අපි ගල්, වැලි මඟින් ඇපෙන්ඩිසයිටිස්‌ ඇති විය හැකි ද?

අපි ජීවිතයේ නිතරම වාගේ අත්දකින දෙයක්‌ තමයි උදරයේ වේදනාව, විවිධ හේතුන් නිසා උදර වේදනාව ඇති වුවත්, අපිට නිතර අහන්න ලැබෙන දෙයක්‌ තමයි "ඇපෙන්ඩිස්‌ ද දන්නෑ" කියන එක. බොහෝ දෙනෙක්‌ මේ උදර වේදනාවන් ඇපෙන්ඩිසයිටිස්‌ කියලා සැකකරන්නේ ඇයි? ඇත්තටම මේ රෝගය ඇති වෙන්නේ කොහොමද? අපි මදක්‌ මේ ගැන අවධානය යොමු කරලා බලමු. 

ඇපෙන්ඩිසයිටිස්‌ කියන්නේ උදරයේ බඩවැල ආශ්‍රිතව තිබෙන උණ්‌ඩුක පුච්ඡයේ ප්‍රදාහයක්‌ කියලා අපිට සරලව හඳුන්වන්න පුළුවන්. මෙහිදි සිදුවන්නේ උණ්‌ඩුක පුච්ඡය සාමාන්‍යයෙන් තිබෙන ප්‍රමාණයට වඩා ඉදිමීමට ලක්‌වීමයි. මෙම ඉදිමුම සිදුවන්නේ උණ්‌ඩුක පුච්ඡය තුළ විවිධ අපද්‍රව්‍ය එකතුවෙලා ආසාදනයට ලක්‌වීමෙන්. 

උණ්‌ඩුක පුච්ඡය තුළ තැන්පත් වෙන අපද්‍රව්‍ය වර්ග කරන්නට බැහැ. මෙය ආහාර මාර්ගයේ කෙලවරක තිබෙන කුඩා සාක්‌කුවක්‌ වැනි කොටසක්‌. එය ශරීරය තුළ ස්‌වාභාවිකව පිහිටා තිබුණත් ශරීරයට අත්‍යවශ්‍ය කොටසක්‌ නෙමෙයි. එයින් සිදුවන ක්‍රියාවලියක්‌, හෝ ප්‍රයෝජනයක්‌ නැහැ. මෙම කොටස වෙනමම පිහිටා තිබෙන නිසා ආහාර මාර්ගය ඔස්‌සේ ගමන් කරන ඕනෑම දෙයක්‌ මේ තුළ එකතුවීමට පුළුවන්. 

එතකොට අපට හිතන්න පුළුවන් මේ තුළ යම් දෙයක්‌ එකතු වී පිරුනාට පසුවයි මේ කැක්‌කුම ඇති වෙන්නේ කියලා. ඒත් ඒක එහෙම නෙමෙයි, නිකම්ම තිබෙන උණ්‌ඩුක පුච්ඡයක්‌ උවත් ප්‍රදාහයකට ලක්‌වෙන්න පුළුවන්. නමුත් එය සිදුවන්නේ මේ නිසායෑයි කියලා නිශ්චිත හේතුවක්‌ කියන්න බැහැ. 

ඇපෙන්ඩිසයිටිස්‌ රෝගය එහෙමත් නැත්නම් උණ්‌ඩුක පුච්ඡයේ ප්‍රදාහය හඳුනාගත හැකි රෝග ලක්‌ෂණ ගැන අපි සලකලා බැලුවොත්, ප්‍රධානම රෝග ලක්‌ෂණය වන්නේ උදරයේ දකුණු පැත්තේ යටි බඩ ප්‍රදේශයේ ඇතිවන කැක්‌කුමයි. මෙය තමයි ප්‍රධානම ලක්‌ෂණය, එය එන්න එන්නම වැඩිවෙන කැක්‌කුමක්‌. ඇතැම් අයට උණ තිබෙන්න පුළුවන්. ඒ වගේ ම වමනය තිබෙන්න පුළුවන්. නමුත් ඒවා අනිවාර්ය ලක්‌ෂණ නෙමෙයි. උණ, වමනය තිබෙන්නත් පුළුවන්. නොතිබෙන්නත් පුළුවන්. නමුත් උදරයේ දකුණු පස, යටි බඩ කැක්‌කුම අනිවාර්යයෙන් තිබෙනවා. 

රෝගය නිසිලෙස හඳුනාගැනීම ස්‌කෑන් පරික්‌ෂාවක්‌ මගින් පහසුවෙන් ඉටු වෙනවා. නමුත් ලංකාවේ සියලු රෝහල්වල තවමත් පැය 24 ම ස්‌කෑන් පහසුකම් නෑ. ඒ නිසා පලපුරුදු වෛද්‍යවරයෙකුට පුළුවන්, සායනිකව රෝගියාගේ උදරය පරික්‌ෂා කරලා රෝගය හඳුනාගන්න.

