වෙස් මූණු නැතුව ජීවත්වෙද්දි හිත සැහැල්ලුයි ජීවිතය පහසුයි

සමහර වේදිකා නාට්‍යවලට, නැටුම්වලට එහෙම  සහභාගිවෙන ශිල්පීන්ව වෙස්ගන්වන්න සිදුවෙනවනෙ. නොයෙකුත් පාට වර්ග ගාලා, කොණ්ඩෙ වෙනස් කරල, ඇහි බැමි වෙනස් කරල, එක එක ඇඳුම් ආයිත්තම් අන්දවල ගත්තම සමහර වෙලාවට ඒ අයව අඳුනගන්නත් බෑ.රූපලාවන්‍යාගාරයකට ගිහින් ‘මේකප්’ එකක් දාපුවමත් සමහරුන්ව අඳුනගන්නත් බැරි තරමට වෙනස්.නාට්‍යවලදී රඟපෑම්වලදී මේ විදිහට තමන්ගෙ ස්වරූපය අවශ්‍යතාවයට අනුව වෙනස් කරගැනීම අවශ්‍ය වෙනව.සැබෑ ජීවිතයේදීත් නොයෙකුත් අවස්ථාවන්ට උචිත විදිහට සමහරවිට අපේ ඇඳුම් පැළඳුම් ගැනත් සැලකිලිමත් වෙන්න අපිට සිද්ධවෙනව. මඟුල් ගෙදරක යද්දී අපි ටිකක් වෙනස් විදියකට ටිකක් හොඳට ඇඳල පැළඳල යනව.

ඒ වගේ අපි රැකියාවට යද්දී ඒකට සුදුසු ඇඳුමක් හෝ ‘යුනිෆෝම්’ එකක් ඇඳල යනව. මළ ගෙදරක යද්දී ඊට සරිලන සුදු හෝ උචිත වර්ණයක ඇඳුමක් ඇඳගන යනව.මේවා සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව සමාජයේ කෙරෙන දේවල්. ඒකෙ වරදක් නෑ.ඒත් අපි සමහර වෙලාවට මේ සාමාන්‍ය ජීවන රටාවෙන් ඔබ්බට ගිහින් අනිත් මිනිසුන්ට පේන්න නොයෙකුත් ‘වෙස් ගැනීම්’ කරන බව පේන්න තියනව.ඒ කියන්නෙ අපි සමහර වෙලාවට අඳින ඇඳුම් පැළඳුම්වලින්, කරන කියන දේ තුළින් කිසියම් ප්‍රතිරූපයක් අනිත් අයට හුවා දක්වන්නත් උත්සහ කරනව. වෙන විදිහකට කියනව නම් නොයෙකුත් භාහිර ඇඳුම් පැළඳුම්, ක්‍රියා විලාශයන් ඇසුරෙන් අපේ සැබෑ ස්වරූපය වහල ව්‍යාජ ප්‍රතිරූපයක් පිටස්තර ලෝකෙට පෙන්වන්න අපි සමහරු උත්සාහයක යෙදෙනව.

බොහෝ විට මේක සිද්ධවෙන්නෙ අපිටම නොදැනුවත්ව. අනිත් මිනිසුන්ට පේන්න අපි යම් යම් දේ කරන බව අපිටම තේරෙන්නෙ නෑ බොහෝ වෙලාවට. අපි අපේ ඇත්ත ස්වභාවය අනුන් දකිනවට කැමති නෑ. අපේ සැබෑ ගතිගුණ, සැබෑ ආර්ථික පසුබිම, සැබෑ පවුල් පසුබිම, සැබෑ අධ්‍යාපන මට්ටම, සැබෑ ආශාවන් හා විශ්වාසයන් අනුන්ට හෙළිදරව් කරන්න අපි බොහෝ දෙනෙක් කැමති නෑ. මිනිස්සු අපේ සැබෑ තත්ත්වය දකිනවට අපි කැමති නෑ. ඒ නිසා අපි නිතරම උත්සහකරන්නෙ අපේ සැබෑ ස්වරූපය වසං කරල වෙනත් ආරූඪකරගත්තු ප්‍රතිරූපයක් සමාජයට පෙන්නන්න.මේක සමාජයේ (විශේෂයෙන් ආසියාතික රටවල) වැඩි ප්‍රතිශතයක් මිනිසුන් තුළ දකින්න තිබෙන දෙයක් බව සමාජ/ මනෝ විද්‍යාඥයින්ගෙ මතයක්. ඇති - නැති පරතරය වැඩි සමාජ පසුබිම් තුළ, තරගකාරීත්වය වැඩි සමාජ රාමු තුළ මේ නැති දේ ඇතිකර පෙන්වීමේ ක්‍රියාවලිය බහුලව සිදුවෙන බව නිරීක්ෂණවලින් අනාවරණය වෙලා තියනව.

