක්‍රියාශීලී ජීවිතයක් ගත කළා ද යන්නය. එදා අපේ කාන්තාව මනා කළමනාකාරිත්වයෙන් යුතු ගෘහණියක් වීම, ආදරණීය බිරිඳක් වීම , ආදරණීය මවක් වෙමින් දරුවන් රැකබලාගැනීම, රැකියාවක් කිරීම, ගමන් බිමන් යැම, ව්‍යායාම කිරීම ආදිය එකිනෙකින් වෙන්කරගෙන වැඩ අනාගත්තේ නැත. ඇගේ ක්‍රියාශීලී ජීවිතය තුළ ඒ සියල්ල මනාව සංයෝජනය වී තිබුණි. ඉතින් ඇය එදා තරබාරු බවට පත්වූයේ නැත. ඇයට දියවැඩියාව ඇතුළු අට අනූවක් නූතන භයානක බටහිර පන්නයේ රෝග ඇතිවූයේ නැත. ඔස්‌ටියෝපොරෝසිස් හෙවත් ඇට දිරා යැම ඇය අසලකටවත් ආවේ නැත.
එදා ඒ යහපත් නිරෝගී ජීවිතයක් ගතකළ ඇයට ඒ සඳහා උපකාරී වූ ගෙදර දොර උපකරණ වූයේ වංගෙඩිය , මෝල්ගස, කුල්ල, කුරහන්ගල, මිරිස්‌ගල, කළගෙඩිය , කැත්ත, උදැල්ල, පොරව, බොලොක්‌කය ආදිය යි . එදා අපේ අම්මලා, ආච්චිලා, නැන්දලා කොතරම් නම් දාඩිය පෙරාගෙන වංගෙඩියේ වී, පිටි, පොල් ආදිය කොටනවා ද ?. කොතරම් නම් දාඩිය පෙරාගෙන මිරිස් ගලේ අඹරනවා ද?. කොතරම් නම් දාඩිය පෙරාගෙන කුරහන්ගලේ අඹරනවා ද?. ඒවාට නිකමට හෝ උදව් වී ඇති අය සහ අවම වශයෙන් ඒවා දැක ඇති අය නම් ඒවා කොතරම් හොඳ ව්‍යායාම දැයි දනී.
ඒත් අද නූතනත්වයේ ගොදුරක් වූ නූතන කාන්තාව ඒ සියලු යහපත් උපකරණ ඉවත දමා නූතන ගෘහ විද්යුත් උපකරණ වලින් මුළු ගෙදරම පුරවාගෙන ඇත. ඉහත කී විදුලිය වැය නොවන යහපත් ගෘහ උපකරණ අද කෞතුක වටිනාකමක් පමණක් ඇති දේවල් බවට නූතන සමාජය පත් කරගෙන ඇත. අද කාන්තාවකට හීන් දාඩිය දමන්නේ නූතන ගෘහ විදුලි උපකරණවලට වැයවී ඇති විදුලිය සඳහා ගෙවිය යුතු විදුලි බිල දුටු විට පමණි. එසේත් නොමැතිනම් මාසයකට ගෑස්‌වලට වැයවන මුදල සිහිවූ විට පමණි. ඒ දාඩිය දැමීම් නිරෝගී වීමට උපකාර කරන දාඩිය දැමීම් නොව තව තවත් රෝගීභාවයටම ඇද දමන මානසික ආතතිය බෙහෙවින්ම වැඩිකරන දාඩිය දැමීම්ය.
එදා තිබූ ඒ යහපත් උපකරණ සියල්ල ද සමගින් යහපත් ඉවුම් පිහිම් ක්‍රමද නූතන කාන්තාව විසින් ඉවත දමා ඇත. ලෝකයේ ඇති කිසිම සූප ශාස්‌ත්‍රයකට නොදෙවැනි සූප ශාස්‌ත්‍රයක් තිබූ අපේ රටේ අද බොහෝ දෙනා උයන්නේ කෘත්‍රිම රසකාරක සහ වර්ණකාරක භාවිත කරමිනි. බොහෝ දෙනා එසේවත් උයන්නේ නැතිව විවිධ වර්ගවල නූතන අවන්හල්වලින් ගෙනා ක්‌ෂණික කෘත්‍රිම රෝගකාරක ආහාරවලින්ම සැනසෙති .
එදා ඒ යහපත් ජීවිත ගතකළ කාන්තාවෝ අවුරුදු හැත්තෑව අසූව අනූව ගතවීත් අදටත් කිසිම ප්‍රධාන වෛද්‍ය රෝගයකින් තොරව යහතින් ජීවත් වෙති. ඒත් ඒ අයගේ දූ දරු පරම්පරාවලට අයත් කාන්තාවෝ වැරදි ජීවන රටාව සහ වැරදි ආහාර රටාව නිසා තරබාරු බවට ගොදුරු වී දියවැඩියාව සෑදී ඒවායේ ප්‍රතිඵල ලෙස හෘදයාබාධවලට සහ අංශභාගයට ගොදුරු වී මේ වනවිටත් මියගොස් සිටිති. අඩු වයසෙන් දියවැඩියාවට, හෘදයාබාධවලට සහ අංශභාගයට ගොදුරු වූ කාන්තාවන් ගැන සොයා බැලීමේදී මෙවැනි අවස්‌ථා ඕනෑතරම් හමුවෙයි. එය හො`දින්ම විදහා දැක්‌වෙන අවස්‌ථාවක් වන්නේ අඩු වයසින් අංශභාගය සැදුණු දියණියකට වයසක අම්මා කෙනෙක් සාත්තු කරන අවස්‌ථාව ය . රොහල් වාට්‌ටු වලදී මෙවැනි දසුන් අපට නිතර දෙවේලේ දැන් දකින්නට ලැබෙයි .
බටහිර අධිරෝගකාරක ජීවන රටාව සහ ආහාර රටාව අවිචාරවත්ව හඹා යැමෙන් මිදෙන්නේ නොමැතිව කාන්තා තරබාරු බවටවත් වෙනත් එවැනි කිසිදු සෞඛ්‍ය ගැටලුවකටවත් නිවැරදි විස`දුම් සෙවිය නොහැක්‌කේමය . තරබාරු බව ඔස්‌සේ දියවැඩියාවේ සිට පිළිකා දක්‌වා වූ බෝ නොවන රෝග සුනාමියකට ගොදුරු වි ඇති අප රටේ ජනතාව දැන්වත් තේරුම් ගත යුතු යථාර්තය එයයි.
වෛද්‍ය පාලිත සමන් ජයකොඩි