තරුණ වයසේ දි විවාහ නොවීමත් විවාහයේ අසම්පූර්ණ බවට හේතුවිය හැක

අද සමාජය තුළ අපට හමුවන විවාහයන් ඒ තරම් සවිමත්ව බැඳුණු ආකාරයක් පෙනෙන්නට නැත. දවසින් දවස අපේ විවාහයන් දික්කසාදවලින් කෙළවර වන වේගය වැඩිවෙමින් තිබේ. පැරණි සමාජය තුළ ලියාපදිංචි කළ මෙවැනි ස්ථිර විවාහ තත්ත්වයන් නොපැවැති නමුදු ඉතා සවිමත්ව බැඳී අඹුදරුවන් රක්ෂා කළ අය සුලබ විය. විවාහක යුවළක් අතර තිබිය යුතු වූ මේ සෙනෙහෙබර බැඳීම් මෙතරම් හීන වෙමින් සෝදා පාළුවෙමින් යන සමාජයකට හේතු සොයා වෙහෙසීම ඉතාම වටී. එසේම අප අතර පවතින පුහු ආකල්ප හේතුකරගෙන අපට හොරා අප අතරින් සැඟව යන මේ පවුල් බැම්මේ ශක්තිමත් බව රැකගැනීම සඳහා සිදුවිය යුතු වෙනස්කම් සමාජය තුළ වර්ධනය කිරීමට බලපෑම් කිරීමටද මේ පිළිබඳව දැනුවත්විය යුතුය.

විවාහ වන දෙදෙනෙකු අතර ආදරබර සෙනෙහෙ බැමි තරවීමට නිසි කලට විවාහ වීමද ඉතාම අවශ්‍ය වෙයි. අද අප මේ හසුවී ගසාගෙන යන විවිධ රැලි හේතුකරගෙන මෙම යථාර්ථයන් අපගෙන් බොහෝ දුරස්වෙමින් තිබේ. දරුවන් හැකි තරම් ඉහළට තල්ලුකරමින් සීමාවක් නැති ඉම් කරා දිවයන යුගයක් අද බිහිවී හමාරය. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව උසස් අධ්‍යාපනය, උපාධි ඊටත් එහාට ගිය පශ්චාත් උපාධි මේවායේ කෙළවර නැත. දෙමාපියන්ගේ බලකිරීම්වලට හෝ සමාජය තුළ මේ ගැන පවතින ඉල්ලුමට වටිනාකම්වලට හෝ නතුවී අධ්‍යාපනයේ කෙළවරක් දකින විට බොහෝ විට වයස අවුරුදු තිහකට ආසන්නවීම සාමාන්‍ය තත්ත්වයයි. ඉන් අනතුරුව ගැළපෙන විවාහයක් සෙවීමට තවත් කාලයක් ගතවේ. ඊටත් වඩා කාලයක් වැයවන්නේ හඳහන්වල ග්‍රහයන් එහා මෙහා කරමින් ඒවා ගළපා ගැනීමටය. ඒ කටයුතු ඉවර වන විට වයස අවුරුදු තිස්පහකට ආසන්න වෙයි. ඉන් අනතුරුව එළැඹෙන්නේ සංදර්ශනාත්මක, අධි වියදම් සහිත විවාහ මංගල්‍ය සිහිනය සැබෑ කර ගැනීමේ අවස්ථාවයි. තමන් සතු නැතිනම් සතර අතටම ණය වී හෝ එවැනි මඟුලක් නොකෑම විශාල අඩුපාඩුවක් සේ දකින සමාජයක් බිහිව හමාරය. මේ සංදර්ශනාත්මක විවාහ සේවා සපයන්නන් තරුණ සමාජයේ මානසික තත්ත්වය මේවා ලුහුබැඳ ඒමට කුළුගැන්වීම් සිදුකිරීමද මෙම තත්ත්වය තවත් වර්ධනය කිරීමට හේතු වී තිබේ. ඔබම සිතන්න; කෙනකුගේ ආයු කාලය වසර 60-70ක් වෙයි. නමුත් ඉන් තරුණ කාලය පවතින්නේ කොයි තරම් නම් කෙටි කාලයකටද ?
වසර තිස්පහක් වීම යනු ජීවිතයෙන් අඩකටත් වඩා ගෙවීගොස් හමාරව තිබිමය. එසේම තාරුණ්‍යයෙන් ද වැඩිම කොටසක් පසුවී තිබෙන බව කාටත් නොපෙනන්නකි.වයස විසි ගණන්වල මුල් හරියේ සිදුවන විවාහයක් සහ ජීවිතයේ මැදි වයසේ සිදු වන විවාහයක් අතර සෑහෙන වෙනස්කම් තිබේ. තරුණ නෑඹුල් සිතුවිලිවලින් තොරව වයස්ගතව සිදුවන විවාහවල පවතින අඩුපාඩු බොහොමයකි. විශේෂයෙන්ම කාන්තාවගේ සේම පිරිමියෙකුගේද නිරෝගී දරුවන් ලැබිමට ඇති හැකියාව වයස ගෙවී යාමත් හා සමග බොහෝ සෙයින් අඩුවෙයි. එපමණක් නොව විවාහයක නියම රසය විඳීමටද වයස්ගත වීම බාධාවකි.

සියලු කඩයිම් සාර්ථක ලෙස පසුකරමින් පැමිණෙන විට සුබ මංගල්‍යයක වරම ගිලිහී තිබෙන්නට පිළිවන හෝ මේ සියල්ල නිමවන තුරු ප්‍රේම සම්බන්ධතා බොහෝ දිගුකල් පවත්වාගෙන යන අයවලුන්ද සිටිති. නමුත් කාලයත් හා සමග ඔවුනොවුන් අතර පවතින සෙනෙහෙබර බැඳීම් කාලයත් හා සමග යම්තාක් දුට ඔද්දල්වීම සාමාන්‍ය තත්ත්වයකි.තරුණ තරුණියන් අතර විවාහයන් දුෂ්කර කරවීම ඒවා ලිහිල්ව සිදුකර ගැනීමට අවශ්‍ය  පසුබිම සකස්කර දීම සමාජයක් සේම රජය සතුද යුතුකමකි. එසේම අප තුළ පවතන පුහු මතිමතාන්තරවලට සමුදී දරුවන් ඔවුන්ගේ නිසි කල වයස්වලට විවාහ කරදීම දෙමව්පිය වැඩිහිටියන්ද සතු වගකීමකි. වැඩිපුර අධ්‍යාපනය ඉහළ ඉලක්කයන් කරා යොමුවීම වරදක් නොවේ. නමුත් ඒවා සඳහාම විවාහයන් කල් දමමින් තමන්ගේ සාරවත් තරුණ කාලය ඔහේ ගෙවන්නට දීම නම් අනුවණකමකි. විවාහ වීම දරුවන් ලැබිම තම වැඩිදුර අධාපනයට බාධාවක් කර නොගත් අය ලෝකය පුරා ඕනෑ තරම් සිටින බව අප අමතක කළ යුතු නැත.

සටහන නිර්මලා කුමාරි සේනාරත්න