අතහැර යාමට සිතෙන රැකියාවෙන් ඉහළට යා හැකි මඟක්

අපි පසුගිය සතියේ ඔබ රැකියාවෙන් තෘප්තිමත් ද කියලා ඔබටම හොයාගන්න පුළුවන් විදියේ පුංචි පරීක්ෂණයකට ඉදිරිපත් කළා මතක ඇති. ඒ ප්‍රශ්න සියල්ල රැකියාවක තෘප්තිමත්භාවය ගැන සොයා බලන්න වෘත්තීමය වශයෙන් හදපු ප්‍රශ්න. ඔබෙන් ඇතැම් අය තෘප්තිමත් විදිහට රැකියාවේ නිරත වන බවත්, ඇතැම් අය එතරම් තෘප්තියක් නොමැතිව රැකියාවේ නිරතවන බවත් දැන් අවබෝධ කරගෙන ඇති. නමුත් තෘප්තියක් නැති වූ පමණින් රැකියාවක් අතහැර යන්න බැහැ. මොකද රැකියාවක් සොයා ගන්නවා කියන එක හිතන තරම් පහසු දෙයක් නොවන නිසා. අනෙක රැකියා සඳහා තියෙන්නෙත් පුදුමාකාර තරගයක්. ඒ නිසා ඔබ කළ යුත්තේ ඔබේ රැකියාවේ තෘප්තිය ඇති කරගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ලබාගැනීමයි. මේ කෙටි විස්තරය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඒ අරමුණින්.

ඔබේ හැකියාවන් හඳුනා ගන්න :

විවිධ අය විවිධ දේවලට දක්ෂයි. ඒ කියන්නේ ඇතැම් අය කාර්යාලයේ සිට කරන ‍පොත පතේ වැඩවලටත්, තවත් අය කාර්යාලයෙන් බැහැරව සිදුකරන අලෙවිකරන වැනි ක්‍ෂේත්‍ර වැඩවලටත් දක්ෂකමක් දක්වනවා. නමුත් මේ හැකියාව සහ ලැබෙන රාජකාරිය අතර පරස්පරයක් ඇත්නම් රැකියාවේ තෘප්තියට එය බාධාවක් වෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා ඔබේ හැකියාවන් හඳුනාගන්න. එවිට ආයතනයේ කළමනාකාරිත්වය සමග කතා බහ කොට ඔබේ හැකිවන් ඔවුන්ට ඒත්තු ගන්වන්නට පුළුවන් වුණොත්, ඔබට රැකියාවේ තෘප්තිමත් බව නිතැතින්ම ඇති කරගන්න පුළුවන්.

ඔබේ ශක්තිය උපරිම වශයෙන් යොදවන්න :

ඔබ තුළ දක්ෂතා කිහිපයක් ඇත්නම් ඇතැම් විට ඒ අතුරින් ඉතා කාර්යක්ෂම ලෙස වැඩකටයුතු කළ හැකි 
ක්‍ෂේත්‍රයක වැඩකටයුතු කරගෙන යන්නට අවස්ථාව හිමිවෙන්නට පුළුවන්. එවැනි තත්වයකදී ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් උදාහරණයක් විදිහට මේ වගේ අස්ථාවක් ඇතිවුණොත් බලන්න සිදුවන දේ. ඔබට ගිණුම්කරණය සම්බන්ධ උපාධියක් තියෙනවා. ඒ වගේම ඔබ ‍ලේඛනයට දක්ෂ නිසා පුවත්පත් සමග යම් සම්බන්ධයකුත් තිබෙනවා. මෙවැනි අවස්ථාවකදී ඔබට වැඩිපුරම ශක්තිය යෙදවිය හැක්කේ ගිණුම් සම්බන්ධ වැඩවලට වුණත්, ආයතනය ඔබට එහි පුවත්පත් ප්‍රචාරණ වැඩකටයුතු භාර දෙනවා. එවැනි අවස්ථාවකදී ඔබේ පූර්ණ ශක්තිය යොදවන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයන් ආයතනය සමග කතා කොට විසඳාගන්න උත්සාහ කළ යුතුයි.

අවංක වන්න

රැකියාවට සියලු විටම අවංක විය යුතුයි. විශ්වාසවන්ත ලෙස රැකියාව කළ යුතුයි. සමහර අවස්ථාවලදී ඔබට රැකියා කරන ස්ථානයෙන් විවිධ ගැටලු ඇතිවන්නටත් ඉඩ තියෙනවා. එවිට බොහෝ දෙනෙක් කරන්නේ සැලකිල්ලක් නැතිව රැකියාව කරන එක. ඒ වගේම තවත් අවස්ථාවල සේවා ස්ථානයේ ප්‍රධානීන් ඔබ ගැන බොහෝ විශ්වාසවන්තව වැඩකටයුතු භාර දෙන අවස්ථා ද තිබෙනවා. ඇතැම් අය එවැනි අවස්ථාවලින් අයුතු විදිහට ප්‍රයෝජන ගනිමින් නොකටයුතු දෑ සිදුකරනවා. මේ කුමන අවස්ථාවේදී හෝ තමන්ගේ රැකියාට අවංක නොවීම හා විශ්වාසයෙන් කටයුතු නොකිරීම නිසා අවසානයේ සිදුවන්නේ ඒ ගැන ඔබ තුළ ඇති තෘප්තිමත් බව නැතිවී යාමයි. විශ්වාසය හා අවංකභාවය නිසා ඇතිවන තෘප්තිය වෙනත් දෙයකින් ලබාගන්නටය.

