දිවයිනේ දකුණු කෙළවර පිහිටි දෙවිනුවර පුදබිම ඓතිහාසික සිදුවීම් රැසකට තෝතැන්නක් වූ සුවිශේෂී පුදබිමකි. එය සුවහසක් බැතිමතුන්ගේ වන්දනාමානවලට පත් වුණේ අනාදිමත් කාලයක පටන්මය.
වර්තමානයේ ද ඓතිහාසික දෙවිනුවර පුදබිම අතීතයේ මෙන්ම වන්දනාකරුවන්ගේ වැඳුම් පිදුම්වලට පාත්‍රවී ඇත. පුදබිම අරක්‌ගත් උප්පලවන්න හෙවත් උපුල්වන් දෙවියෝද බැතිමතුන්ගේ නිරන්තර නොමඳ ගෞරවයට ලක් වෙති. ඒ උපුල්වන් දෙවියන් වැඩ සිටින දේවාලය පිහිටීම නිසාය.
රාම රාවණා යුද්ධය, කතරගම දෙවිඳුන් ගොඩබට ස්‌ථානය උපුල්වන් දෙවිඳුන් ගොඩබට ස්‌ථානය ආදී වශයෙන් වන තොරතුරු රැසකින් දෙවිනුවර ඉතිහාසගත පුරාවෘත්ත පෝෂණය වී ඇත. වංශ කථා, පුරා විද්‍යාත්මක සාධක මෙන්ම ජනප්‍රවාදගත තොරතුරු ඒ සඳහා සාක්‍ෂි සපයයි.
දැනට භාවිත කෙරෙන ඉපැරණිම ලෝක සිතියම ක්‍රි. ව. 140 දී පමණ නිර්මාණය කළේ ග්‍රීක ජාතික ටොලමි විසිනි. ටොලමි දෙවිනුවර හඳුන්වා ඇත්තේ "දහන" ලෙසිනි. දහන යනු දෙවියන්ගේ භූමිය යන්න අර්ථවත් කරන වදනකි. එකල සිටම එම භූමිය දේවත්වයෙන් පාරිශුද්ධ වූ අයුරු එමඟින්ද ගම්‍ය කරවයි.
උපුල්වන් දෙවිඳුන් සිරිලකට අරක්‌ගත් සතරවම් දෙවිවරුන්ගෙන් එක් දෙවියෙකි. එම දෙවියන්ගේ අනුසස් පවතින පුදබිම දෙවිනුවරයි.
උප්පලවන්නා දෙවියන් මෙ පමණටම පූජාවන්ට පාත්‍රවීමට ප්‍රධාන හේතුව වන්නේ උන්වහන්සේ බුදු සසුනේ ආරක්‍ෂකයකු ලෙස බෞද්ධයන් අතර පවතින විශ්වාසයයි. ඉපැරණි වංශ කථා බෞද්ධ ජනතාව ඒ සඳහා අනුබලය වී තිබේ.
දීප වංශය සිංහලේ පැරණිතම ඉතිහාසය ග්‍රන්ථයයි. උපුල්වන් දෙවියන් පිළිබඳ වූ සටහනක් එහි මෙලෙස සටහන් වී තිබෙන්නේ බෞද්ධයන්ගේ විශ්වාසය ගොඩනඟමින්ය.
"ඒ ශාස්‌තෲන් වහන්සේ එම්බා ශක්‍රය, තොප ලංකාද්වීපය රැකගැනීමට උත්සාහ කිරීමේ පමා නොව යෑයි දේවේශ්වර වූ ශක්‍රයා, අමතා වදාළ සේක. සුජාතා දෙවඟනගේ ස්‌වාමි හෙවත් ප්‍රජාපති වූ සක්‌දෙවි රජ තම සම්‍යක් සම්බුද්ධයන්ගේ වදන් අසා උප්පලවන්නා දෙවි හට ලක්‌දිව ආරක්‍ෂා කිරීමට කරුණු කීවේය. මහත් වූ සෘද්ධි ඇති ඒ උප්පලවන්නා දෙවි තෙමේ සක්‌දෙවි රජුගේ වදන් අසා පිරිවර දෙවියන් සහිතව ලක්‌දිව ආරක්‍ෂාවට එළැඹ සිටියේය.