ඔබත් සමහරවිට ඔබේ ඇත්ත ස්වරූපය යටපත් කරගෙන බොරු ප්‍රතිරූපයක් පිටස්තර ලෝකෙට පෙන්නන්න හදන කෙනෙක්ද? මේක ලැජ්ජවෙන්නවත් තමන් ගැනම කළකිරෙන්නවත් හේතුවක් නෙමේ. බොහෝ දෙනෙක් ඉඳහිට හෝ මේ ‘රඟපෑම්’ කරන අවස්ථා තියනව.ඉතින් මේ ප්‍රතිරූප නිර්මාණය කර හුවාදැක්වීම මහා ලොකු අපරාධයක් නෙමේ. ඒත් එක මිනිස් දුර්වලකමක්. හොඳ ස්වයං අවබෝධයක් ඇතිකරගැනීම තුළින් ඒ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන්.
ඇයි අපි මෙහෙම නැති දේ ඇතිකරල පෙන්නන්න හදන්නෙ?

හේතු කීපයක් තියනව.

1. අපි අපි ගැනම තෘප්තිමත් නොවීම.
2. අනිත් අය අපිට වඩා උසස් යැයි සිතීම හෙවත් හීනමානය.
3. නිවහල්ව සිතීමට ශක්තිය මදි වීම.
ප්‍රධාන කරුණු තුන තමයි ඒ.

1. අපි බොහෝ දෙනෙක් අපි ගැනම තෘප්තිමත් බවකින් නෙමේ ජීවත්වෙන්නෙ. අපිට ලැබිල තියන රූ සපුව, උස මහත, රැකියාව, ගෙදර දොර යනාදී බොහෝ දේ ගැන අපි ඉන්නෙ අතෘප්තිකර මනසකින්. මට මීට වඩා දේවල් කරන්න පුළුවන්, මට මීට වඩා හොඳ තත්ත්වයක් තිබිය යුතු පුද්ගලයෙක් යනාදී අදහස් බොහෝ අය තුළ තියනව.අපි බොහෝ දෙනෙකුට ඉහළට යන්න අවස්ථාව තියනව. පහසුකම් තියනව. ඒත් ඒ ගැන උනන්දු වෙන්නෙ නෑ. බොරුවට කන්කෙඳිරි ගානව. නිදසුනක් වශයෙන් කෙනෙක් ඉංග්‍රීසි භාෂාව අතින් දුර්වලය කියල හිතමුකො. ගුරුවරු හිටියත්, ‍පොතපත තිබුණත්, පන්ති තිබුණත්, මුදල් සහ කාලය තිබුණත් ඉංග්‍රීසි ඉගෙන ගන්න යොමුවෙන්නෙ කැපවෙන්නෙ නෑ. අනේ මට ඉංග්‍රීසි බෑනෙ කිය කිය ආඩපාලි කිය කිය අසහනයෙන් කල් ගෙවනව. ඉංග්‍රීසි ඉගනගන්න බැරිකම නෙමේ. ඕන නැතිකම. ඒත් ඕනකම සහ කැපවීම තිබුණ නං මේ ලෝකෙ ජයගන්න බැරි දෙයක් නෑ. එහෙම උනන්දුවක් ඔබ තුළ තියනව නම් අතෘප්තිකරබවින් ඔබ ජීවත්විය යුතු නෑ. තෘප්තිමත් දේ ලබාගැනීමට ඔබට බොහෝ අවස්ථාව තියනව.

2. අනිත් කරුණ තමයි හීනමානය. හීනමානය පටන්ගන්නෙ තවත් කෙනෙක්ට සාපේක්ෂව තමන් ඉන්නෙ පහත් මට්ටමක කියන සිතුවිල්ලෙන්. ඇත්තෙන්ම අපි කිසිම කෙනෙක් සමග අපිවම සන්සන්දනය කරගන්න ඕන නෑ. මොකටද? අනිත් අයට මොනව තිබුණත් මොන තරාතිරමක උනත් අපිට මොකද? අපිට අඩුවක් වෙන්න හේතුවක් නෑ. අපේ අගය පහත් කරල හිතාගන්නෙ අපිමයි. මේ ලෝකෙ කිසිම මිනිසෙක් තවත් මිනිසෙකුට වඩා උසස් කියල හිතන්න අවශ්‍ය නෑ. අපි සේරම මිනිස්සු. අපි හැමෝම හුස්ම ගන්නෙ ඇවිදින්නෙ එක විදිහට. අපි හැමෝම කන්න බොන්නෙ අපේ කෑම දිරවන්නෙ එකම විදිහට. මැරුණම දිරාපත්වෙන්නෙත් එකම විදිහට. එකිනෙකාට වෙන වෙන දක්ෂකම් හැකියාවන් තියෙන්න පුළුවන්. ඒත් ආධ්‍යාත්මිකව අපි කවුරුත් කාටවත් දෙවැනි වෙන්න අවශ්‍ය නෑ. එහෙම වෙනව නම් ඒ අපිම අපේ හිතෙන් මවාගත්තු දෙවැනිවීමක් විතරයි.