අල්ලන විට තද කැක්‌කුම රෝගය හඳුනාගැනීමට ප්‍රධාන ලක්‌ෂණයක්‌. රෝගියා ඉතාම තද වේදනාවක්‌ සහිතව සිටිනවා නම් අපි වහාම සැත්කමකට ගන්නවා. එහෙම නැතිව ස්‌කෑන් පරික්‌ෂාවකට පහසුකම් තිබෙනවා නම් ඒ සඳහා යොමු කරලා රෝගියාගේ තත්ත්වය නියමාකාරයෙන් අවබෝධ කරගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙනවා. මෙම රෝගය සඳහා එකම ප්‍රතිකාරය වන්නේ සැත්කමක්‌ මගින් එය ඉවත් කිරීමයි. මෙම උණ්‌ඩුක පුච්ඡය ඉවත් කළා කියලා ශරීරයේ කිසිදු ක්‍රියාවලියකට බාධාවක්‌ සිද්ධ වෙන්නේ නෑ. ඇතැම් වෙලාවට තද බල ලෙස ආසාදනය සිදු නොවූ අවස්‌ථාවල ප්‍රතිජීවක ඖෂධ ලබාදිලා එහි ඉදිමුම අඩු වුනාට පසු මාස 3 න් පමණ නැවත ගෙන්වාගෙන පරික්‌ෂා කරලා බලනවා. ඒ මාස තුන තුළදී මෙම ප්‍රදාහය පුපුරන තත්ත්වයෙන් වැලකෙනවා. ඉන්පසුව වේදනාව අඩු වුනාට පසුව මාස 3 න් පමණ සැත්කම සිදු කරන්න පුළුවන්.

මෙය සාමාන්‍ය සැත්කමක්‌. ඒ නිසා සැත්කමින් පසු ඖෂධ ලබා ගැනීම, ප්‍රවේසම්වීම ආදී දේ කළ යුතු වන්නේ නැහැ. තුවාලය වියලෙන තුරු පමණක්‌ ටිකක්‌ ප්‍රවේසම් වීම පමණයි අවශ්‍ය. මෙය බොහෝම බහුල සැත්කමක්‌, උදරයේ අඟල් දෙකක පමණ කැපුමක්‌ යෙදීම පමණයි සිදුවන්නේ. 

ඇතැම් අවස්‌ථාවල වේදනාව ගැන නොදන්නා කමින් හෝ ප්‍රතිකාරවලට යොමු නොවීම නිසා ප්‍රදාහය වූ උණ්‌ඩුක පුච්ඡය උදරය තුළම පුපුරා යන්නට පුළුවන්. මෙය වහාම සැත්කමක්‌ කළ යුතු අවස්‌ථාවක්‌. මෙම පිපිරීම බොහෝම කලාතුරකින් සිද්ධ වෙන්නේ. එයට හේතුව අධික වේදනාව නිසා බොහෝ දෙනෙක්‌ ප්‍රතිකාරවලට යොමු වෙනවා. නොසලකා හැරීමෙන් මෙය පුපුරා ගියොත් ඇතැම් විට මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. නමුත් අපි මතක තබා ගත යුතුයි මෙහි කැක්‌කුමක්‌ නැතිව එකවර පුපුරන්නේ නෑ. ඒ වගේම පිපිරුවාට පසුවත් වේදනාව තිබෙනවා. 

ඔබ හොඳින් මතක තියාගන්න ඕන උදරයේ දකුණු පැත්තේ යටි බඩ ප්‍රදේශයේ කැක්‌කුමක්‌ ඇති වුවහොත්, එය ක්‍රමයෙන් වැඩි වෙනවා නම් වහාම පවුලේ වෛද්‍යවරයා වෙතට යාමට. එම වෛද්‍යවරයා රෝගය ගැන සැක කළොත් වහාම ළඟම ඇති රෝහලට ඇතුළත් විය යුතුයි. ඇතැම් විට රාත්‍රි කාලයේදි රෝග ලක්‌ෂණ ඇති වුවහොත් රෝහලකට යාම සුදුසුම ක්‍රමයයි. 

බොහෝ දෙනෙක්‌ හිතනවා ඇපෙන්ඩිසයිටිස්‌ රෝගය ඇතිවන්නේ වැලි, නියපොතු ආදිය උණ්‌ඩුක පුච්ඡයේ එකතු වීමෙන් කියලා. ඒවාත් එකතු වෙන්න පුළුවන්. නමුත් ඒ වර්ග විතරක්‌ නෙමෙයි, ඕනෑම දෙයක්‌ මෙහි එකතු වෙන්න පුළුවන්. වැලි සහ නියපොතු ගැන විතරක්‌ කතා කරන්නේ ඒවා දිරවන්නේ නැති නිසා වීමට පුළුවන්. 

මේ රෝගය වෙනත් රෝග මෙන් වලක්‌වා ගන්නට පුළුවන් රෝගයක්‌ නෙමෙයි. නමුත් හැදුනොත් නිසි ප්‍රතිකාර ගැනීම මගින් සම්පූර්ණ සුවය ලබාගන්නට පුළුවන්.

වෛද්‍ය චන්දන ගංගොඩගම 
පොලිස්‌ රෝහල