බුදුන් වහන්සේ පිරිනිවන් පා වදාළ දින විජය ඇතුළු සත් සියයක් පිරිස සිංහලද්වීපයට පැමිණි ඔවුන්ට ආරක්‍ෂාකාරීව මෙරටට පැමිණෙන්නට ආශිර්වාද කොට පිරිත්පැන් ඉස පිරිත් නූල් බැඳ එවන ලද්දේ තපස් වෙස් ගෙන සිටි උප්පලවන්නා දෙවියන් බව මහාවංශය පවසයි. එලෙස ඔවුන්ට පිහිට වුණේ උපුල්වන් දෙවියන් බව හෙන්රි පාකර් මහතාද ප්‍රකාශ කරයි.
දෙවිනුවර පුදබිම පූජ්‍යත්වයට පත් කෙරුණු උප්පලවන්නා දේවාලය ඉදි කරවීම දක්‌වා වූ කතා පුවත විශ්මය උපදවනසුලුය. ඒ කෙරේ වන අසිරිමත් සිදුවීම් ඊට හේතු වී ඇත.
දෙවිනුවර සිරි සුනන්ද නාහිමියන් විසින් රචනා කරන ලද "ඓතිහාසික දෙවිනුවර මහ පුදබිම" ග්‍රන්ථයේ එම ජනප්‍රවාදය සඳහන් කොට තිබේ. ඒ මෙලෙසින්ය.
"උප්පලවන්නා දෙවියෝ මහත් කිහිරි කඳක වේශයෙන් පැමිණියෝය. මුහුදෙහි වෙරළට ආසන්නව පාවෙමින් තිබූ කිහිරි කඳ දුටු මිනිස්‌සු වෙරළට රැස්‌වූහ. ඇතමෙක් කිහිරි කඳ ගන්නට ද උත්සාහ කළහ. මිනිසුන් ළංවෙත්ම කිහිරි කඳ ඈත් වෙයි. මිනිසුන් ගොඩට එත්ම පෙරළා වෙරළට ළංවේ. මේ අද්භූත ප්‍රවෘත්තිය ඇසූ දාපුළුසෙන් රඡ්ජුරුවෝද එතැනට පැමිණියහ. ඔවුන් එත්ම කිහිරි කඳ වේගයෙන් ඇදී අවුත් වෙරළෙහි මුතු පටයක් වැනි වැලිපිට හිටියේය. රඡ්ජුරුවෝ එතන සුදුසු පුද සත්කාර පවත්වා කිහිරි කඳින් දේව රූපයක් කරවන්නට සිතා ඊට සුදුස්‌සකු සොයන්නට වූහ. එහෙත් ඉන් දේව රූපයක් නෙළිය හැකි කම්කරුවන් මුළු ලංකාද්වීපයේ ම නොවීය. රඡ්ජුරුවෝ සිතුවිල්ලෙන් සිටින අතර වයෝවෘද්ධයෙක් පැමිණ දෙවිරුවක් තැනීමට තමා පොහොසත් බව කියා සිටියේය.
රඡ්ජුරුවෝ ප්‍රීතිව රජ පිරිස් පිරිවරා වෘද්ධයා සමඟ වෙරළට ගොස් ඔහු දැක්‌වූ ස්‌ථානයේ මණ්‌ඩපයක් කරවා කිහිරි කඳ එතැනට පමුණුවා දුන්හ. වෘද්ධයා පමණක් එහි රැඳිණි. සියල්ලෝම වෙන්ව ගියහ.
පසු දින රඡ්ජුරුවෝ එතැනට පැමිණියහ. වෘද්ධයා එහි නොසිටියේය. කිහිරි කඳ හෝ ඉන් කපා හල දෑ එහි නොවීය. ජීවමාන ආකාරයෙන් වැඩසිටි දේව රූපයක් පමණක් එහි විය. සියල්ලෝ විශ්මයට පත්වූහ. විශ්වකර්මයා පැමිණ කිහිරි කඳින් දේව රූපය නෙළා දී ගිය බව පෙනිණි.
