අම්මට සලකන්නෙ නැති දුවෙක් පුතෙක් තම බිරිඳට සැමියාට, සමාජයට සලකයි කියල හිතන්න අමාරුයි

සිංහල හෝඩියෙ 'ආදරය' කියන වචනෙ එන්නෙ 'අම්මා' කියන වචනෙට පස්සෙ. ජීවිතේදීත් එහෙම තමයි. ඉස්සෙල්ල එන්නෙ අම්මා. ඊට පස්සෙ තමයි ආදරය කියන එක එන්නෙ.ඇත්තටම ආදරේ උල්පත තමයි අම්මා. අම්මගෙන් තමයි අපි ආදරය අඳුනගන්නෙ. අම්මගෙ ආදරේ තමයි අපිට මුලින්ම දැනෙන්නෙ.  අම්මයි ආදරෙයි කියන දැවැන්ත බලවේග දෙක එකතුවෙලා තමයි අපේ ජීවිතේ සේරම බලවන්ත වෙනස්කම් සිද්ධකරල තියෙන්නෙ.මේ ලෝකෙට අපි පිවිසිනු දොරටුව අම්මා අපි ආශ්වාස ප්‍රාශ්වාස කරන්නෙ අම්මගෙ හුස්ම. අපේ ඇඟේ දුවන්නෙ අම්ම සුදු කිරි කරල අපිට දුන්නු අම්මගෙ රතු ‍ලේ.

කොටින්ම අම්ම නැත්තං අපි අද නෑ. අම්මගෙ ආදරය ආරක්ෂාව ‍පෝෂණය නැත්තං අපි අද ජීවතුන් අතරත් නෑ.මෙලෝ දෙයක් නැතුව හිස් මනසකින් නිරුවත් සිරුරකින් මෙලොවට ආපු අපි අද මොන තත්ත්වයකින් තරාතිරමකින් හරි ‍පොළොවෙ පයගහල ජීවත්වෙනව නම් ඒ අපේ රත්තරං අම්මලාගෙ ආදරයට පින් අයිතිවෙන්න.ඇත්තෙන්ම අම්ම කෙනෙක්ගෙ පුදුමාකාර ආදරණීය පරිත්‍යාගශීලී ජීවිතය ගැන ගුණ ගායනා කරන්න ‍පොත් ගණන් ලිව්වත් මදි. අම්ම කෙනෙක්ගෙ වචන වලින් කියන්න බැරි කැපවීමේ පරිත්‍යාගයේ ජීවිතය ගැන විවාද නෑ.ඒත් පුදුමෙ ඒක නෙමේ. පුදුමෙ, කොහොමද සමහර දරුවො මේ ආදරය මේ කැපවීම මේ පරිත්‍යාගය තේරුම්ගන්නෙ නැත්තෙ කියන එක. ඇයි අම්මලාගෙ ඒ පුදුමාකාර ආදරේ එයාලට නොදැනෙන්නෙ කියන එක.

ඒ විතරක් නෙමේ සමහරු අම්මලට වෛරකරනව. සමහරු අම්මලව ගණන් ගන්නෙ නෑ. සලකන්නෙ නෑ. සුවදුක් විමසන්නෙවත් නෑ. සමහරු ඇපෙන් බේරෙන්න ඔහෙ යන්තං මොනව හරි කරනව. තවත් සමහරු ලෝක අපවාදයෙන් බේරෙන්න හින්ද නිකං එහෙන් මෙහෙන් අම්මලට සලකනව. ඒත් හදවතේ ගැඹුරෙන් අම්මාට ආදරයක් නෑ.මට නං හිතෙන්නෙ මේ ලෝකෙ තියන බරපතළම පාපය තමයි අම්මව නොසලකා හැරීම. ඔව් බරපතළම පාපය අම්මට ගුණමකුවීම, නොසලකා හැරීම කිව්වට වරදක් නෑ.අම්ම කෙනෙක්ගෙ සැබෑ ආදරණීය භූමිකාව හරියටම ඉටු නොකරන ඉතාම අල්ප සංඛ්‍යාවක් අම්මල ඉන්න පුළුවන්. එහෙම අය ගැන දරුවො ඉන්නෙ ඒ තරම් සතුටකින් නොවෙන්නත් පුළුවන්. ඒත් එහෙම අය ඉන්නෙ ඉතාම අල්ප සංඛ්‍යාවක්.

