මුඛයෙන් හුස්‌ම ගැනීම සුදුසු ද? නැති ද?

බොහොමයක්‌ රෝග තත්ත්වයන් ගෙන් වැලකී සිටීමට හැකියාව ඇතැත් ඇතැම් අයගේ නොසැලකිල්ල නිසා වසංගත රෝග තත්ත්වයන් බවට පත්වෙනවා. එමෙන්ම රෝග ලක්‌ෂණයක්‌ පෙන්නුම් කරද්දී එA පිළිබඳව නොසැලකිලිමත් අන්දමින් ක්‍රියාකර අවසානයේ මහත් සංකූලතා තත්ත්වයන්ට මුහුණ දෙන අයද අප අතර සිටිනවා. 

ඒ හෙයින් යම් කිසි රෝග ලක්‌ෂණයක්‌ ඇති වූ සැනින් නැතහොත් අසනීප තත්ත්වයක්‌ ඇති වූ සැනින් ඒ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්. ඒ බව සියලු දෙනාම වටහාගත යුතුයි. විශේෂයෙන් කුඩා දරුවන් සිටින මව්වරු තම දරුවන්ගේ අසාමාන්‍ය ලක්‌ෂණයක්‌ දුටු වහාම නිසි වෛද්‍යවරයකු වෙත දරුවා පෙන්වා උපදෙස්‌ ලබා ගැනීම වැදගත්ය. 

තම දරුවාගේ පපුවෙන් අසාමාන්‍ය ශබ්දයක්‌ ඇති වන බවට ඇතැම් මවුවරු පවසනවා. දරුවන් තුළින් පමණක්‌ නොව ඇතැම් වැඩිහිටියන්ද මෙය දැකිය හැකිය. සමහර විටක ඔබටත් මෙවැනි තත්ත්වයක්‌ දැනී තිබෙන්නට පුළුවන්. ඒ ගැන ඔබ සැලකිලිමත් වී තිබෙනවාද? මෙතෙක්‌ ඒ ගැන සැලකිලිමත් නොවූයේ නම් අද සිට ඒ ගැන සැලකිලිමත් වන්න. 

පපු කුහරය තුළ පිහිටා ඇති වැදගත් ඉන්ද්‍රියකි පෙනහළු. අප ආශ්වාස කිරීමේදී එම වායුව නාස්‌ කුහරය තුළින් ස්‌වාස නාලය ඔස්‌සේ පෙනහළු වලටත් එතැනින් ගර්තිකාවලටත් ගමන් කරයි. එමෙන්ම ප්‍රාශ්වාස කිරීමේදී එම ක්‍රියාවලිය අනික්‌ අතට ක්‍රියා කරයි. 

ශරීරය පුරා සංසරණය වන රුධිරය කේෂනාලිකා ඔස්‌සේ ගර්තිකා වෙත පැමිණ ආශ්වාස කිරීමෙන් පිරිසිදු ඔක්‌සිජන් ලබාගනී. ඒ ආකාරයටම එහිදී කාබන්ඩයොක්‌සයිඩ් වාතය පිට කරයි. 

ඒ අනුව පෙනහළු තුළින් සිදුවන මහ ක්‍රියාකාරකම් පිළිබඳව සියුම් අවබෝධයක්‌ ඔබට ලබාගත හැකියි. 

මවු කුස තුළින් බිහිවන දරුවා සිය ප්‍රථම හැඩීම සිදුකරන්නේද ආශ්වාසයක්‌ ලබා ගැනීමෙන් පසුවයි. දරුවා බිහිවුණ දා සිට මරණය සිදුවන තුරුම ආශ්වාස ප්‍රාශ්වාස කිරීම සිදුකළ යුතුයි. එය ස්‌වභාවික ක්‍රියාවලියකි. 

ස්‌වභාවික ක්‍රියාවලියක්‌ වුවද ඒ පිළිබඳව අප කවුරු කවුරුත් සැලකිලිමත් විය යුතුය. 

මන්ද අප ආශ්වාස කිරීමේදී යම්කිසි ආකාරයකින් විෂබීජයක්‌ ශරීරගත වුවහොත් ඉන් යම් අහිතකර තත්ත්වයක්‌ ඇතිවීමට පුළුවන්. 

එහෙත් අපගේ නාස්‌ කුහරය තුළ ඇති රෝම කූප මගින් ආශ්වාස කිරීමේදී වාතයේ තිබි ඇතුළුවන දූවිලි වැනි දෑ යම් තරමකට පාලනය කරන අතර නාස්‌ කුහරය තුළ ඇති තෙතමනය නිසා පෙනහළු තුළට ගමන් කිරීම පාලනය කරනවා. එමෙන්ම සොටු දියර මගින් කිවිසුම් මගින් ඒවා යළි පිටතට පමුණුවනවා. 

විශේෂයෙන් දුම්පානය කරන්නෙක්‌ නම් දුම් පෙනහළුවලට ගමන් කිරීම නිසා, විෂබීජ ඇතුළු වීම නිසා පෙනහළුවල අසාත්මිකතා ඇති වී නියුමෝනියා තත්ත්වයට පත්විය හැකිය. 

ඇතැම් අයට සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්ත්වයන් ඇති වී ආශ්වාස කිරීම අපහසු වූ විට මුඛයෙන් ආශ්වාස කරනවා එය අනුමත කළ හැකි තත්ත්වයක්‌ නොවේ. 

පොඩි දරුවන් තුළින් මෙන්ම වැඩිහිටියන් තුළින්ද "කැස්‌ස" දැක්‌ක හැකි සුලබ ලක්‌ෂණයක්‌. 

