කවියෙන් නිදහස්‌ සටනට පණ පෙවූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

දහනව වන සියවසදි ආගම භාෂාව ජාතික සිරිත් විරිත් ගුණධර්ම සිතුම් පැතුම් ඕනෑ එපාකම් අමුතුම විපිළිසර මඟකට යොමුවිය. සිංහල කම කුස්සියට පමණක් සීමා වූවාසේ ය. බෞද්ධයා එළිපිට බෞද්ධ යයි කීමට බියවූවා සේය. සිංහල භාෂාව මුළු ගැන්වූසේ ය. නොයෙක් ලෙස භේද භින්නව ගියේ බිහිසුණු අයුරින් විසිවන සියවස මුල් භාගය වන විට ජාතියේත්, ආගමේත් අනන්‍යතාවය බිඳ වැටෙමින් පරසිරිත් ගරු කරමින් අන්‍ය ආගම් වැළඳ ගනිමින්, වහල් බවෙන් පීඩිත වූ ජනතාවක් විවිධ මං ඔස්සේ දක්නට විය. පියදාස සිරිසේන, ජී.එච්.පෙරේරා, ආනන්ද රාජකරුණා, එස්. මහින්ද හිමි ආදී ලේඛකයෝ ඒ තත්ත්වයෙන් ජනතාව මුණ ගැසීමේ උදාර පරමාර්ථයෙන් සිය පැන මෙහෙයවූහ.

පරගැති සිරිතෙන් වැළකී, දේශීය සංස්කෘතිය සිරිත් විරිත් අගය පෙන්වා දෙමින්, සාරධර්ම අගයමින් බසට ප්‍රමුඛස්ථානය දෙමින්, දේශානුරාගය, ජාතිවාත්සල්‍යය, ජාතිකාභිමානය, වර්ධනය කරමින් නිදහස උදෙසා ප්‍රබල හැඟීම් සම්, මස්, ඇට නහර ලේ තුළට කා වද්දමින් ආගමික හැඟීම් වර්ධනය කරමින් ළදරු කළ සිට දරුවා නිසිමග යවමින් ටිබෙට් ජාතික එස්.මහින්ද හිමියන් ගෙන ගිය මග ඇති උත්කෘෂ්ඨය.

එවන් කාර්යයේ ලා උත්සුක වූ ස්වදේශිකයන් අතර විජාතික එස්. මහින්ද හිමියෝ ස්වදේශිකයෙක් ලෙසින්ම ප්‍රමුඛව කැපී පෙනෙනවා විනා කිසිදු ලෙසකින් විජාතියෙකැයි කිව නොහැකි යයි කීම නිවැරැදී ය. උන්වහන්සේ විජාතිකයෙකුයි පෙනෙන්නේ නාමයට පූර්වයෙනි. ‘ටිබැට් ජාතික’ යන්න යෙදීමෙන් ම පමණි.

ව්‍යවහාර වර්ෂ 1901 දී ටිබෙට්හි සිකිම් දේශයේ ලොව විශිෂ්ට තනතුරු හෙබවූ වැදගත් ප්‍රභූපවුලක උපත ලද ‘තෂිනම් ගස්ලය’ නම් දරුවා දහතුන්වන වියේදී සිය පැවිදි සහෝදර පුර්ණජි හිමියන් හා ජර්මන් ජාතික ඤාණාලෝක මා හිමියන් සමග ලංකාවට පිවිසියේ ය. සුප්‍රසිද්ධ පොල්ගස්දුව ආරණ්‍යයේ ඤාණාලෝක හිමිපාණන් සමඟ වාසය කළ මෙම දරුවා ඤාණාලෝක හිමිපාණන්ගේ මෙහෙයීමෙන් රත්ගම සිරි චුල සුමනාභිධාන අමරපුර නිකායික මහා තෙරණුවන් වෙත විසුවේ අනතුරුව මහින්ද නමින් ප්‍රවුජ්‍යා භූමියට එළඹියේ ය. ටිබැට් ජාතික එස්. මහින්ද හිමි (සිකීම් මහින්ද ) නමින් ලක්්දිව ප්‍රකට වූයේ ය.

