සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට නම් ඔබේ ආධ්‍යාත්මික සිතුවිලි චේතනා ගැන කල්පනාකාරීවන්න

මුලින්ම, ඇයි ඔබ ව්‍යාපාරයක් කරන්නෙ කියල කෙනෙක් ඇහුවොත් මොකක්ද ඔබ දෙන පිළිතුර? ව්‍යාපාරයක් කරන්නෙ වෙන මොකටද ඉතිං සල්ලි හම්බ කරන්න මිසක් කියල ඔබ කියයි. ඔව් ඔබ හරි. සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරන්නේ සල්ලි හම්බ කරන්න තමයි. ඒත් ඒ මුදල් සෙවීමේ ච්ෙතනාව එක්කම එකට ඈදුනු තවත් අරමුණක් ඔබ තුළ තිබිය යුතුයි.ඒ තමයි මිනිසුන්ට කිසියම් සේවාවක්  සලසලදීල ඔවුන්ගෙ මොකක් හරි අවශ්‍යතාවයක් ඉටුකර දීමේ යහපත් ච්ෙතනාව.

සමහරුන්ට ඒක වැදගත් විදිහට පේන අරමුණක් නෙමේ. කාට මොනව වුණත් කමක් නෑ තමන්ට මුදල් ලැබෙනව නම් ඕනෑම ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්න සමහරු කැමතියි.එහෙම බෑ. ඔබට හොඳ “බිස්නස්කාරයෙක්” හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න අවශ්‍ය නම් අනුන්ට සේවාවක් පහසුවක් සැලසීම ඔබේ මුල් ච්ෙතනා අතරට එන්නම ඕන.බල්ලො මරල හරි සල්ලි හොයන්න ලෑස්ති මිනිස්සුත් ඉන්නව. අනිත් මිනිසුන්ට හෙවත් පාරිභෝගිකයන්ට මොනව වුණත් ඒ අයට වැඩක් නෑ. ඒ අයට ඕන සල්ලි විතරයි.

එහෙම කරන්න බෑ හොඳ ව්‍යාපාරිකයෙකුට. ඕනම ජඩ වැඩක් කරල, වංචා කරල, පගා ගහල, බොරු කියල, බාල බඩු වෙළෙඳපළටදීල කපටි විදිහට වැඩකරන අය හොඳ ව්‍යාපාරිකයො නෙමේ. ඒ අය බොහෝ විට හොඳට ඇඳ පැළඳගත්තු අලි හොරු වෙන්නත් පුළුවන්.ඒ නිසා ඔබට හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න අවශ්‍ය නම් ඔබ සතුව තිබිය යුතු මුල්ම ච්ෙතනාව විය යුත්තෙ මුදල් හම්බ කිරීම විතරක්ම නෙමේ. කිසියම් යහපත් හොඳ සේවාවක් සලසල ඒ යහපත් සේවාව තුළින් මුදල් ඉපැයීමයි.මුදල් ඉපැයීම වරදක් නෙමේ. ව්‍යාපාරයක තිබිය යුතු මූලික අරමුණු කීපයක් තියෙනවා. ව්‍යාපාරකරණයහදාරන සිසුවෙක්ගෙන් ඇහුවොත් සමහර විට කෙටියෙන් මේ විදිහට ඒ අරමුණු සඳහන් කරයි.

1. ව්‍යාපාරය නොවැටී පවත්වාගෙන යාම.
2. ලාභ ලැබිම
3. අවශ්‍ය සේවාවක් සලසා දීම හෝ භාණ්ඩයක් සැපයීම.
4. ධනය වැඩිකර ගැනීම සහ
5. ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම.