මෙම ජනප්‍රවාදය පිළිබඳ වූ සිදුවීම් බැහැර කිරීමට නොහැකි පැරකුම්බා සිරිත ද මෙම කතා පුවත ප්‍රකාශ කරයි.
දෙවිනුවර උප්පලවන්නා, දේවාලය හා බැඳී පවතින නාමය දාපුළුසෙන් ය. හෙවත් දෙවැනි දප්පුල රජු (ක්‍රි. ව. 6597) නමැති දෙවිනුවර රාජධානියේ පාලකයාය.
සාමි දප්පුල හෙවත් දප්පුල රජතුමා විසින් උප්පලවන්නා දෙවියන් වෙත දේවාලයක් හදා පුදපූජා කිරීමට සලස්‌වා ඇත. දේව පුරාණයේ සඳහන් "බඳිරාලි විහාරය" උප්පලවන්නා දේව ප්‍රතිමාව තැන්පත් කළ දේවාලය බවට විශ්වාසයක් ඇත.
වර්තමානයේ දැක්‌වෙන උප්පලවන්නා දේවාලය පසු කාලයේ දී ඉදි කරන ලද්දකි. ප්‍රතිකාලුන් විසින් මුල් දේවාලය විනාශ කරන ලද නිසාම එම ස්‌ථානයේ ම පසු කාලයේ නැවත දේවාලය ඉදි කිරීමට සිදු විය. තෙමහල් දේවාලයේ උප්පලවන්නා දේව ප්‍රතිමාව දෙපස දැඩිමුණ්‌ඩ සහ සූනියම් දේව ප්‍රතිමාද වෙති. පිටත මාලයෙහි ඊෂ්වර සහ කතරගම දේව රූපයන්ය. එමෙන්ම විෂ්ණු දෙවියන්ගේ දස අවතාරද මෙහි සිතුවම් කොට තිබේ. මීට අමතරව තවත් දේව රූප රැසක් ම මෙහි සිතුවම් කොට ඇත.
දේව රූවලට අමතරව සඳෙහි සොළොස් කලා නිර්මාණ රාශිචක්‍ර ආදි සිතුවම්ද මෙහිදී දැක ගත හැකිය.
දෙවිනුවර දේවාලය සහ උප්පලවන්නා දෙවියන් උදෙසා සිදු කරනු ලබන අසිරිමත්ම ඓතිහාසික මංගල්‍යය ඇසළ පෙරහැර හා බැඳුණු පුද සිරිත්ය. සියවස් ගණනක ඉතිහාසයක් එයට වෙයි.
දඹදෙණියේ රජ පැමිණි දෙවැනි පණ්‌ඩිත පරාක්‍රමබාහු රාජ සමය දක්‌වා ඉතිහාසයක් දෙවිනුවර ඇසළ පෙරහැරට වෙයි. චන්ද්‍රබානු නමැති ජාවක රජුගෙන් සිංහලය බේරා ගැනීමට උප්පලවන්නා දෙවිඳුන්ට සිදු කළ භාරයක් අනුව මෙම පෙරහැර ඇරඹූ බවටද විශ්වාසයක් තිබේ. එමෙන්ම එතුමාට වැළඳුණු රෝගයක් සුව කර දෙන ලෙස දෙවියන්ට සිදුකළ භාරයක් නිසා මෙම පෙරහැර ඇරඹුණු බව තවත් අදහසකි.
ක්‍රි. ව. 1258 දී පමණ ආරම්භ කරන ලද දෙවිනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වර්තමානයේදී පෙරහැර හතකින් යුතුව සිදු කෙරේ. පේළි පෙරහැර හයක් සහ රන්දෝලි පෙරහැරක් ඊට අයත්ය.
දෙවිනුවර පෙරහැර මාවත අද වන විට තරමක් වෙනස් වී ගොසිනි. ජනාවාස ඉදිවීම ඒ සඳහා හේතු වී තිබේ. එකල පෙරහැරේ ගමන් කළ පිරිස "කහ පොකුණ" නමැති වර්තමානයේ පවා දිය නොසිඳුණු පොකුණේදී දිය කැපීමේ කටයුත්තක්‌ද සිදු කළහ. එහෙත් වර්තමානයේ එවැනි චාරිත්‍ර පෙරහැරින් ඉවත්ව ගොස් ඇත.