ජාතිකාභිමානය, දේශවාන්සල්‍යය, දේශානුරාගය, ජත්‍යාලය, ආගමාලය, ජනිත කරවීමේලා මහින්ද හිමියන්ගෙන් වූ සේවාව සුළු පටු නොවේ. මහින්ද හිමියෝ අතීත ප්‍රෞඪත්වය නිරන්තර අගය කළහ. වර්තමානය හා මිශ්‍රකර අනාගතය සැපවත් කළ යුතු බව පෙන්වා දුන්හ.

අපේ ඉතිහාසයෙන් ගත යුතු පාඩම් ගැන අවධාරණය කළහ.

“පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”

”බලව් පොළොන්නරු අනුරා පුර පෙදෙස
සිතව් පැවති සමගිය එහි පෙර දවස
නඟව් තව තවත් තිරසර කරුණා ගොස
වරෙව් යමව් නැගිටිව් නොපියව් දෙඇස”

ඒ වීර පරාක්‍රම නාමය, ගජබා, රාජසිංහ ආදී රජවරුන්ගේ මෙහෙවර සිතට ගෙන අභිතව එඩිතරව විය හැඟීමෙන් බලාපොරොත්තු ඉටු කර ගත හැකි බව පෙන්වමින් එකාමෙන් එක පිම්මෙන් ම ඉදිරියට ආ යුතු බව ධාරණය කරයි.

නිදහසේ අගය නිරතුරු කියා පෑ මහින්ද හිමියෝ සැබෑ සිංහල කොල්ලෙකු නැත්තේ මන්දැයි ප්‍රශ්න කරති. එය අසනුයේ සම්බුද්ධ ශාසනය සුරක්‍ෂිතව තබා ගැනීම සඳහා ලංකාව රක්නා උපුල්වන් දෙවියන්ගෙනි.

“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”

මහින්ද හිමියන්ගේ කෝපයෙන් දිලිහෙමින් ආවේගශීලී වාග් විලාශය සිංහල රට, බෞද්ධ රට ගැන කැක්කුම පෙන්වයි. ජාතිකානුරාගය පෙන්වන්නට ගත් වෑයමේ දී විජාතිකයන් පසු පස යමින් ඔවුනට ආ වඩමින්, ඔවුන්ට ගැතිකම් දක්වන සිංහල කම අමතක කොට ඉංගී‍්‍රසිය කර පින්නා ගන්නවුන් සිංහල පුතුන් දැයි කවිය, ප්‍රශ්න නගන්නේ හද පිරි ශෝකයෙනි. අධිරාජ්‍යවාදීන් කෙරේ ඇති කෝපය දැක්වීම සමගම ලංකා මාතාව කෙරේ ඇති ගෞරව භක්තිය ප්‍රකට කරයි. අන්ධානුකරණයෙන් මිදීම නොයෙක් තැන පෙන්වා දුන්හ.

බ්‍රිතාන්‍ය සුදු අධිරාජ්‍ය පාලනයට යටත්ව සිටි ලක්‌වැසියාට හිස ඔසවන්නට අවස්‌ථාවක්‌ ලැබුණේ නැත. නමුදු තැනින් තැන ස්‌වදේශික නිදහස්‌ විමුක්‌තිකාමී සටන්a ජාතික වීරයන් විසින් අරඹා තිබිණි. තවත් ස්‌වදේශිකයෝ පිරිසක්‌ තම ස්‌වාමිපක්‍ෂය වූ පාලක අධිරාජ්‍යවාදීන්ගෙන් ලැබුණු ගෞරව හා තාන්නමාන්න අපේක්‍ෂාවෙන් එම පක්‍ෂයට ගැතිකම් දාසකම් දක්‌වන්නට වූහ. මෙම ශෝචනීය අවස්‌ථාවේ මහින්ද හිමි දේශමාමක වීරයන් හා අත්වැල් බැඳ ගෙන නිදහස්‌ සටන මෙළ වූ අයුරු පුදුම එළවන සුළු විය. සිංහල බසින් සිංහලයන් අමතන්නට විශේෂ කුසලතාවක්‌ ලද උන්වහන්සේ කාව්‍ය ප්‍රබන්ධ නිදා සිටි ජනයා අවදි කරවන මහා කාහල නාදයක්‌ බවට පත් වූයේ ය. ලංකා මාතාවට උන්වහන්සේ ගෞරව කරන්නේ මෙපරිද්දෙන් ය.