කෙසේ වෙතත් මව්පියන්ට ගරු කිරීම, ආදරය කිරීම, සැලකීම, ආරක්ෂා කරගැනීම, දුක සැප බැලීම දරුවන්ගෙ වගකීම. ඒක හරියට නොකරන දරුවෙක් ඇත්තටම ආදරය හඳුනාගන සෙනෙහසේ ජීවිතයක් ගතකරන පී්‍රතිමත් කෙනෙක් කියල හිතන්න අමාරුයි.  අම්මට ආදරේ නැති කෙනෙක් තමන්ගෙ පෙම්වතියට බිරිඳට හරියට ආදරේ කරයි කියල හිතන්න අමාරුයි. අම්මට ආදරේ නැති කෙනෙක් සමාජෙට, අනිත් මිනිසුන්ට කැපවීමකින් සෙනෙහසින් වැඩකරයි කියල හිතන්න අමාරුයි.කෙනෙකුගෙ පෞරුෂයේ උසස් බව මැනගත හැකි හොඳම මිනුම්දණ්ඩක් තමයි ඔහු/ ඇය තමන්ගෙ අම්මට ආදරේ කරන්නෙ කොහොමද, සලකන්නෙ කොහොමද කියන කරුණ.අනිත් අතට අම්මට හොඳට සලකන, ගරුකරන ආදරේ කරන දරුවෙක් ඇත්නම් එයාගෙ පෞරුෂය ගැන වෙන හොයන්න දෙයක් නැති තරම්.අම්මට ආදරෙයි කියන එකෙන් පිළිබිඹුවෙන්නෙ අම්මගෙනුත් ඇතිවෙන්න ආදරේ දරුවෙකුට ලැබුණා කියන එකයි. අම්ම කෙනෙක්ගෙන් හොඳ මගපෙන්වීමක් ආදරයක් ලැබුණු දරුවෙක්ගෙ ජීවිතය වැරදි පාරක යාමේ ප්‍රවණතා අඩුයි.

හොඳ දරුවෙක් කියන්නෙ හොඳ අම්ම කෙනෙක් හිටිය කියන නිහඬ පණිවුඩයයි.අම්මල කවදාවත් මැරෙන්නෙ නෑ. දවසක සිරුරෙන් එයාල වෙන්වුණත් අම්මලගෙ ජීවිතය අපේ ජීවිත ඇතුළෙ ඉතිරි කරලයි එයාල යන්නෙ.අපි හිනාවෙනකොට අම්මව ඒ හිනාවෙන් පිළිබිඹුවෙනව. කඳුළක් නෙතඟට ආවොත් අම්මගෙ වේදනාවෙ කොටසක් හරි ඒ කඳුළෙ තියන, අපේ සිරුරට අනුබද්ධ වුණු සිරිත් විරිත් ගතිපැවතුම් සේරම අම්මල අපිට ඉතිරිකරල ගිය දේවල්.මිනිසුන්ට අපිව දකිනකොට, අපි කතාකරනකොට හිනාවෙනකොට ඒ තුළින් අපේ අම්මව පේනව.දැන් ඔබ ඔබ ගැනම ටිකක් හිතන්න. ඔබව දකින අය ඔබේ අම්ම ගැන මොනවද හිතනව ඇත්තෙ? රත්තරං අම්ම කෙනෙක්ගෙ පින්වන්ත දරුවෙක් කියල ඔබ ගැන කතාකරන්න ඒ අයට පුළුවන්ද?මතක තියාගන්න. ඔබ ගතකරන්නෙ අයහපත් ජීවිතයක් නම් ඒකෙ නින්දාව අපකීර්තිය කෙළින්ම යන්නෙ ඔබට කිරි පෙවූ අම්මට බව අමතක කරන්න එපා.