කැස්‌ස ඇතිවීමට ප්‍රධාන හේතුව වන්නේ අප ඉහත සඳහන් කළ ආකාරයට ආශ්වාස කිරීමේදී හෝ පරිසරයේ ඇති දූවිලි ආදිය ඇතුළු වීමෙන් විය හැකියි. ඒ කොහොම වුණත් කැස්‌ස ස්‌වසන අපහසුතාවයේ ඇති ප්‍රධාන ලක්‌ෂණයකි.

මෙම කැස්‌ස දිගින් දිගටම පැවැතීමෙන් හතිය ඇතිවිය හැකිය. හතිය ඇති වූ විට ආශ්වාස ප්‍රාශ්වාස කිරීමේදී පපු කුහරය තුළින් සියුම් නමක්‌ ඇසීමට පුළුවන්. 

මෙසේ සියුම් හඬක්‌ ඇති වන්නේ ඇදුම තත්ත්වය ක්‍රමයෙන් වර්ධනය වීමේදීයි. එම තත්ත්වය වර්ධනය වීමට බලපෑ හැකි තවත් හේතු සාධක රැසක්‌ තිබෙනවා. 

ඒ අතර අසාත්මිකතාවයක්‌ ඇති ආහාර ගැනීම 

ක්‌ෂණික ආහාර (විවිධ රසකාරක යෙදූ) සීත කළ පැණිබීම 

මදුරු දඟර දුම් 

බිඩි, සිගරට්‌, සුරුට්‌ටු දුම් 

බලපාන අතර ඇතැම් අය නිදාගන්නා කාමරයේ ඇති ඉඩකඩ මදිවීම පිරිසිදු නොවීම රාත්‍රියේ නින්දට යන විට විදුලි පංකා ක්‍රියාත්මක කර නිදාගැනීම , විදුලි පංකා මගින් කාමරයේ ඇති දූවිලි ඇවිස්‌සී ආශ්වාස කිරීමෙන් ඒවාද පෙනහළු කරා ගමන් කර කැස්‌ස හතිය වැළදීමට පුළුවන. 

ඒ හෙයින් මේවායින් ඈත්ව සිටීමට වග බලාගන්න.

විශේෂයෙන් මව්වරු පාසල් යන දරුවන්ට කාලය නොමැති යයි පවසා ක්‌ෂණික ආහාර රසකාරක වර්ණක යෙදූ සීත කළ ආහාර පැණි බීම ලබාදීමට ක්‍රියා නොකළ යුතුයි. 

හැකිතරම් නිවසේ හදන සමතුළිත ආහාර වේලක්‌ දරුවන්ට ලබාදීමට කල්පනාකාරීවන්න. 

ස්‌වසන මාර්ගය තාවකාලිකව හැකිලීමත්, ඊට අමතරව අසාත්මික තත්ත්වයන් නිසා ස්‌වස නාලයේ ඇති ග්‍රන්ථි මගින් නිකුත් කරන තරලමය ශ්‍රාවයන් නිසා අවහිරවීම නිසාත් ස්‌වසනයට අපහසුතා ඇති වේ. 

මෙසේ ඇතිවන ඇඳුම තත්ත්වයන් නිට්‌ටාවට සුවකළ නොහැකියි. නමුත් වැළදෙන වාර ගණන පාලනය කිරීමට ඖෂධ තිබෙනවා. 

ස්‌වසන අපහසුතා ඇති රෝගීන්ට වෛද්‍යවරු INHALERS භාවිතයට උපදෙස්‌ දෙනවා. 

INHALERS භාවිත කරන්නයි උපදෙස්‌ දුන් විට රෝගීන් බියක්‌ දක්‌වනවා. අනවශ්‍ය බියක්‌ ඇති කරගත යුතු නැහැ. එමගින් ඖෂධ පෙනහළු තුළට පමණයි ගමන් කරන්නේ. අනික්‌ පෙති හෝ කරල් ඖෂධ මෙන් මුළු ශරීරයටම ඉන් බලපෑමක්‌ ඇති කරන්නේ නැහැ. 

ස්‌වසන අපහසු රෝගීන් වෛද්‍ය උපදෙස්‌ මත INHALERS භාවිතයට ගැනීම වඩාත් සුදුසුයි. 

එමෙන්ම මෙවැනි ස්‌වසන අපහසුතා ඇති රෝගීන් නිවස තුළ හෝ තමන් ගැවසෙන කාමරය තුළ සුවඳ කූරු දැල්වීම වෙනත් දුම් වර්ග ඇල්ලීම මදුරු දඟර භාවිතයෙන් වැලකී සිටීමටත්, සීත කළ බීම ආහාර වර්ග ගැනීමෙන් වැළකී සිටීමටත් කල්පනාකාරී විය යුතුයි.

නැවතත් අවධාරණය කළ යුත්තේ දරුවකුගේ හෝ වැඩිහිටියකුගේ හෝ පපු කුහරය තුළින් සියුම් හඩක්‌ (සිව්රුහන් බාන හඩක්‌ ආකාරයට) නිකුත් වන්නේ නම් හැකි ඉක්‌මනින් නිසි වෛද්‍යවරයකු හමුවන්න. එය බොහෝ සංකුලතා මගහරවා ගැනීමට ප්‍රයෝජනවත් වේ. 

උපදෙස්‌ කොළඹ ජාතික රෝහලේ 
කායික රෝග අංශයේ 
වෛද්‍ය ෂිරන්ත පෙරේරා