“බන්දා විජය දද අකනිට පද නිම්මේ
සින්දා හළ එතෙක්‌ රුපු සිරිලක්‌ අම්මේ
අන්දා ඔබගෙ සිතියම හදමිණි බැම්මේ
වැන්දා මෙන්න මුදුණත නඟමින් දැම්මේ”

මහින්ද හිමියන්ගේ පීඩාවට පත්වීසිටි සිංහල බෞද්ධයින් යලි නගා සිටුවීමට ගත් උත්සාහය මෙසේය …

“ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

”කෙස් ගස පවා වෙන රටවල මිනිසුන්ගේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් ඒ වග නොතකන්නේ
ඇස් ගෙඩි වලට හෙන ගහලද සිහළුන්නේ”

තම ලේ, රුධිරය, හෙළිය යුත්තේ තමන්ගේ ජාතිය උදෙසා බව අවධාරණය කරමින් විධානාත්මක ස්වරූපයෙන් කළ යුතු කරුණු පෙන්වා දෙයි. විජාතික වූවත්, සිංහල ජාතිය ගැන කියනුයේ සිංහලයෙකුට වඩා උද්වේග කර හැඟීමෙනි.

විදේශීය සිරිත් විරිත්වලට ඇබ්බැහි වී අපගේ සිරිත් විරිත් ගරහන, අමතක කරන අපේම සොහොයුරු සොහොයුරියන් වෙත දැඩි කර්කශ වේගවත් ප්‍රහාර එල්ල කරයි. අපේ ජාතික අනන්‍යතාවය මදකුදු නොසිතන ජාතියට සතුරු වූ අපේ වූන් ගැන දකින්නේ කෝපයෙනි.

“ අපේ රටට පිළිමල් වන සතුරු මල
අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

නොයෙක් තැන්හිදි සිංහලයාගේ හීන දීන ගති මැනවින් හඳුණන මහින්ද හිමියෝ ඒ සියල්ලට හෙන පහර ගසන්නාසේ පහර දෙති.

උන්වහන්සේ එඩිතර භාවය ප්‍රකාශ කළේ මෙලෙසටය.

“සහන ලැබෙනතුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
මහණ කමත් බණ දහමත් එයයි මට”

උන්වහන්සේ මෙලෙස දේශ භක්‌තියෙන් යුතුව නිදහස්‌ සටන සඳහා කවියෙන් පෑ පෙළහර විස්‌මජනක ය. ඒනිසා නිදහස වෙනුවෙන් ම රත්නමාලී, නිදහස්‌ මන්ත්‍රණය, නිදහස්‌ දැහැන, ලංකා මාතා යන පද්‍ය කෘති ලියෑවුණේ නිතැතින්ම ය. මෙබඳු පද්‍යවලින් එදා ජනයා නිදහස්‌ හැඟුමින් කුළු ගැන්වීමට මහෝපකාරී විය. මෙලෙස එදා ජනහදවත්හි නිදහස්‌ ගිනිදලු ඇවිළවීමට ලියූ කවි මෙසේය.

“ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

“රටත් ජාතියත් සමයත් කරණ කොට
තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

යුරෝපීයයන් මෙරට ගෙන ගිය අත්තනෝමතික පාලනයට හිරවූ අහිංසක සිංහලයො අනාථභාවයෙන් මුදාලන්නට මෙබඳු පද්‍ය එදා විශාල ශක්‌තියක්‌ විය. එඩිතර භාවය යළි හදවත්වලට ප්‍රවේශ කරවන ජීව වායුවක්‌ වූ උන්වහන්සේගේ සිතුම් පැතුම් ඉතා නිර්මල වූත් ප්‍රබලවූත් ඒවා විය. වචනයෙන් ක්‍රියාවෙන් ජාතික මමත්වය ස්‌වදේශ වාත්aසල්‍ය දරුවන් තුළත් පැළ කිරීමට උන්වහන්සේ කාව්‍ය රචනා පොහොසත් වූ අතර සිංහලයකු පරයන තරම් එඩිතර හැඟුම් එහි ඇතුළත් වූ බව පෙනේ. එම උදාර සේවය මෙපමණ යෑයි ගිනිය නොහැකි තරම් ය.

සිංහල ජාතිය හා බුදුදහම ගැන පමණක් නොව ස්වභාවික සෞන්දර්යය වර්ණනාව සඳහා උන්වහන්සේ දැක්වූ කුසලතා සෙසු කවීන් අභිබවා ගිය බවත් පෙනෙන්නේ ඇතැම් රචනා කියවා බලන විටය.