සමහර දරුවන්ට අම්මගෙ අගේ හරියටම තේරෙන්නෙ තමන් දෙමාපියන් වෙච්ච දවසට. ඒ අය ළදරුවෙක්ව හදාවඩා ගන්න ලොකු කරන්න කරන අරගලය කොච්චරද කියල දැනුණම තමයි තමන්ගෙ අම්ම තමන්ව ලොකු කරන්න කොච්චර දුකක් විඳින්න ඇතිද කියල හිතෙන්නෙ.ඒත් අම්ම කෙනෙක්ගෙ වටිනාකම හඳුනාගන්න තේරුම්ගන්න එච්චර කල්යන්න අවශ්‍ය නෑ. ගුණගරුක පින්බර දරුවෙකුට අම්මගෙ ආදරේ සුවඳ දැනෙනව. ඒ සුවඳින් තමන්ගෙ ජීවිතය සුවඳවත් කරගන්නව. අම්මගෙ වටිනාකම හොඳට තේරුම් අරගන හරිම හොඳට, උසස්ම විදිහට අම්මට සලකනව. ඒත් අවාසනාවකට වගේ සමහර දරුවො අම්මලට සලකන්නෙ නෑ. ආදරයක් පෙන්නන්නෙ නෑ. සමහරු කතාකරන්නෙවත් නෑ.

කොහොමද ඔබ අම්මට සලකන්නෙ? ඔබේම හිතෙන් ඒක අහල බලන්න. අම්මට සලකනව මදි නං වහාම, මේ මොහොතෙ ඉඳලම අම්මට රැජිනකට වගේ සලකනව කියල තීරණය කරන්න.ඔබේ අම්ම තවමත් ජීවතුන් අතර නං ඒක ඔබ ලැබූ සුවිශේෂ භාග්‍යයක්. ඒත් සමහරුන්ට ඒ භාග්‍යය නෑ. සමහරු අම්මට හරියට සලකන්න බැරි වුණා කියල පසුතැවෙනව, අම්මල නැති වුණාට පස්සෙ.දැන් සමහරවිට ඔබේ අම්මා බෙලහීන වෙලා ඇති. ඔත්පල වෙලා ඇති. හරිහමං මතකයක් නැතුව ඇති. කුදුවෙලා, හම රැළි වැටිල ඇති. සමහරවිට මලමුත්‍රා පහවෙනව ඇති.

ඒත් මතක තියාගන්න. මොනව වුණත් ඒ ඔබට කිරි පෙවූ ඔබව අද ඉන්න තත්ත්වෙට ගෙනාපු අනන්ත දුක් විඳපු ඔබේම අම්මාකවදහරි දවසක ඇය නිදන ඇඳ, ඇය වාඩිවෙන පුටුව හිස්වෙන දවසක් එනව. ඇයගෙ සැරයටිය පිඟාන තනිවෙන දවසක් එනව. ඒ දවස හැකිතරම් ඈතට තල්ලු කරන්න තමයි අපි කැමති. ඒත් කවදහරි ඒ තිත්ත අත්දැකීමට මූණදෙන්න අපි හැමෝටම සිද්ධ වෙනව ලෝක ධර්මතාවය අනුව.
අන්න එදාට අනේ මගෙ අම්මට සලකන්න මට බැරි වුණානෙ කියල පසුතැවෙන්න ඉඩතියා ගන්න එපා.
ඔබ ඇයගෙ හිත රිද්දුව නම්, නොසලකා හිටිය නම්, බේත් හේත් දීම මග ඇරිය නම්, උපස්ථාන කරන්න මැළි වුණා නම්... ඔබ තවම පමා නෑ. අදම පටන්ගන්න. අද ඉඳල රැජිනකට වගේ අම්මට සලකන්න පටන්ගන්න.එතකොට, කවදහරි දවසක යළිත් නොඑන්නට ඔබේ නිවසේ ගේට්ටුවෙන් පිටවෙලා ඈත ලොවකට අම්මා ගියත්, ඇගේ සදාකාලික ආදරයේ බලය කොහේ සිට හෝ ඔබව ආරක්ෂා කරාවි.
හැබැයි ඔබේ රත්තරං අම්මට සලකන එක පැහැර හැරියොත් ඒකෙ ආදීනවත් ඔබටම විඳගන්න වෙන බවත් අමතක කරන්නෙපා...

මයිකල් ආන්ජලෝ