මහන්සි වෙලා වැඩ කරන්න

සමහර විට ඔබ හිතන තරම් රැකියාවෙන් ප්‍රතිලාභ නැතිව ඇති. ඒ නිසා සාමාන්‍යයෙන් වෙන්නේ වැඩ කරන්න කම්මැලි කමක් ඇති වෙන එක. “මම තරම් වැඩක් කරන්නේ නැති අයත් මට වඩා පඩි ගන්නවා. මම මේ තරම් වැඩ කරලත් මට හොඳ පඩියක් නැහැ”. ඔබට මෙහෙම හිතෙනවා ඇති. නමුත් මහන්සි වෙලා වැඩ කරන්න නිතර පුරුදු වෙන එක ඔබේ ජීවිතයට සහ පෞරුෂයට යහපත් දෙයක්. යම් අවස්ථාවක ආයතන ප්‍රධානීන්ට පෙනේවි ඔබ මහන්සි වෙලා වැඩකරන්න පුළුවන් කෙනෙක් බව. ඒ විතරක් ‍නෙවෙයි යම් විදිහකින් ඔබට වෙනත් සේවා ස්ථානයකට යන්නට සිදුවුණත්, එවැනි තැනක මහන්සියෙන් වැඩකරන්න එවිට අමුතුවෙන් පුරුදුවෙන්න ඕන නැහැ. ඒක ඔබේ ඇගේ තියෙන දෙයක්. එවැනි පුරුදු ඔබේ ජීවිත කාලයටම වටිනවා.

අලුත් දේවල් ඉගෙන ගන්න

ඔබේ රැකියාවට අදාළ සියලුම දේ ඔබ දන්නවා වෙන්න පුළුවන්. නමුත් ඉගෙන ගත යුතු අලුත් දේවල් කිසිවක් නැති බව එයින් කියැවෙන්නේ නැහැ. යම් යම් රැස්වීම්, පුහුණු වැඩමුළු ආදිය වැඩකට නැති දේවල් කියා මග හරින්න එපා. ඇතැම් විට වැනි අවස්ථාවකදී ඔබ දවසක පමණ කාලයක් ගත කිරීමෙන් පසුව ඉගෙන ගන්නේ එක් අලුත් දෙයක් වෙන්න පුළුවන්. 
නමුත් ඒ එක් අලුත් දෙය බොහෝ ප්‍රයෝජනවත් දෙයක් වන්නටත් පුළුවන්.

රැකියාවෙන් ප්‍රාතිහාර්යයන් බලා‍පොරොත්තු වෙන්න එපා

රැකියාවකට සම්බන්ධ වුණු විගසම සියලු පහසුකම් සැප සම්පත් නොලැබෙන්නට පුළුවන්. ඔබට පසුව පැමිණි ඇතැම් අයට ඔබට නොලැබුණු දේ ලැබෙන්න පුළුවන්. නමුත් එය හේතුවක් කරගෙන අස්වීමේ ලිපිය ආයතනයට භාරදෙන්නට කලින් ටිකක් ඉවසන්න පුළුවන් වුණොත් යම් වෙනස්  කමක් කරගන්නත් පුළුවන්. අප හිතන තරම් කරන වැඩ කටයුතුවලට ඔබට ක්ෂණිකවම ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඉවසීමෙන් තමයි සැනසීම ලැබෙන්නේ.මේ කියූ කාරණාවලට අමතරව මේවා ගැනත් සැලකිලිමත් වෙන්න

* ඔබ ආයතනයේ අනෙක් අය සමග සංසන්දනය කිරීමෙන් වැළකෙන්න
* සියලු දෙයම හොඳ සංවිධානාත්මක බවකින් සිදුකරන්න
* ඔබ සමග වැඩකටයුතු කරන අය ගැන හොඳ අවබෝධයෙන් හා සැලකිල්ලෙන් සිටින්න
* රැකියාව සමග සක්‍රිය සම්බන්ධයක් ඇති කරගන්න. ඒ ගැන උදේ‍යා්ගිමත් විදිහට සිතන්න

මේ ආකාරයෙන් ධනාත්මක විදිහට සිතන්න පුරුදු වුණොත් ඔබ රැකියාවෙන් ඉහළට යන එක වළක්වන්න බැහැ. ඒ සමගම ඔබ පසුපස රැකියාවෙන් ලැබෙන තෘප්තිමත් බව නිරායාසයෙන්ම පැමිණේවි.

නිරංජන් චාමින්ද කරුණාතිලක