භෞතික පැත්තෙන් තමයි ඒ. ආධ්‍යාත්මික පැත්තෙන් ගත්තොත් ව්‍යාපාරයක් විතරක් නෙමේ මොනව කළත් ඒකෙ සැඟවුණු අරමුණ තමයි අපේ සිතට සතුටක් තෘප්තියක් ඇති කර ගැනීම.
ඒත් අරමුණු තෘප්තියෙන් සතුටින් ජීවත් වීම වුණාට බොහෝ ව්‍යාපාරිකයො ඉන්නේ සතුටින් තෘප්තියෙන් නෙමේ. දස දහස් ලක්ෂ ගණන්වලින් ව්‍යාපාර කළත් හැම තිස්සෙම ඉන්නෙ අසතුටින් අසහනයෙන් අතෘප්ති කර බවින්. විශාල ආතතියකින් ගිනි අඟුරු මැද වගේ බොහෝ අසහනකාරී මානසිකත්වයකින් තමා ව්‍යාපාර කරගෙන යන්නෙ.මොකටද එහෙම “බිස්නස්” කරල හිත සතුටින් තෘප්තිමත් බවින් පිරිල නැත්නං වෙන මොනව තිබිලත් මොකටද

ධර්මානුකූලව සහ ක්‍රමානුකූලව “බිස්නස්” කරන අයට ඒ තැති ගැන්ම ඒ අසහනය අඩුයි.ධර්මානුකූලව කිව්වේ මිනිසුන්ගෙන් කඩා වඩාගෙන ‍පොහොසත් වෙන්න බලනව වෙනුවට මිනිසුන්ට සේවයක් සැලසීම තුළින් ඔවුන්වත් තෘප්තිමත් කරමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට. අනුන්ගේ සාක්කුවේ තියෙන සල්ලි මගෙ ලාච්චුවට ගන්නේ කොහොමද කියන ච්ෙතනාව නෙමේ ඔබ ප්‍රගුණ කරගත යුත්තේ. මගේ සේවාවෙන්, මම විකුණන වෙළෙඳ භාණ්ඩයෙන් මම කොහොමද පාරිභෝගිකයින්ට තෘප්තියක් සතුටක් ලබා දෙන්නේ කියන අරමුණ මුල්කරගෙන තමයි ඔබ ව්‍යාපාරය කළ යුත්තේ. ඒකට තමයි ධර්මානුකූලව ව්‍යාපාර කරනව කියන්නේ. එහෙම කළොත් ඔබට වරදින්න විදියකුත් නෑ. හිතට අසහනයකුත් නෑ. ඔබේ ව්‍යාපාරයත් දියුණුවේ මාර්ගයට වැටෙන්නෙ එතකොටයි.ව්‍යාපාරිකයෙක් වශයෙන් ඔබ මතක තබාගත යුතු තවත් විශේෂම දෙයක් තමයි අධික තණ්හාව හොඳ නෑ කියන එක. ඒ කියන්නේ සල්ලි හම්බ කරන්න එපා ව්‍යාපාරය දියුණු කරන්න එපා කියන එක නෙමේ. මුදලට කෑදර වෙන්න එපා කියලයි මේ කියන්නෙ.වෙන විදිහකට කියනවනං මුදලට ධනයට ඇලෙන්න ගැලෙන්න එපා කියලයි කියන්නේ. සමහරු ව්‍යාපාර කරන්නේ කවදාවත් නොමැරෙන මිනිස්සු වගේ. සල්ලි සල්ලි සල්ලි මත්තෙම නැහෙන්න හදනව මිසක් තමන්ගෙ සතුටවත්, ගෙදර පවුලෙ අයගෙ සතුට ගැනවත් ශරීර සෞඛ්‍ය ගැනවත් හිතන්නෙ නෑ. අව්ව වැස්ස දිවා රෑ නොබලා වැඩ වැඩ වැඩ බොහෝ විට ඒ අනුන්ට සේවය කිරීමට නෙමේ. තමන්ට මුදල් ඉපැයීමට. එහෙම තණ්හාධික මානසිකත්වයක් තියන කෙනෙක් හොඳ ව්‍යාපාරිකයෙක් නෙමේ. ජීවිතේ රස විඳින්න දන්නේ නැති සල්ලි තියෙන මෝඩයෙක් විතරයි.පුංචි විහිළු කතාවක් තියෙනවා.