නමුණුකුල සමන් පව් ආදි උස් පව් රදුන් හා
සුනිලබර වෙනෙන් හා ඒ මැදින් ආ ගඟන් හා
කලට හෙන පොදින් හා සෑම කල් දෙස් ගුණෙන් හා
ඉතිර ගිය බිමක් ඇත්නම් උතුම් ලක්බිමයි මේ

මුතු ඇටයකි ඉන්දී සාගරේ හී උදාවූ
ගිලිහුණු ගුවනින් නිල් නිල්මිණක් යයි කිවින්ගෙන්
තියු ලබන අපේ මේ ලක්බිමේ වාසනාවන්
මෙපමණය කියාලා බෑ කියන්ටත් සිතන්ටත්

හිස පිදූ සඟබෝදි ආදි බෝසත් වරුන් ට ත්
ගැමුණු ද පැරකුම්බා – ඈ සටන් හී රජුන් ට ත්
ගුරුළු කුමරදසි හා රාහුලාදි කිවින් ට ත්
ජනිත සුර බිමක්වූ යේ උතුම් ලක්බිමයි මේ

ජාතික නිදහස්‌ සටනේ අභීත සෙන්පතියකු වූ මහින්ද හිමිපාණෝ ළමා සාහිත්‍යය ක්‍ෂේත්‍රයට ඉටු කළ සේවයද අමරණීය වේ.ළමා මනස මැනවින් තේරුම් ගත් මහින්ද හිමියෝ ළමා මනස සකස් කළේ අනාගතය ගැන සම්බන්ධවය. ජාතියේ වැදගත්කම දේශයේ වැදගත්කම දරුවාගේ මනසට කා වැදීමට උන්වහන්සේ ගත් ප්‍රයත්නය විවිධ ශෛලීන් ඔස්සේ විය. දේශය, ජාතිය රැක ගැන්මට නොවෙනස්වන මානසික ශක්තියක් මහින්ද හිමියන්ගේ කාව්‍ය රචනා තුළින් පෙනේ. ජාතිය වෙනුවෙන් යුද කොට මිය යාම පවා දෙව්ලොව සුරංගනාවියන් අත නැල වීමට හේතුවකැයි පෙන්වන උන්වහන්සේ බාල කල සිටම ජාතික හැඟීම්, සදාචාරාත්මක හැඟීම් රෝපණය කිරීමේ වැදගත්කම දුටහ. සිංහල රට, සිංහල දේශය සිංහල සංස්කෘතිය ගැන නිතර කියූ මහින්ද හිමියෝ කුඩා අවධියේ සිට ළමා මනස ශ්‍රේෂ්ඨ ජාතික වීරයෙකු බවට පත් කරලීමට සකස් කර ලන්නේ අපූර්ව අයුරිනි.



“නිදහස මහ මුහුදක් වේ – එහි උල්පත අත නුඹවේ
ඒ බව සිහිකොට මෙළොවේ – යුතුකම ඉටු කළ යුතු වේ”

සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්‌ටනියක්‌
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්‌සනද රෑට

හඳහාමි අප දිහාව
එබී බලයි පා සිනාව
සිහිල් සුළං දල් විඳන්ට
දොරට යන්ට හොඳ වෙලාව

මගෙ සුරතල් අක්‌කාගේ
බෙල්ලේ මුතුඇට වාගේ
මේ වැටෙන්නේ පිනි බිංදුයි
හදමු එකක්‌ ඒ වාගේ

ළමා සාහිත්‍යයක් ගොඩනංවීමට දැක්වූ ප්‍රතිභානය උසස් ය. නූතන ළමා පද රචකයින් අතර කැපීපෙනෙන කවියෙකි. මහින්ද හිමියෝ.