3. අනිත් කරුණ තමයි අපිට නිවහල්ව හිතන්න තරම් එඩිතර ශක්තියක් නැතිකම. අනිත් අය හිතන දේ තමා හරි, අපි වැරදියි කියල බයක් අපේ හිත යට තියනව. ඒ නිසා ඒ අය කියන දේ පරම සත්‍යය බවට අපි පිළිගන්න බව අඟවන්න තමයි අපි හැසිරෙන්නෙ. අපි විශ්වාස කරන දේ, අපි නිවැරදියි කියල හිතෙන දේ පැත්තක තියෙද්දී වෙන කවුරුහරි අපිට ගිල්ලන්න හදන දෙයක් ඇත්ත කියල අපි පිළිගන්නව. එහෙම වෙන්නෙ අපට නිවහල්ව හිතල අපේ අදහස බය නැතුව එළිදක්වන්න තරම් ආත්ම ශක්තියක් නැති වීම.
මෙන්න මේ කරුණු ටික ගැන ටිකක් ගැඹුරෙන් හිතන්න. එතකොට ඔබට තේරෙයි ඇයි අනිත් මිනිසුන්ව සතුටු කරන්න එයාලට ඕන විදිහට ඔබ හැසිරෙනවා කියල. ඇයි අපි එයාල ප්‍රියකරන වෙස්මූණක් දාගෙන ජීවත්වෙන්නෙ කියල.

අදින් ඔබේ ඒ දුර්වල මානසිකත්වය අවසන් කරන්න ඔබට පුළුවන්, ඔබට අවශ්‍යතාව තියනවනං.
ඔබ ඔබම වෙන්න. ඔබේ සැබෑ තත්ත්වය සැබෑ ස්වරූපය මිනිසුන්ට දකින්න අරින්න. ඇයි නිකං බොරුවට මවාපෑමක් කරන්නෙ. ඒක අවශ්‍ය නෑ.වෙස්මූණක් පැළඳගෙන ජීවත්වීම ‍ලේසි නෑ. බොරු රඟපෑමක් දිගටම පවත්වාගන්නත් පුළුවන් දෙයක් නෙමේ. නැති දේ ඇතිකර පෙන්වන රඟපෑම් කරන්න හරිම අමාරුයි. හිතට ඒක ලොකු වදයක්. ඒත් සමහර මිනිස්සු නැති දේවල් ඇතිකර පෙන්වන්න නොයෙකුත් දේ කරනව. දරන්න බැරි වියදම් කරනව. ගෙවන්න බැරි වාහන ගන්නව. තේරුමක් නැති බඩු භාහිරාදිය ගන්නව. ගැළපෙන්නෙ නැති ඇඳුම් ආයිත්තම්වලට යොමුවෙනව.

බොහෝ දෙනෙක් මෙහෙම කරන්නෙ තමන් ඉන්න සැබෑ තත්ත්වය වසං කරල ඊට වඩා ඉහළයි කියල හිතෙන පැලැන්තියක් එක්ක උරෙනුර ගැටෙන අදහසින්.බුද්ධිමත් කෙනෙකුට මේ සේරම දේවල් පුහු දේවල්. අනවශ්‍ය දේවල්.අපේ සැබෑ ස්වභාවය කවුරු මොන විදිහට දැක්කත් හිතුවත් ඒක එයාලගෙ ප්‍රශ්නයක් මිසක් අපිට ගැටලුවක් විය යුතු දෙයක් ‍නෙවෙයි.   ඒ නිසා තේරුමක් නැතුව අනුන්ගෙ හැසිරීම, පැලැන්තිය, ධනය, උගත්කම, රැකියාව යනාදිය දිහා බලල බොරුවට ඔබත් ඒ හා සමාන කෙනෙක් කියල පෙන්නන්න කටයුතු කරන්න අවශ්‍ය නෑ.ඕන කෙනෙක් ඕන දෙයක් හිතාගත්තු දෙන්. බොරු රඟපෑම් නවත්වන්න. වෙස්මූණු විසිකරන්න. අව්‍යාජව ජීවත්වෙන්න. එතකොට හිතට හරි සැහැල්ලුයි. ජීවිතය පහසුයි.

මයිකල් ආන්ජලෝ