එක ව්‍යාපාරිකයෙක් අධික ලෙස රෝගාතුර වෙලා මානසික ආතතියත් පිරිලා මියයන ලෙඩ ඇඳේ ඉඳගෙන පවුලෙ අය එක එක්කෙනා ගැන විමසුවලු.“කෝ මගෙ ලොකු දූ?” කියල ඇහුවම “මේ ළඟම ඉන්නව තාත්තේ” කියල දුව කිව්වලු. “මද්දුමයා කෝ?” කියල ඇහුවම “මේ ඉන්නව තාත්තේ” කියල පුතා පිළිතුරු දුන්නලු. “කෝ මගෙ බාල එකී?” කියල ඇහුවම “මේ ළඟ ඉන්නව තාත්තේ” කියල බාල දුව කිව්වලු. ඒ වගේ පවු‍ලේ දරුවෝ සේරම ගැන අහද්දී “අපි මේ තාත්ත ළඟ තමා ඉන්නෙ” කියල දරුවො පිළිතුරු දුන්නම අර තණ්හාව අධික ව්‍යාපාරිකයා මෙහෙම කිව්වලු.“ඇයි යකුනෙ.... තොපි සේරම මෙතන වටවෙලා හිටපුවම කඩේ බලන්නේ කවුද?” කියල අමාරුවෙන් කිව්වලු තරහෙන් වගේ.ඒක විහිළු කතාවක් වුණත් මැරෙන මොහොතෙත් අධික තණ්හාව හින්දා ලෙඩ ඇඳේ ඉඳගෙනත් පීඩා විඳින මෝඩ ව්‍යාපාරිකයො ඉන්නව. එහෙම අයට ප්‍රාඥාවන්ත ව්‍යාපාරිකයො කියන්න පුළුවන්ද? ව්‍යාපාරයකට, මුදලට තමන්ගෙ වටිනා ජීවිතය උකස් කරල දුක්විඳපු අඥානයෙක් කියල තමයි ඒ වගේ අයව හඳුන්වන්න වෙන්නේ.

ඒ නිසා ඔබට හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න අවශ්‍ය නම් පමණ ඉක්මවා හම්බ කරන්න වීරිය යොදන්න එපා. හම්බ කරන්න. හොඳට හම්බකරන්න. ඒත් තණ්හාව හිතේ තියාගන්න එපා. අපි හැමෝම මැරෙන මිනිස්සු කියන එක නිතරම මතකයේ රඳවාගෙන ව්‍යාපාරයේ යෙදෙන්න. කවදහරි නොසිතන මොහොතක මේ ලෝකේ වස්තු ව්‍යාපාර, මුදල් හදල් සේරමa දාලා මිය යා යුතු බව නිරන්තරයෙන් මතක තබා ගන්න. ව්‍යාපාරය ඔබට අයිති වුණාට ඔබ ව්‍යාපාරයට ධනයට අයිති වෙන්න එපා. ඔබ ව්‍යාපාරය පාලනය කරනවා මිසක් ව්‍යාපාරයට ඔබව පාලනය කරන්න දෙන්න එපා.

ලබන සතියේ මේ ගැන තව කතාකරමු. එතෙක් අද කතාකළ කරුණු හිතට ගන්න.

1. ව්‍යාපාරයේ අරමුණ ඔබත් සතුටින් ඉන්න ගමන් අනුන්ටත් සතුට ලබා දීම බව නිතර හිතන්න.
2. අනුන්ගේ සල්ලි ලබා ගැනීම නොව ඔබේ. සේවාව ඔවුන්ට දීම ගැන වැඩි අවධානයකින් ක්‍රියාකිරීම. සාර්ථක ව්‍යාපාරයක පදනම බව මතක තියාගන්න.
3. හිතේ ආතතියෙන් ව්‍යාපාර කරල ඇති වැඩක් නෑනෙ. හිතේ සැහැල්ලුව අත්දකින හොඳ ව්‍යාපාරිකයෙක් වෙන්න නම් තණ්හාව නැති විය යුතු බව තේරුම් ගන්න. ඔබ මේ ලෝක තලයේ ව්‍යාපාර කළත් ඔබ මේ ලෝකෙට අයිති නැති බව හිතට ගන්න.

 මයිකල් ආන්ජලෝ