මයුර, පරවි, කෝකිල ආදී සංදේශ කාව්‍යවල උපුල්වන් දෙවිඳුන් වර්ණනා කොට ඇත්තේ ප්‍රාර්ථනා ඉටු කරවා ගැනීම සඳහාය. 14, 15 සියවස් පමණ වන විටද දෙවුන්දර දේවාලය ඉතා ජනප්‍රිය පූජ්‍යස්‌ථානයක් බවට පත්වී තිබිණි.
දෙවිනුවර ඇසළ උත්සවය කාලයට බැතිමත්හු ඒ සඳහා කල් ඇතුවම සූදානම් වෙති. සිය මිදුලෙහි පහන් පැලක් බැඳ පහන් දල්වා භාරහාර වෙනුවෙන් පූජා කරන කාසි ද එහි තබා උපුල්වන් දෙවියන්ට පිං අනුමෝදන් කරති. බොහෝ වැඩිහිටියෝ කෙතරම් බාධක කම්කටොලූ තිබුණා ද දෙවුන්දර කාලෙට දෙවිනුවර යැම සිරිතක් ලෙස කරති.
දෙවිනුවර ඇසළ මංගල්‍යය පිළිබඳ වූ ජනප්‍රවාදයකට අනුව කතරගම දෙවියන්ද මෙය නැරඹීමට පැමිණෙන බව සඳහන්ව තිබේ. උප්පලවන්නා දෙවියන් පමණක් නොව කතරගම දෙවියන් ද මෙම ප්‍රදේශයට අරක්‌ගත් දෙවියකු බවට විශ්වාසයක් පැවතීමට එයද ඇතැම් විට හේතු වන්නට ඇත.
දෙවිනුවර ඇසළ මංගල්‍යය ඇරඹෙන්නේ සම්ප්‍රදායානුකූල සිරිත් විරිත් අනුවය. නැකතට අනුව කප් සිටුවීම එහි මූලික අවස්‌ථාව වෙයි. කෝල් මුර යාගය හෙවත් දේව තොවිලය පවත්වා හාල් කිරි දානයක් දෙවියන් උදෙසා පූජා කිරීමෙන් වාර්ෂිකව ඇසළ පූජෝත්සවය නිමා කෙරෙති.
දෙවිනුවර හාල්කිරි දානය අනුභව කිරීම බැතිමත්හු ඉතාම ඕනෑකමින් සිදු කරති. ඒ උප්පලවන්නා දෙවියන්ගේ පිහිට ආරක්‍ෂාව ලැබෙන බවට ඇති විශ්වාසයෙනි.
දෙවිනුවර ඇසළ උළෙල සඳහා තැන තැන ඉදිවන සල්පිල්වල අනිවාර්යයෙන් දක්‌නට ඇති කෑමකි "කහ වළලු" ඒවා මිලදී ගැනීමට සියල්ලන්ගේ කැමැත්තක් ඇත්තේ සම්ප්‍රදායානුකූල සිරිතක් ලෙසද සිතමින් ය."
මෙවර පැවැත්වෙන ඇසළ උත්සවය පිළිබඳ දෙවිනුවර උපුල්වන් දේවාලයේ බස්‌නායක නිලමේ කංචන විඡේසේකර මහතා මෙලෙස සඳහන් කරයි.
"ජූලි මස 22 වැනි දා කප් සිටුවීමෙන් ඇරඹි ඇසළ උළෙල පළමුවැනි පේළි පෙරහැර ජුලි 30 ආරම්භ වුණා. රන්දෝලි පෙරහැර අගෝස්‌තු 5 වැනි දා බදාදා සවස 5.01 සිට වීථි සංචාරය කරනවා. අගෝස්‌තු 12 රාත්‍රි දේව තොවිලය පවත්වා පසුදා දේව දානය පූජා කරනවා."
දෙනගම - ධම්මික රණවීර