ජාතික තොටිල්ල, නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය, ඔවා මුතුදම රත්නමාලි කාව්‍යය, නන්දන ගීතය, දහ අට වන්නම, සද්ධර්ම මාර්ගය, මහා පරාක්‍රමබාහු, කුසුමාංජලි ආදී මහින්ද හිමියන්ගේ සෑම ග්‍රන්ථයකින්ම ජාතිකාභිමානය කුළු ගැන්වීම, බුදු දහමේ අගය, සදාචාරාත්මක ගුණාංග පැහැදිලි කරලීම තුළින් ගෙන ගියේ උදාර සේවාවකි. සැබෑ සිංහලයෙකු ලෙසින්, සැබෑ බෞද්ධයෙකු ලෙසින් මගේ රට, මගේ ජාතිය මගේ ආගම, මගේ භාෂාව ගැන හඬ නැගූ මහින්ද හිමියෝ අපගේ භාග්‍යයට මෙරටට පිවිසියේ යැයි කිව යුතු ය. උන්වහන්සේගේ ක්‍රියාදාමය රටේ ඉදිරිගමන සැකසීමේ පිටුවහලක් විය. රට, ජාතිය, ආගම, භාෂාව, සංස්කෘතිය ආදී අනේක විධ කරුණු පිළිබඳ උන්වහන්සේ පෑ අදහස් ජනතාව සැකසීමේලා, සුවිශේෂී විය. උදාරතර මෙහෙයක් කළ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියෝ 1951 මාර්තු 16 දින අපවත් වී වදාළ නමුදු උන්වහන්සේගේ නාමය හා මෙහෙය එදත් අදත් හෙටත් එකසේ පවතින්නේ ය.

_______________________

එස් මහින්ද හිමි ළමයින් වෙනුවෙන් රචනා කල කවි කිහිපයක්

මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිඳියන්නේ

දෙව් පුර මෙන් දෙවියන්නේ
සිරි ලක් දිව් බබළන්නේ
එහි සක් දෙව් රජු මෙන්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී

එදා පටන් මෙසිරි ලකේ
සම්මා සම් බුදු මැණිකේ
දම් එළියෙන් අඳුරු මැකේ
මිසදිටු විසකටු නො රැකේ

තමන් ලැබූ දිවි පෙවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ

තිස්ස රජුන් හට රුහුණේ
එඩිතර කුමරෙකු ලැබුණේ
ඉන් පසු සිරි ලක් දෙරණේ
ජාතික බැති මල් පිපුණේ

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රැක ගන්න‍ට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජය ගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී

රුවන්මාලි සෑ තනවා
මුනි පුත් සඟ ගණ පිනවා
ගිය එ රජුන් සිහි වෙනවා
මගේ පුතා නැළවෙනවා

එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළෙ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්

වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

අබය ගිරී සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන්හෙළි කෙරුවා

සිය රට ගළවමියි සිතා
දිවි දුන් සැඬ රිපුන් වෙතා
සෝමා දේවිගෙ පුවතා
ඉගෙන ගනින් මගේ පුතා

සොළී පුරේ වැද ගජබා
සොළින්ගේ දප් සිඳ නො තබා
පෑ සිංහල විකුම් සොබා
සිතෙන විටත් සිත් පොළඹා

හේමා රජ කුමරි එදා
දළදා හිමි ගෙන ආ දා
සාදු නදින් දෙව් සමුදා
ගුම් ගති සිරි ලක් සමුදා

බලනේ කඳු මුදුනේ දී
පරංගියා මැරුණ විදී
ඇසුවොත් පුත සිත පැහැදී
රාසිං දෙවියන්ට වඳි

ඇහැළේපොළ පුත් කුමරූ
කඩුවට ගෙළ දුන් අයුරූ
පුරුදු කළොත් සිහල දරූ
නිදහස අත්වනු නිබොරූ

පඬි සක්විති තොටගමුවේ
වීදාගම වැත්තෑවේ
ඉපදුණ මේ ලංකාවේ
ඉපදීමත් පිනක් ම වේ

කැප්පෙටිපොළ සෙනෙවි සුරූ
කර රුපු සෙන් මන් දැදුරූ
අබිරු විකුම් පෑ අයුරූ
උඹට පුතේ වෙයි මියුරූ

මිතුරුකමින් පෙරට එතොත්
දූවිල්ලක් එක්ක වුවත්
මිතුරු වෙයන් පුතේ නුඹත්
එයයි ලොවේ ගුණය මහත්

උස් තැන් දැක හැකිළෙන්නේ
මිටි තැන් දැක පුප්පන්නේ
නිවටුන් බව සිතමින්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

කුල බේදය ලියලන්නේ
ජාතික බැමි පුපුරන්නේ
මේ රට මේ විපතින්නේ
උඹ ද පුතේ ගලවන්නේ

ohefu.org